Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දුම්බීමෙන් ගැලවෙන්න උපකාරී වෙන Apps

ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය දිනකට මිලියන 11ක් බවට පත්වද්දී ඊට ඇබ්බැහි වුණු අය සමාජයීය හෝ සෞඛ්‍යමය බලපෑම් නිසා ඉන් මිදෙන්නට වෙර දරනවා. තාක්ෂණය දියුණුව ඇති සමයක ඒ උත්සාහයට ළඟ තිබෙන දුරකතනයෙන්ම උද්යෝගයක් ලබාගන්නට, නරක පුරුද්ද වෙනුවෙන් යළිත් හිත යොමුවීම පාලනය කරගන්නට ඇප්ස් බොහොමයක් බිහිව තිබෙනවා. මේ ඒවායෙන් හොඳම ඒවා කිහිපයක්.

Quit Genius

Cognitive Behavioral Therapy (CBT) මූලධර්ම පාදක කරගෙන ගොඩනගා ඇති Quit Genius ඇප් එක දුම්බීමට ඇබ්බැහිවූ අයට ඒ සඳහා අකමැත්තක් ඇතිවීම සඳහා මඟ පාදනවා. ඒ අනුව එය සතුව මනෝ විද්‍යාව මෙන්ම හැසිරීම් රටා වෙනස් කරගැනීමට විනෝදජනක මාර්ගයන් ද ලබාදෙන්නේ එය අපේ සාක්කුවේ හෙවත් දුරකතනයේ සිටින යහළුවෙක්, චිකිත්සකයෙක් හෝ උපදේශකයෙක් බවට පත් වෙමිනුයි.

ඔබට දුම්බීමට අවශ්‍යතාවක් ඇතිවූ වහා මේ ඇප් එක විවෘත කරන්න. එම අවශ්‍යතාව ඇතිවීමට හේතුකාරකය පදනම් කරගෙන එවිට ඇප් එක විසින් එය අමතක කරලන්නට සහාය වෙමින් උපදෙස් ලබා දෙනවා. ඒවා අතර ක්‍රීඩාවන්, ව්‍යායාමයක්, සිහි කල්පනාව ඇති කරවන (සතිපට්ඨාන) භාවනාවන් කිරීමට උනන්දු කරවනවා. එවිට පිබිදුණු, ධනාත්මක සිතක් ඇති කරගනිමින් සාංකාව වැනි දුම්පානයට හේතුකාරක වන සිතුවිලි ඉවත් කරගන්නට අවස්ථාව සැලසෙනවා. මෙය ඇන්ඩ්‍රොයිඩ් සඳහා මෙන්ම iOS සඳහාද ලබාගත හැකියි.

QuitPlan

Google Play Store

දුම්කොළ භාවිතයෙන් සිදුවන අහිතකරතා නවතාලීම වෙනුවෙන් පිහිටුවන ලද ලාභ නොලබන ආයතනයක් වන ClearWay Minnesota විසින් සකසා ඇති QuitPlan ඇප් එක eBook වලින් ද සමන්විත වන අතර එහි ක්‍රම තුනකින් දුම්කොළ ඇබ්බැහිකම නවතාලන්නට සහාය වෙනවා. ඒ අනුව දුම්බීමට ඇබ්බැහි වුණු කෙනෙක්ට, දුම්බීම අතහැර දුම්කොළ වෙනත් ආකාරයකට භාවිතා කිරීමට අවශ්‍ය කෙනෙක්ට මෙන්ම තමන්ගේ මිත්‍රයෙක් හෝ පවුලේ කෙනෙක් දුම්බීමෙන් මුදවා ගැනීමට අවශ්‍ය කෙනෙක්ට පවා මේ හරහා සහාය ලබා ගන්න පුළුවන්. Android මෙන්ම iOS සඳහා ද ඇති ඇප් එකෙන් පමණක් නොව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ද දුම්කොළවලින් මිදීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාගත හැකි යි.

Fine I’ll Quit

Google Play Store

හොඳින් කිව්වාම අහන්න හිතෙන්නෙ නැත්නම් ඇප් එකකින් බැණුම් අහන්න පුළුවන් විධියෙ ක්‍රමවේදයක් තමයි Fine I’ll Quit ඇප් එක සතුව තිබෙන්නේ. මෙය දුම්බීම පමණක් නොව අනෙකුත් ඇබ්බැහි වීම් සඳහා ද පාවිච්චි කළ හැකි ඇප් එකක්. නමුත් මෙහි ඇති ක්‍රමය නිසා නිතර කවුරුහරි බැනලා මතක් කළාම දුම්පානය කිරීම නතර කරන්න හිතෙන කෙනෙක්ට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. දිනපතා එය දිනය තුළ දුම්පානය කළා ද නැද්ද යන්න විමසන අතර අවංක වන තරමට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දුම්පානයෙන් ඉවත් වීමේ දින චර්යාව හදිසියේවත් වෙනස් වුවහොත් ඉන් ඔබේ වගකීම් වලට බලපෑම් එල්ල වන ආකාරය, ඉන් පවුලට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වය, සෞඛ්‍ය අවදානම, ආර්ථික පසුබෑම ආදී සියල්ල සිහි කරමින් වෙඩි වරුසාවක් එල්ල කරන්නට එය සමත් වෙනවා. Android මෙන්ම iOS සඳහාද එය ලබාගත හැකියි.

Quit Smoking

Google Play Store

2013 සහ 2014 වර්ෂයන් සඳහා Healthline.comහි හොඳම ඇප්ස් 10 අතරට පැමිණෙන්නට සමත් වුණු Quit Smoking ඇප් එක දුම්බීම නවත්වන්නට පටන්ගත් දිනයේ සිට ඉතිරි කරගත් මුදල් ප්‍රමාණය, නොබී සිටි දුම්වැටි ප්‍රමාණය, සෞඛ්‍යමය වශයෙන් ලබා ඇති ප්‍රගතිය ආදී දත්ත සමඟ නැවත දුම්පානයට අවශ්‍යතාවක් දැණුනහොත් එය වළක්වා ගන්නට පරිගණක ක්‍රීඩාවන් ආදිය ද සපයනවා. දුම්පානය නොකර සිටීම වෙනුවෙන් දිරිගැන්වීමේ දීමනාවන් ලබා දෙන අතර Widget එකක් ද සකසා ගත හැකි නිසා ඇප් එක විවෘත නොකරම මුල් තිරයේ සිටම ඔබගේ ප්‍රගතිය පරීක්ෂා කරමින් උද්‍යෝගය තවත් වැඩි කරගන්නට පුළුවන් නිසා ෆේස්බුක් යන්නට ෆෝන් එක අතට ගත්තත් නොදැනීම දුම්පානය නොකර සිටීම ගැන සුබවාදී අදහසක් සිතට ඇතුළු වෙනවා.

QuitNow!

Google Play Store

දුම්බීමෙන් වැළකුණු සහ වැළකෙන්නට උත්සාහ දරන අය සිටින සමාජ ජාලයක් බඳු QuitNow! ඇප් එක ඔබ අවසානයට දුම්වැටියක් දැල්වූ දිනයේ සිට ගතවූ දින ප්‍රමාණය, එම කාලය තුළ ඔබේ ඇඟිලි කහ පැහැ ගන්වන්නට අසමත් වූ දුම්වැටි ප්‍රමාණය, පවුලේ කෙනෙක්ගේ හෝ ඔබේම අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීම සඳහා ඉතිරිවූ මුදල් ප්‍රමාණය ආදී දත්ත මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශකයන්ට අනුව ඔබේ සෞඛ්‍ය තත්ත්වයේ ඇතිවූ වර්ධනය පිළිබඳව ද කරුණු ගෙන එනවා. ලොව වටා මිලියන දෙකකටත් අධික ප්‍රමාණයක් දුම්පානයෙන් වැළකෙන්නට මෙම ඇප් එක යොදාගෙන ඇති අතර නරක පුරුද්ද අත්හැරීම වෙනුවෙන් උද්යෝගයක් වශයෙන් දිරිදීමනා ද ලැබෙනවා. මෙය වටා එක්රොක්ව සිටින අයගේ අදහස් දැනගැනීම උපකාර ගැනීම ආදියද කළ හැකි නිසා එකම බෝට්ටුවේ තවත් මිතුරන් පිරිසක් හඳුනාගන්නට ද මේ හරහා අපූරු අවස්ථාවක් සැලසෙනවා.

දුම්පානයෙන් මිදෙන්න ඔබ හෝ ඔබේ මිතුරන් කරන ලද දේවල් මොනවාද? ඒවාට වඩා ළඟ තිබෙන දුරකතනයෙන් මේ ඇප්ස්වලින් පිටිවහලක් ලැබේවිද? ඔබේ අදහස් comment කරන්න.

කවරයේ ඡායාරූපය: usnews.com

Related Articles