DSLR කැමරාවකින් සඳ‌ේ අලංකාර පින්තූරයක් නිවැරදිව ගන්නේ මෙහෙමයි

තාරකා ඡායාරූපකරණයේ දී (astrophotography) අහසේ ඇති දීප්තිමත් සහ විශාල වස්තුවක් වශයෙන් ආධුනිකයකුට පවා පුහුණු වීමට සුදුසු වස්තුවක් ලෙස සඳ හඳුන්වන්නට පුළුවන්. සඳ කෙතරම් විශාල ද යත්, සාමාන්‍ය ටෙලිෆොටෝ කාචයකින් පවා එය කැමරාවට හසුකර ගත හැකි අතර, එය කෙතරම් දීප්තිමත් ද යත් Tracking පිළිබඳ නොසලකාම Shutter speed එක වේගවත් අගයක් යෙදිය හැකියි. නමුත් නිවැරදි ක්‍රමවේද අනුගමනය කළහොත් වඩාත් හොඳ, සිත්ගන්නාසුළු ඡායාරූපයක් ගන්නට හැකි වෙනවා.

සූදානම

පැය බාගයකට පමණ පෙර සූදානම් වන්න (tadst.com)

සඳෙහි සමීප සහ සවිස්තරාත්මක (detailed) ඡායාරූපයක් ගැනීමට දිගු දුර විශාලන කාචයක් (long zoom lens) තිබීම වැදගත් වෙනවා. අවම වශයෙන් 70-300mm ටෙලිෆොටෝ විශාලනයක් ප්‍රමාණවත් වන අතර Frame එකට සම්පූර්ණයෙන් ම සඳ හසුකර ගැනීමට නම් එම වැඩි zoom අගයක් තිබිය යුතු වෙනවා.

Zoom කරන ලද විට කැමරාවේ සිදුවන ඉතා සුළු සෙලවීමක් පවා වැඩි වශයෙන් බලපාන බැවින් Tripod එකක් භාවිතය සුදුසුයි. කාලගුණ අනාවැකි පිළිබඳ සැලකිලිමත් වීමෙන් වළාකුළු රහිත පැහැදිලි අහසක් තෝරාගන්නට හැකියාව ලැබෙනවා. නගරාශ්‍රිතව සිදුවන වායු දූෂණය නිසා ඇතැම් අවස්ථාවල දී ඡායාරූපයේ තිත් ගතියක් ඇති කරවනවා. එනිසා වායු දූෂණය අවම ගම්බද පෙදෙසක සිට ඡායාරූප ගන්නට හැකි නම් එවන් ගැටළු මඟහැර ගත හැකියි.

තෝරා ගන්නා දිනය අනුව ප්‍රතිඵල වෙනස් වේ (bustle.com)

සඳ නැග එන වේලාවල් සහ ස‍ඳේ කලාවන් පිළිබඳව sunrisesunsetmap.com, timeanddate.com වැනි වෙබ් අඩවිවලින් දැක ගන්නට පුළුවන්. එවිට සඳ අහසෙහි දිස්වන වේලාව දැනගැනීමෙන් වඩාත් සුදුසු මොහොත සඳහා සූදානම් වන්නට අවස්ථාව ලැබෙනවා. මාසයේ දිනයන්ට අදාලව ස‍ඳෙහි කලාවන් දැක ගැනීමට mooonconnection.com භාවිතා කළ හැකියි. නැග එන වේලාවේ දී ඇතැම් දිනවල සඳ රතු පැහැයෙන් කැමරාවට හසුකර ගත හැකි අතර, රාත්‍රිය ගෙවෙන තරමට අහස සම්පූර්ණයෙන්ම අඳුරු වී, සඳේ දීප්තිය වැඩිවීම සහ පසුබිම සම්පූර්ණයෙන්ම කළු පැහැ වීම සිදුවන නිසා හොඳ ඡායාරූපයකට සුදුසු තත්ත්වයට සඳ පත් වෙනවා.

නිසි වේලාවක් තෝරා ගැනීමෙන් පසු ඊට පැය බාගයකට පමණ පෙර කැමරාව සහ Tripod එක ස්ථාන ගත කරගන්න. කැමරාවේ සැකසුම්වලින් එහි RAW ආකාරයට ඡායාරූප save වන බවට තහවුරු කර ගැනීමෙන් උපරිම ගුණාත්මක බවකින් යුත් ඡායාරූප ලබා ගන්නට පුළුවන්. එවිට සඳේ ආවාට වැනි රළු ස්වභාවයන් පැහැදිලිව දිස්වන අතර, පසුව Edit කරද්දී අවශ්‍ය පරිදි Crop කර ගැනීමට, Exposure හා Contrast මට්ටම් පාලනයට ද අවස්ථාව ලැබෙනවා.

ඡායාරූපය ගැනීම

මතුපිට පැහැදිලිව පෙනෙන සේ ගත් ඡායාරුවක් (adorama.com)

සඳ‌ෙහි ඡායරූප ගැනීම සඳහා වේලාවක් තෝරා ගැනීමෙන් පසු කළ යුතු පියවර ඉතාම පහසු යි. 300mm කාචයක් හෝ ඊට වඩා දිගු එකක් තිබෙන තරමට Frame එකට වඩාත් හොඳින් සඳ හසුකර ගන්නට පුළුවන් වෙනවා. Tripod එක නිසා කැමරාව නිශ්චලව තිබෙන අතර Remote shutter එකක් තිබෙනවා නම් තවදුරටත් ඇතිවන සෙලවීම් අවම කරගන්නට පුළුවන්. ඔබට එවැන්නක් නැති නම් කැමරාවේ තිබෙන Timer එක ඒ වෙනුවට පාවිච්චි කරන්නට පුළුවන්.

කැමරාව Manual mode එකටත්, කාචය Manual focus එකටත් සකසා ගන්න. Exposure අගය ඒ වෙලාවේ පවතින තත්ත්වයන් අනුව වෙනස් වන අතර සාමාන්‍ය අගයයක් වශයෙන්; ISO 800, Shutter speed එක තත්පරයෙන් 1/250 සහ Aperture එක f/5.6 ලෙස ‍යොදාගත හැකියි. මතුපිට පෙනුම හොඳින් දර්ශනය වන තෙක් ISO හෝ Aperture අගයයන් සීරුමාරු කරගන්න. අඩු Shutter speed එකක් තෝරා ගැනීමෙන් ඡායාරූපය බොඳ වී යා හැකියි.

සම්පූර්ණයෙන් Frame එකට zoom නොකර, අවශ්‍ය නම් බාහිර වස්තූන් ද සමග අලංකාර ඡායාරූප ගත හැකියි (nasa.gov)

Focus කිරී‍මේදී Live preview ‍නොහොත් කැමරාවේ තිරය (LCD පැනලය) වෙතින් බලමින් සකස් කරන්න. තිරයෙන් බලාගෙන සීරුවෙන් zoom in කර, අනතුරුව ස‍ඳ‌ේ මතුපිට පෙනෙන ආකාරයට ප්‍රවේශමෙන් manual focus කර, ඡායාරූප ලබා ගන්න.

වඩාත් විශාලව ඡායාරූප ගැනීම

සුපිරි සඳ සහ ක්ෂුද්‍ර සඳ සැසඳුමක් (nasa.gov)

ඡායාරූප ගැනීම සඳහා දිනයක් තෝරා ගැනීමේ දී සඳ ඉලිප්සියාකාර මාර්ගයක ගමන් කරන නිසා සැමවිටම පෘථිවිය සමග සමාන දුරකින් නොපිහිටන බව සිහි තබා ගත යුතු යි. ඉලිප්සීය කක්ෂයේ ගමන් ගනිද්දී විටෙක පෘථිවියට ආසන්න වීමත්, වරෙක ඉතා දුරින් පිහිටීමත් විවිධ කාලවල දී සිදු වෙනවා. පූර්ණ චන්ද්‍රයා ඇති අවස්ථාවේ දී සඳ කි. මී. 360,000 පමණ ආසන්නයෙන් පැවතුණහොත් එය සුපිරි සඳ ලෙස හඳුන්වනවා. වඩාත් දුරින් පිහිටන අවස්ථාවේ දී හෙවත් ක්ෂුද්‍ර චන්ද්‍රයා පවතින අවස්ථාවේ දී සහ සුපිරි චන්ද්‍රයා පවතිද්දී  ඒ අවස්ථා‍ දෙකෙහි දීප්තියේ විශාල වෙනසක් නැති නමුත් ඡායාරූපවල හඳුනාගත හැකි තරම් වෙනසක් සිදු කරන්න ඊට පුළුවන්.

රත් පැහැ ස‍ඳ‌ෙහි විවිධ අවස්ථාවන්. මෙහි මතුපිට පැහැදිලි බව අඩුයි. (allure.com)

ඉහත සඳහන් කරන ලද වෙබ් අඩවිව‍ලින් කොළඹ හෝ ආසන්නතම නගරයක් තෝරා ගැනීමෙන් ස‍ඳහෙි පිහිටීම් පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගත හැකියි.  චන්ද්‍ර ග්‍රහණයක් සිදුවන අවස්ථාවක දී නම් සඳ දිලිසෙන රතු පැහැයක් ගන්නවා. මෙම කාලය තුළ සඳ‍ෙහි දීප්තිය අඩුවන බැවින් වැඩි ISO අගයයක් සහ පුළුල් Aperture එකක් යොදාගන්න. එවන් අවස්ථාවක ගන්නා ඡායාරූප දර්ශනීය යි.

ජල වාශ්ප ගැන කල්පනාවෙන්

කාචයේ ජලවාශ්ප බැඳීම (dpmag.com)

රාත්‍රී වත්ම උෂ්ණත්වය පහළ බසින නිසා වාතයේ ජල වාශ්ප ප්‍රමාණය ඉහළ යනවා. එවිට උපකරණවල ජලවාශ්ප බැ‍ඳෙනු දැකගන්නට ලැබේවි. බෑගයේ, Tripod එකේ සහ කැමරාවේ ඇතිවන මෙම ජල වාශ්ප අප්‍රිය සහගත නමුත් එතරම් ගැටළුවක් වන්නේ නැහැ. නමුත් කැමරා කාචයේ, දර්ශක සූචකයේ (viewfinder) සහ තිරය ඉදිරිපස වාෂ්ප ඇතිවුණාම කරදර යි.

මෙය ටිකක් හෝ අඩු කර ගත හැකි ක්‍රමයක් වන්නේ උපාංගවල මතුපිට උෂ්ණත්වය; පරිසර උෂ්ණත්වයට සමාන වීමට ඉඩ හැරීම යි. වාහනයේ ‍හෝ බෑගයෙන් පිටතට ගත් විට උපාංග මතුපිට උණුසුම්ව තිබෙනවා නම් ජල වාශ්ප ඇතිවීම වැඩියි. ඒ වගේම, එසේ කළත් ඇතැම් දිනයන්හි දී ජල වාශ්ප ඇතිවීම සිදුවන අතර පිරිසිදු කිරීමට සුදුසු රෙදි කඩක් හෝ පිරිසිදු කිරීමේ කට්ටලයක් (cleaning kit) සූදානම්ව තබා ගන්නා එක නුවණට හුරු යි.

ඉතින්, මේ ක්‍රමයන් භාවිතයෙන් ඔබ ගත්තු හ‍ඳ‌ේ ලස්සන පින්තූර Comment එකක් විදියට පළ කරන්නටත් අමතක කරන්න එපා.

කවරය: camerajabber.com

Related Articles

Exit mobile version