ඇන්ඩ්‍රොයිඩ් පමණක් නොව, ඇපල් දුරකථනයක් පාවිච්චි කරන කෙනෙක් වුණත් ගූග්ල් සමාගමට අපේ දත්ත සියල්ල ම පාහේ ලබාගන්න මංපෙත් විවර වී තිබෙනවා. හරියට කිව්වොත්, අපි විසින් විවර කර දී තිබෙනවා. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හරහා පමණක් නෙවෙයි; ගූග්ල් සෙවුම, Gmail, GMaps, Chrome, YouTube ආදී අපි එදිනෙදා පාවිච්චි කරන ගූග්ල් නිෂ්පාදන අපිට නොමිලේ ලැබෙනවා වගේ ම ඊට ගෙවීමක් වශයෙන් අපි අපේ දත්ත ඔවුන්ට ලබාදෙනවා.
මේ විධියට දත්ත රැස්කරන එකෙන් රටක දේශපාලනික බලපෑම් පවා ඇති විය හැකි බව ෆේස්බුක් – ඇනලිටිකා සිද්ධියෙන් හෙළිවීමෙන් පසු ලොව ම භීතියට පත් වුණා. ෆේස්බුක් එකටත් වඩා ගූග්ල් සමාගමට අපේ පෞද්ගලික දත්ත ලබාගැනීමේ පහසුව තිබෙන නිසා සහ වැඩිපුර දත්ත ප්‍රමාණයක් ලැබෙන නිසා ඇති විය හැකි අවදානම විශාල යි.
ඔබේ ගූග්ල් ගිණුමේ පෞද්ගලිකත්ව සැකසුම් ගැන යළි පරීක්ෂා කර නිවැරදි කරගන්නට මේ ලිපිය උපකාර වෙනවා.
ගූග්ල් උකහා ගන්නා දත්ත
දුරකථනය නිතර ම අපගේ අතේ තිබෙන උපාංගයක් වශයෙන් ගූගල් සමාගමට අපි යනෙන තැන් මෙන්ම අපි කරන කියන සෑම දෙයක් ම දැනගැනීමට අවස්ථාව ලැබෙනවා. පරිගණකයෙන් පිවිසෙන විටත් Google Chrome හරහා Google ගිණුමට login වී සිටිනවා නම් ඔබ සැරිසරන වෙබ් අඩවි එහි වාර්තා ගත වෙනවා. මුරපද ගබඩා වෙනවා. වසර ගණනක සිට ඔබ කරන search සියල්ල ම ඔබේ ගිණුම හා සබැඳෙනවා පමණක් නොව, Voice search හෝ voice typing විශේෂාංග පාවිච්චි කරනවා නම් එම ශබ්දයන් ද පටිගත වී රැඳෙනවා. පහතින් දැක්වෙන්නේ ඒ ආකාරයට ගූගල් සමාගම විසින් රැස් කරනා දත්ත දැකගත හැකි ආකාරයන් කිහිපයක්.
ස්ථානය පිළිබඳ දත්ත
ඔබ දුරකථනයේ Location (GPS) සබල කරගෙන සිටිනවා නම් Google Maps හරහා ඔබ යන එන ස්ථාන සහ වේගය අනුව ගියේ කුමන වාහනයක ද යන්න අනුගමනය කරමින් දෛනික සටහන් සපයන්නට Timeline එකට හැකි වෙනවා. google.com/maps/timeline වෙත පිවිස ඔබට එම දත්ත දැකිය හැකියි. බාහිර කිසිවකුටත් එය දැකිය හැකි වන්නේ නැහැ. එම ස්ථානවල දී ගන්නා ලද ඡායාරූප පවා එහි පෙන්වනවා. චාරිකා යන කෙනෙක්ට දිනපොතක් වශයෙන් එය වැදගත් වෙනවා.
සෙවුම් සහ කටහඬ
ඔබ කළ සෙවුම්, Voice සේවාවන්ගෙන් පටිගත වූ දෑ ඇතුළු ගූග්ල් ගිණුමෙන් කළ සියලු දේ myactivity.google.com හි වාර්තාගත වෙනවා. Facebook හි Activity log එක වගේ ම, වෙනත් කෙනෙක්ට අපේ ගිණුමට ඇතුළු වෙලා කළේ මොනවාද කියලා බලාගන්න මෙය අවශ්‍ය විය හැකියි. YouTube හි සෙවූ දෑ මෙතැනින් සහ නැරඹූ දෑ මෙතැනින් බලන්න පුළුවන්.
ඔබේ කැමැත්ත ඔවුන් දන්නවා
මේ හැම දෙයක් ම අපට ද වාසිසහගත මුවාවෙන් ඔවුන් රැස් කරන්නේ අපට වඩාත් උචිත වෙළඳ දැන්වීම් ගෙන ඒමට යි. එලෙස දැන්වීම් පෙන්වීම සඳහා ඔබ ව හඳුනාගත් ආකාරය google.com/settings/ads/ හරහා දැකගන්නට පුළුවන්. එහි ඔබවත් නොදන්නා ඔබ ප්‍රිය කරන දේවල් ලැයිස්තුවක් තිබෙන අතර, තම ප්‍රතිරූපය එහි හොඳින් නිරූපණය වෙනවා.
ගූග්ල් රැස්කරගත් සර්ව සම්පූර්ණ සියලු දෑ google.com/takeout මඟින් බාගත කරගත හැකියි.
පෞද්ගලිකත්වය ඔබේ පාලනයට ගන්න
ගූග්ල් සමාගම විසින් ඔවුන් එක්රැස් කරන දත්ත මොනවාදැ යි අපට පාලනය කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. Activity Controls වෙත පිවිසීමෙන් පසු සියලු දත්ත එක ම ස්ථානයකින් පාලනය කරන්නට අවස්ථාව ලැබෙනවා.
අන්තර්ජාලය සහ ඇප්ස්
Activity Controls පිටුවේ ප්‍රථමයෙන් ඇති Web & App Activity සබල කර ඇති විට, ගූග්ල් සෙවුම්, Maps සෙවුම් සහ ඒවායේ කරන දේවල්, ස්ථානය, IP ලිපිනය, භාවිතා කරන්නේ පරිගණකය ද වෙනත් උපාංගයක් ද යන බව, ක්ලික් කරන වෙළඳ දැන්වීම් හා එම වෙබ් අඩවිවලින් මිල දී ගන්නා දෑ, දුරකථනයේ අවසානයට පාවිච්චි කළ apps හෝ සෙවුම් කළ contactsවල තොරතුරු ගබඩා වෙනවා. එහි අභ්‍යන්තරයේ ඇති “Include Chrome browsing history and activity from websites and apps that use Google services” යන්නට හරි ලකුණක් යොදා ඇත්නම්; අපි පිවිසෙන වෙබ් අඩවි හා භාවිත කරන ඇප්ස්, වෙබ් අඩවිවල හා ඇප්ස්වල අපි කරන දේවල්, Chrome හරහා පිවිසුණු වෙබ් අඩවි ඉතිහාසය ගබඩා වෙනවා.
දැනට ගබඩා කරගත් දෑ මකා දැමීමට myactivity.google.com/delete-activity වෙත පිවිසෙන්න.
ස්ථානීය දත්ත
Location History මඟින් ඔබ සිටින ස්ථානය, මාර්ග තදබද පිළිබඳ දත්ත, සහ Timeline එකට අවශ්‍ය දත්ත එක්රැස් වෙනවා. මෙය අබල කළත්, Web & App Activity සබල කර ඇත්නම් තවදුරටත් (සෙවුම් ආදියට අදාල ව) ඔබේ ස්ථානය ඔවුන් ගබඩා කරගන්නවා. මෙය අබල කිරීමෙන් දුරකථනය නැති වූ විට සොයාගැනීමට අවශ්‍ය Find My Device සේවාව සඳහා බාධාවක් ඇති වන්නේ නැහැ.
දැනට ගබඩා කළ දෑ Timeline හරහා සහ ඉතිරිය google.com/locationhistory/delete මඟින් මකා දැමිය හැකියි.
උපාංග පිළිබඳ දත්ත
Device Information සබල කර ඇති විට දුරකථනයේ රඳවා ඇති අංක සහ ඔවුන්ගේ නම්, කැලැන්ඩරය (ඔබට කිරීමට ඇති දෑ), එලාම්, ඇප්, සහ ගීත පිළීබඳ ව දත්ත මෙන්ම උපාංගයේ විස්තර, බැටරි ප්‍රමාණය ආදී සියලු දේ ඔවුන් එක්රැස් කරගන්නවා.
රැස් කළ දෑ මකා දැමීමට පරිගණකයෙන් http://myactivity.google.com/page?page=devices වෙත පිවිස වම් පස මෙනුවෙන් Delete All තෝරන්න.
කටහඬ
Voice & Audio Activity මඟින් ඔබේ කටහඬ කුමන ආකාරයේ ද, ඔබ වචන හසුරුවන්නේ කෙසේ ද යන්න ගූග්ල් විසින් හඳුනාගනු ලබනවා. මෙය Ok, Google යන හඬ විධානයට ද සබැඳෙන නිසා ඔබ එම විධානය ලබා දෙන තුරු මයික්‍රොෆෝනය ක්‍රියාත්මක වී තිබෙන නිසා කතා කරන වෙනත් දේවල් ගබඩා නොවුණත් ඔවුන්ට ඇසීමේ/ හඳුනාගැනීමේ ප්‍රවණතාවක් තිබෙනවා.
දැනට ගබඩා වූ දෑ මැකීමට myactivity.google.com/myactivity?restrict=vaa වෙත පිවිස වම්පසින් Delete activity by යන්න භාවිතා කළ හැකියි.
YouTube දත්ත
YouTube Search History හරහා යූටියුබ් වෙබ් අඩවිය මත කරනු ලබන සෙවුම් ගබඩා වීම පාලනය කරන්නට පුළුවන්. එයට පහළින් ඇති YouTube Watch History මඟින් නරඹන ලද වීඩියෝ ගබඩා වීම දැක්වෙනවා. Recommended වීඩියෝ සඳහා යි මෙම දත්ත යොදා ගැනෙන්නේ.
සෙවුම් දත්ත myactivity.google.com/myactivity?restrict=yts මඟිනුත්, නැරඹූ වීඩියෝ දත්ත myactivity.google.com/myactivity?restrict=ytw මඟිනුත් මකා දමන්න පුළුවන්.
මැකීමෙන් පසු සිදුවන දේ
මේ ආකාරයට ගූග්ල් සමාගම විසින් අපේ රැස් කළ දත්ත සියල්ල ම පාලනය කිරීමට අවස්ථාව සලසා තිබෙනවා. ප්‍රධාන වශයෙන් වෙළඳ දැන්වීම් සඳහා යොදා ගැනෙන මෙම දත්ත මකා දැමීමෙන් අපට සිදුවන අවාසියක් වන්නේ අපට වඩාත් ගැළපෙන දේවල් එනම්, කෑම කන්න ස්ථානයක් search කළා ම අපි කැමති ස්ථානයක්, අපිට ගැළපෙන YouTube වීඩියෝ, Google search එක හරහා අපිට අවශ්‍ය ම දේ (උදා: Mercury ලෙස search කළා ම පෙන්විය යුත්තේ රසදිය ගැන ද බුධ ග්‍රහයා ගැන ද යන වග) නොලැබී යාම සහ අපේ රුචිකම්වලට නොගැළපෙන වෙළඳ දැන්වීම් දකින්නට ලැබීම යි.
දත්ත රැස් කිරීමෙන් මිදී, සෙවුම් කරන්නට Duckduckgo වැනි සේවාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ම, මෙම දත්ත ගූග්ල් සමාගමෙන් කුමන හෝ අතපසුවීමකින් තෙවන පාර්ශවයකට ගොස් ඒවා ෆේස්බුක්-ඇනලිටිකා සිද්ධියේ දී මෙන් අවභාවිතා වීම වළක්වාලන්නට අපිට අවස්ථාව සැලසෙන නිසා සහ අපේ හැමදේම හොයන්න අසල්වාසීන් සිටිය දී ගූග්ල් සමාගමත් ඊට ගාව ගන්නට අවශ්‍ය නැති නිසා මෙම දත්ත පාලනය කිරීමේ අයිතිය, වගකීමක් ඔබට සම්පූර්ණයෙන් ම තිබෙනවා.