Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වස‍රේ දී තාක්ෂණික ආයතනයන් හි CEOලා මුහුණදුන් අකරතැබ්බ

තාක්ෂණික දැවැන්තයන් අහස උසට නැග යද්දී ඔවුන් සාර්ථක මිනිසුන්යැ යි මුව ආයා බලා සිටි මාස 12 පුරාවට ඔවුන්ගේ දුක්ඛාන්තයන් ඔබට නොපෙනෙන්නට ඇත.

සෑම සාර්ථක පුද්ගලයෙකු පසුපසම (ගැහැණියක් කෙසේවෙතත්,) අඳුරු කාල පරිච්ඡේදයක් තිබේ.

දියුණුවට සිතැති ඔබට ටීවී රිමෝට් එකක් මෙන් වැටෙන තරමට වඩාත් හොඳින් ක්‍රියා කළ යුතු බව සිහිගන්වනු වස්, ලොව දැවැන්ත ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්ට (CEO) 2019 දී සිදු වූ අකරතැබ්බයන් අපි මෙසේ ගොනු කරන්නෙමු.

පුද්ගලික දත්ත ගැන සිව් දෙසින් චෝදනා ලද මාර්ක් සකර්බර්ග්

ලොව විශාල ප්‍රමාණයක ජනතාවකගේ විශාල ප්‍රමාණයක දත්තවලට හිමිකම් කියන මාර්ක් (insider.com)

2019 වන විටත් ලොව වැඩිම පිරිසක් භාවිතා කරන සමාජ මාධ්‍ය ජාලය වූ Facebook හි CEO වන මාර්ක් සකර්බර්ග්ට 2019 එතරම් ම හොඳ වසරක් වූයේ නැත. ඔහු මිනිසකු නොව, පිටසක්වලයකු හෝ රොබෝවෙකැ යි කියන Memesවලින් වසර ආරම්භ කරන්නට සිදු වූ අතර, ඔහු ඒවා නම් ගණන් නොගත් බව නිසැක යි. (මන්දයත්, රොබෝවරුන්ට හැඟීම් නැත)

“ඔබ මිනිසුන්ගේ ජීවිත විනාශ කරමින්, ඔවුන්ට වෙනස් ලෙස සලකමින් මෙය විහිළුවකැ යි සිතාගෙන සිටිනවා ද?”‍ මේ ඔක්තෝබරයේ දී සිදු වූ සිවිල් අයිතීන් පිළිබඳ ගැටළුවක දී කොන්ග්‍රස් සභික ජොයිස් බීටි ඔහුගෙන් තරයේ විමසමින් අපහසුතාවට පත් කළ හැටියි. ඇත්තෙන්ම එසේ අසාගන්නට සිදුවූයේ ඔහුට තම සමාගමේ නෛතික විගණනයන් කරන ආයතනයේ නම ප්‍රකාශ කරන්නට නොහැකි වූ අවස්ථාවේ යි.

“දත්ත රැස් කරන තරමට මිනිසකු සේ ජීවත් වන ආකාරය මට වටහාගත හැකි වේවි” (boredpanda.com)

ජුලි මාසයේ දී පුද්ගලිකත්ව උල්ලංඝනය කිරීම් වෙනුවෙන් එරට ෆෙඩරල් වෙළඳ කොමිසම පැන වූ ඩොලර් බිලියන 5ක දඩයක් ගෙවන්නට ෆේස්බුක් සමාගමට සිදුවිය. මේ අතර, තමා ෆේස්බුක් ආරම්භ‍ කිරීමට හේතුවක් වූයේ ඉරාක යුද්ධයෙන් පීඩාවට පත් වූවන්ට හඬක් වීමටයැ යි ඔහු බොරු කීය. එය බොරුවකැ යි අන්තර්ජාතික මාධ්‍ය තහවුරු කළේ, ඊට පෙර තමා වෙත දත්ත ලබා දෙන්නට තරම් තමන්ගේ පරිශීලකයන් “අන්ත මෝඩයන් ය” (Dumb f**s)යැ යි ඔහු කියා තිබුණු නිසා ය.

මැයි මාසයේ දී ෆේස්බුක් සහ-නිර්මාතෘ ක්‍රිස් හියුස් පැවසූයේ Facebook, Instagram සහ WhatsApp අත්පත් කරගෙන සිටීමෙන් මාර්ක් වෙත අසීමිත බලයක් (උදා: මැතිවරණ ආදියේ දී ජනතාවගේ අදහස් පාලනය කරමින් ඡන්ද වෙනස් කිරීම) ලැබී ඇති බවත්, එනිසා ෆේස්බුක් සමාගම වහාම වසා දැමිය යුතු බවත් ය.

ලිබ්‍රා නමින් ෆේස්බුක් ආයතනය ආරම්භ කරන්නට ගිය Cryptocurrency සේවාව ද අසාර්ථක විය.

රහස්‍ය පින්තූර, දික්කසාදය සහ ජෙෆ් බේසෝස්

 ඇමසන් CEO ජෙෆ් (ibtimes.com)

2019 වන විට ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බේසෝස් ලොව ඉහළම ධනවතා බවට පත්ව සිටි අතර, ඊටත් වඩා ලාංකික අපේ අවධානයට ඔහුව යොමු වුණේ යසන්ත රාජකරුණානායක නම් ඔහුගේ ලාංකික සගයෙක් තම සාර්ථකත්වයට මංපෙත් තනා දුන් බවට කළ ප්‍රකාශයක් නිසා යි.

වැඩිදුර කියැවීමට: ඇමසන් CEO බේසෝස්ගෙන් ‘යසන්ත’ ගැන හෙළිදරව්වක්

ධනවත්කම සාර්ථක විවාහයකට හේතු වේයැ යි අපේ ජනසමාජය සිතුව ද 2019 යනු බේසෝස්ගේ දික්කසාදය සනිටුහන් කළ වසර විය. එය සිදුවීමට පෙර, National Enquirer නමැති ගොසිප් වෙබ් අඩවියක් ඔහුගේ අනියම් සබඳතාවක් සම්බන්ධ ‍පුද්ගලික/ රහස්‍ය ඡායාරූප පළ කරන බවට බ්ලැක්මේල් කර තිබිණි.

2017 දී ඉහළ වැටුප් සහිත රැකියා 50,000ක් බිහි කරන බවට පොරොන්දු වූ ඇමසන් සමාගම තමන්ගේ දෙවැනි මූලස්ථාන කාර්යාලය පිහිටූවීම සඳහා නගරයක් සොයමින් සිටියේ ය. ඒ වෙනුවෙන් කළ තෝරාගැනීම් අවසානයේ 2018 අග භාගයේ දී තේරී පත් වූයේ නිව් යොර්ක් හි ලෝන්ග් අයිලන්ඩ් නගරය යි.

ජෙෆ් තම ‘පෙම්වතිය’ වන ලෝරන් සමග (i-scmp.com)

එනමුත්, 2019 දී එය ක්‍රියාත්මක කරන්නට යාමේ දී දිගින් දිගටම ජනතාවගෙන් විරෝධය එල්ල වූයේ, දැවැන්ත ආයතනයක් ඇරඹූ පසු එම ප්‍රදේශයේ නිවාස කුලී ඉහළ යනු ඇති බවත්, පොදු ප්‍රවාහනය ප්‍රමාණවත් නොවන බැවින් අපහසුතා ඇති විය හැකි බව යි. මේ නිසා, එම අදහස අතහැර දමන්නට ඇමසන් සමාගම තීරණය කළේ ය. ඉන් තමන්ගේ ව්‍යාපාරය පුළුල් කර ගැනීමට ඔවුන්ට තිබූ අවස්ථාව අහිමි විය.

මීට අමතරව, Rekognition නමැති මුහුණු හඳුනාගැනීමේ (facial recognition) පද්ධතියක් රජයට අලෙවි කරන්නට ගොස් සේවක හා ජනතා විරෝධය ලබන්නට ද ජෙෆ් බේසෝස්ට සිදුවිය. ඒ අතරේ, ඔවුන්ගේ දොර සීනු (doorbell) උපාංගයක් වූ Amazon Ring සතු කැමරාව යොදාගෙන ඔත්තු බැලීමට උපරිම හැකියාව Amazon ආයතනය සතුවන බවට තොරතුරු හෙළිදරව් වූයේ තවත් පුද්ගලික ආරක්ෂණ ගැටළුවක් ලොවට දායාද කරමිනි.

පාඩුවේ ඉන්නට බැරි ඉලොන් මස්ක්ගේ 2019

ට්විටරයට ප්‍රිය ඉලොන් මස්ක් (bwbx.io)

ටෙස්ලා, SpaceX වැනි ආයතන රැසක ප්‍රධාන විධායක නිලධාරී ධූරය දරන ඉලොන් මස්ක්ට ඇති වගකීම් බහුල බව නිසාම ඉල්ලාගෙන පරිප්පු ආහාරයට ගැනීමේ තවත් වසරක් මෙසේ ගෙවී ගියේ ය.

2018 දී තායිලන්තයේ ගුහාවක සිරවී සිටි දරුවන් 12ක් සහ පුහුණුකරුවකු බේරා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කෙරෙද්දී ඒවා සියල්ලම පාහේ අසාර්ථක වනු දුටු ඉලොන් මස්ක් ඒ වෙනුවෙන් කුඩා සබ්මැරීනයක් සැකසීමට ඉදිරිපත් විය. බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවකු වූ වර්නන් අන්ස්වර්ත් කියා තිබුණේ එය ප්‍රායෝගික නොවන බවත්, හුදෙක් මාධ්‍යවල අවධානය ගැනීම සඳහා කළ එකක් බවත් ය.

මෙයට පිළිතුරු දෙමින් ඉලොන් මස්ක් ට්වීට් කර තිබුණේ එය ගැටළුවකින් තොරව අනිවාර්යයෙන්ම කරන බව සහ “සමාවෙන්න, ළමයින්ට (ලිංගිකව) කැමති මිනිහෝ” (pedo guy) කියා යි. දැන් ඒ Tweets මකාදමා තිබේ. මේ ප්‍රකාශය නිසා ඔහුට මේ වසරේ දී නඩු විභාගයකට ද මුහුණ දෙන්නට සිදුවුණේ ය.

මාර්තු මාසයේ දී හිටිවනම අවුරුදු තුනක් පැරණි හරාම්බේ ගෝරිල්ලාගේ සිද්ධිය ඉලොන් මස්ක්ට සිහි වී Soundcloud වෙත Elon G Records යන තමන්ගේ ගිණුම යටතේ RIP Harambe නමින් රැප් එකක් නිකුත් කළේ ය. එය ඔහු විසින්ම ගයන්නේ ද යන්න නිශ්චිත නැතත්, එයට ලැබුණු ප්‍රතිචාර නම් සුබදායී නොවී ය. තමා එහි අසාර්ථකත්වය ගැන කළකිරුණු බවට ඔහු පසුව Tweet කළේ ය.

“පුංචි බිංගෙයක කාර් එකක් යනවා”- වර්ජිනියාවේ දුම්රිය ප්‍රවාහන ප්‍රධානී මයිකල් මැක්ලෝලින් (slashgear.com)

මාර්තු මාසයේ දී ම, බිංගෙයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ඩොලර් මිලියන 10ක් වැය කරමින් කළ ව්‍යාපෘතිය ගැන එරට ප්‍රවාහන නිලධාරීන් පවසා තිබ‍ුණේ “මේක මේ පුංචි බිංගෙයක් ඇතුළෙන් කාර් එකක් යනවා විතරයිනේ” කියා යි. වාසනාවට, ඉලොන් එයට ප්‍රතිචාර දක්වන්නට ගොස් ‘වැඩේ අල කරගන්නට’ උත්සාහ කර නොතිබිණි.

Nier: Automata නමැති පරිගණක ක්‍රීඩාවකට රසිකයකු ඇඳි සිතුවමක් Tweet කළ ඉලෝන්, එයට කතෘ අයිතිය ලබාදීමට උනන්දු නොවී ය. එහි ප්‍රතිඵලයක් ලෙස “Daddy dotcom” ලෙස තම නමට යොදා ගිණුම තාවකාලිකව අක්‍රීය කර දමන්නට ජුනි මාසයේ දී ඔහුට සිදුවිය. පසුගිය වසරේ එනම්, 2018 මාර්තුවේ දී ඔහු තම Tesla සහ SpaceX ෆේස්බුක් පිටු මකා දමා තිබිණි.

තම නවතම නිෂ්පාදනය වූ සයිබර්ට්‍රක් රථය හඳුන්වා දීමේ දී සිදු වූ අකරතැබ්බයක් ගැන ‘ටෙස්ලා සමාගමේ අලුත්ම ‘සයිබර්ට්‍රක්’ රථ’ ලිපියේ දී අප රස කොට ලියූ හැටි ඔබට මතක ඇත. 

ජනපතිගෙන් පවා අවලාද ඇසූ ඇපල් සමාගමේ ටිම් කුක්

ඇපල් CEO ටිම් කුක් (techspot.com)

ලොකු මිලකට iPhone එකක් විකුණා ගත්තාම නිවසට වී නිදහසේ සිටිය හැකියැ යි ඔබ සිතුවා නම් එය වැරදි බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ 2019 ජීවිතය සහතික වෙයි. ඇත්තෙන්ම, ඔහුට ලෙඩක් දැම්මේ පැත්තක සිටින ගූග්ල් ආයතනය යි.

ආරක්ෂණය සම්බන්ධ පර්යේෂණ කිරීම සඳහා ගූග්ල් සමාගමේ ව්‍යාපෘතියක් වන Project Zero හි වාර්තාවන් පෙන්වා දුන්නේ iPhone දුරකතන සතුව දත්තවල පෞද්ගලිකත්වය සම්බන්ධ ගැටළු ඇති බව යි. “මෙහි ඇත්තේ එක් Bug එකක් පමණක් නොවේ” ඔක්තෝබරයේ දී එය පෙන්වා දුන්නේ ය.

ටිම් කුක් පෞද්ගලික දත්ත ගැන බෙහෙවින් සැලකිලිමත් වන්නකු බව ටයිම්ස් සඟරාව වෙත කළ ප්‍රකාශයකින් පැහැදිලි වෙයි. “2019 යනු ඔබේත්, මගේත්, අප සැමගේත් පුද්ගලිකත්වය අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට කාලය යි” ඔහු සඳහන් කරයි.

එනමුත්, ජනවාරි මාසයේ දී FaceTime සතුව තිබුණු දෝෂයක් නිසා දුරකතන ඇමතුමක් ලබා දෙන්නාට ලබන්නාගේ කැමරාව, මයික්‍රොෆෝනය හරහා (ඇමතුම Answer කරන්නටත් පෙර සිටම) සියල්ල දකින්නට හා අසන්නට හැකි විය. මෙය සොයාගත් තරුණයාගේ මව ඒ පිළිබඳ Apple Support සේවාවටත්, Tim Cookටත් ට්විටරය හරහා දැනුම් දුන්නා ය. ඉන් පිළිතුරක් නොමැති කල ඊමේල් සහ ලිපි හරහා ද දැනුම් දුන්නා ය. ජනවාරි අග භාගය ඉක්මවන වනතුරුම එයට පිළිතුරක් නොතිබිණි. මේ ඔත්තු බැලීමේ විශේෂාංගය ඇපල් සමාගමට මහත් කැළැලක් විය.

FaceTime ඇමතුම අරගන්නටත් පෙර සිටම වීඩියෝව දැකිය හැකියි (ytimg.com)

ඒ ආසන්න කාලයේ දී ම තමා වෙනකෙකුට ලබාදුන් ඇමතුමක් තමාම Answer කරමින් තනියම කතා කරන්නට හැකි තවත් විශේෂාංගයක් (Bug එකක්!) FaceTime හඳුන්වාදිනි. ජුලි මාසයේ දී අහඹු ලෙස Siri විවෘත වී පරිශීලකයන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්, ලිංගික හැසිරීම් පටිගත කළ බවට The Guardian වෙත වාර්තා වූ අතර, පසුව එයට නඩු පැවරිණි.

මේ සියල්ල අතරේ ඇපල් සමාගමේ නිෂ්පාදනාගාරයක ආරම්භ කළ විශ්වවිද්‍යාලයක් විවෘත කරන්නට ගිය එරට ජනපති ට්‍රම්ප් ට්වීට් කළේ තමා නව iPhone කම්හලක් ටෙක්සාස් හි විවෘත කොට රැකියා බිහි කළ බව යි. 2013 පටන් විවෘතව තිබූ එයින් ට්‍රම්ප් දේශපාලනික වාසියක් ගත් නමුත්, එය නිවැරදි කිරීමට ටිම් කුක් කටයුතු නොකළේ ය.

අවසානයේ, iPhone X මඟින් iPhone සතුව තිබුණු Home button එක ඉවත් කිරීම සම්බන්ධයෙන් අවලාද නඟන්නට ද ට්‍රම්ප් පසුබට වූයේ නැත. ලොක්කාගෙන් අනංමනං අසා, අමාරුවෙන් කළ Design එකකට, රටේ ජනපති ද වැරදි කියන්නට ගත්තොත් ඔබට මොනවගේ හැඟීමක් දැනේවි ද?

කවරය: Thambaru Wijesekara

මූලාශ්‍රයයන්:

  • statista.com
  • boaredpanda.com
  • washingtonpost.com
  • theverge.com
  • businessinsider.com
  • nytimes.com
  • cnbc.com
  • theatlantic.com
  • blog.aboutamazon.com
  • vox.com
  • theintercept.com
  • reuters.com
  • theguardian.com
  • arstechnica.com
  • ndtv.com
  • time.com
  • 9to5mac.com
  • appleinsider.com
  • අදාළ පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම්

Related Articles