Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ට්විටර් මත විමසුමට ඉලෝන් මස්ක් හිස නමයි ද?

අමෙරිකානු ඩොලර් බිලියන 44කට ට්විටර් සමාගම මිල දී ගෙන එහි ප්‍රධාන විධායක නිලධාරී බවට පත් වූ ඉලෝන් මස්ක් තවමත් විට විශාල වශයෙන් කතාබහට ලක් වන චරිතයකි. ඔහු ට්විටර් සමාගම මිල දී ගත් දින පටන් එය පරිහානියට පත් වෙමින් තිබෙන බවට බොහෝ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වේ. ඔහු ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට සිදු කර ඇති යම් යම් වෙනස්කම් ද ආන්දෝලනාත්මක මාතෘකා බවට පත් ව ඇත.

මත විමසුමක්

මෙවැනි පසුබිමක පසුගිය දෙසැම්බර් 19 වැනි දින ඔහු සිය ට්විටර් ගිණුම හරහා ආන්දෝලනාත්මක මත විමසුමක් සිදු කළේ ය. “මා ට්විටර් සමාගමේ ප්‍රධානියා ලෙස ඉල්ලා අස් විය යුතු ද? මා මෙම මත විමසුමේ ප්‍රතිපලයට අනුව කටයුතු කරනු ඇත” යනුවෙන් එහි සඳහන් විය.

ට්විටර් පරිශීලකයන් සිය මතය ප්‍රකාශ කර ඇති අයුරු – www.twitter.com

ට්විටර් පරිශීලකයන් මිලියන 17.5ක් එම මත විමසුමට සහභාගී වී තිබූ අතර, ඉන් 57%ක් මස්ක් ඉල්ලා අස් විය යුතු බවත්, 43%ක ප්‍රතිශතයක් ඔහු තවදුරටත් රැඳී සිටිය යුතු බවත් ප්‍රකාශ කර තිබිණි. එම මත විමසුමේ ප්‍රතිපල අනුව තමන් ක්‍රියා කරන බව මස්ක් පැවැසුවත් මේ වන තෙක් ඔහු ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඉල්ලා අස් වී නම් නැත.

ප්‍රධාන විධායක නිලධාරියෙක් සොයන මස්ක්

පසුගිය නොවැම්බර් මස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ: “මම ට්විටර් සමාගම වෙනුවෙන් ගත වන කාලය අඩු කිරීමටත්, ඉදිරි කාලයේ දී ට්විටර් සමාගම භාරව කටයුතු කිරීමට වෙනත් අයකු සොයාගැනීමටත් බලාපොරොත්තු වෙමි.” යනුවෙනි.

ට්විටර් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී පැරාග් අග්‍රාවල් – www.cnn.com

ඊට දින කිහිපයකට පසු නැවතත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ට්විටර් සමාගමේ ප්‍රධානියා ලෙස පත් කිරීමට තරම් සුදුසු අයෙක් සිටින බවක් පෙනෙන්නට නැති බව යි.

“ප්‍රධාන විධායක නිලධාරියෙක් සොයාගැනීම ගැටලුවක් නොවේ, නමුත් ට්විටර් ජීවත් කරවිය හැකි ප්‍රධාන විධායක නිලධාරියෙක් සොයා ගැනීම ගැටලුවකි.” ඔහු එම පණිවිඩයේ සඳහන් කළේ ය.

මස්ක් ට්විටර් සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරියෙක් තෝරා ගෙන ඇති බව හැඟවෙන ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් ඔහු “ට්විටර් සමාගම සැබැවින්ම ජීවත් කළ හැකි කිසිදු අයෙක් නැති සෙයකි. එබැවින් අනුප්‍රාප්තිකයෙක් නැත.” යනුවෙන් පැවැසුවේය.

සදාචාරාත්මක ගැටලුවක්?

ට්විටර් හරහා සිදු කරන මත විමසුම් විධිමත් හෝ නීතිමය පදනමක් සහිත ඒවා නොවේ. ව්‍යාජ ට්විටර් ගිණුම් භාවිත කරමින් පවා එවැනි මත විමසුම්වලට සහභාගී විය හැකි ය. එබැවින් එම මත විමසුමේ ප්‍රතිපලය අනුව යමින් මස්ක් පොරොන්දු වූ පරිදි ඉල්ලා අස් නොවීම ගැටලුවක් වන්නේ සදාචාරාත්මක වශයෙන් සැලකීමේ දී පමණක් බව බොහෝ දෙනෙක් අදහස් දක්වා ඇත.

ට්විටර් සමාගමට අදාළව මස්ක් කටයුතු කරන ආකාරය හේතුවෙන් ඔහුට අයත් අනිකුත් සමාගම්වල ප්‍රතිරූපය බිඳ වැටෙමින් තිබේ – www.telegraph.com

ට්විටර් යෙදවුමට මස්ක්ගේ පරිපාලනය යටතේ සිදු වූ වෙනස්කම් ගණනාවක් පිළිබඳ ව බොහෝ පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වන පසුබිමක මස්ක් මෙම මත විමසුම සිදු කළේය.

ආන්දෝලනාත්මක වෙනස්කම්

උදාහරණයක් ලෙස ෆේස්බුක් වැනි වෙනත් සමාජ මාධ්‍ය ජාලයන්ට අදාළ සබැඳි (Links) ට්විටර්හි පළ කිරීමට මීට පෙර හැකියාව තිබිණි. මෙම මස මුල් භාගයේ ට්විටර් සමාගම හඳුන්වා දුන් සමාජ මාධ්‍ය වේදිකා ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රතිපත්තියත් සමඟ පරිශීලකයන්ට එවැනි සබැඳි පළ කිරීමට හැකියාවක් නැත. එය බොහෝ දෙනකුගේ විවේචනයට ලක්ව ඇත. මස්ක්ගේ විරුද්ධවාදීන් පමණක් නොව ඔහුගේ දීර්ඝකාලීන මිතුරන් පවා ඊට විරුද්ධ ව අදහස් දක්වා තිබේ.

අත්හිටවූ ගිණුම් කිහිපයක් යථා තත්ත්වයට

යම්කිසි පුද්ගලයකුගේ පුද්ගලික තොරතුරු ඔවුන්ගේ අවසරයකින් තොර ව ට්විටර් හි පළ කිරීම තහනම් කිරීමට ගෙන ඇති තීරණය ද විශාල වශයෙන් කතාබහට ලක් වේ. එම තීරණය අනුව යම්කිසි පුද්ගලයෙක් සිටින ස්ථානය, ඔවුන්ගේ ලිපිනය සහ වෙනත් තොරතුරු ට්විටර් හරහා හුවමාරු කිරීම තහනම් කර ඇත. කෙසේ වෙතත් මෙම ප්‍රතිපත්තිය යටතේ හුවමාරු කළ හැකි සහ නොහැකි තොරතුරු පැහැදිලි ව වර්ගීකරණය කර නැතැයි බොහෝ පරිශීලකයෝ චෝදනා කරති.

පසුගියදා අත්හිටවූ මාධ්‍යවේදීන් ගණනාවකගේ ගිණුම් අතරින් කිහිපයක් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත – www.nytimes.com

පුද්ගලික තොරතුරු හුවමාරු කිරීම සම්බන්ධයෙන් හඳුන්වා දුන් නව ප්‍රතිපත්තිය, ට්විටර් සමාගම එක්සත් ජනපද මාධ්‍යවේදීන් ගණනාවකගේ ට්විටර් ගිණුම් අත්හිටුවීමට පසුගිය දා ගත් තීරණය සාධාරණීකරණය කිරීමට ගෙන ආ එකක් බව සමහරුන්ගේ මතය යි. ඒ ආකාරයෙන් අත්හිටවූ, මස්ක් සහ ඔහුට අයත් සමාගම් පිළිබඳ ව විවේචනාත්මක අදහස් පළ කළ මාධ්‍යවේදීන් සහ වෙනත් විචාරකයන් ගණනාවකගේ ට්විටර් ගිණුම් අතරින් කිහිපයක් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත.

මස්ක් ගේ අනිකුත් ව්‍යාපාර

ඩොලර් බිලියන 44ක් වැනි විශාල මුදලක් ගෙවා ට්විටර් සමාගම මිල දී ගැනීමත් සමඟ මස්ක්ට අයත් අනිකුත් ව්‍යාපාරවලට යම් යම් බලපෑම් එල්ල වී ඇත. ඔහුට අයත් “Tesla” සහ “SpaceX” සමාගම්වලට එහි වැඩි ම බලපෑමක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

ට්විටර් මිල දී ගැනීමට අවශ්‍ය වූ මුදල් සපයා ගැනීමට මස්ක් ටෙස්ලා සමාගමේ කොටස් සැලකිය යුතු ප්‍රමාණයක් අලෙවි කිරීම සහ ට්විටර් සමාගමේ වැඩ කටයුතු සඳහා ඔහුට අයත් අනිකුත් සමාගම්වල සේවය කරන විධායක නිලධාරීන්, ඉංජිනේරුවන් සහ නීතිඥයන් ගණනාවක් අනුයුක්ත කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි කියැවේ.

මස්ක්ට අයත් ව්‍යාපාර – www.businessinsider.com

ට්විටර් සමාගමට අදාළ ව මස්ක් කටයුතු කරන ආකාරය හේතුවෙන් ඔහුට අයත් අනිකුත් සමාගම්වල ප්‍රතිරූපය විශාල වශයෙන් බිඳ වැටෙමින් තිබේ. පසුගිය සති කිහිපය තුළ, අවස්ථා කිහිපයක දී ටෙස්ලා සමාගමේ කොටස්වල වටිනාකම 60%ක පමණ අගයකින් පහළ වැටී තිබීම ද සැලකිය යුතු කරුණකි.

ප්‍රධාන විධායක නිලධාරියෙක් සොයා ගන්න මස්ක්ට සුබ පැතුම්

“Wedbush Securities” නම් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩෑන් අයිව්ස් සමාජ මාධ්‍ය ජාල සටහනක් තබමින් පසුගිය දා සඳහන් කළේ නත්තල වෙනුවෙන් ඔහු සිදු කරන ප්‍රර්ථනා අතර දෙවැනි ඉල්ලීම ට්විටර් සමාගමට සුදුසු ප්‍රධාන විධායක නිලධාරියෙක් සොයාගැනීමට මස්ක්ට හැකියාව ලැබේවා යන්න බව යි.

ටෙස්ලා සමාගමේ කොටස්වල වටිනාකම පහළ ගොස් ඇති අයුරු – www.INDmoney.com

“ට්විටර් සමග බැඳුණු අවුල් ජාලයේ සියලු පැතිකඩ ටෙස්ලා සමාගමට විශාල හිසරදයක් බවට පත්ව ඇත. මෙම හිසරදය අවසන් කිරීමට නම් මස්ක්, ට්විටර් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කිරීම වෙනුවට වෙනත් සුදුසු අයෙක් ඒ සඳහා නම් කළ යුතු බව මම විශ්වාස කරමි.” යැයි ඔහු සඳහන් කළේ ය.

මෝඩයෙක් සොයන මස්ක්

ටෙස්ලා සමාගමේ වැඩි ම සිල්ලර කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන Leo Koguan පසුගිය 14 දින නිකුත් කළ ට්විටර් පණිවිඩයක “මස්ක් ට්විටර් අත්හැර දමා ඇති අතර මේ වන විට ටෙස්ලා සමාගමට “වැඩ කරන” ප්‍රධාන විධායක නිලධාරියෙක් නැත. ඊට දීර්ඝකාලීන ප්‍රධාන විධායක නිලධාරියෙක් අවශ්‍යව ඇත.” යනුවෙන් සඳහන් විය.

ප්‍රධාන විධායක නිලධාරියෙක් සොයන මස්ක් – www.twitter.com

පසුගිය සතියේ ට්විටර් පණිවිඩයක් නිකුත් කළ මස්ක් පැවසුවේ ටෙස්ලා සමාගමේ කොටස් හිමිකරුවන්ට ට්විටර් සමාගම හරහා දිර්ඝකාලීන වාසි ලැබෙනු ඇති බව යි. ට්විටර් සමාගමට ප්‍රධාන විධායක නිලධාරියෙක් බඳවා ගැනීම පිළිබඳ ව ඔහු නිකුත් කළ තවත් ට්විටර් පණිවිඩයක “ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වීමට තරම් මෝඩ අයෙක් සොයාගත් වහා මා එම තනතුරින් ඉල්ලා අස් වනු ඇත.” යනුවෙන් සඳහන් විය. 

කවරයේ ඡායාරූපය - මත විමසුමේ ප්‍රතිපල අනුව තමන් ක්‍රියා කරන බව මස්ක් පැවැසුවත් මේ වන තෙක් ඔහු ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඉල්ලා අස් වී නැත - www.salon.com
මූලාශ්‍ර :
www.cnbc.com
www.cnn.com
www.bbc.com
www.theguardian.com

Related Articles