Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ට් ශූරතා අවසන් සටනට ඉන්දියාව පරදවමින් වරම් ලද ඕස්ට්‍රේලියානුවෝ

බෝඩර්-ගවස්කාර් කුසලානය වෙනුවෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් මේ දිනවල පැවැත්වෙනවා. එම තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය ඉන්දියාවේ ඉන්ඩෝර් හි දී පසුගිය සතියේ නිමාවට පත් වුණා.

දඟපන්දු යවන්නන්ට වඩාත් වාසිදායක තණතීරුවක පැවති එම තරගයේ දී ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නන් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. එනිසා එම තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 9ක පහසු ජයක් හිමි වුණා. එම ජයග්‍රහණයත් සමඟින් 2021-23 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි වුණා.

ඉන්දු-ඕස්ට්‍රේලියා ටෙස්ට් ගැටුමේ තියුණු අවස්ථාවක් – gettyimages.com

නේතන් ලයන්ගේ දස්කම් හමුවේ ඕස්ට්‍රේලියාවට සුපිරි ටෙස්ට් ජයක්

2022-23 බෝඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ තෙවන තරගය ඉන්දියාවේ ඉන්ඩෝර් හි දී පසුගිය බදාදා (1) ආරම්භ වුණා. දඟපන්දු යවන්නන්ට වඩාත් හිතකර අයුරින් සකසා තිබුණු එම තණතීරුවේ පන්දුවට මුලින් ම පහර දුන් ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 109ක් පමණ යි.

එය පසුගිය වසර 6 තුළ ඉන්දියාව සිය මව්බිමේ දී ටෙස්ට් ඉනිමක ලබා ගත් අවම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මැතිව් කුනමන් ලකුණු 16කට කඩුලු 5ක් දවා ගත්තා.

පන්දුවෙන් දස්කම් දැක්වූ මැතිව් කුනමන් – gettyimages.com

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සියලු දෙනාම දැවී ලකුණු 197ක් රැස් කළා. එහි දී ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළ උස්මාන් කවාජා ලකුණු 60ක් ලබා ගනිද්දී සෙසු පිතිකරුවන්ට කැපී පෙනෙන දස්කම් දැක්වීමට හැකි වුණේ නැහැ.

එම ඉනිමේ දී ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 78කට කඩුලු 4ක් දවා ගනිද්දී, උමේෂ් යාදව් සහ රවිචන්ද්‍රන් අශ්වින් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ උස්මන් කවාජා – gettyimages.com

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා ලකුණු 87ක් පිටුපසින් සිට දෙවන ඉනිම ඇරඹූ ඉන්දීය පිතිකරුවන් නැවතත් අසාර්ථක වුණා. එහි දී චේතේෂ්වර් පුජාරා පමණක් ලකුණු 59ක් ලබා ගනිමින් සටන්කාමී පිතිහරඹයක නිරත වෙද්දී ඉතිරි පිතිකරුවන් නේතන් ලයන්ගේ දක්ෂ පන්දු යැවීමේ හමුවේ අසරණ වුණා. එනිසා ඉන්දීය දෙවන ඉනිම ලකුණු 163කට සීමා වුණා.

එහි දී ඉන්දීය ඉනිම සුණුවිසුණු කළ ලයන් ලකුණු 64කට කඩුලු 8ක් දවා ගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන හොඳ ම පන්දු යැවීම සිදු කළා. ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම වන 50/8 ද මීට වසර 6කට පෙර ඉන්දියාවේ දී වාර්තා වුණා.

පන්දුවෙන් ඉන්දීය පිතිකරුවන් මෙල්ල කළ නේතන් ලයන් – gettyimages.com

ඉන්දීය දෙවන ඉනිම ලකුණු 163කට සීමා වීමෙන් පසු ලකුණු 76ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුල්ල ලකුණු පුවරුවට කිසිදු ලකුණක් එකතු වීමට පෙර දැවී ගියා. එම තීරණාත්මක මොහොතේ වගකීමෙන් පන්දුවට පහර දුන් ට්‍රැවිස් හෙඩ් සහ මානස් ලබුෂේන් නොබිඳුණු ලකුණු 78ක වටිනා සබඳතාවක් ගොඩනඟමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

එහි දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හෙඩ් පන්දු 53කින් නොදැවී ලකුණු 49ක් රැස් කළා. සමස්ත තරගය පුරාවට පන්දුවෙන් සුවිශේෂී දස්කම් දක්වමින් ලකුණු 99කට කඩුලු 11ක් බිඳ දැමූ නේතන් ලයන්ට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගිය ට්‍රැවිස් හෙඩ් – gettyimages.com

කෙටි ලකුණු පුවරුව
ඉන්දීය පළමු ඉනිම- 109/10, (කෝලි- 22, ගිල්- 21, කුනමන්- 16/5, ලයන්- 35/3)
ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 197/10, (කවාජා- 60, ලබුෂේන්- 31, ජඩේජා- 78/4, උමේෂ්- 12/3,අශ්වින්- 44/3)
ඉන්දීය දෙවන ඉනිම- 163/10, (පුජාරා- 59, අයියර්- 26, ලයන්- 64/8, ස්ටාක්- 14/1)
ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 78/1, (හෙඩ්- 49*, ලබුෂේන්- 28*, අශ්වින්- 44/1)
ඕස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක්
තරගයේ වීරයා- නේතන් ලයන්

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට වසර 91කට පසු උරුම වුණු දැවැන්ත පරාජය

2022-23 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ 26 වන සතියේ තරග පසුගිය සති අන්තයේ දී ක්‍රියාත්මක වුණා. ඒ යටතේ ලිවර්පූල් සහ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම් ඇන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණා. එම තරගයෙන් ගෝල 7-0ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වුණේ සත්කාරක ලිවර්පූල් කණ්ඩායමට යි.

එහි දී ජයග්‍රාහී ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් සලා, කෝඩි ගැක්පෝ සහ ඩාවින් නූන්ස් ගෝල 2 බැගින් ලබා ගනිද්දී රොබාර්ටෝ ෆර්මිනෝ ඉතිරි ගෝලය රැස් කළා.

ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ මොහොමඩ් සලා – gettyimages.com

එම පරාජය මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලි ඉතිහාසයේ ලැබූ දැවැන්ත ම පරාජයන් කිහිපය අතරට එකතු වුණා. මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මීට පෙර එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරග 3කදී ගෝල 7-0 ලෙස පරාජයන් ලැබුවා.

ඒ 1926 අප්‍රේල් 10 වැනිදා බ්ලැක්බර්න්, 1930 දෙසැම්බර් 27 වැනිදා ඇස්ටන් විලා, සහ 1931 දෙසැම්බර් 26 වැනිදා වොල්වර්හැම්ප්ටන් වොන්ඩර්ස් යන කණ්ඩායම් හමුවේ යි. ඒ අනුව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම පසුගිය වසර 91 ඇතුළත එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයක දී ලැබූ දරුණු ම පරාජය ලෙසින් මෙය වාර්තා අතරට එක් වුණා.

ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරයේ පුහුණු තරගයේ තොරතුරු

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත XI කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු තරගය ලින්කන් හිදී පසුගිය සෙනසුරාදා (4) ආරම්භ වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් දැවී ලකුණු 276ක් ලබා සිටිය දී සිය පළමු ඉනිම අත්හිටවූවා. එහි දී ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 87කින් වේගවත් ලකුණු 95ක් ලබා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 78ක් රැස් කළා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත XI කණ්ඩායම තරගයේ පළමු දිනය නිමා වෙද්දී කඩුලු 1ක් දැවී ලකුණු 141ක් ලබා ගෙන සිටියා. තරගයේ දෙවන දිනය පුරා වර්ෂාව ඇද වැටුණු නිසා එකදු පන්දු වාරයක්වත් යැවීමට හැකි වුණේ නැහැ. එනිසා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කුසල් මෙන්ඩිස් – gettyimages.com

කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පළමු ඉනිම- 276/4 (57.3)
කුසල් මෙන්ඩිස්- 95 (87)
ඕෂධ ප්‍රනාන්දු- 78 (111)
රොස් බ්‍රාක්- 36/1 (10)

නවසීලන්ත XI පළමු ඉනිම- 141/1 (38)
ජැක් බොයිල්- 73* (123)
ජාකොබ් බුලා- 37* (60)
ළහිරු කුමාර- 16/1 (5)
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි දී ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 3.30ට එළඹෙන බ්‍රහස්පතින්දා (9) ආරම්භ වීමට නියමිත යි.

ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩකයන්ට තවත් ජාත්‍යන්තර පදක්කම් 4ක්

Fazza ඩුබායි ග්‍රෝන් පී පැරා මලල ක්‍රීඩා තරගාවලිය ඩුබායි හි දී පසුගිය සිකුරාදා (3) නිමාව දුටුවා. 14 වන වතාවට පැවති මෙවර තරගාවලියේ දී සුවිශේෂී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩකයන් රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

එහි දී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන්නේ මදුරංග සුබසිංහ ක්‍රීඩකයා යි. ඒ T47 කාණ්ඩයේ මීටර් 400 තරග ඉසව්වෙන්. T42 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව සඳහා තරග වැදුණු අනිල් ප්‍රසන්න ශ්‍රී ලංකාවට දෙවන රන් පදක්කම දිනා දුන්නා. ඊට අමතර ව නුවන් ඉන්දික T44 කාණ්ඩයේ මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගනිද්දී, ප්‍රදීප් සෝමසිරි T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගෙන ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් හිමි කර දුන්නා.

පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ – dailynews.lk

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දඹුල්ල කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (5) නිමාවට පත් වුණා.

ගාල්ල සහ දඹුල්ල යන කණ්ඩායම් අතර පැවති එම තරගයේ දී දෙපිලේ පිතිකරුවන්ට වඩා පන්දු යවන්නන්ට දස්කම් දැක්වීමට හැකි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කිසිදු ඉනිමක ලකුණු 250 ඉක්මවා යාමට කණ්ඩායම් දෙකේ පිතිකරුවන්ට හැකියාව ලැබුණේ නැහැ.

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන දඹුල්ල ක්‍රීඩකයෝ – srilankacricket.lk

එහි දී වනිඳු හසරංග, ළහිරු සමරකෝන් සහ මොහොමඩ් ෂිරාස් පන්දුවෙන් දස්කම් දක්වද්දී දුනිත් වෙල්ලාලගේ පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුණා. තරග ආරම්භයේ සිටම තරගයේ පාලනය සියතට ගෙන සිටි දඹුල්ල කණ්ඩායම කිසිදු අවස්ථාවක ප්‍රතිවාදීන්ට තරගයට අවතීර්ණ වීම සඳහා අවස්ථාව ලබා දුන්නේ නැහැ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ දී තරගයෙන් ලකුණු 75ක ජයක් හිමි වුණේ දඹුල්ල කණ්ඩායමට යි. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ජයග්‍රාහී දඹුල්ල කණ්ඩායම – srilankacricket.lk

කෙටි ලකුණු පුවරුව

දඹුල්ල පළමු ඉනිම- 248/10 (72.1)
අභිෂේක් ලියනආරච්චි- 54 (75)
මිනෝද් භානුක- 50 (84)
දුනිත් වෙල්ලාලගේ- 58/5 (17)

ගාල්ල පළමු ඉනිම- 187/10 (53.2)
පැතුම් කුමාර- 78 (120)
සුමින්ද ලක්ෂාන්- 41 (60)
වනිඳු හසරංග- 64/4 (17.2)
ළහිරු සමරකෝන්- 42/3 (9)

දඹුල්ල දෙවන ඉනිම- 196/10 (71.2)
සොනාල් දිනූෂ- 59 (196)
රනිත ලියනආරච්චි- 45 (58)
මොහොමඩ් ෂිරාස්- 52/5 (24)

ගාල්ල දෙවන ඉනිම- 182/10 (47.3)

දුනිත් වෙල්ලාලගේ- 52* (79)
වනිඳු හසරංග- 44/5 (15.3)
ළහිරු සමරකෝන්- 60/4 (12)
දඹුල්ල කණ්ඩායමට ලකුණු 75ක ජයක්
තරගාවලියේ වීරයා- රමේෂ් මෙන්ඩිස් (ගාල්ල කණ්ඩායම)
තරගාවලියේ හොඳම පිතිකරු- අහාන් වික්‍රමසිංහ (මහනුවර කණ්ඩායම)
තරගාවලියේ හොඳම පන්දු යවන්නා- ශෂික දුල්ෂාන් (යාපනය කණ්ඩායම)

කවරයේ ඡායාරූපය- ඉන්දියාව හමුවේ ටෙස්ට් ජයක් ලැබූ ඕස්ට්‍රේලියානු පිල - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
srilankacricket.lk
footballtransfers.com
premierleague.com

Related Articles