Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මයික්‍රොසොෆ්ට් වර්ඩ් නොමිලේ පාවිච්චි කරන්න ක්‍රම

කෙතරම් වදන් සැකසුම් (word processing) මෘදුකාංග තිබුණත් බොහෝ දෙනෙක් මයික්‍රොසොෆ්ට් සමාගමේ ඔෆිස් පැකේජයට පෙම් බඳිනවා. විවෘත කේත මෘදුකාංග ලිනක්ස් මත මෙන්ම වින්ඩෝස්වල ද පාවිච්චි කරන්නට හැකි වුවත් භාවිතයේ පහසුව හා උත්පත්තියේ සිට ලද හුරුව, වැඩි දෙනෙක් පාවිච්චි කරන නිසා උපකාර ගැනීමට ඇති පහසුව වැනි දෑ සලකා හොරෙන් හෝ එය ලබාගෙන පාවිච්චි කරන්නට බහුතරයක් පෙළඹී සිටිනවා.

මෘදුකාංගයක් හොරෙන් දාගන්න එක නරක වැඩක්, නමුත් නීත්‍යනුකූලව ම ඔෆිස් නොමිලේ පාවිච්චි කරන්නට ක්‍රමයකුයි මේ ගෙන එන්නේ.

එහෙමත් නොමිලේ දෙනවා ද?

dice.com

මෘදුකාංගයක් ගොඩනැගීම වෙනුවෙන් මෘදුකාංග සංවර්ධකයෙක්ගේ කාර්යභාර්ය අතිමහත්. දවසකට පැය ගණනක් එක දිගට කේතකරණයේ යෙදීමේ දී මනස මෙන්ම දෑස, කය ද අධික ව වෙහෙසෙනවා. මයික්‍රොසොෆ්ට් වැනි සමාගමක මෙවන් සේවකයන් විශාල ප්‍රමාණයක් සිටින නිසා ඒ වෙනුවෙන් යෙදෙන ශ්‍රමය තවත් වැඩි වෙනවා. මෘදුකාංගය කේත කිරීමෙන් අනතුරුව වැරදි සඳහා නිරන්තර පරීක්ෂාව, වෙළුම් කළමනාකරණය ආදී තවත් පියවර රැසක් අන්තර්ගත වෙනවා. ඊට අත්හදා බලන්නන් ඇතුළු තවත් පිරිසකගේ සහාය අවශ්‍ය වන අතර ඇල්ෆා, බීටා ආදී ලෙස වෙළඳපොළට ඉදිරිපත් කිරීමට පෙර, තෝරාගත් පිරිස් යටතේ ද යළි පරීක්ෂා කිරීම්වලට ලක් වෙනවා.

මෙවන් තත්ත්වයක් යටතේ මෘදුකාංගයක් නොමිලේ ලබා දීම අපහසු යි වගේ ම, හොර පාරෙන් ඒවා බාගත කරගෙන පාවිච්චි කිරීමත් මහත් වරදක්. ලංකාව වැනි රටකට සෑම මෘදුකාංගයක් ම මිල දී ගැනීමට වත්කමක් නැතැ යි හෝ ක්‍රැක් කරපු අය දෙනවා නම් අපි දාගත්තා ම මොකද! වැනි කබරගොයා – තලගොයා කරගැනීමේ හේතු නීතියටත් වඩා මානුෂීය හෘද සාක්ෂිය අනුමත කරන්නක් නොවෙයි.

අන්තර්ජාලය තුළ, IT කර්මාන්තය තුළ මෙන්ම වෙළඳපොළෙහි ඇති තරගය නිසා ම තමන්ගේ සේවාවක් වටා පරිශීලක පිරිසක් පවත්වා ගැනීමට සෑම ආයතනයක් ම වෙර දරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මයික්‍රොසොෆ්ට් සමාගම අපේ ප්‍රියතම මෘදුකාංග කට්ටලය වන Office නොමිලේ පාවිච්චි කරන්නට අවස්ථාව සලසා තිබෙනවා.

වින්ඩෝස් 10 හරහා කියැවීමට පමණක් Word Mobile

tnwcdn.com

ඔබ නිතර ගොනු සැකසීමට වර්ඩ් පාවිච්චි කරන්නේ නැතිමුත්, කාර්යාල ලිපි වැනි වෙනත් අයගෙන් ලැබෙන වර්ඩ් ගොනු හුදෙක් කියවීමට අවශ්‍ය නම් පමණක් Windows 8 සහ 10 සඳහා Word Mobile බාගත කරගත හැකියි. එසේ ම ඔෆිස් පැකේජයේ අනෙකුත් සාමාජිකයන් වන Powerpoint, Excel ද මේ ආකාරයට පාවිච්චි කරන්නට පුළුවන්. ඔබට තිබෙන්නේ වින්ඩෝස් ධාවනය වන කුඩා ප්‍රමාණයේ පරිගණකයක් හෝ ටැබ්ලට් එකක් නම්, ගොනු edit කරන්නටත් අවස්ථාව තිබෙනවා. ඩෙස්ක්ටොප් සහ විශාල ප්‍රමාණයේ ටැබ්වලට පමණයි ඔවුන් සීමා පණවා ඇත්තේ.

Windows 10 හි ඇති Microsoft Store එක හරහා මේවා බාගත කර ගත හැකියි. Search කරනවා නම්, “Word Mobile” යන්න යොදා සෙවීම සිදුකර Filters මගින් Departments වෙත ‘apps’ ලෙසත් Available on යන්නට ‘All devices’ ලෙසත් ලබා දීමෙන් මේවා පහසුවෙන් සොයාගන්නට පුළුවන්. ඔබේ පහසුව පිණිස පහත ලින්ක් ද අඩංගු වෙනවා.

බාගත කරගැනීමට: Word, Excel, Powerpoint

ඇන්ඩ්‍රොයිඩ් සහ iOS සඳහා

windowslatest.com

මයික්‍රොසොෆ්ට් සමාගම තමන්ගේ ම මොබයිල් මෙහෙයුම් පද්ධතිය තිබිය දී පවා අනෙකුත් තරගකරුවන් වූ ඇන්ඩ්‍රොයිඩ් මෙන්ම iOS සඳහා ද ඇප්ස් ඉදිරිපත් කළා. ඒවායේ සිටි වැඩි පරිශීලක ප්‍රමාණය නිසා තමන්ගේ අනෙකුත් මෘදුකාංග වූ Office, Edge ආදිය ප්‍රචලිත කරගන්නට ඔවුන්ට ඒ හරහා අවස්ථාව ලැබුණා. ඒ අනුව Word, Excel, PowerPoint තුන් කට්ටුව ද ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් දුරකථනයක් තිබෙනවා නම් නොමිලේ ම ලබා ගන්නට අවස්ථාව තිබෙනවා. ටැබ්ලට් එකකින් නම් තවත් පහසුවෙන් ඒවා පාවිච්චි කළ හැකියි.

දුරකතනයේ තිබෙන බොහෝ වදන් සැකසුම් ඇප්ස්වල පෙර කාලයේ තිබූ බලවත් ගැටලුවක් වූයේ ප්‍රස්ථාර ආදී සටහන් පෙන්වීමේ දී ස්ලෝ වීම, තිරය මත නිසි ලෙස නොපෙනීම (ප්‍රමාණාත්මක සාධක නිසා), ස්ක්‍රෝල් කිරීමේ අපහසුතා ඇති වීම වැනි දේ දකින්නට ලැබුණා. නමුත් වදන් සැකසුම් මඟෙහි ඉදිරියෙන් ම සිටින මයික්‍රොසොෆ්ට් ඔෆිස් මේ ගැටලුව විසඳාලූවා. ස්වයංක්‍රීය ව save වීම, ඍජුවම share කරන්නට හෝ OneDrive ආදිය වෙත යොමු කරන්නට හැකිවීම වැනි පහසුකම් රැසක් මේවායේ අඩංගු වෙනවා. එසේම අතැති දුරකථතනය හරහා ලැබුණු Docx, Xlsx වැනි ගොනු පහසුවෙන්ම බලාගන්නට හැකිවීම, Presentation එකක් කරනවා නම් එය දුරකතන තිරය share කිරීමෙන්ම කළ හැකි වීම වැනි වාසි මේ හරහා ලැබෙනවා.

බාගත කරගන්න:

ඇන්ඩ්‍රොයිඩ් – Word, Excel, Powerpoint

iOS සඳහා – Word, Excel, Powerpoint

පරිගණකයට අවස්ථාවක් නැද්ද?

atlassian.com

අනිවාර්යයෙන් ම තිබෙනවා. වින්ඩෝස් 10 සඳහා අපි ඉහත බැලූ Windows Mobile ඇප් එකේ පහසුකම් අඩුවීම සහ කුඩා ප්‍රමාණ තිරයන්ට පමණක් සීමා කිරීම වැනි දේවල් තිබුණා. නමුත් One Drive හරහා වෙබ් බ්‍රවුසරය හරහා Word, Excel, Powerpoint, One Note ආදී ඔෆිස් පැකේජයේ ඇති වැදගත් මෘදුකාංග නොමිලේ ම පාවිච්චි කරන්නට පුළුවන්. මෙහි අතුරුමුහුණත Office 2013න් අනතුරුව දකින්න ලැබුණු පෙනුම දරන නිසා අත්දැකීමෙහි කිසිදු වෙනසක් දැනෙන්නේ නැහැ.

සකසන ගොනු ස්වයංක්‍රීයව ම OneDrive හි සුරැකෙන නිසා සහ පරිගණකය සතු ගොනු පවා ඒ හරහා විවෘත කිරීමේ හැකියාව, කිහිප දෙනෙක්ට එකවර තනි document එකක් සැකසීමට අවස්ථාව සැලසීම වැනි විශේෂාංග මෙහි තිබෙන අතර අනෙකුත් සියල්ල ඔබ desktop එක මත පාවිච්චි කළ මෘදුකාංගයන්ට බෙහෙවින්ම සමාන යි. Rulers විශේෂාංගයේ අඩුකම් ඇතිමුත් Page margins හරහා එය මඳක් විසඳා ගන්නට පුළුවන්.

මේවා පාවිච්චි කිරීමට කළ යුත්තේ OneDrive වෙත පිවිස මයික්‍රොසොෆ්ට් ගිණුමකින් log වී One Drive තිරයේ ඉහළ ඇති New මෙනුවෙන් ඔබට අවශ්‍ය Word, Excel ආදී අලුතෙන් ඇරඹීමට අවශ්‍ය ගොනු වර්ගය තේරීම යි. එසේත් නැත්නම් තිබෙන ගොනුවක් One Drive වෙත උඩුගත කර එය විවෘත කරන්නටත් පුළුවන්. එවිට Office මෘදුකාංගය හරහා ඒවා බ්‍රවුසරය මත ම විවෘත වෙනවා. මෙහි ඇති විශාලතම වාසිය වන්නේ ලිනක්ස් සහ මැක් පරිශීලකයන්ටත් තම මෙහෙයුම් පද්ධතිය මත සුපුරුදු මයික්‍රොසොෆ්ට් මෘදුකාංගය පාවිච්චි කරන්නට අවස්ථාව ලැබීම යි.

කවරයේ ඡායාරූපය: sageandscribe.com

Related Articles