Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Stealth තාක්ෂණය ඇමෙරිකාව හිට්ලර්ගෙන් සොරකම් කළ එකක් ද?

ඇමෙරිකාව තවමත් ලෝක බලවතා වෙන්න ඔවුන් සතු දැවැන්ත ගුවන් ශක්තිය ප්‍රධාන ම හේතුවක්. ඒ වගේ ම තාක්ෂණ භාවිතය අතිනුත් ඔවුන් ඉන්නේ ඉදිරියෙන්. සිය යුධ යානා රේඩාර් ඇතුළු පෙර හඳුනාගත හැකි උපාංගවලින් සැඟවිය හැකි stealth තාක්ෂණය ඇමෙරිකානු ගුවන් ශක්තියේ ප්‍රධාන තැනක් ගන්නවා.

ඉතාම මෑතක් වන තුරු stealth තාක්ෂණය තිබුණේ ඇමෙරිකාවට පමණ යි වගේ ම තවමත් එය තහවුරු කර ඇත්තේ ඔවුන් පමණ යි. චීනයේ Stealth සහිත Chengdu J-20 යානය මේ වන විට සේවයට එක්කරගෙන තිබුණත් තවමත් සැබෑ මෙහෙයුමකට දායක වී නැහැ වගේ ම එහි stealth හැකියාව තහවුරු වී නැහැ. Stealth සහිත රුසියාවේ SU-57 යානය නිපදවීම මේ වන විට කල් දමා තිබෙනවා. චීනයේ Shenyang J-31, රුසියාවේ Mikoyan LMFS ඇතුළු තවත් stealth යානා ගණනාවක් දැනට පියාසර කළ හැකි මට්ටමේ තිබුණත් මෙහෙයුම් සඳහා යොදාගන්න තව කල් යාවි.

රුසියාවේ Sukhoi Su-57 නිපදවීම කල් දමා තිබෙනවා (rt.com)

ඇමෙරිකාවේ බල පරාක්‍රමයේ වැදගත් අංගයක් වුණත් මෙය නාට්සි ජර්මනියේ බිහි වූ Horton Ho 229 යානයෙන් වැඩිදියුණු කරන ලද තාක්ෂණයක් බවත්, ඒ නිසා stealth තාක්ෂණයේ උපත හිටලර්ගේ ජර්මනියේ සිදු වූ එකක් බවටත් විවාදයක් තිබෙනවා.

දෙවන ලෝක යුද්ධය සහ රේඩාර් වාසිය පිටුදැකීමට යානය කුඩා කිරීමේ සංකල්පය

දෙවන ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍යය හිට්ලර්ට යටත් නොවීමට ප්‍රධාන හේතුවක් විදිහට රේඩාර් තාක්ෂණය හඳුන්වන්න පුළුවන්. එමඟින් නාට්සි ගුවන් හමුදාව වන Laftwaffeහි බෝම්බ හෙලන යානා පෙර තියා හඳුනාගෙන විනාශ කරන්න හැකි වීමත් සමග බ්‍රිතාන්‍යය යටත් කරගැනීමේ සිහිනය කල් දමන්න හිට්ලර්ට සිදු වුණා.

විශාල, මන්දගාමී ජර්මන් බෝම්බ හෙලන යානා බ්‍රිතාන්‍ය රේඩාර්වලින් පහසුවෙන් හඳුනා ගැනුණා (independent.co.uk)

රේඩාර් තාක්ෂණයේ වාසිය නැති කරන්න හිතපු නාට්සීන් ඉන්පසු උත්සාහ ගත්තේ අතිශය වේගවත්, බෝම්බ දමා ආපසු පැමිණීමට හැකි යානයක් කුඩා යානයක් නිපදවන්න යි. එවිට විශාල බෝම්බ හෙලන යානයක් මෙන් මන්දගාමී ව ගමන් නොකරන නිසා රේඩාර් මඟින් බෝම්බ හෙලන යානා බව කලින් හඳුනාගන්න ඉඩක් නැති වී යනවා.

ඒ අනුව ඔවුන් සිය ගුවන් යානා නිෂ්පාදකයන්ට පිරිවිතරයක් ලබාදෙමින් ප්‍රහාරක යානයක තරමේ බෝම්බ හෙලන යානයකින් පැ. කි. මී. 1000ක වේගයෙන්, කිලෝග්‍රෑම් 1000ක බෝම්බ රැගෙන, කි. මී. 1000ක් ඈත ඉලක්කයකට බෝම්බ හෙලිය හැකි යානයක් ඉල්ලා සිටියා. මේ “1000 ඉලක්කම් තුන ම” තෘප්ත වන නිසා මෙය හැඳින්වුණේ “3×1000” නමින්.

Horton Ho 229 යානය

මේ සියල්ල ම සිදු කළ හැකි කුඩා යානයක් හදන්න හැකි වුණේ එතෙක් පැවති සියලුම නිර්මාණ සංකල්ප උඩු යටිකුරු කරමින් කුරුල්ලෙකුගේ හැඩය වෙනුවට බූමරංගයක හැඩය පාදක කරගත් ගුවන් යානයකින්. Flying wing ලෙස හැඳින්වෙන මේ ක්‍රමයට නිර්මාණය වූ මුල්ම නිර්මාණය වුණේ Horton Ho 229 යානය යි.

Flying wing වර්ගයේ Horton Ho 229 යානයක් (ww2-weapons.com)

මෙහෙයුම්වලට යොදා නොගැනුණු Horton Ho 229 යානය යුද්ධය අවසන් වීමෙන් පසු ව Operation Paperclip යටතේ ඇමෙරිකාවට ගෙන යනු ලැබුවා. මේ හැඩය සහිත ගුවන් යානාවලට රේඩාර්වලට නොපෙනී යන්නත් විශේෂ හැකියාවක් තිබෙනවා බව වටහා ගත් ඔවුන් මුල්කාලීන ඇමෙරිකානු stealth ගුවන් යානා සියල්ල ම Flying wing ක්‍රමයට නිර්මාණය කළා. මේ නිසා ඇමෙරිකානු stealth යානාවල හැඩයට පදනම සැපයූ යානය වුණේ Horton Ho 229 යි.

කොහොම නමුත් flying wing වූ පමණින් එය stealth හැකියාවන් සහිත වෙන්නේ නම් නැහැ. ඒ වෙනුවෙන් සැලකිය යුතු වෙනස්කම් රාශියක් අවශ්‍ය වුණා.

Stealth ක්‍රියාත්මක වෙන හැටි – RCS එක කුඩා කිරීම

Stealth කියන වචනයේ අර්ථය “රහසේ සැඟවී සිටීමේ හැකියාව” වගේ අදහසක්. රේඩාර් මඟින් පෙනෙන රේඩාර් පැතිකඩ (Radar Cross Section හෙවත් RCS එක) තීරණය වන්නේ රේඩියෝ තරංග ප්‍රතිග්‍රහණය වන ප්‍රමාණයෙන් නිසා එසේ පරාවර්තනය වන තරංග අවම කිරීම මඟින් RCS එකත් අවම කරගැනීම තමයි stealth තාක්ෂණයේ මූලික අරමුණක් වෙන්නේ.

Lockheed Martin හි F-22 යානයේ RCS එක වර්ග සෙන්ටිමීටරයක් තරම් (රුපියලේ කාසියක් තරම්) අතිශයින් ම කුඩා යි! (thedrive.com)

මෙය කරන ප්‍රධානතම ක්‍රමය තමයි තරංග පරාවර්තනය වන පෘෂ්ඨවල ආනතිය වෙනස් කරන එක. රේඩාර් සම්ප්‍රේෂකයේ සිට එවන රේඩාර් තරංග ගැටුණා ම ඒ තරංග ප්‍රතිග්‍රාහකය තිබෙන දිශාවට පරාවර්තනය නොවී වෙනත් දිශාවන්ට හරවා යැවීම මෙයින් සිදුවෙනවා. ඝණ අඳුරේ ටෝච් එකක් භාවිත කළා ම ටෝච් එළිය වැදීමෙන් පස්සේ ආලෝක තරංග ආපසු අපේ ඇස වෙත පැමිණීමෙන් අදාළ වස්තුව අපිට දකින්න පුළුවන් වගේ ම සංසිද්ධියක් රේඩාර්වලිනුත් සිදුවෙනවා. ඒ වගේ පෘෂ්ඨ විවිධ පැතිවලට ආනත කරමින් RCS එක අවම කරගන්න පුළුවන්.

තවත් ක්‍රමයක් තමයි රේඩාර් තරංග පරාවර්තනය අඩු කිරීම. කලින් උදාහරණය ම ගත්තොත් මෙය යම් වස්තුවක් තද කළු පාටින් පාට කිරීම වගෙයි. තරංග අවශෝෂණය කළ හැකි, කාබන් සහ යකඩ කුඩු පාදක කරගත් විශේෂ සංයෝග ස්ථරයක් ගුවන් යානයේ මතුපිට ආලේප කිරීම මෙහි දී සිදුවෙනවා. ඒ වගේ ම මතුපිට ගොරෝසු බව වැඩි කිරීමෙනුත් දිලිසීම නිසා සිදුවන පරාවර්තනය අඩු කරගන්න හැකියි. රේඩාර් තරංග පරාවර්තනය අඩු වීමත් එක්ක RCS එක සැලකිය යුතු ලෙස කුඩා කරගන්න පුළුවන්.

මීට අමතර ව පැමිණෙන රේඩාර් කිරණවලට ප්‍රතිවිරුද්ධ කලාවේ (phase) තරංග නිකුත් කිරීම, රේඩාර් තරංග විසිරී යන ආකාරයේ රැළිති සහිත තහඩු භාවිතය වගේ ක්‍රමත්, තවත් රහසිගත ක්‍රම ගණනාවකුත් මෙයට යොදාගැනෙන බව පැවසෙනවා.

සැබෑ stealth යානයක් නිර්මාණයේ අපහසුතා

පරිගණක බලය අඩු දිනවල F117 Nighthawk ඍජු මතුපිටවල් කිහිපයක් පමණක් සහිතවයි බිහි වුණේ (eltarotsideral.com)

සාර්ථක stealth යානා සියල්ල ම ස්වභාවයෙන් ම අස්ථාවර යි. සරල ව කියනවා නම් ඒවා පියාසර කරන්න පුළුවන් යානා නෙවෙයි. මේ නිසා එය පියාසර තත්ත්වයේ තියෙන්න නම් පරිගණකයක සහය ඇසුරෙන් එහි මතුපිට නිතර ම වෙනස් කරන්න සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි, සාර්ථක stealth හැකියාවන් සහිත හැඩයක් සකස් කරන්න පවා පරිගණක ඇසුරෙන් සංකීර්ණ ගණනයන් බොහොමයක් කරන්න සිදුවෙනවා. මීට දශක කිහිපයකට පෙර නිර්මාණය කළ stealth යානාවල තිබෙන හැඩපළු බවට ප්‍රධාන හේතුවක් වුණේත් පරිගණක බලය මදිවීම යි. නමුත් අද ප්‍රබල පරිගණක පවතින නිසා සුමට හැඩැති stealth යානා නිපදවන්න හැකි වෙලා.

රේඩාර් අවශෝෂණක ස්ථරයක් ආලේපයත් හිතන තරම් පහසු නැහැ. මේවායේ නියම රසායනික සැකැස්ම රහසිගත යි. ඒ වගේ ම මේ ස්ථර පරිසරයට නිරාවරණය වුණා ම විනාශ වෙන නිසා ආරක්ෂා කරන්න ගුවන් යානා විශේෂයෙන් ම තැනූ සීත කළ ස්ථානවල නවත්වා තබන්නත්, සෑම මෙහෙයුමකින් ම පසු යළි ආලේප කරන්නත් අවශ්‍ය බව කියවෙනවා.

Horten Ho 229හි stealth හැකියාව

ඇමෙරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ තබා ඇති Ho 229හි stealth හැකියාවක් නැති බව පසුව තහවුරු වුණා (twitter.com)

සැබෑ stealth යානා බිහිවීමෙන් ටික කලකට පසු ව Horten Ho 229 යානයේ නිර්මාණකරුවා වන රේමර් හෝටන් රේඩාර් අවශෝෂණය කිරීමේ අදහසින් යුතු ව ගල් අඟුරු කුඩු මිශ්‍ර ආලේපනයක් මෙහි මතුපිට ගැල්වීමට අදහස් කළා කියන කතාවටත් විශේෂ අවධානයක් ලැබුණා. එයින් මේ නාට්සි යානයේ stealth හැකියාවන් ගැනත් කතාවක් ඇති වුණා.

කොහොම නමුත් පසුකාලීන ව එය පුළුල් පර්යේෂණයට ලක් කිරීමෙන් අනතුරුව මෙය ප්‍රතික්ෂේප වී තිබෙනවා. හෝටන්ගේ මුල් නිර්මාණයේ හැඩය stealth ආලේපනයක් ගැල්වූ පසුවත් එහි RCS එකේ සැලකිය යුතු අඩු වීමක් දකින්න ලැබී නැහැ.

දැනට සේවයේ පවතින stealth යානා

ලොව මුල්ම සැබෑ stealth යානය වුණේ Lockheed Martinහි F-117 Nighthawk යානය යි. 1983 දී සේවයට එක් වූ මෙය එකල පරිගණකවල හැකියාවන් අනුව ඉතා ම හැඩපළු සහිත හැඩයකට නිර්මාණය වුණා. 1991 ගල්ෆ් යුද්ධයේ දී රහසේ ඉරාකයට පහර දෙමින් වැදගත් වැඩ කොටසක් ඉටු කළ මෙය දැනට විශ්‍රාම ගන්වා තිබෙනවා.

stealth කියපු ගමන් මතක් වෙන Northrop Grummanහි B-2 Spirit යානය (atimes.com)

ලොව අතිබහුතරයක් හොඳින් ම දන්නා stealth යානය වෙන්නේ Northrop Grummanහි B-2 Spirit යානය යි. බෝම්බ හෙලන යානයක් වන මෙය පහසුවෙන් ම ලොව මිල අධික ම යානය ලෙසත් සලකන්න පුළුවන්. මෙහි එක් යානයක මිල ඩොලර් බිලියන දෙකකට අධික යි.

Lockheed Martinහි F-22 ලොව මුල්ම stealth ප්‍රහාරක යානාව යි. ඇමෙරිකාව සතු ව මෙම යානා 195ක් තිබෙනවා. මෙහි වැඩි දියුණු කිරීමක් වන Lockheed Martinහි F-35 lightnening II stealth යානාත් මේ වන විට සේවයට එක් වී තිබෙනවා.

චීනය දැනට සේවයේ යොදවා තිබෙන Chengdu J-20 යානය ඇමෙරිකාවේ නොවන මුල්ම stealth යානය යි. මෙහි හැඩය Lockheed Martinහි F-35 යානයට ඉතාම සමාන වීමත්, මෙය එළිදැක්වීමට කලකට පෙර F-35හි තොරතුරු ගොනුවකට හැකර් ප්‍රහාරයක් එල්ල වීමත් නිසා චීනය සොරා ගත් තොරතුරු භාවිතයෙන් මෙය නිපදවන්නට ඇති බව පැවසෙනවා.

කෙසේ නමුත් 2018 මාර්තු මාසයේ දී පුහුණු මෙහෙයුමකට එක් වූ Chengdu J-20 යානා ඉන්දියානු රේඩාර්වලට හසුවීමත් එක්ක මෙහි සැබෑ stealth හැකියාව පිළිබඳවත් යම් ගැටලුවක් තිබෙනවා.

කවරයේ රූපය : warthunder.wikia.com

Related Articles