Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලක් ඉතිහාසය ලොවට ගෙන යන පරිගණක ක්‍රීඩාව: Threta

ව‍ර්තමානය වන විට ලෝකය පුරා පරිගණක ක්‍රිඩාවන් සඳහා විශාල ඉල්ලුමක් දක්නට තිබෙනවා. විවිධ තේමා පදනම් කරගත් පරිගණක ක්‍රීඩාවන් ලොව නන්දෙසින් බිහිවෙනවා. ශ්‍රී ලංකාවෙනුත් බිහිවෙමින් පවතින, ලංකාවේ පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කරනු ඇතැ යි විශ්වාස කෙරෙන අපූර්ව පරිගණක ක්‍රීඩාවක් තමයි Threta කියන්නෙ. ඒ වගේම දකුණු ආසියාවේ AAA ගුණාත්මක තත්ත්වය යටතේ බිහිවෙන ප්‍රථම පරිගණක ක්‍රිඩාව වන්නේත් Threta පරිගණක ක්‍රීඩාව යි.

වසර 3000කට පමණ පෙර ලක්දිව පැවතියා යි අනුමාන කරන සමාජ වටපිටාව හා ස්වරූපය Thretaහි අන්තර්ගත වෙනවා. මෙහි තම උරුමය වෙනුවෙන් සටන් වදින රණශූරයෙකුගෙ කතාවක් නිරූපනය වන අතර මෙම පරිගණක ක්‍රීඩාව ගොඩනැගෙන්නෙ එක් චරිතයක් වටා නොව වසර 3000කට පෙර පැවති යුගය මූලික කරගෙන යි. Threta හි ප්‍රධාන චරිතයන් 20ක් පමණ ඇති අතර විවිධ චරිත 180ක් පමණ දකින්නට ඇත. එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ ලංකාවේ ප්‍රථම වරට Motion Capture තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරන පරිගණක ක්‍රීඩාව වීම යි. Prodigi Interactive ආයතනය 2021 වසරේ දී Threta පරිගණක ක්‍රීඩාව නිකුත් කිරීමට සූදානමින් සිටින අතර එය Xbox, Playstation, Steam වෙත මුදාහැරෙයි. Google I/O Extended 2019 වෙනුවෙන් ලංකාවේ Mobitel ආයතනය සංවිධානය කරන ලද හමුවේ දී Threta පරිගණක ක්‍රිඩාව සම්බන්ධව හඳුන්වාදීමක් කිරිමට අවස්ථාවක් උදාවුණා.

Google I/O Extended 2019 – Sri Lanka

Threta පරිගණක ක්‍රීඩාව නිර්මාණය වන්නෙ Prodigi Interactive ආයතනයේ Prodigi Games ව්‍යාපෘතියක් ලෙසට යි. Threta නිර්මාණයේ පසුබිම් කතාව වසර කිහිපයක් ඈතට දිව යනවා. Prodigi Interactiveහි CEO ලෙස කටයුතු කරන යසිත් නයන Sri lanka institute of Information Technology (SLIIT)හි තෙවන වසරේ ඉගෙන ගන්නා කාලයේ පැමිණි අදහසක් යටතේ තමයි  Prodigi Interactive බිහිවෙන්නෙ. යසිත් නයන ඔහුගේ මිතුරන් දෙදෙනෙකු වන කාර්තිකේයන් හා ඩිලාන් හේවතුඩැල්ල සමග තමයි මෙය මූලික වශයෙන් පටන් ගන්නෙ. නව ව්‍යවසායකයන්ට මූලික වශයෙන් අරමුදල් ලබාගැනිමට Prodigi Interactive සඳහා සම්පත්දායකයින් බොහෝ දෙනෙකු ආයෝජනය කරනු ලබනවා.

මුල්කාලීනව කුඩා පරිගණක ක්‍රිඩා නිපදවමින් සිටි මොවුන්  2016 වසරේ මැද භාගයේ දී නව යමක් කරන්න කල්පනා කරා. බොහෝ පරිගණක ක්‍රීඩා නිර්මාණය වෙන ලෝකයේ ලංකාවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට ගුණාත්මක පරිගණක ක්‍රිඩා නිර්මාණය වෙන්නෙ ඉතාම අඩුවෙන්. මේ හේතුව නිසා ලංකාවෙන් පරිගණක ක්‍රිඩාවක් ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරිමේ අදහසක්, අවශ්‍යතාවයක් යසිත් ඇතුලු පිරිසට ඇතිවුණු බව කියනවා.

මේ පරිගණක ක්‍රීඩාව ලංකාවේ ඉතිහාසය අලලා නිර්මාණය කළ යුතු බව යසිත් හා කණ්ඩායම තීරණය කරනවා. ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය සම්බන්ද නිර්මාණයන් බහුල බැවින් ඔවුන්ගේ අදහස වුණේ ඉන් ඔබ්බට වසර 3000කට පෙර ලංකාවේ ඉතිහාසය ගැන පරිගණක ක්‍රිඩාවක් නිර්මාණය කරන්න යි. නමුත් මෙය අපහසු කාර්යයක්. ලිඛිතව නැති ඉතිහාසයක් අලලා නිර්මාණයක් කිරිමේ දී ඒ සඳහා කරුණු සොයාගත යුතු යි. ඉතිහාසය ගවේශනය කළ යුතු යි. වසර 3000කට පෙර කාලය පිළිබඳව වූ කටකතා, ජනප්‍රවාද සොයා බැලිය යුතු යි. Threta පරිගණක ක්‍රීඩාවට අදාලව ඉතිහාසය පිරික්සමින් පරිගණක ක්‍රීඩාවට කතාවක් ගොනු කරගැනීමට කටයුතු කරන කාලයේ මේ තිදෙනාට තවත් දෙදෙනෙකු එකතු වෙනවා. ඔවුන්ගෙන් එක අයෙකු ඒ වන විටත් ලංකාවේ ඉතිහාසය පිළිබඳව පර්‍යේෂණාත්මක ගවේශනයක් සිදුකරමින් සිටි අයෙක්.

Threta ක්‍රීඩාවේ රාමුවක්

ශාන් හා සචින් එක්වීමෙන් Threta පරිගණක ක්‍රීඩාවට ලංකාවේ ඉතිහාසයෙන් කතාවක් ගොනු කරගැනීමට හැකි වුණා. Threta පරිගණක ක්‍රීඩාව නිර්මාණය සම්බන්ධව මීළඟට පැන නැගුනු ප්‍රශ්ණය තමයි පරිගණක ක්‍රීඩාවට අනන්‍ය අක්ෂර මාලාවක් දැක්විය යුතු වීම. මෙයට වසර 3000කට පෙර පැවතියායැ යි හැඟෙන අක්ෂර මාලාවක් යොදාගත යුතු වුණා. නවීන භාෂා භාවිතය ඊට උචිත වුණේ නැහැ. මේ නිසා සිංහල, බුරුම, තායි, මාගධි, දෙමළ, පාලි යන අක්ෂර මාලාවන් ගැන මාස 3ක් අධ්‍යයනය කර වසර 3000කට පෙර තිබෙන්නට ඇතැ යි හැඟෙන පරිදි අංක හා අක්ෂර මාලාවක් සකස්කර ගත්තා.

ක්‍රියාදාම පරිගණක ක්‍රීඩාවක සටන්කලා අංග දකින්න ලැබිම සමාන්‍ය දෙයක්. Threta තුළට ද සටන් කලා අංග යොදාගත යුතු නමුත් චීන, ජපන්, තායි සටන්කලාවන් හෝ අනෙක් විදේශික සටන් කලාවන් යොදාගැනිම ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අත්දැකීමක් ලබා දීමට බාධාවක්. මේ නිසා ශ්‍රී ලංකාවට ආවේණික සටන්කලාවක් යොදාගැනීමට අවශ්‍යතාවය පැනනැගුණ අතර මේ සඳහා අංගම්පොර යොදාගනු ලැබුනා. Threta සදහා අංගම්පොර සටන් ක්‍රමයන්ගේ චලනයන් ඇතුලත් කිරීමට Motion Capture තාක්ෂණය උපයෝගී කරගනු ලැබුවා. මෙය ශ්‍රී ලංකාවෙ ප්‍රථම වරට Motion Capture තාක්ෂණය යොදාගෙන සිදුකරන පරිගණක ක්‍රීඩාව යි.

Motion Capture තාක්ෂණය අත්හදා බලමින්. 

Threta සඳහා චරිත නිර්මාණයේ දී  වසර 3000කට පෙර සිටියා යි අනුමාන කරන ජනයාගේ ස්වරූපය, රණශූරයන්ගේ ඇදුම් සන්නහ සහ අවි ක්‍රීඩාවට යොදාගැනීමේ දී ශ්‍රී ලංකාවේ ආවේණික මෝස්තර යොදාගෙන තිබෙනවා. රණශූරයන්ගේ මුහුණට ගැලපෙන ලෙස යක් වෙස්මුහුණු යොදාගෙන තිබෙනවා. මේ සියල්ල රැගත් Threta නිර්මාණය වන්නේ Unreal Game Engine පාදක කරගෙන යි.

ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකයා දන්නේ බොහෝවිට සංචාරය කිරීමට සුන්දර රටක් වශයෙන්. නමුත් මේ පරිගණක ක්‍රීඩාව නිසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ලෝකයා කතාකරනු ඇතැ යි නිර්මාපකයින් විශ්වාස කරනවා.

නිර්මාපකයින් කණ්ඩායම.

තොරතුරු සහ ඡායාරූප: Prodigi Interactive

Related Articles