Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Lenovo වෙතින් නැවිය හැකි තිරයක් සහිත ලැප්ටොප් ආකෘතියක්

ලැප්ටොප් හැම එකක්ම දැනටමත් නවන්න පුළුවන්. හැබැයි Lenovo ගෙන ආ ක්‍රියාකාරී ආකෘතිය නැවිය හැකි තිරයක් සහිත ලැප්ටොප් එකක්. මේ අවුරුද්දේ අපට Galaxy Fold, Huawei Mate X වගේ නැවිය හැකි දුරකතන දකින්නට ලැබුණා. ඒවායේ අරමුණ වුණේ කුඩා ප්‍රමාණයේ දුරකතන උපාංග විශාල කිරීම සහ ගෙන යා හැකි පරිදි කුඩා කර ගැනීම යි. එතකොට Lenovo ලැප්ටොප් එකේ අරමුණ, ලොකු ප්‍රමාණයේ ලැප්ටොප් තිරයක් කුඩා ප්‍රමාණයේ ලැප්ටොප් එකක් බවට පත් කිරීම යි.

සටහන් පොතක් වැනි බාහිර පෙනුම

Stylus එකත් සමග සටහන් පොතක පෙනුමක් ලබනවා (idgesg.net)

Lenovo සමාගමේ පහසුවෙන් ගෙන යා හැකි ලැප්ටොප් මාදිලි ශ්‍රේණිය වන ThinkPad X1 වෙතට මේ ආකෘතිය එක් කරගනු ඇති බවට සාක්ෂ්‍ය සපයමින් මෙහි පිටත එම ලෝගෝව අ‍ඩංගු කර තිබෙනවා. නවා ඇති විට සාමාන්‍ය සටහන් පොතක් මෙන් එය දිස්වන අතර ඉහළ දකුණුපස කෙළවරට ආසන්නයෙන් ThinkPad X1 ලෝගෝව ඇති අතර, Stylus එකත් අමුණා තිබෙනවා. බර අඩු බව සහ සම්පූර්ණ ප්‍රමාණයෙන් අඩක් බවට පත්වීම මඟින් නවාගත් විට සාමාන්‍ය ලැප්ටොප් එකකටත් වඩා කුඩා වී තනි අතින් ගෙන යා හැකි ප්‍රමාණයට පත්වීම වි‍ශේෂත්වයක්.

USB Type-C port දෙකක් මෙහි අඩංගු කර ඇති අතර ආරෝපණය ද ඒ හරහා ම සිදු වෙනවා. මුහුණ හඳුනාගනිමින් Windows Hello වෙත සහාය විය හැකි IR කැමරාවක්, ස්ටීරියෝ ස්පීකර මෙහි ඇතුලත් වෙනවා. Stylus එක Wacom තාක්ෂණයෙන් බල ගන්වා තිබෙනවා. උපාංගයේ ඝනකම සාමාන්‍ය ටැබ් යන්ත්‍රයකටත් වඩා වැඩියි.

අඟල් 13.3ක නැවිය හැකි තිරය

ඉහළ කොටසේ පරිගණකය භාවිතා කරමින් යට කොටසේ Stylus එක භාවිතය (mashable.com)

Galaxy Foldable වැනි උපාංගයක් දිග හැරියාක් වැනි බාහිර අත්දැකීමක් ‍මේ Lenovo ThinkPad X1 ටැබ්ලට් එකෙන් ද ලැබෙන නමුත් වින්ඩෝස් 10 ධාවනය වීම, දිග අතට තබාගත් විට තිරය දෙකට බෙදීම සහ Stylus එකක් තිබීම එම අත්දැකීම නවමු මානයකට ගෙන එනවා. මෙහි තිබෙන්නේ නැවිය හැකි OLED තිරයක්. LCD තිරයකට වඩා ඉතා හොඳ වර්ණ මින් ලැබෙන අතර 2K තිර විභේදනයකින් යුතු යි. බොහෝ ලැප්ටොප් චිත්‍රපට බැලීමට ගැලපෙන පරිදි 16:9 අනුපාතයකට සකසන නමුත් මෙය 4:3 අනුපාතයකින් යුතුව නිතර ගමන් බිමන් යමින් කාර්යාල කටයුතු කරන කෙනෙක්ට ගැලපෙන පරිදි සකසා තිබෙනවා. Microsoft Surface Pro සහ Surface ලැප්ටොප් පවුලේ බොහොමයක් ද මෙම 4:3 අනුපාතයේ තිරවලින් යුතු වෙනවා.

තිරය මත කීබෝඩ් එක භාවිතය (windowscentral.com)

දිග හැරි විට තිරයේ ප්‍රමාණය අඟල් 13.3ක් වන අතර නැමුමෙන් වෙන්වූ විට අඟල් 9.6ක කොටස් දෙකක් වෙනවා. එනම්, ලැප්ටොප් එකක් ආකාරයට මෙහි තිරය අංශක 90කට පමණ සකසා ගත් විට තිරය කොටස් දෙකක් බවට පත් වෙනවා. එවිට සාමාන්‍ය ලැප්ටොප් එකක් මෙන් මේ පරිගණකය උකුල මත තබාගෙන, යට කොටසේ තිරය මතට ලැබෙන කීබෝඩ් එක පාවිච්චි කළ හැකියි. නැතහොත් Stylus එකෙන් එහි අඳින්නට පුළුවන්. Lenovo YogaBook C930 සතුව ද මීට සමාන ක්‍රියාවලියක් තිබුණා. නමුත් තිර දෙකක් වෙන වෙනම තිබුණු අතර, එහි යට ඇති තිරය E-Inkවලින් ඇති කළු-සුදු තිරයක් වූවා.

නවන ලද අවස්ථ‍ාවේ දී තිරය දෙස එක එල්ලේ බැලුවොත් මිස වෙනස් කෝණවලින් බැලීමේ දී නිවැරදි වර්ණ දිස් වන්නේ නැහැ. මේ නිසා ඔබට සම මට්ටමේ මේසයක් මත තබා භාවිතයේ දී තිරයේ යට කොටස භාවිතය ගැටළු සහගත විය හැකියි.

භාවිත අවස්ථා රැසක් සහ බාහිර කීබෝඩ් එකක්

විවිධ හැඩවලට භාවිතා කළ හැකියි

සාමාන්‍ය ලැප්ටොප් එකකට වඩා දෙගුණයක නැවීම්-දිගහැරීම් ප්‍රමාණයක් කිරීමට තරම් සවිමත්ව මෙහි අසව්ව සැකසීමට Lenovo බලාපොරොත්තු වන අතර අනෙකුත් Thinkpad ලැප්ටොප් මෙන්ම හමුදා මට්ටමේ (Military grade) සවිමත් බවක් ඊට යොදන බව සඳහන් කරනවා. නැවිය හැකි බව නිසා සාම්ප්‍රදායික ලැප්ටොප් එකක්, අර්ධව නවා පොතක් ලෙස, Stylus එකක් සහිත ටැබ් එකක්, මේසය මතුපිට ඇති Surface පරිගණකයක් ආදී ආකාර රැසකට මෙය පාවිච්චි කරන්නට හැකි නිසා තනි උපාංගයකින් භාවිත අවස්ථා රැසක් ලැබීම විශේෂත්වයක්.

රැහැන් රහිත ආකෘතිමය කීබෝඩ් එක (cbsistatic.com)

එපමණක් නොව, මෙහි ඇති රඳවනය (stand එක) නිසා මුළු තිරයම දිගහැර තබා එය සමගම ලැබෙන රැහැන් රහිත (බ්ලූටූත්) කීබෝඩ් එක යොදා ගන්න පුළුවන්. Touch screen කී බෝඩ් එකකට වඩා අතට දැනෙන කීබෝඩ්වලට ප්‍රිය කරන අපට මෙය හොඳ විශේෂාංගයක්. මෙම සාමාන්‍ය ලැප්ටොප් කීබෝඩ් එකක මෙන්ම දෑත තබා ගන්නට කොටසක් සහ Trackpad එකක් ද අඩංගු වෙනවා. දැනට නිකුත් කර ඇති ආකෘතියට ලබා දී තිබෙන්නේ ක්‍රියා නොකරන, ආකෘතිමය කීබෝඩ් එකක් පමණ යි.

කවදා, කීයකට ලැබේවි ද?

නැවූ විට හෝ පැත්තෙන් බැලූ විට තිරයේ ඇතිවන වර්ණ‍ වෙනස (digitaltrends.com)

2016 පමණ අරඹන ලද මේ ව්‍යාපෘතිය අවසානයේ ක්‍රියා කරන ආකෘතියක් බවට මේ වසරේ දී පත් කෙරුණා. Intel සමාගම නැවිය හැකි ලැප්ටොප් එන්නට තව අවුරුදු 2ක්වත් ගතවනු ඇති බව කීවත් Lenovo සමාගම ක්‍රියාවෙන්ම එය 2019 වෙත ගෙන එනවා. නමුත් Galaxy Foldable දුරකතනයේ ඇතිවූ ගැටළු අනුව නැවිය හැකි උපාංග පිළිබඳ පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක් තිබුණ ද මේ ලැප්ටොප් එක 2020 මුල භාගයේ ගෙන එන බව යි Lenovo කියන්නේ.

විවිධ අවශ්‍යතාවන් රැසක් සපුරන තනි පරිගණකයක් (the-digital-reader.com)

දිනක් පුරා භාවිතා කළ හැකි බැටරි ආයු කාලයක් මෙයට ලැබෙනු ඇති අතර මෙහි යොදන RAM ප්‍රමාණය සඳහන්ව නැහැ. මාදිලිය කුමක්දැ යි ප්‍රසිද්ධ කර නැතත් Intel CPU එකක් යොදනු ඇති බව සඳහන් වෙනවා. තවම කීබෝඩ් එක පවා නිෂ්පාදන මට්ටමේ තිබීමත්, එය පාවිච්චි නොකරන අවස්ථාවන්හි දී ලැප්ටොප් එකෙහිම රැඳවීමට ක්‍රමවේදයකුත් යොදා නැහැ. ඉතින් මේ හැම දෙයක්ම සර්ව සම්පූර්ණ වූවාට පසු එහි මිලත් සමග අපිට ලබන වසරේ ලිපියකින් මේ ගැන හැම දෙයක්ම ඔබට ගෙන එන්නට හැකි වේවි.

කවරය: ytimg.com

Related Articles