රටක් වැනසිය හැකි ICBM එකක් ක්‍රියා කරන්නේ මෙහෙමයි.

කෙටිම කාලයකදී භෞතික වශයෙන් වැඩිම විනාශයක් කළ හැකි ආයුධය මොකක්ද කියලා ඇහුවොත් ලැබෙන උත්තර අතරේ න්‍යෂ්ටික ආයුධ වර්ග බොහොමයක් අන්තර්ගත වෙනවා. න්‍යායික වශයෙන් ගත්තාම Antimatter, එහෙමත් නැතිනම් “ප්‍රති පදාර්ථ” පාවිච්චි වෙන ආයුධයක් සිය ගුණයක් බලවත් වුණත් දැනට තියෙන තාක්ෂණය අනුව ප්‍රායෝගිකව ගත්තාම වැඩිම ශක්තියක් පිට කරන්න පුළුවන් ක්‍රමය වෙන්නේ න්‍යෂ්ටික විලයන (nuclear fusion) ප්‍රතික්‍රියාවක් උපයෝගී කර ගන්නා බෝම්බ වර්ගයි. (සාමාන්‍ය ව්‍යවහාරයේ හයිඩ්‍රජන් බෝම්බ කියා හැඳින්වෙනවා)

මේ වගේ අති විනාශකාරී බෝම්බයක් ලෝකයේ ඉතා අෑතින් අැති ඕනෑම තැනකට යොමු කරන්න පුළුවන් ඉක්මන්ම ක්‍රමවේදය අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක්, එහෙමත් නැතිනම් ICBM එකක් කියලා බොහොම සරලව කියන්න පුළුවන්. ඉතින් ලෝකයේ දැනට හොයාගෙන ඇති විනාශකාරීම ආයුධය ICBM එක කියන එකේ වරදක් නැහැ.

හිරෝෂිමාවට මේ විනාශය කළේ මුල් කාලයේ පරමාණු බෝම්බයක්, නැත්නම් පරමාණුක විඛණ්ඩන (atomic fission) බෝම්බයක්. දැන් තියෙන න්‍යෂ්ටික විලයන බෝම්බ ඒ වගේ සිය දහස් ගුණයක් ප්‍රබලයි. (Nbcnews.com)

අපි පසුගියදා Roar සිංහල වෙබ් අඩවියේ පළ කරපු ලිපියකට අදහස් දක්වපු වැඩි දෙනා මේ ICBM එකක් ක්‍රියා කරන විදිහ ගැන සම්පූර්ණයෙන්ම වැරදි වැටහීමක ඉන්න බවක් පෙනෙන්න තිබුණා. උතුරු කොරියාව ජූලි 4 වැනිදා අත්හදා බලපු ICBM එක ගැනත්, ICBM ගැන කෙටි හැඳින්වීමකුත් අඩංගු වුණු ඒ ලිපියේ කරුණු වැරදියි කියලා වැඩි දෙනෙක් අදහස් දක්වලා තිබුණේ ඔවුන්ගේ ඒ වැරදි වැටහීම නිසායි. ඉතින් අපිට සාමාන්‍යයෙන් හිතෙන විදිහට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයකට ක්‍රියාත්මක වෙන ICBM ගැන පැහැදිලි කෙරෙන ලිපියක් Roar ටෙක් එකේ පළ කරන්න අපි තීරණය කළා. මේ ලිපිය කියවලා ඒ ගැන වටහා ගත්තාම ඔබට අපි Roar සිංහල තුළ පළ කරපු ලිපිය ආයෙත් කියවලා උතුරු කොරියාව වැනි රටක් මෙවැනි ආයුධයක් තැනීමට හැකියාව ලබා ගත්තු එකේ භයානක කම වඩාත් හොඳින් වටහා ගන්න පුළුවන් වේවි.

වේගයෙන් යනවාට දැඩි සේ විරුද්ධ වායුගෝලය.

මිනිසා න්‍යෂ්ටික විලයන බෝම්බ නිර්මාණය කරන්න ඉගෙන ගත්තාට පස්සේ ඊළඟ උත්සාහය වුණේ ඒවා තමන්ගේ සතුරන්ට එරෙහිව යොදා ගන්න තියෙන හොඳම ක්‍රමය සොයා ගන්න එකයි. මේ තරගය ඇති වුණේ ඇමරිකාව සහ සෝවියට් දේශය අතර නිසාත්, භූගෝලීය ව මේ රාජ්‍යයන් දෙක පිහිටා තිබෙන්නේ කිලෝමීටර් දහස් ගණනක් ඈතින් නිසාත්, මේ රාජ්‍යයන් දෙකම ඉතා විශාල ඒවා නිසාත් ඉතාම වේගයෙන් තමන්ගේ න්‍යෂ්ටික බෝම්බ අනිත් රටට එල්ල කරන්න ඔවුන් උත්සාහ කළා. ඒ සියලු දෙනාටම වැටහුණු පරම සත්‍යය තමයි වායුගෝලය ඇතුළේ මේ වැඩේ කරන්න බැරි බව.

අපේ වායුගෝලය කියන්නේ වේගයෙන් යනවාට පුදුම අකමැත්තක් දක්වන දෙයක් කිව්වොත් වැරැද්දක් නැහැ. අපි ගමන් කරන වාහනයක වුණත් වේගය වැඩි කරන්න කරන්න ඉන්ධන වැඩිම ප්‍රමාණයක් දහනය වෙන්නේ වායුගෝලයට එරෙහිව යන්නයි. වායුගෝලය වේගයෙන් යනවාට දක්වන විරෝධය හඳුන්වන්නේ වායු ප්‍රතිරෝධය කියලයි. වේගය වැඩි කරන්න කරන්න වායු ප්‍රතිරෝධය ඊටත් වඩා වේගයෙන් වැඩි වෙනවා. වාහනයකට පැයට කිලෝමීටර් 100ක වේගයක් ගන්න සාමාන්‍ය එන්ජිමක් හොඳටම ප්‍රමාණවත් වුණත් ඒ වගේ හතර ගුණයක, නැතිනම් පැයට කිලෝමීටර් 400ක වේගයක් ගන්න නම් ඒ වගේ දහ පහළොස් ගුණයක බලයක් ලබා දෙන එන්ජිමක් අවශ්‍ය වෙනවා.

අධිවේගී වාහන හැම එකක්මත්, ඉන්ධන පිරිමසන්න අවශ්‍ය වාහනත් වායු ප්‍රතිරෝධය හැකි තරම් අවම කර ගන්න පුළුවන් හැඩවලින් නිර්මාණය කෙරෙනවා. (phys.uaf.edu)

 

ඉතින් දැන් අපි ඇමරිකාවයි රුසියාවයි ගැන හිතමු. කිලෝමීටර් හත් අට දාහක දුරක් පැයකදී වගේ යන්න නම් පැයට කිලෝමීටර් හත් අට දාහක වේගයකුත් අවශ්‍ය වෙනවානේ. වායු ප්‍රතිරෝධයත් එක්ක ඔය වැඩේ කරන්න බැරි වෙන්න හේතු ගොඩයි. ප්‍රධානම දේ තමයි බලය ප්‍රමාණවත් නැති එක. කෙටි කාලයකට වායු ප්‍රතිරෝධය මැඩගෙන යන්න පුළුවන් වුණත් කිලෝමීටර් හත් අට දාහක් යන්න කීයටවත් බැහැ. ගෙනියන ඉන්ධන වැඩි වෙන තරමට බර වැඩි වෙලා වේගයෙන් යන එක අපහසු වෙනවානේ. අනික තමයි උණුසුම. එච්චර කාලයක් තිස්සේ මේ තරම් වේගයකින් යන්න ගියොත් මිසයිලය උණු වෙලා යනවා නියතයි.

ගත්තු දේ ලෝබ නැතිව ආපසු දෙන ගුරුත්වාකර්ෂණය.

වායුගෝලයේ මේ වැඩේ කරන්න බැරි නම් කරන්න තියෙන එකම දේ තමයි ඒකෙන් එළියට, නැතිනම් අභ්‍යාවකාශයට යන එක. අපේ වාසනාවකට වගේ වායුගෝලය කියන්නේ සාපේක්ෂව හරිම තුනී ස්තරයක්. ඉතා උස කඳු මුදුනකට ගියත් හුස්ම ගන්නවත් ප්‍රමාණවත් වායුගෝලයක් නැහැ. පොළොව මතුපිට ඉඳලා කිලෝමීටර් 100ක් විතර ගියාම කිසිම වායුවක් නැති තරම්. ඇත්තටම ලොව පුරාම අභ්‍යාවකාශය ආරම්භ වෙනවා කියලා පිළිගැනෙන්නේත් කිලෝමීටර් 100ක උන්නතාංශයයි. (මුහුදු මට්ටමේ සිට ලම්භක උස)

ඉතින් කිලෝමීටර් හත් අට දාහක් ඈතට යන්න කිලෝමීටර් 100ක් උඩට ගිහින් ආපහු එන එක බොහොම හොඳ විසඳුමක් බව පෙනෙනවා නේද? වායුව නැති නිසා කිසිම ප්‍රතිරෝධයක් නැහැ. ඒ නිසාම වේගයක් ලබා ගත්තට පස්සේ ඒ වේගය ආපහු අඩු වෙන්නෙත් නැහැ. අභ්‍යාවකාශයේ පැයට කිලෝමීටර් 8000ක නෙවෙයි ලක්ෂ ගාණක වේගයෙන් ගියත් කිසිම උණුසුමක් හට ගන්නේ නැහැ. ඉතින් අර කිලෝමීටර් 100 යන්න විතරයි ඇත්තටම ඉන්ධන අවශ්‍ය වෙන්නේ. ඉන් පස්සේ නැවතීමක් නැතිව ඒ වේගයෙන්ම යන්න පුළුවන් කිසි කරදරයක් නැතිව.

වායුගෝලය පසු කරලා අභ්‍යාවකාශයට අැතුළු වුණාට පස්සෙ ශක්තිය වැය නොකරම වේගය පවත්වාගෙන යන්න පුළුවන්. (38north.org)

අනිත් කාරණාව තමයි අපේ ගුරුත්වාකර්ෂණය අපි වැය කරන ශක්තිය ආපහු අපිටම දෙන එක. වායු ප්‍රතිරෝධය නිසා මුල් කිලෝමීටර් 100දී යම් නාස්තියක් වුණත් ඉන් පස්සේ ආපහු එනකොට කිසිම ලෝබ කමක් නැතිව අපි පාවිච්චි කරපු සම්පූර්ණ ශක්තියම ගුරුත්වාකර්ෂණය ආපහු ලබා දෙනවා. පොඩි කාලේදීත් ඉගෙන ගත්තා වගේ අපි දෙන ශක්තිය විභව ශක්තිය විදිහට ගබඩා වෙලා ආපහු එනකොට චාලක ශක්තිය විදිහට ලැබෙනවා.

ඉතින් ICBM එකක් හදන්නේ මේ වාසිය උපරිමයෙන් පාවිච්චි කරන්නයි. කිලෝමීටර් 100ක් නෙවෙයි, ගොඩාක් ඉන්ධන වැය කරලා කිලෝමීටර් 1000ක් විතර උසකින් මිසයිලය ගමන් කරවනවා. ඉහළට යන්න වැය වන ශක්තිය විභව ශක්තිය විදිහට ඉතිරිත් වෙනවානේ. ප්‍රක්ෂිප්තය දිගේ ආපහු පහළට එන අතරේ පැයට කිලෝමීටර් 8000 වෙනුවට පැයට කිලෝමීටර් 25000කටත් වැඩි වේගයක් ලබා ගන්නවා. මුළු ගමනම යන්න ගත වෙන කාලය බැලුවත් විනාඩි 40ක වගේ කාලයක් තුළ ලෝකයේ අනිත් කෙළවරටම ළඟා වෙන්න නවීන ICBM වලට පුළුවන්. සෝවියට් සමූහාණ්ඩුව පෘථිවිය වටා කක්ෂගත කරන්න පුළුවන් ICBM පවා නිර්මාණය කළත් පසුව විනාශකාරී බව වැඩි නිසාම විවිධ සම්මුතිවලින් එ්වා තහනම් කර තිබෙනවා.

සැලකිල්ලට ගන්න වෙන අනිත් කාරණා.

කොහොම වුණත් ඉතින් ප්‍රායෝගිකව කරනකොට ජය ගන්න වෙන ගැටළු නම් බොහොමයි. එකක් තමයි ඉන්ධන වර්ගය. බොහෝ රටවල් මුල් කාලයේ පාවිච්චි කළේ ද්‍රව ඉන්ධන වර්ග. ප්‍රමාණවත් බලයක් දෙන්න පුළුවන් සංයෝග වර්ග හැම එකක්ම ඉතාම ශීතල තත්වයේ තියා ගන්න අවශ්‍ය වෙන ඒවා, මේ නිසා ඒ ඉන්ධන මිසයිලයට පුරවලා තියන්න හැකියාවක් නැහැ. මිසයිලයක් එල්ල කරන්න අවශ්‍ය වුණාම වාහනයට තෙල් ගහනවා වගේ ඒ වෙලාවට ඉන්ධන පුරවන්න සිදු වෙනවා. ඒවා නිවැරදි අනුපාතයට ඔක්සිජන් එක්ක මිශ්‍ර කරන්නත් අවශ්‍යයි. මිසයිලය වායුගෝලයෙන් එළියට යන නිසා අවශ්‍ය ඔක්සිජන් පවා ද්‍රව විදිහට මිසයිලය ඇතුළෙම ගෙන යන්න සිදු වෙනවා.

කොහොම නමුත් පසුව ඝන තත්වයේ තියෙන රොකට් ඉන්ධන නිර්මාණය කරන්න පුළුවන් වුණා. මේවා තුළ අවශ්‍ය ඔක්සිජන් අණු පවා අන්තර්ගත නිසා කිසිම ගැටළුවක් නැතිව මිසයිලයට පුරවලා තියන්නත්, ඕනෑම වෙලාවක දහනය ආරම්භ කරන්නත් පුළුවන්. ඉතින් ඉතාම කෙටි කාලයක් තුළ ICBM එක දියත් කරන්න අවස්ථාව ලැබෙනවා. නවීන ICBM වල කෙරෙන්නේ මේ වගේ ඝන ඉන්ධන රොකට් කොටස් දෙකක් හෝ තුනක් පාවිච්චි කරන එකයි. දහනය වෙලා අවසන් වෙන කොටස ඉවත් කළාම බර අඩු වෙන නිසා පහසුවෙන්ම වේගය තවත් වැඩි කර ගන්න පුළුවන් වෙනවා.

මිසයිලය ආරක්ෂිතව තබා ගැනීමත් ප්‍රශ්නයක්. පොළොව මතුපිට මේක තියා ගත්තොත් ඕනෑම සතුරෙක්ට පහර දීලා විනාශ කරන්න පුළුවන් නිසා ගොඩබිම තියෙන විශාල ලිඳක් වගේ භූගත කුටීරයක (Silo එකක් කියලයි කියන්නේ) සඟවා තබනවා. ඊට අමතරව සබ්මැරීන් ඇතුළේ, විශාල ට්‍රක් රථවල, විශේෂ රේල් ට්‍රක්වල එහෙමත් මේ මිසයිල තැබීමෙන් ඒවායේ ආරක්ෂාව වැඩි කර ගන්න පුළුවන්.

ICBM රඳවා තබා ගැනීමට පාවිච්චි කරන භූගත කුටීරයක් හෙවත් Silo එකක්. (wikimedia.org)

වායුගෝලයෙන් එළියට යන එක හරිම ලේසි වුණත් මිසයිලය ආපහු වායුගෝලයට ඇතුළු වෙනකොට මුහුණ දෙන උෂ්ණත්වය තමයි ICBM නිපදවන්න අමාරු වෙන අනික් ප්‍රධානම හේතුව. පැයට කිලෝමීටර් 25000ක විතර වේගයෙන් වායුගෝලයට ඇතුළු වුණාම ඉතාම කෙටි කාලයකදී වුණත් (මේ කිලෝමීටර් 100 තත්පර කිහිපයකදී ගෙවා දමන්න පුළුවන්!) අති විශාල උණුසුමක් හට ගන්නවා. ඉතාම දුර ප්‍රදේශයකට එල්ල කරනකොට පොළොවට තරමක් ආනතව ගමන් නිසා මේ දුර කිහිප ගුණයක් වෙන්න පුළුවන්.

නිවැරදි ඉලක්කයට එල්ල කරන්න නම් සාර්ථකව මිසයිලයට මග පෙන්වන එකත් වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම දියත් කරන කෝණය මත ඉලක්කය තීරණය වුණත් ප්‍රක්ෂිප්තයේ මුල් කොටසේ දී සුළු ප්‍රමාණයේ වෙනස්කම් කරලා ඉලක්කය හරියටම ගන්න හැකියාව තියෙනවා. ඒ සඳහා මග පෙන්වන්න GPS ඇතුළු චන්ද්‍රිකා තාක්ෂණයන් වගේම ඉස්සර මුහුදු ගමන් ගියා වගේ අහසේ තරු රටා ඇසුරින් මග සොයා ගන්න එක, මිසයිලයේ චලනයන් සංවේදකවලින් හඳුනාගෙන පරිගණක මගින් පිහිටීම ගණනය කරන එක ඇතුළු තාක්ෂණයන් විශාල ප්‍රමාණයක් යොදා ගන්නවා.

ඇයි න්‍යෂ්ටික විලයන ආයුධ විතරක්?

ඇත්තටම ICBM එකකින් අනිත් ආයුධ වර්ග (සාමාන්‍ය හෝ අධිබල පුපුරණ ද්‍රව්‍ය, රසායනික අවි, ජීව අවි වගේ) ගෙන යන්න බැරි කමක් නැහැ. නමුත් මිසයිලයේ ප්‍රමාණය එක්ක බලද්දී ගෙන යා හැකි අවිවල බර ටොන් කිහිපයකට වඩා වැඩි වෙන්න බැහැ. ටොන් කිහිපයක් තුළ මේ තරම් මිල අධික මිසයිලයක ගෙන යන්න තරම් විනාශකාරී විය හැකි එකම අවිය වෙන්නේ න්‍යෂ්ටික විලයන බෝම්බ විතරයි. ටොන් කිහිපයක න්‍යෂ්ටික අවියකින් ප්‍රබලතම පුපුරණ ද්‍රව්‍ය ටොන් මිලියන ගණනකට සමාන ශක්තියක් නිදහස් කරන්න පුළුවන්!

අැමරිකාවට අයත් Minuteman වර්ගයේ ICBM එකක්. සාමාන්‍ය ජල ටැංකියක් තරම් කුඩා න්‍යෂ්ටික යුද්ධ හිස තුළ අැති ශක්තිය සාමාන්‍ය පුපුරණ ද්‍රව්‍යවලින් ලබා ගන්න මේ මිසයිලය සුවිසල් ගොඩනැගිල්ලක් තරම් විශාල වුණත් බැහැ! (dover.af.mil)

ඒ විතරක් නෙවෙයි, මේකේ විනාශකාරී බව තවත් වැඩි කරමින් ටොන් කිහිපයක් ඇතුළේ ප්‍රමාණයෙන් කුඩා න්‍යෂ්ටික ආයුධ කිහිපයක්ම අන්තර්ගත කරන්න හැකියාව තියෙනවා. (කුඩා කියලා කියන්නේ සාපේක්ෂ දෙයක්. මේ එක න්‍යෂ්ටික විලයන බෝම්බයක ජපානයට දාපු මුල් යුගයේ පරමාණුක බෝම්බ වගේ දහ පහළොස් ගුණයක බලයක් තියෙනවා, ඒවා දහයක් විස්සක් වුණත් එක මිසයිලයක් තුළ අන්තර්ගත කරන්න හැකියාව තියෙනවා) ඒකෙ තවත් විනාශකාරී දේ තමයි එකම මිසයිලයක් ඇතුළේ තියෙන න්‍යෂ්ටික බෝම්බ තනි තනියෙන් විවිධ තැන්වලට යවන්න පුළුවන් MIRV, නැතිනම් “ස්වාධීනව ඉලක්ක කළ හැකි බහු ප්‍රතිපිවිසුම් වාහක” තාක්ෂණය. (Multiple Independently targetable Re-entry Vehicle) නිකමට හිතන්න එක මිසයිලයකින් නගර විස්සකට හිරෝෂිමා බෝම්බය වගේ දහ ගුණයක් බැගින් ප්‍රබල න්‍යෂ්ටික බෝම්බ විස්සක් දාන්න පුළුවන් කියලා? මිසයිල තියෙන්නෙත් එකක් නෙවෙයි, සමහර මිසයිල අඩවිවල ICBM සීයක් පමණ අන්තර්ගත වෙනවා!

සෝවියට් දේශය, ඇමරිකාව, චීනය ඇතුළු මේ මිසයිල තාක්ෂණය තිබෙන රටවල් එකතු වෙලා හදා ගත්තු සම්මුතිවලින් මේ එක් බෝම්බයක උපරිම ශක්තිය, එක් මිසයිලයක අඩංගු කළ හැකි උපරිම MIRV ප්‍රමාණය වගේ දේවල්වලට ඔවුන්ම සීමා පනවාගෙන තියෙනවා. ඒත් වගකීමක් නැති උතුරු කොරියාව වගේ රටකට ඒ හැම සම්මුතියකටම පිටින් ගිහින් මහා විනාශයක් කරන්න පුළුවන්. හරි තාක්ෂණය නැතිව එල්ල කරන මිසයිලයක් නිසා අදාලම නැති රටකට වුණත් හානි වෙන්න පුළුවන්.

ලංකාවේ පාරවල්වල දකින්න ලැබෙන ට්‍රැෆික් කෝන් එකක් තරමේ මේ හැම අවියකම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ටොන් ලක්ෂ ගණනක ශක්තිය අඩංගුයි!! (defense.pk)

ලොව විනාශකාරීම අවිය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ හේතු නිසා.

කලින් කියපු කාරණා එක්ක මේ ආයුධවල විනාශකාරී බව ඔබ දැනටමත් බොහෝම හොඳින් වටහාගෙන ඇති. ඒත් ICBM සැබෑවටම හානිකර වෙන්න ඊටත් වඩා ප්‍රබල හේතු කිහිපයක් තියෙනවා.

පළවෙනිම දේ තමයි මේක ගමන් කරන කාලය ඉතා කෙටි වෙන එක. තවත් රටකට පහර දෙන්න කියලා නියෝගයක් කරලා විනාඩි 30ක වගේ කාලයක් තුළ සතුරු රටේ පැතිරුණු විනාශයක් සිදු වෙනවා. හිත හිතා ඉන්න, සාකච්ඡා පවත්වන්න වෙලාවක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ බව තේරුම් අරන් තියෙන නිසාම බොහෝ විට අනිත් රටෙන් වහාම හැකි උපරිම ICBM ප්‍රමාණයකින් පෙරළා පහර දෙන එකයි කරන්න තියෙන එකම දේ. මේ නිසාම කිසිම රටක් තනි ICBM එකක් එල්ල කරන්නේ නැහැ. මුලින්ම පහර දෙන්නත් තියෙන එකම සාර්ථක ක්‍රමය හැකි උපරිම ශක්තිය යොදා, හැකි තරම් වැඩි මිසයිල ගණනක් දියත් කරන එකයි.

අැමරිකාව, රුසියාව හා චීනය අැතුළු ICBM අැති බොහෝ රටවල මෙවැනි ජනශුන්‍ය ප්‍රදේශවල පැතිරුණු, මිසයිල සිය ගණනක් සහිත ICBM පද්ධති පවතිනවා. (theepochtimes.com)

අනිත් දේ තමයි ICBM එකක් දියත් කළාට පස්සේ ඒ තීරණය ආපහු වෙනස් කරන්න බැරි එක. ගමන් මගේ ලොකු වෙනස්කම් කරන්න බැරි නිසා ප්‍රහාර එල්ල කරලා විනාශ කරලා දැම්මොත් මිසක් ICBM එකක් ඉලක්කයට යන එක කිසිම විදිහකින් වෙනස් කරන්න බැහැ. (හරියට තව කෙනෙක්ට ගලකින් දමලා ගැහුවාම ඒකෙ ගමන් මග වෙනස් කරන්න බැහැ වගේමයි) සතුරු රටේ රේඩියෝ සංඥාවලින් බාධා කරලා අක්‍රීය කරන්න ඉඩ දෙන්න බැරි නිසා ගමන් ආරම්භ කරාට පස්සේ කිසිම නියෝගයක් පිළි පදින්නේ නැති විදිහටයි බොහෝ ICBM නිර්මාණය වෙන්නේ.

ඒ විතරක් නෙවෙයි. ගමනේ මුල් කොටසේ විතරක් ඉන්ධන පාවිච්චි කරන නිසා ICBM එකක් චාලක ශක්තිය යටතේ ගමන් කරනකොට කිසිම ක්‍රමයකින් හඳුනා ගන්න බැරි තරම්. ප්‍රායෝගිකව ආපහු හඳුනාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ වායුගෝලයට ඇතුළු වෙලා එන තත්පර කිහිපයක කාලයේදී විතරයි. ශබ්දයේ වේගය වගේ විසි ගුණයක විතර වේගයෙන් එන ICBM එකේ ඉතා කුඩා යුද්ධ හිස් ශබ්දය ඇහෙන්නත් කලින් පුපුරා ගිහින් තැන් කිහිපයකම සුවිසල් විනාශයන් සිදු කරලා ඉවරයි. ඒ වගේ අවස්ථාවක බේරෙන්න තියෙන්නේ අංශු මාත්‍ර සම්භාවිතාවක් විතරමයි.

ICBM එකක අඩංගු ප්‍රබල න්‍යෂ්ටික බෝම්බවලටත් වඩා ඒ පිළිබඳ මේ වගේ කාරණා තමයි එය ලොව විනාශකාරීම අවිය බවට පත් කරන්නේ. එවැන්නක් වගකීමක් නැති, තමන්ගේ ජනතාව අනතුරේ හෙළන්න කිසිම පැකිළීමක් නැති රටක අයිතියට පත් වෙන එකේ භයානක කම තීරණය කරන එක ඔබටම භාරයි.

මූලාශ්‍ර :

  1. space.com
  2. fas.org
  3. history.nasa.gov
  4. simplydecoded.com
  5. eskify.com
  6. history.com
  7. Wikipedia

කවරයේ රූපය : (aame.in)

Related Articles

Exit mobile version