Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරිගණකයට Mouse එකක් තෝරාගන්නේ කොහොමද?

නිතර පාවිච්චි කරන ලැප්ටොප් එකට, ඩෙස්ක්ටොප් පරිගණකයකට මවුස් එකක් තෝරාගැනීම අපි හරියාකාරව නොකරන නිසා ටික කාලෙකින්ම අත්වල වේදනාවන්, මවුස් එක වැඩ නොකර යාම් ඇති වෙනවා. මවුස් එකක් ගන්නේ කොහොමද යන්න වැඩි දෙනෙක් අවධානය යොමු නොකරන කරුණක් නිසා ඒ දැනුමින් ඔබව පොහොසත් කරන්නයි මේ ලැහැස්තිය.

අවශ්‍යතාවයට ගැලපෙන එකක්

pxhere.com

භාණ්ඩයක් මිලදී ගනිද්දී අපි හැමවිටම සිතන්නේ මිල ගැන ම පමණයි. නමුත් පසුගිය මිලදී ගැනීම් සඳහා උපදෙස් සැපයූ ලිපිවලින් අපි අවධාරණය කරන්නට උත්සාහ කළේ මුදලට වඩා අවශ්‍යතාවය මූලික කරගත් තෝරාගැනීම් කළ යුතු බවයි. එවන් ආර්ථික මට්ටමකට පැමිණෙන්නට රැකියාවන් ගැන පවා අපි කතා කළා. මවුස් එකක් තෝරාගනිද්දීත් විවිධ මිල ගණන් යටතේ ඒවා දකින්න ලැබෙනවා. වයර් රහිත මවුස් අන්තර්ජාල වෙළඳපොළෙන් රුපියල් 300කට පමණ ගත හැකි වුවත් කලක් යද්දී ඒවායෙන් Click කරද්දි Back වෙනවා. (අත්දැකීමෙනි!) එනිසා මුදල සහ ඒ ගාණට ලැබෙන දේ යන දෙකම සම-සමව පවත්වා ගත හැකි නම් එය හොඳ තෝරා ගැනීමක් බවට පත් වෙනවා.

Gaming වලට

aolcdn.com

පරිගණක ක්‍රීඩා ලෝලියෙක් නම් ඒ වෙනුවෙන්ම නිපදවපු මවුස් එකක් තෝරාගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. Sniper එකක් හරියට එල්ල කරන්න නම් මවුස් එකේ සංවේදක නිවැරදිව, සුමටව උපකාරී විය යුතු වෙනවා. Button ප්‍රමාණය ද මේවායේ වැඩි නිසා කීබෝඩ් එකේ සහායක් නැතිවම ගේම් එකට අදාල ලෙස controls සකසා ගන්නට අවස්ථාව ලැබෙනවා. මේවා සතු DPI button එක හරහා mouse pointer එක චලනය වන වේගය Control Panel එකට නොයාම, ගේම් එක අතරතුරේදීම අවස්ථානෝචිත විධියට සකසා ගන්නට පුළුවන් වීම ඔබව හොඳ පරිගණක ක්‍රීඩකයෙක් බවට පත් කරවනවා.

ගමන් බිමන්වලට

lifewire.co

නිතර travel කරනවා නම් මේසයක් මතම වැඩ කරන්නට ලැබෙන්නේ නැහැ වගේම බෑග් එකේ සුවිසල් මවුස් එකකට ඉඩ වැයවීම අපහසුතා ඇති කරවනවා. ඒ වෙනුවෙන්ම සකසන ලද කුඩා ප්‍ර‍මාණයේ මවුස් නිපදවා තිබෙන අතර බොහොමයක් අඩු මිල ගණන් දරන නිසා මඟතොටේදී නැති වුණොත් තවත් එකක් ගන්නට සිදුවීම ලොකු ප්‍ර‍ශ්නයක් බවට පත්වන්නේත් නැහැ. මේවා බොහොමයක් අතට ඇතිවන අපහසුතාවන් ගැන නොසලකා සකසා ඇති නමුත් වයරය අවශ්‍ය ප්‍ර‍මාණයට දිගු-කෙටි කිරීමට පහසුකම් සැලසීම, කුඩා ප්‍ර‍මාණයෙන් යුතු වීම හා ඇතැම් විට බ්ලූටූත් හරහා සබැඳිය හැකි වීම වැනි මඟතොටට ගැලපෙන ආකාරයේ විශේෂාංගයන්ට හිමිකම් කියනවා.

අතේ පහසුව

salefreaks.com

ඒකාකාරී පැතලි මවුස් වෙනුවට Ergonomic නමින් තමන්ටම විශේෂිත, අතට ගැලපෙන ආකාරයෙන් යුත් මවුස් නිපදවා තිබෙනවා. දිගු කාලයක් මවුස් එක අල්ලාගෙන සිටින අයට මෙවන් එකක් තෝරා ගැනීම අතේ ඇතිවන ආබාධයන් අවම කරන්නට උපකාරී වන පරිදි මවුස් එක මත, අත නිදැල්ලේ පවතින ආකාරයේ design ඒවා සතු වෙනවා.

බහුතරයක් මවුස් දකුණු අත හුරු අය වෙනුවෙන් නිපදවා තිබෙන නමුත් වමත හුරු අය වෙනුවෙන් ද විශේෂිත ආකාරයට සැකසූ මවුස් තිබෙනවා. අතේ ප්‍රමාණය විශාල කෙනෙක්ට ඉතා කුඩා ප්‍ර‍මාණයේ travel mouse එකක් ගැලපෙන්නේ නැහැ. “ක්ලික්“ ශබ්දයට ඇති කැමැත්ත අනුව අතේ පහසුව මෙන්ම කණේ පහසුව ගැනත් තීරණයක් ගත යුතු වෙනවා. මේ හැම එකකටම පිළිතුර Ergonomic මවුස් සතුව තිබෙනවා. බහුතරයක් වෙනුවෙන් සකසන සාම්ප්‍රදායික මවුස් එකක් වෙනුවට තමන්ටම උචිත, අතට අපහසුතා ගෙන නොදෙන, හිතට සැනසීම ගෙනෙන මවුස් එකක් තෝරා ගන්නට මේ මාදිලිය උපරිම පහසුකම් සපයනවා.

DPI අගය

venturebeat.com

ෆෝන් එකක්, කැමරාවක් තෝරද්දී මෙගාපික්සල් ගණන ගැන සැලකිලිමත් වෙනවා වගේ මවුස්වලට තිබෙන මිනුම තමයි, DPI හෙවත් අඟලකට ඇති තිත් ගණන (Dots Per Inch) කියන්නේ. මෙමගින් මවුස් එක චලනය කරද්දී ඊට සාපේක්ෂව තිරය මත mouse pointer එක චලනය වන ප්‍රමාණය පෙන්වනවා. නමුත් මේ අගය වැඩි වූවාට ම එය හොඳ, ඔබට ගැලපෙන මවුස් එකක් බවට පත් වන්නේ නැහැ.

ඔබ සතුව පළල 3840px වන 4K තිරයක් සහ DPI අගය 400ක් වුණු මවුස් එකක් තිබෙනවා නම් pointer එක එක් කොණක සිට අනෙක් කොණට ගෙනියන්න අඟල් 10ක් විතර දුරට මවුස් එක ඇදගෙන යන්නට සිදු වෙනවා. ඔව්, මේසෙනුත් බිමට. Control Panel එකෙන් pointer speed එක වැඩි කරගෙන ඒ අපහසුතාව සකසා ගන්න නම් පුළුවන්. ගණිතමය වශයෙන් 3000DPI එකක් තිබුණා නම් ඒ දුර අඟල් එකහමාරක් දක්වා අඩු වෙනවා. මෙහිදී ගත යුත්ත නම්, Screen එකේ ප්‍ර‍මාණය හා ඔබ කරන වැඩ අනුව DPI එක ගැන සැලකිලිමත් විය යුතු බවයි.

සාමාන්‍ය ලිපිගොනු සැකසීමේ කටයුතු කරන කෙනෙක්ට නම් මේ අගය තැකිය යුතු වන්නේ නැහැ. වැඩි resolution එකක් හෝ මොනිටර් කීපයක් පාවිච්චි කෙනෙක්ට වැඩි අගයක් වැදගත් වෙනවා. Gaming කරන අයට නම් පාවිච්චි කරන අතරතුරේදීම එම අගය වෙනස් කරගත හැකි DPI button එකක් තිබෙන එකක් අවශ්‍ය වෙනවා. ඡායාරූප සංස්කරණය වැනි සියුම් කටයුතු කරන අයට නම් DPI අගය අඩු වන තරමට සුළු ප්‍ර‍මාණවලින් pointer එක පාලනය කරමින් කටයුතු පහසු කරගන්න පුළුවන්.

වයර්ලස් මවුස් වර්ග

ytimg.com

වයර් පටලවා ගෙන මවුස් එක පාවිච්චි කරන එක මේසය මත තිබෙන ඉඩකඩ අනුව ගත යුතු තීරණයක්. රැහැන් රහිත, එහෙමත් නැත්නම් wireless mouse එකක් තෝරා ගනිද්දී මාදිලි දෙකක් වැඩිපුර දකින්නට තිබෙනවා. ඒ, RF හෙවත් Radio Frequency සහ Bluetooth යන මාදිලි දෙකයි. කලින්ම උත්තරේ කිව්වොත්, මේ දෙකෙන්ම හොඳම එක බ්ලූටූත් මවුස් එකයි.

RF මවුස් එකක් පාවිච්චි කරන එක ටිකක් පහසුයි. ඒ සමඟ ලැබෙන ඩොන්ගල් එක USB එකට සම්බන්ධ කළ වහා නිවැරදිව වැඩ කරදෙන්න එය සූදානම්. මේවා විකුණන්නේ “Blue-tooth” මවුස් යන නමින් වුණාට “නිල්-දත්” වෙළඳසල් හිමියාටවත් නැහැ. බ්ලූටූත් මවුස් එකක ඇති විශේෂත්වය වන්නේ එය සමඟ ඩොන්ගල් එකක් නොලැබීමයි. එය බ්ලූටූත් හෙඩ්සෙට් එකක් මෙන් pair කළ යුතු වෙනවා. ඒ සඳහා මඳ කාලයක් ගත වුණත්, RFවල මෙන් ඩොන්ගල් එක නැතිවුණොත් එය භාවිත කරන්නට නොහැකි වීමේ ගැටළුව සහ උපාංග අතර මවුස් එක හුවමාරු කරගෙන පාවිච්චි කරනවා නම් නිතර නිතර USB ඩොන්ගල් එක ගලවන්නට සිදුවීම, සවිකළ විට එක් USB පෝට් එකක් වෙනත් වැඩකට පාවිච්චි කරන්නට නොහැකිවී යාම වාගේ ගැටළු රැසක් බ්ලූටූත් මවුස් එකකින් විසඳෙනවා.

techregar.com

ප්‍රොජෙක්ටරයකින් හෝ ටීවී එකකින් වැනි දුර සිට වැඩ කරන අවස්ථාවකදී රැහැන් රහිත මවුස් ප්‍රයෝජනවත් වෙනවා. බැටරි දමන්නට සිදුවීම හෝ චාර්ජ් කරන්නට සිදුවීම මෙන්ම පරිගණක ක්‍රීඩා කරන අයට ඉන් ලැබෙන නිරවද්‍යතාව මදිවීම වැනි හේතු නිසා තමන්ගේ අවශ්‍යතාව අනුව එය තෝරාගත යුතු වෙනවා.

ඔබට දැන් මවුස් එකක් ගන්නේ කොහොමද කියන එක ගැන දැනුමක් ලැබී ඇති නිසා වෙළඳසල් හිමියන්ගේ මී කතුරුවලට හසු නොවී ඔබට අවශ්‍ය දේ තෝරාගන්නට හැකියාව ලැබෙනවා. දැන් කාලයේ සියල්ලම පාහේ optical mouse හෙවත් ලේසර් සහිත ඒවා නිසා අපි බෝලයක් ඇති මවුස් ගැන කතා කරන්නට යන්නේ නැහැ. ඒක නෙවෙයි, ඔබ මුලින්ම පාවිච්චි කරපු මවුස් එක මතකද?

කවරයේ ඡායාරූපය: lifewire.com

Related Articles