Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විවිධ eBook extension සහ ඒවායේ ඉතිහාසය

අපි නිතර දකින eBook වර්ගය PDF (.pdf) වුවත් තවත් eBook වර්ග ගණනාවක් තිබෙනවා. විවිධ කියැවුම් උපාංග සමඟ එම නිෂ්පාදන ආයතනයන්ට ම සීමාවූ format නිසා පොතක්, eBook එකක් වූවාටම එය ඕනෑම උපාංගයක කියවන්නට අවස්ථාවක් නැහැ. පොතක් මුද්‍රණය කරන්නට යන වියදමට වඩා බොහොම අඩු මිලකට eBook එකක් නිෂ්පාදනය කළ හැකි වීමත්, ඒවා විකිණීමට අන්තර්ජාල සේවාවන් බිහිව තිබීමත් නිසා රචකයන් බොහොමයක් පොත්පත් eBook ලෙස නිකුත් කිරීමට පෙළඹී තිබෙනවා. ඊට සමගාමීව බර තනි පොතක් වෙනුවට තනි ඉලෙක්ට්‍රොනික උපාංගයක පොත් මිලියන ගණනක් දමාගත් කියවන්නන් පිරිසක් ද බිහිවෙමින් පවතිනවා.

විවෘත eBook (.opf)

Softbook උපාංගයක් (tizra.com)

විවෘත ඉ-පොත් සංසදය (Open eBook Forum) විසින් 1999දී හඳුන්වා දෙන ලද .opf ගොනු මාදිලිය ඉතාම පැරණි එකක් ලෙස සලකන්නට පුළුවන්. මෙය විවෘත මූලාශ්‍ර (open source) වර්ගයට අයත් එකක් නිසා ඕනෑම කෙනෙක්ට නොමිලේ පාවිච්චි කරන්නට අවස්ථාව ලැබුණා. 1998දී නිකුත් වුණු මුල් කාලීන e-reader අතරින් එකක් වූ Softbook උපාංගය වෙනුවෙන් මේ extension එක නිර්මාණය කෙරුණු අතර එම ගොනු මාදිලිය XML මත පදනම්ව තිබුණා.

Open eBook ෆයිල් එකක් කියන්නේ, zip ෆයිල් එකක්. වෙනසකට, එහි පාරදත්ත (metadata) අඩංගු කළ manifest ෆයිල් එකක් ද අන්තර්ගත වුණා. ZIP එක ඇතුලත XHTML ආකාරයේ ගොනු අඩංගු වූ අතර ඒවායේ CSS ගොනුවලද සහාය සමඟ පොත තිරය මතට ගෙන ඒමට අවශ්‍ය සැලසුම් තොරතුරු ගෙන ආවා. එහි දිගු (extension) නාමය වන opf යන්නෙන් කියැවෙන්නේ OEB Package Format යන්නයි. OEB යනු Open eBook යන්නෙහි කෙටි කිරීමක්.

විද්‍යුත් ප්‍රකාශන හෙවත් ePub (.epub)

flaticon.com

අන්තර්ජාතික අංකිත ප්‍රකාශන සංසදය (International Digital Publishing Forum) විසින් විවෘත eBook මාදිලියට සමුදෙමින් .epub ගොනු මාදිලිය හඳුන්වා දෙනු ලැබුවා. 200‍7දී එය සම්මතයක් ලෙස භාවිතයට ගැණුනු අතර විවෘත ගොනු මාදිලියක් ලෙස නිෂ්පාදන ආයතනයක පරම අයිතියකින් තොරවූ එකක් වශයෙන් එය එකල බහුලව භාවිතයට ගනු ලැබුවා. වර්ණ ඡායාරූප, SVG ගොනු ඇතුලත් කිරීම් මෙන්ම සම්පූර්ණ වීඩියෝ එකක් පවා එහි අඩංගු කරන්නට හැකිවීම විශේෂත්වයක්.

බොහෝ e-readersවල මෙන්ම පරිගණක මෙහෙයුම් පද්ධතිවල ද මෙම ගොනු විවෘත කිරීමේ සහාය අඩංගු කෙරුණ අතර ප්‍රකාශකයන්ට කතු හිමිකම් පවත්වා ගැනීම සඳහා DRM (Digital rights management – ඩිජිටල් කතු හිමිකම් කළමනාකරණය) වලට අදාල තොරතුරු ද එම ගොනුවල අඩංගු කරලීමට අවස්ථාව තිබුණා. Amazon Kindle උපාංගවල මෙය ක්‍රියා නොකරන නිසා convert කරන්නට සිදු වෙනවා. මෙහි අන්තර්ජාල මාධ්‍ය වර්ගය වන්නේ application/epub+zip යන්නයි. එනම්, එයද ඡායාරූප, වීඩියෝ සහ HTML හා XML ගොනු කරන ලද ZIP ෆයිල් එකක්.

ඇමසන් විසින් මිලදී ගන්නා ලද MOBI (.mobi)

Mobipocket මෘදුකාංග අතුරුමුහුණත (softpedia.com)

ඉපැරණි OEB මාදිලිය ම පදනම් කරගනිමින් ප්‍රංශයේ Mobipocket ආයතනය 2000 වර්ෂයේදී ඔවුන්ගේ Mobipocket Reader මෘදුකාංගය වෙනුවෙන් .mobi යන ගොනු මාදිලිය සකසා ගත්තා. 2005දී Amazon ආයතනය විසින් මේ ආයතනයම මිලදී ගනු ලැබුවා. Mobipocket සතුව තිබූ .mobi දිගුව ද ඒ අනුව ඇමසන් සමාගමට අයිති එකක් බවට පත්වුණා. වසර 11ක්, එනම් 2016 වනතෙක් ම මෙම සේවාව සැපයුණු අතර අවසානයේ Mobipocket වෙබ් අඩවිය සහ සර්වර් සියල්ල වසා දැමුණා.

ඇමසන් සමාගමේ ඉදිරි ගමනෙහි මුල් පියවර බඳු වන මෙම .mobi ගොනු වර්ගය විවෘත මූලාශ්‍ර එකක් නොවන නිසා අනෙකුත් උපාංගවලින් ඊට වැඩි සහායක් එකල ලැබුණේ  නැහැ. DRM දත්ත හරහා අනවසර විවෘත කිරීම් හා උපුටා ගැනීම් වළක්වාලීමේ හැකියාව තිබූමුත් මෙම ගොනු මාදිලියේ ශබ්ද හෝ වීඩියෝ ගොනු ඇතුලත් කිරීමට හැකියාවක් නැහැ. මේ වන විට .mobi ගොනු සඳහා සහාය බහුතරයක් e-reader උපාංග හරහා ලබාදී තිබෙනවා.

ඇමසන් සමාගමේ AZW සහ AZW3

Amazon Kindle උපාංගයක් (pcmag.com)

ඇමසන් සමාගම Mobipocket ආයතනය මිලදී ගැනීමෙන් වසර 2කට පසු, ඇමසන් සමාගමේ e-Reader එකක් වන පළමු Kindle උපාංගය 200‍7 වර්ෂයේදී නිකුත් කරනු ලැබුවා. එය සහාය දැක්වූ extension එකක් වූයේ .azw යන්නයි. මෙය ආවෘත මූලාශ්‍ර, ඇමසන් ආයතනයේ පූර්ණ අයිතිය සහිත එකක් බවට පත්වූ අතර එය ද .mobi මත ම පදනම්ව ගොඩනගන ලද්දකැයි විශ්වාස කෙරෙනවා.

2011දී Kindle Fire උපාංගය නිකුත් කිරීමත් සමඟ AZWහි වැඩිදියුණු කළ AZW3 ගොනු මාදිලිය හඳුන්වා දුන්නා. එයට AZW එකට වඩා වැඩි හැඩ ගැන්වීම්, ෆොන්ට් සහ layouts අන්තර්ගත වුණා. මේ වර්ග දෙකෙහිම ශබ්ද සහ වීඩියෝ අඩංගු කිරීමේ හැකියාව ලැබුණු අතර ඇමසන් හරහා මිලදී ගන්නා පොත් එම උපාංගවලට මේ දිගු දෙකෙන් තවමත් ලැබෙනවා. Kindle උපාංග හැරුණු විට අනෙකුත් e-readerවල මෙය සහාය දක්වනු වැඩිය දකින්නට නොලැබුණත් Android සහ iOS වල විවෘත කිරීමට ඇප්ස් හරහා හැකියාව තිබෙනවා.

ඇපල් සමාගමේ IBA (.iba)

iBooks Author මෘදුකාංගය මැක්බුක් එකක ධාවනය වන ආකාරය සහ ප්‍රතිදානය iPad එකක දිස්වන ආකාරය apple.com

ඇපල් සමාගමේ iBooks Author නමැති මෘදුකාංගයෙන් සකසන ලද පොත් වලට .iba යන දිගුව සහිත ගොනු ප්‍රතිදානයක් ලැබෙනවා. මේවා epub දිගුවට සමාන නමුත් ඇපල් සමාගම විසින් එක් කරන ලද වැඩිමනත් කේත නිසා ඒවා වෙනත් කිසිදු උපාංගයකට විවෘත කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් Zip ෆයිල් එකක් ම නිසා විවෘත කර අභ්‍යන්තරයේ ඇති හුදෙක් ගොනු පමණක් දැකීමේ හැකියාව තිබෙනවා. මේවා .ibooks ලෙසින් ද සුරැකීමට හැකි අතර වීඩියෝ, ශබ්ද, ඡායාරූප සහ අන්තර්ක්‍රියාකාරී අංග (interactive elements) වලින් ද සැකසිය හැකියි. නමුත් iTunes වලින් පොත් මිලදී ගනිද්දී ඒවා බාගත වන්නේ .epub ආකාරයටයි.

නිතර දකින PDF

imagazine.pl

Adobe සමාගම විසින් 1990දි PostScript පරිගණක භාෂාව පදනම් කරගෙන Portable Document Format හෙවත් PDF ගොනු මාදිලිය හඳුන්වා දුන්නා. එය නිෂ්පාදන සමාගමේ පූර්ණ අයිතිය සහිත ගොනු වර්ගයක් වශයෙනුයි පැවතුණත් 1993දී නොමිලේ පාවිච්චි කළ හැකි ගොනු වර්ගයක් බවට පත්වුණා. ඉන් අනතුරුව 2008දී සමාගම් හිමිකාරීත්වය ඉවත් කෙරුණු අතර ජාත්‍යන්තර ප්‍රමිතිකරණ ආයතනය විසින් ISO 32000 යටතේ PDF දිගුව සම්මතයක් බවට පත් කළා.

හිමිකාරීත්වයෙන් නිදහස් කිරීමෙන් පසුව නොමිලේ/නිදහසේ නිපදවන්නට, වෙනස් කරන්නට සහ බෙදා හරින්නට හැකි වීමත් සමඟ එම ගොනු වර්ගය ලොව පුරා බහුලව පාවිච්චි කරන සහ පුළුල් පරාසයක මෙහෙයුම් පද්ධති හා උපාංගවල පාවිච්චි කළ හැකි හැකි එකක් බවට පත් වුණා. අනෙකුත් ගොනු වර්ග ස්වයංවම එය පෙන්වන තිරයට සාපේක්ෂව (reflowing) හැඩ ගැස්වුණත් PDF ගොනු එලෙස සැකසෙන්නේ නැහැ. මේ නිසා එවන් විශේෂ සහායයන් PDF viewer මෘදුකාංග හරහා ලබා දෙන්නට පටන් ගැණුනා.

මේවාට අමතරව FB2, DJVU, මයික්‍රොසොෆ්ට් සමාගමේ LIT, සෝනි සමාගමේ LRS, LRF සහ LRX ආදී ගොනු මාදිලි රැසක් දකින්නට ලැබුණත් බහුතරයක් e-reader වල විවෘත කළ හැකි සේ පොතක් හෝ ගොනුවක් නිකුත් කරනවා නම් හොඳම දිගුව බවට පත්වන්නේ epub යන extension එකයි. පරිගණකවල PDF මාදිලිය බහුලව යොදා ගැනෙනු දකින්නට ලැබෙනවා.

කවරයේ ඡායාරූපය: curata.com

Related Articles