Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Internet of Things හෙවත් IoT කියන්නේ මොකක්ද?

මිනිසුන්ට පමණක් සීමා වූ නූතන අන්තර්ජාලයේ මීළඟ පිම්ම බවට පත්වන, උපකරණවල අන්තර්ජාල ප්‍රවේශය හරහා මානව කටයුතු පහසු කරගැනීම ගැන පුළුල් පරාසයක වාසි ගෙන එන අනාගතයේ තාක්ෂණයක් ගැන යි අද අපේ කතාව.

2018 වන විටත් ලොව වටා බිලියන 23.14ක් IoT උපාංග සබැඳී තිබෙනවා. Internet of Things යන්න ඔබ දැනටමත් අසා තිබුණත්, ඒ ගැන පැහැදිලි අවබෝධයක් නොතිබුණා නම් මේ ලිපිය ඒ දැනුමින් ඔබ ව සර්ව සම්පූර්ණ කරාවි.

අන්තර්ජාලයට මිනිස්සු වෙනුවට උපාංග

renegadetribune.com

අද අපි පාවිච්චි කරන අන්තර්ජාලය ගොඩනැගී තිබෙන්නේ මිනිස්සුන් විසින් දෙන ලද ඉල්ලුමකට සර්වර් විසින් ප්‍රතිචාර දැක්වීමක්. අපි ෆේස්බුක් වෙත පිවිසුණා ම බ්‍රවුසරය විසින් එම සර්වරයට news feed එක දැකිය යුතු බවට ඉල්ලුමක් යවන අතර ඊට පිළිතුරු වශයෙන් අදාල දත්ත නැවත පරිගණකයට ලැබෙනවා. WhatsApp වෙත පිවිසුණා ම ඇප් එක විසින් ඔබ online බවට සර්වරයට දන්වනවා. මැසේජ් එකක් යවද්දී එය සර්වරයට ලබාදුන්නා ම ප්‍රතිචාරය වශයෙන් අවශ්‍ය පුද්ගලයා වෙත එය යැවෙනවා. PUBG ක්‍රීඩා කරද්දී අපි ඇවිදින අඩියක් පාසා ඒ ගැන සර්වරයට දැනුම් දෙනවා. එවිට ඊට ප්‍රතිචාර වශයෙන් එහි සිටින අනෙකුත් අයට ද අපේ චලනය දිස් වෙන්නට පටන් ගන්නවා. මේ ආකාරයට පැහැදිලි වන්නේ මනුෂ්‍ය ඉල්ලීම් (requests) මත අන්තර්ජාලය දැනට රඳා පවතින බව යි.

Internet of Things කියන වචනයේ අර්ථය, උපාංගවල අන්තර්ජාලය යන්න යි. ඒ අනුව, පුද්ගලයන්ගේ අන්තර්ජාලය (Internet of People) වෙනුවට මානව සහභාගීත්වයක් නොමැති ව උපාංග-උපාංග අතර ඇති කරනු ලබන සබඳතා ජාලයක් තමයි ඉන් හැඳින්වෙන්නේ. එහි දී උපාංගයන් තමන් විසින් ම එකිනෙක අතර දත්ත නිර්මාණය කිරීම, වෙනස් කිරීම, මකා දැමීම, යැවීම, සහ ලැබීම සහ තීන්දු ගැනීම සඳහා එම දත්ත භාවිතා කිරීම සිදුකරනු ලබනවා. IoTහි මූලික හරය, උපාංග අතර දත්ත හුවමාරු වීම යි.

IoT ක්‍රියා කරන්නේ කොහොමද?

cloudfront.net

උපාංගවල අන්තර්ජාලය (Internet of Things) සඳහා ප්‍රධාන කාරණා තුනක් බලපානවා. උපාංග අතර සම්බන්ධතාව ඇති කරගැනීමට ක්‍රමයක්, වෙනත් උපාංගවලින් දත්ත උකහා ගැනීමට ක්‍රමයක්, සහ එම දත්ත විශ්ලේෂණය කර (process කර) තීරණයක් ගැනීම සඳහා ක්‍රමයක් ඊට අවශ්‍ය වෙනවා. උපාංගවලට දැනට තිබෙන අන්තර්ජාලයට වයිෆයි හෝ කේබල් හරහා සම්බන්ධ වීමෙන් හෝ ඍජු ව බ්ලූටූත් හරහා එකිනෙක සබැඳීමට ද හැකියාව තිබෙනවා. ඊට අමතර ව මීටර් 10-20ක් පමණ දුරට විහිදෙන Zigbee රැහැන් රහිත සංඥා හරහා හෝ මීටර් 100ක් පමණ පරාසයක පාවිච්චි කළ හැකි Z-wave සංඥා භාවිත වෙනවා.

උපාංගවල පද්ධති ක්‍රමලේඛනයට C, Java, Python, JavaScript, Swift, PHP ආදී පරිගණක භාෂාවන් පාවිච්චියට ගන්නවා. නමුත් උපාංග දෙකක් අතර සම්බන්ධතාව ඇති වන ආකාරයට (API එකක් වැනි) ක්‍රමවේදයක් සැකසීමේ දී බොහෝ විට ඒවා එම උපාංග පද්ධතිය ඇතුළත පමණක් එකිනෙකට තොරතුරු හුවමාරු කරගත හැකි ආකාරයට සැකසෙනවා. නිෂ්පාදකයාගේ වෙනස්කම් සහ අවශ්‍යතාවයේ හැටියට උපාංගයක් අනෙකක් හා කෙසේ සන්නිවේදනය කරනවා ද යන්න ඒ අනුව වෙනස් වන නිසා තවමත් ඕනෑ ම IoT උපාංගයකට තවත් කුමක් හෝ IoT උපාංගයක් හා සබැඳීමක් සිදුවන්නේ නැහැ.

මෙයට විසඳුමක් ලෙස Interpreter එකක් පාවිච්චි කරනවා. එවිට එම Hub එකට උපාංගයකයට සබැඳී අනෙක්වා සමග එය හරහා කටයුතු කරන්නට පුළුවන්. සියලු උපාංගවලට එවිට දැනගැනීමට අවශ්‍ය වන්නේ එම Hub එක හා සබැඳිය යුතු ආකාරය පමණයි.

IoTවල වාසි

aberdeen.com

මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල්වලට වඩා බොහොමයක් දේවල් IoT උපාංගවලට කරන්න පුළුවන්. ඒ වගේ ම ඒවායේ කාර්යක්ෂමතාව, පහසුව මෙන්ම ඇතැම් අවස්ථාවල දී ආරක්ෂාවත් ඉහළ යි.

වැදගත් දේකට ඊ-මේල් පණිවිඩයක් යැව්වාට පස්සේ ඒක කියවලා, තිබෙන දේවල් අනුව කටයුතු කරලා, යළිත් උත්තරයක් එන්නට මිනිසුන් අතර කල් ගත වෙනවා. නමුත් IoT උපාංගයකින් ඉල්ලීමක් කළාට පස්සේ එයට බොහොම වේගයෙන් ඊට ප්‍රතිචාර දක්වන්නට පුළුවන්. එනිසා මේවායෙන් අපේ කටයුතුවල වේගය වැඩි කරගෙන, පොරොත්තු කාලය අඩු කරගන්න පුළුවන්.

IoT උපාංග බොහොමයක් සුවිශේෂී කාර්යයක් වෙනුවෙන් ම සකසන ලද ඒවා යි. එනිසා බහුකාර්ය නමුත් අමතකවීම් සිදුවිය හැකි මානව අන්තර්ජාලයකට වඩා දත්තවල විශ්වාසවන්ත බවක් මේ හරහා ලැබෙනවා. ස්වයංක්‍රීය ගබඩා කිරීම් සහ විශාල දත්ත (big data) විශ්ලේෂණයන් ද ඉතා පහසුවෙන් කරගැනීමට මේවා නිසා අවස්ථාව ලැබෙනවා.

adafruit.com

උදේ එලාම් එක වැදෙද්දී තේ හදාගන්න කුස්සියේ වතුර එකක් උණු වීම හෝ තේ සකසන යන්ත්‍රයකින් තේ එකක් ම ස්වයංක්‍රීයව සැකසීම, රැකියාවේ නියැලෙමින් ඉඳිද්දී නිවසේ තිබෙන සංවේදකයක් හරහා ගෙදර කෙනෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය වෙනස් වීමක් මත SMS එකක් ලැබීම, හවස ඔබ නිවසට කිට්ටු වෙද්දී ම (දුරකතනයේ GPSවලින් හඳුනාගෙන) ඉදිරිපස ලයිට් සක්‍රීය වීම සහ දොරගුළු හැරීම වැනි උපාංග-උපාංග අතර කෙරෙන සන්නිවේදනයකින් අපේ මැදිහත් වීමකින් තොරව ජීවිතය තවත් පහසු කරගන්නට IoT උපාංග විශාල කාර්යයභාර්යයක් ඉටු කරනවා.

අඩුපාඩු නැතුවාම නොවේ

observer.com

දත්ත රැස්කරන උපාංගයක් තනිව හොඳින් ක්‍රියා කළත්, එයට අදිසි මානව හස්තයක බලපෑමක් එල්ල වුවහොත් ඉන් මහත් හානියක් සිදුවිය හැකියි. IoT උපාංගයක මෘදුකාංග පද්ධතියෙහි ආරක්ෂාව ඉතා හොඳින් පවත්වා ගත්තේ නැත්නම් එයට Cracker කෙනෙක්ගේ (Hacker යනු රිංගා ගොස් අඩුපාඩු සකසා ගැනීමට උපකාර වන අයෙක් වන අතර Cracker යනු හානි කරන්නෙකි.) අයුතු කටයුතු හරහා සෞඛ්‍යමය, රහස් දත්ත පාදක ආදිය ඇති අවස්ථාවක දී මහත් හානියක් ඇති විය හැකියි. නිවසක දොරගුල IoT උපාංගයක් නම්, එය වෙනත් අතකට පත්වීම සුබදායී වන්නේ නැහැ.

එසේ ම සාම්ප්‍රදායික ව මෘදුකාංගවල ඇති වන bug නිසාත් අප විසින් අපේක්ෂා කරන ලද නිරවද්‍යතාවයන්, විශ්වාසවන්ත බව නැතිව යාමේ අවදානමක් තිබෙනවා.

මේවා හැරුණු කොට, IoT උපාංග කියන්නේ ස්මාර්ට් නිවහනක් මෙන්ම ස්මාර්ට් ලෝකයක් වෙත අපේ සම්ප්‍රදායික ජීවන රටාව යොමු කරවන්නක්. එනිසා නුදුරු අනාගතයේ දී ම උපරිම පහසුකම් ඇති නිවසක් Tony Starkට පමණක් නොව, අපටත් IoT හරහා ලබන්නට, අත්විඳින්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය: catonetworks.com

Related Articles