විශ්වයේ උපත සොයා යන යෝධ දුරේක්ෂය

1990 වසරේ ක්‍රියාත්මක කළ හබල් දුරේක්ෂය ගැන බොහෝ දෙනා අසා ඇති. එම දුරේක්ෂ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වුණේ අපට ඉතාම ඈතින් පිහිටි තාරකා සහ මන්දාකිණි පිළිබඳ අධ්‍යයනයත්, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පිළිබඳ අධ්‍යයනය කිරීමත් වනවා. පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 545ක් පමණ දුරින් වූ කක්ෂයක සිට වසර 31ක් තිස්සේ සිට විශ්වය පිළිබඳ ව තවමත් තොරතුරු ලබාදෙන හබල් දුරේක්ෂය වැනිම නව දුරේක්ෂයක් ඊයේ (25) දිනයේ අභ්‍යවකාශ ගවේෂණයට යොමු කිරීමට නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සමත් වුණා.

ජේම්ස් වෙබ් දුරේක්ෂය (James Webb Telescope) ලෙස හඳුන්වන මෙය හබල් දුරේක්ෂයට වඩා විශාල සහ අතිශය සංකීර්ණ නිර්මාණයක් වන අතර අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇතැයි ද සැලකෙනවා.

කවුද මේ ජේම්ස් වෙබ්?

එක්සත් ජනපදයේ සහ සෝවියට් දේශයේ අභ්‍යවකාශ ගවේෂණය සඳහා වූ තරගය එම ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති කරලීමට හේතු වූ බව නොරහසක්. මුල් ම චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීම්වලින් පසු මිනිසුන් අභ්‍යවකාශයට යැවීම කෙරෙහි දෙපාර්ශවයේ ම අවධානය යොමු ව තිබූ පසුබිමක එවක එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි පවා පවසා සිටියේ 1970ට පෙර අමෙරිකාවෙන් මිනිසකු සඳ මත පා තැබිය යුතු බව යි. ඔහුගේ මෙම ප්‍රකාශය සිදු කිරීමට මාස කිහිපයකට පෙර NASA ආයතනයේ පරිපාලක ධුරයට පත්ව තිබුණේ ජේම්ස් එඩ්වින් වෙබ් ය. ඔහු 1961-1968 කාලයේ දී එම ධුරය හෙබවූවා.

ජේම්ස් වෙබ් අමෙරිකානු ඉතිහාසයේ සිටි රාජ්‍ය නිලධාරීන් අතරින් විද්‍යාවේ දියුණුව වෙනුවෙන් වැඩි ම සේවාවක් කළ පුද්ගලයකු ලෙසයි හැඳින්වෙන්නේ. එයට ප්‍රධානත ම හේතුව වන්නේ අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධයෙන් ඔහු දැක්වූ මතවාදය යි. අභ්‍යාවකාශ ගවේෂණය හුදෙක් දේශපාලනික තරගයක් පමණක් නොවිය යුතු බව ඔහු ප්‍රකාශ කළා.

එසේම මිනිසුන් අභ්‍යවකාශ ගත කිරීම සහ විද්‍යාව අතර සමතුලිත බවක් තිබිය යුතු බවයි ඔහුගේ අදහස වුණේ. එසේ කිරීමෙන් පමණක් අමෙරිකානු අභ්‍යවකාශ ගවේෂණයේ දියුණුවත්, විද්‍යාවේ දියුණුවත් අපේක්ෂා කළ හැකි බව ඔහු පැවසුවා. ඔහුගේ මෙම ප්‍රකාශ හේතුවෙන් දේශපාලන දායකත්වය අභ්‍යවකාශ ගවේෂණයෙන් ඈත් වීමට ද ඔහු ඉඩ තැබුවේ නැහැ.

ජේම්ස් එඩ්වින් වෙබ්  – jwst.nasa.gov

ජේම්ස් එඩ්වින් වෙබ් NASA හි පරිපාලක ධුරය දරන කාලයේ දී අභ්‍යවකාශ මෙහෙයුම් 75 කට අධික සංඛ්‍යාවක් සිදු කිරීමට සමත් වුණා. රොබෝ අභ්‍යවකාශ යානා නිර්මාණයට මුල පිරුණේද මේ කාලයේදී යි. 1965දී ජේම්ස් වෙබ් ප්‍රකාශ කර තිබුණේ සුවිසල් අභ්‍යවකාශ දුරේක්ෂයක් නිර්මාණය කිරීම කෙරෙහි NASA ආයතනය සිය ප්‍රමුඛතාව ලබා දිය යුතු බව යි. ජේම්ස් එඩ්වින් වෙබ් 1992 දී මිය ගිය අතර අභ්‍යාවකාශගත කළ සැරසෙන දුරේක්ෂය ඔහුගේ නමින් නම් කිරීමට NASA ආයතනය තීරණය කළේ ඔහු සිදු කළ අනගි සේවාව සිහි කිරීමක් වශයෙනු යි.

ප්‍රබල දුරේක්ෂයක අවශ්‍යතාව

හබල් දුරේක්ෂය පෘථිවිය මත සවිකර ඇති දුරේක්ෂවලට වඩා ප්‍රයෝජනවත් වන්නේ පෘථිවි පෘෂ්ඨය මත ඇති දුරේක්ෂවලට අප වායුගෝලය බාධාවක් වන බැවිනි. වායුගෝලයේ සිදුවන වෙනස්වීම් ආදියත් පැහැදිලි අභ්‍යවකාශ නිරීක්ෂණයක් සඳහා බාධා පමුණුවනවා. මේ නිසා පෘථිවියෙන් පිටත අභ්‍යාවකාශ දුරේක්ෂයක් තිබීම ඉතාම වැදගත්. 

හබල් දුරේක්ෂයට විද්‍යුත් චුම්බක වර්ණාවලියේ සංවේදනය වන පරාසය – nasa.gov

හබල් දුරේක්ෂය යනු පරාවර්තන දුරේක්ෂයක් වන අතර එහි ඇති මීටර 2.4ක විශ්කම්භයෙන් යුත් ප්‍රධාන දර්පණය මගින් විශ්වයේ ආලෝක වර්ෂ බිලියන 10ක් දක්වා දුරින් පිහිටි වස්තුවල සිට එන ආලෝකය පරාවර්තනය කර දෙවන දර්පණයට ලබා දෙනවා. එම ආලෝකය ඩිජිටල් කැමරාවකට සමාන සංවේදක සහ වර්ණාවලි දර්ශක මත පතිත කර ඡායරූප ලබාගැනීමයි මෙහිදී සරල ව ම සිදුවන්නේ. මේවා මඟින් නැනෝමීටර 100 සිට මයික්‍රෝමීටර 1.8 පමණ දක්වා වූ තරංග ආයාම පරාසයක ආලෝක සංඥා ලබාගත හැකි යි. එනම් පාරජම්බුල කිරණ (UV), දෘශ්‍ය ආලෝකය සහ තරමක් දුරකට අධෝරක්ත කිරණ (තාප කිරණ)ද මෙම පරාසයට අයත් වනවා.

විශ්වයේ උපත සිදු වූයේ මීට වසර බිලියන 13.8 කට පෙර බවයි දැනට විශ්වාස කෙරෙන මතය වන්නේ. මහා පිපුරුම (Big Bang) සිදු වූ මොහොතේ පටන් ප්‍රසාරණය වන විශ්වයේ ආරම්භයේ දී බිහි වූ තාරකා සහ ඉන්පසු නිර්මාණය වූ මන්දාකිණි පිළිබඳ ව තොරතුරු විද්‍යාඥයන් සතු ව පවතින්නේ ඉතාම අල්ප වශයෙනුයි. හබල් දුරේක්ෂයට පවා නිරීක්ෂණය කළ හැක්කේ නූතන මන්දාකිණි පමණක් වන අතර පළමු තාරකා සහ පළමු මන්දාකිණිවල සිට එන කිරණ ඉතා අඩු සංඛ්‍යාතවලින් යුක්ත වීම මෙයට හේතු වනවා. එනම් ඒවා අයත් වන්නේ අධෝරක්ත පරාසයට යි. එම පරාසයේ අභ්‍යවකාශ වස්තු නිරීක්ෂණය සඳහා සුවිශේෂී දුරේක්ෂයක අවශ්‍යතාව හබල් දුරේක්ෂ මෙහෙයුම් ආරම්භ කර වසර 10ක් පමණ ගත වීමෙන් පසු විද්‍යාඥයන් හඳුනා ගන්නවා. ඒ අනුවයි ජේම්ස් වෙබ් දුරේක්ෂය ඉදිකිරීමේ සැලසුම් 1996 දී ආරම්භ වී එහි ඉදිකිරීම් 2004 දී ආරම්භ වන්නේ.

ජේම්ස් වෙබ් දුරේක්ෂය සහ හබල් දුරේක්ෂය මගින් අන්තරීක්ෂ විශ්වයේ නිරීක්ෂණය කළ හැකි පරාසය – quantamagazine.org

හබල් දුරේක්ෂයේ ද අවසාන අලුත් වැඩියා කටයුත්ත පසුගිය වසරේ දී ගගනගාමීන් සිදු කළා. මින් ඉදිරියට එහි නඩත්තු කටයුතු සිදු නොකිරීමටයි NASA ආයතනය සැලසුම් කර ඇත්තේ. හබල් දුරේක්ෂය මඟින් නිරීක්ෂණය කළ හැකි පරාසයේ උපරිම දත්ත සහ තොරතුරු මේ දක්වා විද්‍යාඥයන් ලබාගෙන ඇති අතර ඉන් ඔබ්බට විශ්වයේ සැඟවුණු තොරතුරු සෙවීම සඳහා එය ප්‍රමාණවත් වන්නේ නැහැ.

ඉංජිනේරු විශ්වකර්මයක්!

අධෝරක්ත පරාසයේ කිරණවලට සංවේදී වන දුරේක්ෂයක් නිර්මාණය කිරීම ඉතාම සංකීර්ණ කටයුත්තක් වනවා. සාමාන්‍යයෙන් තරංග ආයාමය මයික්‍රෝන 2.5ට වඩා වැඩි අගයන් නිරීක්ෂණය පෘථිවියේ පිහිටුවා ඇති අධෝරක්ත දුරේක්ෂවලට කළ නොහැකි යි. මක් නිසාද පෘථිවි වායුගෝලයේ ඇති තාප කිරණවලින් විශ්වයේ සිට එන අධෝරක්ත කිරණවලට බාධා ඇති කිරීම නිසා යි. මේ නිසා එවැනි දුරේක්ෂයක් පෘථිවි වායුගෝලයෙන් පිටත ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය වනවා.

සුර්යයා සහ පෘථිවිය අතර Lagnrange ලක්ෂ්‍යවල පිහිටීම – reddit.com

 හබල් දුරේක්ෂය මෙන් පෘථිවිය වටා පිහිටි කක්ෂයක පැවතීම ද අධෝරක්ත දුරේක්ෂයකට සුදුසු වන්නේ නැහැ. එයට හේතුව වන්නේ අධික සුර්යය රශ්මියට එක එල්ලේ හසු වීම නිසා වෙනත් අධෝරක්ත කිරණ සංඥා කිසිවක් සංවේදනය කරගත හැකි නොවීම යි. මේ නිසා ජේම්ස් වෙබ් දුරේක්ෂය ස්ථාන ගත කෙරෙන්නේ පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් දුරින් පිහිටි පෘථිවි-සුර්ය Lagrange 2 පිහිටුමේ යි. Lagrange point යනු විශාල ස්කන්ධ දෙකක් මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයන් නිෂේධනය වී යන ස්ථාන යි. මෙවැනි ස්ථාන 5ක් ඕනෑම ග්‍රහවස්තු දෙකක් අතර පවතින බව 1772 දී සොයා ගැනුණා. මෙම ස්ථාන නම් කෙරෙන්නේ L1 සිට L5 දක්වා නම්වලින් වන අතර L1 සිට L3 දක්වා ඒවා ස්කන්ධ දෙක යාකරන රේඛාවේ ද L4 සහ L5 ග්‍රහවස්තු දෙක අතර සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන ස්ථානවල ද හමු වනවා.

L2 පිහිටුමට කක්ෂගත කරන ජේම්ස් වෙබ් දුරේක්ෂය ඉන්පසු ගමන් කරන්නේ සුර්යයා වටා යි. එනම් පෘථිවියේ සුර්ය මුවාවේ සිට පෘථිවියත් සමඟ සුර්යයා වටා ගමන් කරනවා. එවිට සූර්යයාගේ සිට එන තාපය දුරේක්ෂය වෙත සෘජු ව පැමිණෙන්නේ නැහැ. පෘථිවියෙන් ලැබෙන එම ආවරණය ජේම්ස් වෙබ් දුරේක්ෂය නිවැරදි ව ක්‍රියා කිරීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ නිසා සංවේදක පද්ධතිය ආවරණය කරමින් විශාල සුර්යය ආවරකයක් (sun shield) මෙම දුරේක්ෂයට සවිකර තිබෙනවා. ජේම්ස් වෙබ් දුරේක්ෂය සුර්යයාගෙන් ඉවතට යොමුවී තිබෙන අතර ආවරකය මගින් සුර්ය තාපය ආවරණය කරනවා.

ජේම්ස් වෙබ් දුරේක්ෂයේ සුර්ය ආවරකය – flickr.com

 

ජේම්ස් වෙබ් දුරේක්ෂය ක්‍රියා කළ යුතු වන්නේ සෙල්සියස් අංශක -233ක අධික සිසිල් උෂ්ණත්වයක යි. නමුත් සුර්ය ආවරකය නොවන්නට L2 පිහිටුමේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -83ක් වැනි ඉහළ අගයක් ගන්නවා. අභ්‍යවකාශය යනු රික්තයකට ඉතාම ආසන්න තත්වයක් නිසා සෙල්සියස් අංශක -83 වැනි උෂ්ණත්වයේ දී ජලය නැටීමට ද ලක්වන බව මෙහි දී සඳහන් කළ යුතු යි. එවැනි තාපය අධික තත්වයක් යටතේ මෙම දුරේක්ෂයට අපේක්ෂිත මයික්‍රෝන 28.5 දක්වා වූ පරාසයක අධෝරක්ත කිරණ ග්‍රහණය කරගැනීම අසීරු යි. සුර්ය ආවරකය මතට පතිත වන කිලෝවොට් 200ක පමණ වන සුර්ය තාපය දුරේක්ෂය වෙත ළඟා වීම සම්පුර්ණයෙන් වැලැක්වීම සුර්ය ආවරකය මගින් ඉටු කරනවා.

මෙම සුර්ය ආවරකය බරින් අඩුවීමත් තාප ප්‍රසාරණය නිසා හැඩය සහ ප්‍රමාණය වෙනස් නොවීමත් අත්‍යවශ්‍ය වන අතර ඒ සමඟ ම සුර්ය විකිරණවලට වසර ගණනාවක් ඔරොත්තු දීමේ ඉහළ හැකියාවකින් ද පැවතිය යුතු වනවා. මේ සඳහා තෝරාගෙන ඇත්තේ Kapton නම් සුවිශේෂී ප්ලාස්ටික් විශේෂයක් වන අතර ඒවා එකිනෙක අතර පරතරයක් සිටින සේ තැබු ස්තර 5ක් ලෙස සකස් කර සුර්ය ආවරකය නිර්මාණය කර තිබෙනවා. සුර්යයාට ආසන්නයේ ම ඇති ස්තරයේ ඝනකම 0.05mm වන අතර සෙසු ඒවා 0.025mmක ඝනකමකින් යුක්ත යි. මේවායේ පාරදෘශ්‍ය බව ඉවත් කිරීමටත් පරාවර්තක ස්වභාවයක් ලබා දීමටත් නැනෝමීටර 100ක ඝනකමකින් යුත් ඇලුමිනියම් ලෝහාලේපනයක් යොදා තිබෙනවා. පළමු ස්තර දෙකෙහි පිටත පමණක් නැනෝමීටර 50ක සිලිකන් ආලේපයක් ද යොදා තිබීම විශේෂත්වයක්.

ජේම්ස් වෙබ් දුරේක්ෂය – newatlas.com

ස්තර අතර ගමන් ගන්නා තාප විකිරණ සන්නයනයෙන් අනෙක් ස්තරයට ගමන් කරන්නේ නැහැ. ඒවා අතර අභ්‍යවකාශ රික්තය පැවතීම මෙයට හේතුව යි. තාපය විකිරණ ලෙස ගමන් කිරීම වැලැක්වීමට මෙම ස්තර සුවිශේෂී හැඩයකින් ආනත කර තිබෙනවා. ටෙනිස් පිටියක් තරම් විශාල වන මෙම සුර්ය ආවරකය මගින් පෙර සඳහන් කළ 200 kW තාප ප්‍රමාණයෙන් දුරේක්ෂය වෙත යැවෙන්නේ 1 W කටත් අඩු ප්‍රමාණයක් බවටයි ගණන් බලා ඇත්තේ.

දුරේක්ෂයෙන් අධෝරක්ත සංඥා ලබාගන්න ප්‍රධාන ඒකකය නිවැරදි ව ක්‍රියාත්මක වීමට නම් එය කෙල්වින් 6.2 ක (-266.95 C) උෂ්ණත්වයක පැවතිය යුතු වනවා. එනම් එය විශ්වයේ පැවතිය හැකි අවම උෂ්ණත්වය වන කෙල්වින් අංශක 0ට වඩා අංශක 6.2ක් පමණක් ඉහළ අගයක්. මෙම උෂ්ණත්වයට ළඟා වීමට නම් විද්‍යුතයෙන් ක්‍රියාකරන සිසිලකයක් යොදාගත යුතු යි. චලනය වන කොටස් හැකිතාක් අවම කර නිර්මාණය කර ඇති මෙම සිසිලකය මගින් කිසිදු කම්පනයක් නිර්මාණය නොවිය යුතු වනවා. මක් නිසාද ඉතාම සුළු කම්පනයකින් පවා දුරේක්ෂය මගින් ආලෝක වර්ෂ බිලියන 10කට එපිටින් ඇති අභ්‍යවකාශ වස්තුවල ලබාගන්නා ඡායරූප බොඳ වී යෑම සිදුවන නිසාවෙන්. එමෙන් ම මෙම සිසිලකය ඉතා අඩු ශක්තියක් වැය කරන වසර ගණනාවක් විශ්වසනීය ලෙස ක්‍රියාකරන්නක් විය යුතුම යි. මෙම කොටස ඉදිකිරීමට පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වැයවූ බවයි පැවසෙන්නේ.

දුරේක්ෂයේ ප්‍රධාන කොටස් – webb.nasa.gov

 

ජේම්ස් වෙබ් දුරේක්ෂයේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නේ මීටර 6.5ක විශ්කම්භයෙන් යුත් රන් පැහැති දර්පණය යි. මෙය සඩාස්‍රාකාර කොටස් 18 කින් සමන්විත වනවා. මෙය නිර්මාණය කර ඇත්තේ බෙරිලියම් මුල්ද්‍රව්‍යයෙන් වන අතර රන් ආලේපනය කර තිබෙනවා. සිලිකාවලට වඩා වැඩි ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බෙරිලියම් බරින් ද අඩු වීම විශේෂත්වයක්. බෙරිලියම් සතු ව පරාවර්තන හැකියාවක් නොමැති නිසා ඒ මත රන් ආලේප කිරීම අත්‍යාවශ්‍ය යි. දෘශ්‍ය ආලෝකය පරාවර්තනය කිරීම සඳහා රත්‍රං සුදුසු මුල ද්‍රව්‍යයක් නොවුණත් අධෝරක්ත කිරණ පරාවර්තනය සඳහා වඩාත් ම සුදුසු වන්නේ එය යි. දර්පණයේ ස්කන්ධය අවම කිරීමට රත්‍රං ග්‍රෑම් 48ක් පමණක් සමස්ත දර්පණය ම ආලේප කිරීම සඳහා වැය වී තිබීම විශේෂත්වයක්.

දර්පණයේ ඇති සඩාස්‍රාකාර කොටස් 18 ස්වයංක්‍රීයව හැරවෙන අතර ඒවායේ දර්පණ වක්‍රතාව පවා ස්වයංක්‍රීය ලෙස වෙනස් කරගත හැකි යි. එවිට ඉතා පැහැදිලි දසුන් ලබා ගැනීම වෙනුවෙන් නිවැරදි නාභිගත කිරීමක් කළ හැකි වනවා. මිනිස් කෙස් ගසකින් 1/10000න් පංගුවක් වැනි ඉතා කුඩා වෙනස්කමක් පවා මෙම දර්පණ වලට සිදු කර ගත හැකි බවයි පැවසෙන්නේ. මෙම නාභිගත කිරීම ඉංජිනේරුවන් පෘථිවියේ සකස් කළ රික්ත පරිසර තත්වයක් තුළදී කෙල්වින් අංශක 6.2ක උෂ්ණත්වයක් යටතේ සාර්ථකව අත්හදා බලා තිබෙනවා.

වෙබ් දුරේක්ෂයේ ප්‍රධාන දර්පණය – planetary.org

නාභිගත කිරීම නිවැරදි ව සිදු වූවත් ලබා ගන්නා ඡායරූප වල බොඳ වීම් ඇති වීම සිදුවිය හැකි යි. මේ නිසා ලොව මෙතෙක් නිෂ්පාදිත මිල අධිකම රූප ස්ථායිකරණ පද්ධතිය (Image Stabalization System) මෙම දුරේක්ෂයට අන්තර්ගත කර තිබෙනවා. මේ සියල්ලට අමතර ව දුරේක්ෂයේ සුර්ය ආවරකයට පිටතින් තෙරපුම්කාරක (Thrusters) 20ක් ද සවිකර තිබෙනවා. හයිඩ්‍රසීන් ඉන්ධන ලීටර 191ක් සහ ඔක්සිඩයිසර් ලීටර 95.5ක් දුරේක්ෂයේ ගබඩා කෙරෙන අතර එම ඉන්ධන දහනයෙන් ලැබෙන බලෙයන් දුරේක්ෂ පිහිටුමේ සැලකිය යුතු වෙනස්කම් සිදු කර ගත හැකි යි. L2 පිහිටුමේ ස්වභාවික ගුරුත්ව බල හැසිරීම නිසා ඉතා අඩු ඉන්ධන දහනයකින් දුරේක්ෂය අදාළ පිහිටුමේ රඳවා තැබිය හැකි නමුත් මෙම ඉන්ධන පරිමාව ප්‍රමාණවත් වන්නේ වසර 10කට පමණක් බවයි පැවසෙන්නේ. අනාගතයේදී රොබෝ යානයක් මාර්ගයෙන් ඉන්ධන නැවත පිරවීමක් පිළිබඳ ව NASA ආයතනයේ සැලැස්මක් ඇති බවත් වාර්තා වනවා.

හබල් දුරේක්ෂය මෙන් ගගනගාමීන් යොදා ගෙන අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට නොහැකි දුරකින් (1.5km million) ජේම්ස් වෙබ් දුරේක්ෂය ස්ථාපිත කෙරෙන නිසා සියල්ල නිවැරදි ව ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය කරුණක්. යම් දෝෂයක් සිදු වුවහොත් සම්පුර්ණ දුරේක්ෂය ම අත්හැර දැමීමට සිදුවීමේ අවධානමක් ද පවතිනවා. මේ නිසා දුරේක්ෂය අභ්‍යවකාශයට ගෙන යන රොකට්ටුව තුළ හකුළුවා ගෙන ගොස් එය ස්වයංක්‍රීය ව දිගහැරීමේ කාර්යය ද ඉතාමත් නිවැරදිව සිදු විය යුතු යි. විශේෂයෙන් සුර්ය ආවරකයේ ඉතා තුනී ස්තර නිවැරදි ව දිගහැරීම සඳහා සුවිශේෂී ඉංජිනේරු තාක්ෂණයක් භාවිත කර තිබෙනවා. මෙම ක්‍රියාවලිය සඳහා පමණක් දින 3ක් ගත වන අතර පෘථිවියෙන් දියත් වීමේ සිට දුරේක්ෂය ක්‍රියාත්මක වන මට්ටමට පැමිණීමට මාස 6ක් පමණ ගතවනවා.

ජේම්ස් වෙබ් දුරේක්ෂය අභ්‍යවකාශයේදී දිගහැරෙන ආකාරය පෙන්වන ග්‍රැෆික් වීඩියෝවක් මෙතැනින් නරඹන්න.

ජේම්ස් වෙබ් දුරේක්ෂයේ විශ්මිත හැකියාව

වොට් 5ක බල්බයක් සඳ මතුපිට දල්වා ඒ දෙස පෘථිවියේ සිට බැලුවහොත් එම බල්බය නිකුත් කරන ආලෝකයේ දීප්තිමත් භාවය nanojansky ඒකක 20ක්. එවැනි ඉතාම අඩු දීප්තියක් පෘථිවිය මත සිට දුරේක්ෂයකින් හෝ දැකගැනීම අපහසු බව ඕනෑම අයකුට පැහැදිලි යි. නමුත් ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් nanojansky ඒකක 1ක් පමණ ඉතාම සුළු දීප්තතාවක් පෙන්වන අභ්‍යවකාශ වස්තුවක් පවා හඳුනා ගත හැකි බවයි පැවසෙන්නේ.

ජේම්ස් වෙබ් දුරේක්ෂයේ සහ හබල් දුරේක්ෂයේ ප්‍රධාන දර්පණවල විශාලත්ව සංසන්දනයක් – klub.senior.pl

එතරම් ආලෝකයක් ග්‍රහණය කර ගැනීම සඳහා ප්‍රධානත ම සාධකය වන්නේ ජේම්ස් වෙබ් දුරේක්ෂය සතු සුවිසල් දර්පණය යි. මෙය හබල් දුරේක්ෂයේ දර්පණයේ වර්ගඵලය මෙන් 6 ගුණයක් වනවා මෙන්ම 100 ගුණයක් ප්‍රබල සංවේදක හැකියාවක් ද පවතිනවා. එතරම් විශාල දර්පණයක් භාවිත කළත් ආලෝක වර්ෂ බිලියන 10ක පමණ දුර පිහිටි අභ්‍යවකාශ වස්තූන්වලින් ග්‍රහණය කරගත හැක්කේ තත්පරයට පෝටෝන 1ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණ යි. සාමාන්‍යයෙන් පියවි ඇසට පෙනෙන තාරකාවකින් තත්පරයට පෝටෝන මිලියනයක් පමණ අපගේ ඇස වෙත එනවා. එනම් එතරම් දීප්තතාව අඩු අභ්‍යවකාශ වස්තූන්ගේ සිට එන ආලෝක හඳුනා ගැනීමට තරම් ජේම්ස් වෙබ් දුරේක්ෂය ප්‍රබල බව පැහැදිලි යි.

Ariane 5 රොකට්ටුව සහ එහි ඉහළම කොටසේ ජේම්ස් වෙබ් දුරේක්ෂය ගබඩා කෙරෙන ආකාරය – flipboard.com

අධෝරක්ත කිරණවලට අභ්‍යවකාශයේ ධූලි වලාවන් විනිවිද යා හැකි නිසා තාරකා සහ මන්දාකිණි නිරීක්ෂණය වඩා පහසු වනවා. මේ නිසා විශ්වයේ මුලින් ම නිර්මාණය වූ තාරකා සහ මන්දාකිණි නිර්ක්ෂණය කළ හැකි අතර ඒවායේ සිට එන අධෝරක්ත තරංග වර්ණවලිමාන මගින් නිරීක්ෂණයෙන් ඒ බව තහවුරු කරගත හැකියි. උදාහරණයක් ලෙස එම තාරකාවලින් ලැබෙන්නේ හයිඩ්‍රජන් සහ හීලියම් පරමාණුක වර්ණාවලි පමණක් නම් ඒවා මුල්ම තාරකා බවට නිගමනය කළ හැකි යි. මක් නිසාද අනෙකුත් මුලද්‍රව්‍ය නිර්මාණය වූයේ හයිඩ්‍රජන් සහ හීලියම් වසර ගණනාවක් තිස්සේ අධික තාපයට සහ පිඩනයට ලක්වීමෙන් සිදුවූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා දාමය හේතුවෙන් වීම යි.

වෙබ් දුරේක්ෂය දියත් කිරීමේ කාල රාමුව  – everydayastronaut.com

ජේම්ස් වෙබ් දුරේක්ෂය දෙසැම්බර් 25 වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 5.50ට දකුණු අමෙරිකාවේ ප්‍රංශ ගයානාහි (French Guiana) යුරෝපීය අභ්‍යවකාශ තොටුපළේ Arianespace’s ELA-3 අභ්‍යවකාශ අංගනයෙන් සාර්ථකව අභ්‍යවකාශගත කෙරුණා. ඉහළ විශ්වසනීයත්වයක් සහිත Ariane 5 ECA රොකට්ටුව ආධාරයෙන් අභ්‍යවකාශයට ගෙන ගිය අමෙරිකානු ඩොලර් බිලියන 10ක වියදමින් සෑදුණු ජේම්ස් වෙබ් දුරේක්ෂය දින 14කින් L2 පිහිටුම වෙත ළඟා වනු ඇති අතර ඉන්පසු මාස 6ක් පුරාවට පියවර වශයෙන් තම ක්‍රියාන්විතය සඳහා සුදානම් වනු ඇති. එයින් පසු ගැඹුරු විශ්වයේ මෙතෙක් නොදුටු සුපැහැදිලි ඡායාරූප සමඟ විශ්වයේ උපතේ කතාවත් ලෝකයාට විස්තර කරනු ඇති.

කවරයේ ඡායාරූපය - ජේම්ස් වෙබ් දුරේක්ෂය - nasa.gov

මූලාශ්‍ර:

jwst.nasa.gov

space.com

phys.org

britannica.com

forbes.com

quantamagazine.org

wsj.com

sciencealert.com

skyandtelescope.org

Related Articles

Exit mobile version