Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇන්ඩ්‍රොයිඩ්වල XAPK කියන්නේ මොකක්ද? ස්ථාපනය කරන්නෙ කොහොමද?

Play Store එකෙන් හැරුණා ම වෙනත් වෙබ් අඩවිවලින් සොයාගත් ඇප්ස් ස්ථාපනය කරන අය මෙන්ම, ඇප්ස් හදන අයත් APK ගැන අහලා ඇති. වින්ඩෝස්වලට .exe වගේ ඇන්ඩ්‍රොයිඩ්වල ඇප්ස් සඳහා තිබෙන්නේ .apk කියන extension එක යි. ZIP ෆයිල් එකක් වැනි එය 7ZIP වැනි මෘදුකාංගවලින් විවෘත කර අභ්‍යන්තරය බලන්නටත් පුළුවන්. ඒ අතරේ XAPK නමින් තවත් ගොනු වර්ගයක් තිබෙනවා. බාහිර වෙබ් අඩවිවලින් ඇප්ස් ස්ථාපනය කිසිසේත් නිර්දේශ කළ නොහැකි නමුත්, මේ අලුත් ගොනු වර්ගය ගැනත් විස්තර ටිකක් කියන්න යි මේ ලෑස්තිය.

APKවලට ඇති වූ ප්‍රමාණාත්මක ගැටලුව

osipedia.com

ඇන්ඩ්‍රොයිඩ් ඇප් නිෂ්පාදකයන්ට Play Store එකෙන් පනවා තිබෙන නීති දැන් ටිකක් වැඩි යි. පෞද්ගලිකත්ව ආරක්ෂණය, ඇප් එකේ ක්‍රියාකාරීත්වයට අදාළ permissions ඇතුළු පෙරහන් රැසක් Play Protect සේවාවේ ආරම්භයත් සමග ඇති වුණා. මේ නිසා ම 2018 මාර්තු මාසයේ දී 3,600,000ක් ව පැවති ඇප්ස් ප්‍රමාණය සැප්තැම්බර් මාසය වන විට 2,600,000 දක්වා පහළ බැස්සා. මෙලෙස පණවා ඇති එක් සීමාවක් වන්නේ ඇප් එකෙහි ප්‍රමාණය යි. පරිශීලකයන්ට ඉතා විශාල ප්‍රමාණයේ ඇප්ස් Play Store එකෙන් ගනිද්දී අනවශ්‍ය ලෙස මොබයිල් දත්ත හානිවීම වළක්වාලීමට යොදන ලද එම නීතිය නිසා මෙගාබයිට් 100ට වඩා වැඩි ඇප්ස් නිකුත් කරන්නට බැහැ.

වැඩිදුර කියැවීමට: APK ගොනු ගැන ඔබ දත යුතු සියලු දේ

ග්‍රැෆික් වැඩිපුර පාවිච්චි කරන Games සඳහා ගිගාබයිට් ගණන්වලින් විශාලත්වයක් අවශ්‍ය වෙනවා. එයට ඇති විසඳුම වන්නේ APK එකට අමතර ව, OBB file එක හෙවත් ඇප් එකට අදාළ විශාල ප්‍රමාණයේ ගොනු වෙන ම අඩංගු කිරීම යි. මේ නිසා යි PUBG, Asphalt 9 වගේ ගේම් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කළාට පස්සේ ආයෙත් ඇප් එකෙන් තව ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය බව කියන්නේ.

XAPKවලින් විසඳුමක්

mobsigames.ru

දැන් එයට තවත් විසඳුමක් තියෙනවා. ඒ තමයි XAPK කියන්නේ. වෙන වෙනම ගොනු අඩංගු කරනවා වෙනුවට APK එක සහ OBB file එකත් අඩංගු කරමින් තනි ගොනුවක් (ZIP එකක්) සකසන්න පුළුවන්. එතකොට එම ගොනුවේ extension එක XAPK බවට පත්වෙනවා. බාහිරින් මෙවන් ගොනු බාගත කරගැනීමේ වාසි රැසක් තිබෙනවා. එවිට පරිගණකයෙන් අන්තර්ජාලයට පිවිසුණු විටක දී APK එක පමණක් නොව, ඇප් එක install කළාට පසු නැවත බාගත වන මහා පරිමාණ ගොනු පවා කලින් ම ඩවුන්ලෝඩ් කරගෙන ගොස් ෆෝන් එකට දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම්, බාගත කරගත් ගොනුවක් (සම්පූර්ණ ගේම් එක ම) වෙනත් දුරකතනයකට හෝ යාළුවෙක්ට දෙන්නත් අවස්ථාව ලැබෙනවා.

විවිධ රටවලට සීමා සහිත කරන ලද ඇප්ස් මෙලෙස වෙනත් වෙබ් අඩවියකින් ලබාගැනීම කළ හැකි වන අතර, XAPK හරහා VPN පාවිච්චි කරමින් ඇප් එකේ ඉතිරි කොටස බාගැනීමට වදවීමට සිදුවීම ද වළක්වාගන්නට පුළුවන්. ඒ අනුව බලන විට අපේ කාලය සහ දත්ත බොහෝ වශයෙන් ඉතිරි කරගන්න ඒවා පාවිච්චි කළ හැකියි. ඇප් එක හරහා ම බාගත වීමේ දී බොහෝ අවස්ථාවල දී අපි සාමාන්‍යයෙන් download කරනවාට වඩා බොහොම හෙමින් download වනු දකින්නට පුළුවන්. නමුත් තෙවන පාර්ශවීය වෙබ් අඩවියකින් ගොනුව ලබාගනිද්දී ඊට වඩා වේගයක් අපිට ලැබෙනවා.

බාහිරින් APK ස්ථාපනය නිර්දේශිත නැහැ

බාහිර ස්ථාපනයන් පෙරනිමියෙන් වළකා තිබෙනවා. එනිසා Settingsවලින් Unknown Sources සබල නොකර APK ස්ථාපනය කරන්නට බැහැ. (theandroidsoul.com)

XAPK ස්ථාපනය කරන හැටි කියන්නට කලින් අනතුරු ඇඟවීමක් කරන්න තියෙනවා. විවිධ වෙබ් අඩවිවලින් APK බාගෙන ස්ථාපනය කරද්දී විනාශකාරී ලෙස ඒවාට වෛරස ඇතුළත් කර ලබාදෙන අවස්ථා අනන්ත අප්‍රමාණ යි. පෙර සඳහන් කළ ආකාරයට APK ෆයිල් එකක් ZIP විවෘත කරන ආකාරයට විවෘත කළ හැකි නිසා, ඕනෑම කෙනෙක්ට එහි ඇති ගොනු වෙනස් කර යළි සකසන්න පුළුවන්. එවිට ඒවා අරගෙන අපි ස්ථාපනය කරගත්තා ම දත්ත මැකීයාම, පෞද්ගලික දත්ත වෙනත් පාර්ශවයකට ලැබීම වගේ ම, ෆෝන් එක පාවිච්චි කරද්දි හිටිහැටියේ වෙළඳ දැන්වීම් පෙන්වන්නට ගැනීම වැනි අකරතැබ්බ රැසකට මුහුණ දෙන්නට සිදුවෙනවා.

වැඩිදුර කියැවීමට: පරිශීලකයා බය කරන Scareware සහ ඉන් ආරක්ෂා වන හැටි

එනිසා ස්ථාපනය කරගන්නා හැටි කියාදුන්නාට, ඔබේ නොසැලකිලිමත් බව නිසා ඇති විය හැකි අවදානම්වලට අපි වග නොකියන බව සඳහන් කළ යුතු යි.

ස්ථාපනය කරන ආකාරය

xapk ගොනුව zip ලෙස rename කර unzip කරමින් (uptodown.com)

සාමාන්‍ය APK එකක් මෙන් XAPK එකක් හුදෙක් ක්ලික් කිරීමෙන් ම ස්ථාපනය කරන්නට මෙහෙයුම් පද්ධතිය තවමත් පහසුකම් සලසන්නේ නැහැ. ඒ සඳහා ටිකක් කරදර වෙන්න සිදුවෙනවා.

ඔබ ඇන්ඩ්‍රොයිඩ් සමග ම ලැබෙන File Manager එක පාවිච්චි කරනවා නම්, XAPK ගොනුවක් ලැබුණා ම එය filename.xapk යන්නෙහි extension එක filename.zip ලෙස වෙනස් කළ යුතු වෙනවා. එවිට මෙහෙයුම් පද්ධතිය එය ZIP ෆයිල් එකක් ලෙස යි දකින්නේ. ඔබ ES File Explorer වැනි ඇප් එකක් පාවිච්චි කරනවා නම් rename නොකර ම ඇප් එක tap කරගෙන මඳ වේලාවක් සිටියා ම යටින් ලැබෙන මෙනුවෙන් More → Open As → Other → ES Zip Viewer තේරීමෙන් zip ගොනුවක් ලෙස (apk පවා) විවෘත කරගන්න පුළුවන්.

obb ෆෝල්ඩරයට XAPK තුළ ඇති ෆෝල්ඩරය කොපි කරන්න (askvainglory.blogspot.com)

Unzip (හෙවත් decompress) කිරීමෙන් හෝ විවෘත කිරීමෙන් පසු ව XAPK ගොනුවේ ඇති අභ්‍යන්තරය දැක ගන්නට පුළුවන්. එහි APK ගොනුව සහ ෆෝල්ඩරයක් දකින්නට ලැබෙනවා. දැන් එම ෆෝල්ඩරය Phone Storage එකෙහි ඇති Android තුළ තිබෙන obb යන ෆෝල්ඩරය (Internal Storage/Android/obb) තුළට ගෙනයන්න. ඔබේ File Manager එක ගොනු move කිරීමට පහසුකම් සපයන්නේ නැත්නම් පරිගණකයට සම්බන්ධ කරගැනීම පහසු යි. OBB ෆෝල්ඩරය පිහිටි ස්ථානයත් ඔබේ දුරකතන නිෂ්පාදකයා අනුව ඇතැම්විට වෙනස් විය හැකියි. දැන් නැවත දිගහැරී ZIP ගොනුවට දුරකතනයෙන් ගොස් එහි ඇති APK එක වෙනදාමෙන් ක්ලික් කර ස්ථාපනය කරගන්න.

ඔබ ලබාගත්තේ අලුත් ම XAPK ගොනුව නම්, වෙනත් යාවත්කාලීන එයට පසු පැමිණ නැත්නම්, ඔබට දැන් එක්වරම ඇප් එක විවෘත කර ගේම් එකට පිවිසෙන්න පුළුවන්. බාගත කරගත් ඇප් එක සැක සහිත බව ඔබට දැණුනහොත් එනම්, අනවශ්‍ය permission විමසීමක්, කරදරකාරී ලෙස වෙළඳ දැන්වීම් පෙන්වීම, හෝ ඔබේ දුරකතනයට වෛරසයක් පැමිණ ඇති බවට එම ඇප් එකෙන් ම කියනවා නම් වැනි අයුතු කටයුත්තක් සිදුවනවා නම් වහා ම Settings → Apps වෙත ගොස් එම ඇප් එක සොයා Uninstall කරන්න.

 

කවරය: uptodown.com

Related Articles