ෆේස්බුක් කියන්නේ දැන් හැම කෙනෙක්ටම නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා. වෙන වැඩකට කියලා හිතාගෙන දුරකතනය අතට ගත්තත් අවසානයේ කරන්නේ facebook එක open කරලා එකේ තියන දේවල්වල කිලෝමීටර් ගණනාවක් scroll කරලා නැවතත් දුරකතනය සාක්කුවට ඔබා ගන්නා එකයි. මේ වකවානුව තුළ හඳුන්වා දෙන ලද විශේෂාංග සමඟ ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේද පරිශීලකයන් වැඩි කාලයක් ඔවුන්ගේ සේවාව භාවිත කරමින් රඳවා ගැනීමයි. ව්‍යාපාරික වශයෙන් ඔවුන්ට මෙය වාසිදායක කාරණයක් වුවත් සමාජයීය සහ මනෝ විද්‍යාත්මක වශයෙන් ගත් කල බොහෝ දෙනෙක් මෙය නිසියාකාරව භාවිතා නොකිරීමෙන් තමන්ගේ ජීවිත අවුල් වියවුල් කරගෙන තිබෙනවා. අපගේ අනෙකුත් ලිපි වලද කමෙන්ට් හරහා බොහෝ දෙනෙක් විමසා තිබුණේ ෆේස්බුක් අකවුන්ට් එක ඉවත් කර ගන්නේ කොහොමදැයි ඉදිරිපත් කරන ලෙසයි.
ෆේස්බුක් යකා කියන තරම් කළු ද?
‘සමාජ ජාල වෙබ් අඩවිය’ කියන නමේම අඩංගුවී තිබෙන්නේ සමාජය ජාලගත කිරීම හෙවත් මිනිසුන් අතර අන්තර් සබඳතාව වඩාත් වැඩි වර්ධනය කරනු ලබන සේවාවක් යන්නයි. පාසල් අවධියෙන්, කැම්පස් එකෙන් පසු වෙන් වුණු මිතුරන් සමඟ පසුකාලීනව ද සබඳතා පැවැත්වීමට, ඔබේ පවුලේ අය දුර බැහැර සිටිනවා නම් ඔවුන් සමඟ එදිනෙදා ජීවිතය බෙදා ගන්නට සහ අලුතින් මිතුරන් හඳුනාගන්නට ද ලොවට මේ හරහා හැකියාව ලැබෙනවා. එනමුත් දැනට ඇතිව ඇති ගැටළුව නම්; භාවිත පරාසය ඉක්මවීම නිසා හඳුනාගන්නා අලුත් මිතුරන් නිසා රැවටීම්, මුලා වීම් ආදියෙන් ජීවිතයට හානි ඇතිවීම, සිටින මිතුරන්ගේ ප්‍රගතීන් දැක කනස්සලුතා ඇති වීමෙන් ජීවිත එපාවීම සහ අයුතු දේවල් සඳහා මෙය යොදා ගැනීම හරහා නව සමාජ ගැටළු නිර්මාණය වීමයි.
එංගලන්තයේ වින්චෙස්ටර් සරසවිය මගින් කළ පර්යේෂණයක් හරහා තහවුරු වී ඇත්තේ ෆේස්බුක් සඳහා ඇබ්බැහි වූවන් සති 4 ක කාලයක් තුළ එය භාවිතා නොකර සිටීමෙන් අනතුරුව ලෝකය සමඟ ජීවත්වීම අහිමි වූ බව පවසමින් තමන්ගේ දෙමාපියන් සමඟ සහ ඥාතීන් සමග වඩාත් කාලය ගත කිරීම සඳහා පෙළඹුණු බවයි. “මට ලොකු තනිකමක් දැණුනා. හරියට මුළු ලෝකයම කපා හැරියා වගේ. ෆෝන් එක අතට ගනිද්දිම ෆේස්බුක් අැප් එක ඕපන් කරන්න හිතෙන්නේ හරියට නිකම් ඇඟිලි ටික ප්‍රෝග්‍රෑම් කරලා වගේ ඉබේටමයි.” එයට සහභාගීවූ එක් අයෙක් පවසනවා.
පැන්සලක් වුණත් අකුරු ලියනවා වගේ හොඳ දේකට වගේම විස පොවා තවකෙකුට ඇන මැරීමේ හැකියාවෙන් වුවත් යුක්තයි. කුඩා දරුවන් විද්‍යාව ඉගෙනගත්තාම එයින් රෝගියෙක් සුව කිරීම වගේම න්‍යෂ්ඨික බෝම්බයක් සාදා මුළු ලොවම වුවත් වනසා දමන්නට එහි හැකියාව තිබෙනවා. නමුත් එය එලෙසැයි කියා සම්පූර්ණයෙන්ම එය භාවිත නොකර කිරීම හෝ තහනම් කිරීම හොඳ තීරණයක් නොවෙයි. සිදු කළ යුත්තේ යහ භාවිතය සඳහා ආකල්ප සංවර්ධනය කරලීමයි.
සත්‍ය ජීවිතය සහ අන්තර්ජාලය
කෙනෙක් තමන්ගේ මවට, නැගණියට තවත් කෙනෙක්ගෙන් යමක් වෙනවාට අකමැතියි වගේම අන් අය ගැනත් ඒ සමානව සිතමින් සමාජ ජාල තුළ මුණ ගැහෙන අයටත් සලකනවා නම් අපිට නිරතුරුව අසන්නට ලැබෙන ශෝකාන්ත පුවත් ප්‍රමාණය අවම වනු සිකුරුයි. අන්තර්ජාලය සහ සත්‍ය ජීවිතය යන දෙකෙහිම සිටින්නේ මිනිසුන් වූවත් එහි මිනිසුන්ගෙන් පිළිබිඹු වන පැතිකඩ අන්තර්ජාලය තුළ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වගේම මෙහි ගොඩනැගෙන පරිසරයත් ඉතා වෙනස්.
සමාජය තුළ කෙනෙක් තවකෙකුට කතා කරද්දී එය වටපිටාවේ සිටින ඕනෑම කෙනෙක්ට පෙනෙන නිසා කිසිවෙකුත් එක්වරම කතාබහට එනවා අඩුයි. නමුත් අන්තර්ජාලයේදී සිදුවන කතාබහක් හරියට තනිකොට කාමරයක දමා කරන කතාවකට සමානයි. ඒ වගේම තමයි, සමාජයේදී කිසියම් කරදරයක් සිදු වෙනවා නම් ඉන් ගැලැවෙන්නට බොහෝ මහන්සි විය යුතු වූවත් අන්තර්ජාල හිංසනයන්ගෙන් වළකින්නට එක් බොත්තමක් ක්ලික් කිරීමෙන් (බ්ලොක් කිරීම් ආදිය) පමණක්ම සිදු කරගන්න පුළුවන්. ඉතා සුළු පමාවීකින් තමන්ගේ අනවශ්‍ය ඡායාරූපයක් අන්සතු වුවහොත් ක්ෂණයකින් එය සියළු දෙනාගේම අතට පත් කරන අන්තර්ජාලය වගේම තමයි කටකතා පතුරුවන සත්‍ය සමාජයත්. ඉතින් මේ දෙකේම වාසි අවාසි වගේම සමානතානුත් තිබෙනවා. හැබැයි බොහෝ දෙනෙකුගේ සත්‍ය ස්වභාවය නම් අන්තර්ජාල මුහුණත හරහා පිටතට පැමිණෙනවා. බාහිර සමාජයට සිල් රෙදි පොරවා ගෙන සිටිමින් අන්තර්ජාල ෆේක් ගිණුම් හරහා අනුන්ගේ සිල් බිඳින අය ඕනෑ තරම් සිටිය හැකි නමුත් මේ අයගෙන් බේරිලා නිදහසේ ෆේස්බුක් පාවිච්චි කරන්නට හැකි ආකාරයේ පහසුකම් ඕනෑ තරම් තිබෙන නිසා සමාජයට බයෙන් දොරගුළු ලාගෙන අඳුරු කුටියේ තනිවම සිරවී සිටිය යුතු නැහැ.
ආයෙ එනවා නම් Deactivate කරන්න
අපේ රටේ තිබෙන ස්ටයිල් එකක් තමයි ළඟ ළඟ විභාගයක් එනවා නම් ඒකට පෙනී ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ ගිණුම deactivate කරලා දානවා. ඒක තමන්ට තමන්වම පාලනය කරගන්න අවශ්‍ය නිසා කරන දෙයක් ද යාළුවොත් කරන නිසා සහ තමන් වැඩිපුර පාඩම් කරනවා කියලා පෙන්නන්න ස්ටයිල් එකට කරනවා වෙන්නත් පුළුවන්. ඒ කොහොම නමුත්, ඔබේ ගිණුමේ දත්ත නොමකා ඔබට කැමති කාලයක් එය ෆේස්බුක් එකෙන් සඟවා තබන්නට මේ ඩිඇක්ටිවේට් කිරීම හරහා සිදු කරගන්න පුළුවන්. මෙය සිදුකිරීමෙන් පසු කිසිවෙකුට ඔබේ ප්‍රොෆයිල් එක සර්ච් කරන්නට, මැසේජ් එවන්නට හෝ ඔබ මීට පෙර පළකරපු දේවල් බලන්නට හැකියාව ලැබෙන්නේ නැහැ.
මෙය කිරීම සඳහා මේ ලින්ක් එකට පිවිසෙන්න. එහෙමත් නැත්නම් ෆේස්බුක් එකට ගිහින්,
- දකුණු පස ඉහළ කෙළවරේ තිබෙන පහතට ඊතලයක් වැනි අයිකනය ක්ලික් කරලා ඉන් Settings වෙත පිවිසෙන්න.
- එවිට ලැබෙන තිරයේ වම්පස ඇති General ටැබ් එක ක්ලික් කරන්න. එවිට දකුණු පසින් ඔබේ නම, පරිශීලක නාමය, ඊමේල් ආදිය අඩංගු විස්තර ලැබෙනවා.
- එහි අවසානයේ Manage account යන්න ඉදිරියෙන් ඇති Edit අයිකනය ක්ලික් කරන්න. දැන් එම කොටස පහතට දිග හැරේවි.
- මෙහි අවසානයේ ම ඔබට Deactivate your account ලෙස ලින්ක් එකක් දකින්නට ලැබේවි. එය මත ක්ලික් කරන්න.
- දැන් එය විමසූ විට ඔබේ මුරපදය ලබා දෙන්න.
- ඉන්පසු ලැබෙන තිරයෙන් ඔබ ඩිඇක්ටිවේට් කරන්නේ මන්දැයි ඔවුන් විමසනවා. එහි තිබෙන පළමු විකල්පය වන “This is temporary. I’ll be back.” යන්න තේරූවිට ඔබට අවශ්‍ය දින ගණනට පසු ස්වයංක්‍රීයවම නැවත ගිණුම සක්‍රීය කරවන්න පුළුවන්. හේතු දක්වන්න අකමැති නම් අවසාන විකල්පය වන “Other (please explain further):” තෝරන්න.
- Deactivate බොත්තම ක්ලික් කරන්න.
- එවිට නැවතත් ඔබට විශ්වාසදැයි විමසන අතර එය තහවුරු කිරීමෙන් ගිණුම තාවකාලිකව අක්‍රීය බවට පත්වෙනවා.
ඔබ ස්වයංක්‍රීය සක්‍රීය වීම තේරුවේ නැත්නම්, ඔබ කවදා හෝ නැවතත් සාමාන්‍ය ආකාරයටම පරිශීලක නාමය, මුරපදය යොදා ෆේස්බුක් ලොග් වෙනතුරුම ගිණුම අක්‍රීයව පවතින අතර ඔබ පිවිසීමත් සමඟම එය සක්‍රීය වෙනවා.
සම්පූර්ණයෙන් ම ඉවත් කරලන්න
ගිණුම ෆේස්බුක් වෙතින් ස්ථිර වශයෙන්ම ඉවත් කරලීමෙන් ඔබ උඩුගත කරපු ඡායාරූප, වීඩියෝ, ශෙයා කරපු දේවල් සහ දාපු ස්ටේටස් සියල්ලම සහමුලින්ම මැකී යන අතර ඒවා නැවත ලබා ගැනීමට හෝ ප්‍රතිස්ථාපනය කරලීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට ඔබට ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි, ෆේස්බුක් කියන්නේ ඈත්වෙලා ඉන්නට තරම් භයානක තැනක් නොවන ආකාරයට වැඩ කටයුතු සලසා ගැනීම. අනෙක, ඔබ මෙතෙක් කල් උඩුගත කරපු දේවල් බාගත කරගැනීම.
දෙවැන්න සිදු කරන්නට නම්; ඉහත ආකාරයටම General ටැබ් එකට පිවිසෙන්න. එහි ඉතාම පහළින් “Download a copy of your Facebook data.” ලෙස ඇති ලින්ක් එක ක්ලික් කරන්න. එවිට ඔබ මෙතෙක් කල් ෆේස්බුක් වෙත දැමූ සියළු දේ ගොනුවන්නට පටන් ගන්නවා. ඔබේ දත්තවල ප්‍රමාණය අනුව ඒ සඳහා ගතවන කාලය විනාඩි කිහිපයක සිට දවසක් පමණ වන තෙක් ගත වන්නට පුළුවන්. වැඩේ අවසන් වෙලා බාගත කිරීමට සූදානම් වූවිට නෝටිෆිකේෂන් එකක් හා ඊමේල් එකක් එනවා. එය හරහා ඔබට ඔබේ සියලු දත්ත බාගත කරගන්න පුළුවන් වන නිසා ෆේස්බුක් විතරක් දාපු ෆොටෝස්, වීඩියෝස් නැවත ලබාගන්නට හැකි වෙනවා.
ඔබ සියළුම දේ මැකී යා යුතු බව තීරණය කළාට පස්සේ https://www.facebook.com/help/delete_account යන ලින්ක් එක වෙත පිවිසෙන්න. එහි තිබෙන “Delete my account” යන බොත්තම ක්ලික් කිරීමෙන් ඔබට සම්පූර්ණයෙන්ම ෆේස්බුක් එකට සමුදෙන්නට පුළුවන්.
කවරයේ ඡායාරූපය: mshcdn.com