Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හුරුපුරුදු ෆේස්බුක් ගැන නුපුරුදු කරුණු කිහිපයක්

එක්සත් ජනපදයේ මෙටා සමාගමට අයත් සමාජ ජාල යෙදවුම් අතරින් එකක් වන ෆේස්බුක් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක් එක්ව 2004 දී නිර්මාණය කළ යෙදවුමකි. එහි සාමාජිකත්වය ආරම්භයේ දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන්ට පමණක් සීමා වී තිබූ නමුත්, 2006 පටන් ලොව පුරා වයස අවුරුදු 13න් ඉහළ ඕනෑම අයෙකුට ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබිණි.

මේ වන විට පරිශීලකයන් බිලියන 2.93කට වැඩි පිරිසක් සහිත ෆේස්බුක් යෙදවුම 2010 දී වැඩියෙන් ම බාගත කළ ජංගම දුරකථන යෙදවුම බවට ද පත් විය. 2022 දී එය ලොව ජනප්‍රියත ම යෙදවුම් අතරට එක් වූයේ ගූගල්, යූ ටියුබ් සහ තවත් යෙදවුම් ගණනාවක් සමඟ කරට කර සටනක යෙදෙමිනි.

ශ්‍රී ලාංකිකයන් අතර ද අතිශයින් ජනප්‍රිය යෙදවුමක් වන ෆේස්බුක් පිළිබඳ ව තරමක් අප්‍රසිද්ධ කරුණු කිහිපයක් මේ ලිපියෙන් සොයා බලමු.

ෆේස්බුක් මූලස්ථානයේ පිවිසුම – www.techxplore.com

“ෆේස්මෑෂ්”

ෆේස්බුක් නිර්මාණය කිරීමට පෙර සකර්බර්ග් “ෆේස්මෑෂ්” නම් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සැලසුම් කළේ ය. එම වෙබ් අඩවිය පරිශීලනය කිරීමට සීමිත පිරිසකට අවස්ථාව ලබා දීම ඔහුගේ මූලික සැලසුම විය. වඩාත් සරාගී පුද්ගලයන් තෝරා ගැනීමට එම වෙබ් අඩවිය යොදා ගැනීමට නියමිත ව තිබිණි.

ඒ වන විට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ඔහු එම වෙබ් අඩවිය නිර්මාණය කිරීමට අදාළ ව්‍යාපෘති යෝජනාවක් විශ්වවිද්‍යාලයේ අදාළ අංශවලට යොමු කළත් ඒ සඳහා අනුමැතිය නොලැබිණි. ඔහු එම වෙබ් අඩවිය නිර්මාණය කළහොත් ඔහු විශ්වවිද්‍යාලයෙන් නෙරපීමට පවා විශ්වවිද්‍යාල බලධාරීන් තීරණය කර තිබූ බව කියැවේ.

දෙවැනි සැලසුම “ෆේස්බුක්”

පළමු සැලසුම අසාර්ථක වූ බැවින් “ෆේස්බුක්” නමින් මාර්ගගත සිසු නාමාවලියක් සකස් කිරීම සකර්බර්ග් ගේ දෙවැනි සැලසුම විය. එම නාමාවලිය භාවිත කර විශ්වවිද්‍යාලයේ සිසුන්ට එකිනෙකා හඳුනා ගැනීමට, සහ ඔවුන්ගේ මිතුරන්ගේ මිතුරන් හඳුනා ගැනීමට සහ සමාජ ජාලයක් නිර්මාණය කර ගැනීමට හැකි විය.

2004 දී නිර්මාණය වූ ෆේස්බුක් යෙදවුම ආරම්භයේ දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන්ට පමණක් සීමා වුවත් 2006 පටන් වයස අවුරුදු 13න් ඉහළ ඕනෑම අයකුට එය භාවිත කිරීමට අවස්ථාව හිමි විය.

මාර්ක් සකර්බර්ග් – www.cnbc.com

නීතිමය ගැටලු

ෆේස්බුක් නිර්මාණය කර ඉතා කෙටි කාලයක දී සකර්බර්ග්ට නීතිමය ගැටලු කිහිපයකට මුහුණ පෑමට සිදු විය. ඔහුගේ මිතුරන් වූ දිව්‍යා නරේන්ද්‍ර, කැමරන් වින්ක්ලෙවෝස් සහ ටයිලර් වින්ක්ලෙවෝස්, සකර්බර්ග් ඔවුන්ගේ ව්‍යාපෘතියක් සොරකම් කර ෆේස්බුක් නිර්මාණය කළ බව චෝදනා කරමින් ඔහුට විරුද්ධ ව නීතිමය පියවර ගත්හ.

වසර හතරකට වැඩි කාලයක් තිස්සේ ඊට අදාළ නඩු විභාගය පැවති අතර අවසානයේ නරේන්ද්‍ර සහ වින්ක්ලෙවෝස් සොහොයුරන්ට අමෙරිකානු ඩොලර් මිලියන 65ක වන්දියක් ගෙවීමට සකර්බර්ග් එකඟ විය. ඇති කර ගත් එකඟතාව අනුව ඔවුන් තිදෙනාට ෆේස්බුක් සමාගමේ කොටස් හිමිකාරිත්වය ලබා දීමටත් ඔහුට සිදු විය.

ෆේස්බුක් ජනප්‍රියතම යෙදවුම් අතර දෙවැනි ස්ථානයේ

2022 වන විට වඩාත් ජනප්‍රිය යෙදවුම් අතර තෙවැනි ස්ථානය ෆේස්බුක් යෙදවුමට හිමි වී තිබේ. එය දෙවැනි වන්නේ ගූගල් සහ යූ ටියුබ් යෙදවුම්වලට පමණි. ෆේස්බුක් හි ආරම්භය සිදු වූ එක්සත් ජනපදයේ ජනගහනයෙන් (ෆේස්බුක් භාවිතයට අදාළ වයස සම්පූර්ණ වූ) 71%ක් එම යෙදවුම භාවිත කරන බව හෙළි වී තිබේ. පිරිමි පුද්ගලයන්ට (63%) වඩා කාන්තාවන් (75%) ෆේස්බුක් පරිශීලනය කරන බව ද මෑතකාලීන සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

2022 වන විට වඩාත් ජනප්‍රිය යෙදවුම් අතර තෙවැනි ස්ථානය ෆේස්බුක් යෙදවුමට හිමි වී තිබේ – www.oberlo.com

වැඩිහිටි පරම්පරාව අතර ජනප්‍රිය වන ෆේස්බුක්

බොහෝ රටවල තරුණ ප්‍රජාවට සාපේක්ෂ ව වැඩිහිටි ප්‍රජාව අතර ෆේස්බුක් භාවිතය ඉහළ මට්ටමක පවතින බව මේ වන හෙළි වී ඇත. 2015 දී 71%ක් වූ ෆේස්බුක් පරිශීලනය කරන තරුණ ප්‍රජාව 2020 වන විට 51% දක්වා 20%ක් වැනි ඉහළ අගයකින් පහළ ගොස් තිබේ. තරුණ පිරිස් අතර ෆේස්බුක් පරිශීලනය අඩු වී ඇති නමුත් වැඩිහිටි ප්‍රජාව අතර ෆේස්බුක් භාවිතය ඉහළ යමින් තිබෙන බව මෑතකාලීන ව සොයාගෙන ඇත.

වේගයෙන් ව්‍යාප්ත වන රටවල්

නව ෆේස්බුක් ගිණුම් නිර්මාණය කිරීම ඉහළ අගයක් ගන්නා රටවල් ලෙස ඉන්දුනීසියාව, ඉන්දියාව සහ පිලිපීනය හඳුනා ගෙන ඇත. අධ්‍යයනයකට අනුව ඉන්දියාවේ භාවිත වන ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව මිලියන 260ක් වේ. එක්සත් ජනපදයේ මිලියන 180ක්, ඉන්දුනීසියාවේ මිලියන 130ක්, බ්‍රසීලයේ මිලියන 120ක්, මෙක්සිකෝවේ මිලියන 85ක්, පිලිපීනයේ මිලියන 70ක්, වියට්නාමයේ මිලියන 61ක්, තායිලන්තයේ මිලියන 47ක් සහ ඊජිප්තුවේ මිලියන 38ක් ආදී වශයෙන් ෆේස්බුක් ගිණුම් ක්‍රියාත්මක වේ.

අඩුම ෆේස්බුක් පරිශීලනය

ෆේස්බුක් පරිශීලකයන්ගෙන් බහුතරයක් එක්සත් ජනපදය සහ කැනඩාව හැර වෙනත් කලාපවල ජීවත් වන පුද්ගලයන් බව හඳුනාගෙන තිබේ. 2017 වසරේ තෙවැනි කාර්තුවේ සිට 2019 වසරේ තෙවැනි කාර්තුව දක්වා අදාළ දත්ත පදනම් කරගනිමින් සිදු කළ අධ්‍යයනයකට අනුව එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ෆේස්බුක් පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 184-189, යුරෝපා රටවල මිලියන 274-288, ආසියා පැසිෆික් කලාපයට අයත් රටවල මිලියන 476-627, සහ අනිකුත් කලාපවලට අයත් රටවල මිලියන 433-519 වශයෙන් විය.

ඒ ඒ කලාපවල ෆේස්බුක් පරිශීලකයන් පිළිබඳ දත්ත – www.searchenginejournal.com

ග්‍රාමීය ප්‍රදේශවල ජනප්‍රිය ෆේස්බුක්

එක්සත් ජනපදයේ ෆේස්බුක් පරිශීලනය කරන සෑම පුද්ගලයන් සිව් දෙනෙක් අතරින් තිදෙනෙක් නගරබද ප්‍රදේශවල ජීවත් වන බව හඳුනාගෙන ඇති නමුත්, ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනතාව අතර ෆේස්බුක් භාවිතය පහළ මට්ටමක පවතින බව ඉන් අදහස් නොවේ. එක්සත් ජනපදයේ තරමක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයන්ගෙන් 66%ක් ෆේස්බුක් පරිශීලනය කරති. යූ ටියුබ් සහ පින්ටරෙස්ට් වැනි යෙදවුම් භාවිතය ඊට ඉහළ මට්ටමක පවතී.

භාෂා රැසක්

මේ වන විට නිර්මාණය කර ඇති ෆේස්බුක් ගිණුම් අතරින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවලින් නිර්මාණය කර තිබේ. ඊට හේතුව ෆේස්බුක් යෙදවුම භාවිතයේ දී භාෂා 100කට වැඩි ප්‍රමාණයක් තෝරා ගැනීමට හැකි වීම යි. මේ හේතුවෙන් ඉංග්‍රීසි භාෂාව භාවිතය පහළ මට්ටමක පවතින බොහෝ රටවල ඒවාට ආවේණික භාෂාවන්ගෙන් ෆේස්බුක් යෙදවුම සකස් කිරීමට පරිශීලකයෝ කටයුතු කරති.

පරිශීලකයන්ගේ අරමුණු

පරිශීලකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් (එක්සත් ජනපදය මූලික කරගෙන සිදු කළ සමීක්ෂණවලට අනුව) එනම් 88%ක්, ෆේස්බුක් භාවිත කරන්නේ සිය පවුලේ ඥාතීන් සහ මිතුරන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා ය. 33%ක් විනෝදය සඳහාත්, 23%ක් ප්‍රවෘත්ති දැනගැනීම සඳහාත්, 17%ක් යම් යම් සන්නාම සහ සමාගම් හඹා යාම (follow) සඳහාත්, 11%ක් සිය වෘත්තීය සම්බන්ධතා පුළුල් කරගැනීම සඳහාත්, 6%ක් වෙනත් අරමුණු සඳහාත් ෆේස්බුක් භාවිත කරති.

ෆේස්බුක් පරිශීලකයන්ගේ අරමුණු පිළිබඳ දත්ත – www.searchenginejournal.com

ක්‍රියාකාරී වේලාවන්

ෆේස්බුක් පරිශීලකයන්ගෙන් 98%ක් ජංගම දුරකථන භාවිතයෙන් ෆේස්බුක් යෙදවුමට පිවිසෙන බව සොයාගෙන ඇත. ජංගම දුරකථනය භාවිතයෙන් ෆේස්බුක් පරිශීලනය කරන කලාප අතර අප්‍රිකානු රටවල් ඉහළින් ම සිටී. පරිශීලකයන් වැඩි වශයෙන් ෆේස්බුක් යෙදවුමට පිවිසෙන්නේ උදෑසන 8 සහ රාත්‍රී 10 අතර බව ද හෙළි වී තිබේ.

ගත කරන කාලය

පරිශීලකයන්ගෙන් 3/4කට වැඩි ප්‍රමාණයක් දිනපතා ෆේස්බුක් යෙදවුමට පිවිසෙති. සාමාන්‍යයෙන් පරිශීලකයෙක් දිනකට මිනිත්තු 58ක් ෆේස්බුක් භාවිත කරන අතර, එක් පළ කිරීමක් පිළිබඳ ව ඔවුන්ගේ අවධානය යොමු වන්නේ තත්පර 1.7ක් පමණක් බව සොයා ගෙන තිබේ. මෙම කාල සීමාව ඇතුළත පරිශීලකයන් ආකර්ෂණය වන ආකාරයේ පළකිරීම් සකස් කළ යුතු වේ.

අලෙවිකරුවන් අතර ජනප්‍රිය ෆේස්බුක්

අලෙවිකරණයේ වෘත්තිකයන් අතර වඩාත් ජනප්‍රිය සමාජ ජාලයක් ලෙස ෆේස්බුක් හඳුනාගෙන ඇත. අලෙවිකරුවන් අතරින් 86.3%ක් සිය සන්නාම ප්‍රවර්ධනය සඳහා ෆේස්බුක් යොදා ගනී. ෆේස්බුක් පරිශීලකයන්ගෙන් 39%ක් ක්‍රියාකාරී ව, සන්නාම, විවිධ තරගාවලි, සහ වට්ටම් වැනි දෑ පිළිබඳ ව තොරතුරු සොයන බව කියැවේ.

අලෙවිකරුවන් අතරින් 86.3%ක් සිය සන්නාම ප්‍රවර්ධනය සඳහා ෆේස්බුක් යොදා ගනී/ www.sines.com

සියලු ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක්

ගිණුම නිර්මාණය කළ දින පටන් සිදු කළ සියලු ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට පරිශීලකයන්ට හැකියාව ඇත. ෆේස්බුක් යෙදවුමේ සැකසුම් (settings) අංශයට ගොස්, එහි ඇති ෆේස්බුක් තොරතුරු (Facebook Information) ක්ලික් කර අදාළ වාර්තාව බාගත කළ හැක. එහි පරිශීලකයන් හුවමාරු කළ පළකිරීම් සහ මිතුරන් සමඟ පැවැත්වූ සංවාද ඇතුළු සියලු තොරතුරු එහි අන්තර්ගත වේ.

කවරයේ ඡායාරූපය - පරිශීලකයන් බිලියන 2.93කට වැඩි පිරිසක් සහිත ෆේස්බුක් යෙදවුම 2010 දී වැඩියෙන්ම බාගත කළ ජංගම දුරකථන යෙදවුම බවට පත් විය - www.searchenginejournal.com

මූලාශ්‍ර :
www.searchenginejournal.com
www.scrolldroll.com
www.worldstream.com

Related Articles