Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

iPhone app වලට හොරෙන්ම කැමරාව භාවිත කළ හැකියි

අපි ෆෝන් එක ගත්තාට පස්සේ ඒකට නානාප්‍රකාර ඇප්ස් ඉන්ස්ටෝල් කරනවා. ඊට පස්සේ ඒවාට අපේ දුරකථනයේ ඇති කැමරාව, ඔබ සිටින ස්ථානය ආදී දේවල් භාවිත කිරීමට අවශ්‍ය අවසරයන් ද වැඩිය හොයන්නේ බලන්නේ නැතිවම ලබා දෙනවා. විශේෂයෙන් Messenger, WhatsApp, Snapchat වගේ සෝෂල් මීඩියා ඇප්ස් වලට නම් Profile Pictures, Stories ආදිය දාන්න ඕන නිසා කැමරාව පාවිච්චි කරන්න ඒවාට අවසර ලබා දෙන්නට ම සිදු වෙනවා. හැබැයි ඉතින් ඒ වගේ පිළිගත්, විශ්වාසදායී ඇප් එකක් අනවශ්‍ය දත්ත එකතු කිරීමක් සිදු නොකළත් ඇතැම් හානිකර මානසිකත්වයෙන් යුත් මෘදුකාංග සංවර්ධකයන්ට හොඳ ඇප් එකක් (උදාහරණයක් ලෙස, Flashlight ඇප් එකක්) ලෙස පෙනී සිටිමින් ඔබේ කැමරාව පාවිච්චි කරමින් ඔබ කරන කියන දේවල් හොරෙන්ම බලාගෙන ඉඳලා ඔබව බ්ලැක්මේල් කරන්නටත් ඉඩ තිබෙනවා. මේ ආකාරයේ දේවල් සිදුවන චිත්‍රපට ද නිපදවී තිබෙන්නේ නිකම්ම නොවෙයි.

vibe.ng

ගූග්ල් සමාගමේ ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කරන ෆෙලික්ස් ක්‍රෞස් මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් සහ එය තහවුරු කරන්නට ආකෘතිමය ඇප් එකක් ද නිපදවා තිබෙනවා. ඔහු ගූගල් සමාගමේ සේවය කරන කෙනෙක් වුණත් මෙය ගූගල් සමාගමේ වගකීමක් නැති බවත් එය ඔහුගේ නිදහස් කාලය තුළදී සිදු කළ බව පවසමින් ඔහු google සමාගම මේ සොයාගැන්මේ වගකීමෙන් නිදහස් කරනවා.

පෞද්ගලිකත්ව අවධානම

කිසියම් app එකකට ඔබේ දුරකථනයේ කැමරාව භාවිතා කිරීමට ඉඩ සැලසීම හරහා එය විවෘත වී ඇති ඕනෑම අවස්ථාවක ඔබවත් නොදැනුවත්වම ඡායාරූප හෝ වීඩියෝ ගත කර ඒවා උඩුගත කරන්න එයට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. මේ නිසා ඔබ සිටින්නේ බාත්රූම් එකේ වුණත්, ගෙදර ප්‍රශ්නයක් කතා කරන අවස්ථාවක වුවත්, රහස් සාකච්ඡාවක් සිදුවන ඔෆිස් කාමරයක වුවත් එහි සිදුවන සියළු දෑ දැක බලා ගන්නට තෙවන පාර්ශවයක ඔබ නොදන්නා පුද්ගලයෙක්ට අවස්ථාව ලැබෙනවා. ඒ හරහා ඔබේ සියලු පෞද්ගලික තොරතුරු නිරාවරණය වීම හරහා ඔබේ නිරුවත් හෝ ප්‍රසිද්ධියේ කිසිවකුත් නොදැකිය යුතු ඡායාරූප හෝ වීඩියෝ ගත කරන ලද අවස්ථා, වැදගත් සාකච්ඡා ආදිය ඇමක් ලෙස භාවිත කරගනිමින් මුදල් ලබාගන්නට, ඔබේ ආත්මය කෙලෙසන්නට වෙනත් කෙනෙක්ට අවසර ලැබීමේ විශාල අවධානමක් තිබෙනවා.

මාර්ක් සකර්බර්ග් ඉන්නෙත් බයෙන්

anonews.co

පසුගිය කාලයේ ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඉන්ස්ටාග්‍රෑම් ප්‍රවර්ධනය කිරීම සඳහා පළ කළ ඔහුගේම ඡායාරූපයක දකින්නට ලැබුණේ ඔහුගේ මැක්බුක් එකේ කැමරාව සහ මයික්‍රොෆෝනය ටේප් පටි වලින් ආවරණය කර ඇති ආකාරයයි. අපි ලෝකයට වැදගත් පුද්ගලයින් නොවන නිසා අපේ දේවල් බලන්න අපි නන්නාඳුනන, වෙනත් ම රටක කෙනෙක්ට අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. ඒත් ෆේස්බුක් සමාගමේ රහස් පිටතට ගියොත් මොන තරම් ආර්ථික අවපාතයක් එම සමාගමට දරන්න සිදුවේවිද?

මේ නිසා ම පසුකාලීනව නිපදවන ලද ලැප්ටොප් වල කැමරාවට ම සම්බන්ධ කර LED බල්බයක් අඩංගු කර තිබූ නමුත් කිසිදු දුරකථනයක කැමරාව සක්‍රීය වී ඇති බවට අපට දැන ගැනීමට ක්‍රමයක් නොමැති නිසා කුමන ඇප් එකක් හරහා අපව ඡායාරූපගත කරමින් හෝ වීඩියෝ ගත කරමින් සිටිනවාදැයි දැන ගන්නට කිසිම ක්‍රමයක් නැහැ. ඉතින් ඔබ ශරීරකෘත්‍ය කරන ගමන් ෆේස්බුක් ස්ක්‍රෝල් කර කර ඉද්දී ඔබ නොදැනුවත්වම, පසුතලයේ ධාවනය වන (background run වන) ඇප් එකකින් ඔබව සජීවීව ජාත්‍යන්තරයට යවමින් සිටිනවා වෙන්න පුළුවන්.

ලබාගත හැකි අවසර

netdna-ssl.com

මුල් කාලයේදී මෙවන් ආකාරයේ යෙදුම් සීඝ්‍රයෙන් බිහිවනතුරු නිසා නවතම දුරකථන මෙහෙයුම් පද්ධතිය සමඟ එම යෙදුම් විසින් භාවිතා කරනු ලබන දුරකථන උපාංග සඳහා ඔබගේ අවසරයකින් තොරව සම්බන්ධ වීමට ඇති ඉඩ ප්‍රස්ථාව නවත්වනු ලැබුවා. ඒ අනුව මේ වන විට අලුතින් ඇප් එකක් ස්ථාපනය කර එය භාවිතා කිරීමේදී එය කැමරාව, ඔබගේ ඡායාරූප, ඔබ සිටින ස්ථානය වැනි දේවල් භාවිතා කරන්නට උත්සාහ කරනවා යැයි ඔබට දැනුම් දෙන අතර, ඊට අවසර දීම හෝ වළක්වාලීම සිදු කරන්නට ඔබට පහසුකම් සලසා තිබෙනවා.

මේ ආකාරයට ඔබ කැමරාවට අවසර දීමෙන් අනතුරුව එයට ඔබගේ ඉදිරිපස සහ පසුපස කැමරාව භාවිතා කිරීමේ සම්පූර්ණ අවසරය ලැබෙනවා. එනමුත් ඇපල් දුරකතන වලට මෙම අවසර ලැබීමෙන් අනතුරුව එම යෙදුම් වලට ඕනෑම අවස්ථාවක පසුතලය ධාවනය වෙමින් ඔබව පටිගත කරන්නට ඔබට නොදන්වාම ඡායාරූප සහ වීඩියෝ ලබාගන්නට එම ලබාගත් ඒවා අන්තර්ජාලයට උඩුගත කරන්න සහ සජීවීව මුහුණ හඳුනා ගැනීමේ තාක්ෂණය භාවිතා කරමින් ඔබේ මුහුණේ හැඟීම් සහ ඉරියව් හඳුනා ගන්නට අවස්ථාව ලැබෙනවා.

ලබාගත් දත්ත වලින් කළ හැකි දේවල්

ytimg.com

දැනට තිබෙන ඡායාරූප සම්බන්ධ ඉහළ තාක්ෂණික හැකියාව නිසා එසේ ලබා ගන්නා ලද ඡායාරූපයක් හරහා එහි සිටින පුද්ගලයන්ට අදාළ වෙනත් ඡායාරූප සොයා ගැනීමේ හැකියාව, එම ඡායාරූපයේ කී දෙනෙක් සිටිනවා ද යන වග දැනගැනීමට හැකියාව පවතිනවා සේම ලබාගන්නා ලද ඡායාරූපයකට අදාළව එම පුද්ගලයාගේ ත්‍රිමාණ මුහුණක් සකසා එය චලන රූපයක් බවට පත් කිරීමේ හැකියාවද පවතිනවා.

මෙහි එක් වාසියක් ද තිබෙනවා. ෆේස්බුක් සේවාව විසින් ඔබ news feed එකෙහි දකින පෝස්ට් එකක දත්ත රැස් කිරීම සඳහා ඔබ එය මත ගතකරන කාලය භාවිතා කරන බව අප පෙර ලිපියකින් ඔබට ගෙනාවා. ඉතින් මේ ක්‍රමය භාවිතා කරමින් මුහුණේ ඉරියව්ද හඳුනාගෙන එම දත්ත තවත් සවිමත් කරගන්නට ද අවස්ථාව ලැබෙනවා. හැබැයි කිසිම විටෙක අනර්ථකාරි අදහසකින් යුත් මෘදුකාංගයකින් එවැනි හොඳ භාවිතයකට මෙවැනි දෙයක් යොදා ගනීවි යැයි කිසිසේත් බලාපොරොත්තු වන්නට බැහැ. ඒ වෙනුවට ඔබ එම ඇප් එකේ ඇති ක්‍රීඩාවක නිරත වෙමින් සිටියදී හොදම රස සහ පසුපස කැමරාව එකවරම භාවිතා කරමින් සම්පූර්ණ වීඩියෝවක් අන්තර්ජාලයට උඩුගත වෙමින් පවතින්නට පුළුවන්.

මේකෙන් ගැලවෙන්නේ කොහොමද?

කැමරාව කැමරාව වසා දැමිය හැකි ආකාරයේ උපාංග ඔබට වෙළඳපොළෙන් මිලදී ගත හැකියි (gadgetflowcdn.com)

ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය නිෂ්පාදන සමාගම් විසින් කිසියම් විශේෂිත ක්‍රමවේදයක් හරහා යෙදුම් වල ඇති මෙවැනි අයුතු භාවිතයන් නතර කිරීමේ ක්‍රමවේදයක් සකසා දෙන තුරු බාහිර වශයෙන් හැදෑරීමට ඇති එක ම විසඳුම කැමරාව අපාරගම්‍ය ටේප් එකකින් වසා දැමීම යි. එහෙමත් නැත්නම් ඔබ මේ වන විට කැමරාව භාවිත කිරීමට අවසර දී ඇති සියලුම යෙදුම් වෙත ගොස් එහි ඇති permission ඉවත්කර, එම යෙදුම් හරහා එය තුළම අන්තර්ගත කැමරාව භාවිත කරනවා වෙනුවට මෙහෙයුම් පද්ධතිය විසින් ම ලබා දී ඇති කැමරාව හරහා ලබා ගන්නා ලද ඡායාරූප ගැලරිය හරහා උඩුගත කිරීමයි.

ෆෙලික්ස් විසින් ඇපල් සමාගමට යෝජනා කරන්නේ කැමරාව භාවිතා කිරීමට කිසියම් යෙදුමකට අවසර දීමේ දී ඒ සඳහා තාවකාලික අවසර ලබාදීමේ හැකියාව, කැමරාව භාවිතා වෙමින් පවතින අවස්ථාවල දුරකථන ඉහළින් ඇති status bar එකෙහි අයිකනයක් වශයෙන් ඒ බව පරිශීලකයාට දැනුම්දීම, LED බල්බයක් අන්තර්ගත දුරකථන මාදිලි වල එය සක්‍රීය කරලීම සිදුකරන ලෙසයි.

තහවුරු කිරීම සඳහා සැකසූ ආකෘතිමය ඇප් එක

මෙය සොයා ගැනීමෙන් අනතුරුව ෆෙලික්ස් විසින් ඒ අනුරූපණය කිරීම සඳහා watch.demo නමින් app එකක් සකසා විවෘත කේත සහිතව GitHub දමා ඇති අතර එය ස්ථාපනය කළ වහා ඔබට එහි ඇති ව්‍යාජ සමාජ ජාලයට ඡායාරූපයක් උඩුගත කිරීමට සිදු වෙනවා. ඉන් අනතුරුව ඒ සඳහා ලබාගත් අවසර භාවිතා කරමින් ඔබ එහි යටට ස්ක්‍රෝල් කරමින් යද්දී එක දිගටම අහඹු අවස්ථාවන් හිදී ලබා ගන්නා ලද ඔබේ ඡායාරූප එහි දක්නට ලැබෙන ආකාරයට සකසා තිබෙනවා. ඒ වගේම එහි ඉහළින් තවත් tab දෙකක් තිබෙන අතර එක එකකින් ඔබේ මුහුණේ හඳුනා ගැනීම සිදුවන ආකාරයත්, අනෙකෙහි කැමරාවල සමග මුහුණ හඳුනා ගනිමින් මුහුණේ ඉරියව් හා හැඟීම් වලට අදාලව emoji පෙන්වන ආකාරයේ සංකීර්ණ ක්‍රියාදාමයන් කිහිපයක් ඔහු ඊට අන්තර්ගත කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය: shefinds.com

Related Articles