කුඩා දරුවන් ගේම් ගහන්න ෆෝන් එක ඉල්ලන අත්දැකීම අපි කවුරුත් නිතර ම අත්විඳිනවා. තමන්ගේ ෆෝන් එක තව කෙනෙකුට දෙන්න වෙන වෙනත් අවස්ථාවලිනුත් අඩුවක් නැහැ. ෆෝන් එක අපි ළඟ නැති අවස්ථාවක එය වෙනත් අයෙක් පරිහරණය කරන්න හෝ සොරකම් කිරීමකට ලක් වෙන්නත් යම් ඉඩකඩක් තිබෙනවා.
අද වෙනකොට අපේ ජීවිතයේ වැදගත්ම උපාංගය බවට පත් වෙලා තිබෙන ෆෝන් එක තුළ අපි ගැන අඩංගු කරුණු ප්‍රමාණය සුළුපටු නැහැ. අපේ කැමැත්තක් නැති ව මෙය වෙනත් කෙනෙකුගේ අතට පත් වීමේ බරපතලකම ගැන එක සාක්ෂ්‍යයක් තමයි අද කාලේ දවස ගානේ “ලීක්” වෙන දේවල්. අපේ පෞද්ගලිකත්වය අතින් අතට ගිහින් අලෙවි භාණ්ඩයක් බවට පත් වීමේ අවදානම අගුළු නොදැමූ ෆෝන් එකක් තව කෙනෙක් අතට පත් වෙන හැම අවස්ථාවක ම පවතිනවා.
මේ හැම අවස්ථාවක ම අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන මුල්ම ද්වාරය තමයි ෆෝන් එකේ තිර අගුල හෙවත් Screen lock එක. මුල්ම කාලයේ අංකයක් හෝ මුරපදයක් පදනම් කරගෙන මෙය සකස් වුණත්, අද වන විට නානාප්‍රකාර ක්‍රමවලට තිර අගුළු දමන්න හැකියාව ලැබී තිබෙනවා. අපේ පහසුවට සකස් කරන මේ අලුත් ක්‍රම එක්ක දැන් අලුත් අවදානමක් ඇති වෙලා.
ජනප්‍රිය ක්‍රම, ඒවායේ ආරක්ෂාව, සහ පහසුව
බැලූ බැල්මට දකින්න තිබෙන දෙයක් තමයි කාලයක් වඩාත් ම ජනප්‍රිය ක්‍රමය වූ තිරය මත තිත් රටාවක් ඇඳීම (pattern lock) මෙයින් වඩාත් ම ආරක්ෂාවෙන් අඩු අගුල බව. සම්පූර්ණ දිග ඉලක්කම් 9කට සීමා වීමත්, එක ඉලක්කම එක වරක් පමණක් යෙදීමත්, පිහිටීම අනුව ඇඟිල්ල ගමන් කරවිය හැකි ආකාර සීමා වීමත් නිසා එය තරමක් දුර්වල PIN එකකට සමාන යි. ඊට වඩා ආරක්ෂාවක් PIN එකකිනුත්, ඉතාම හොඳ ආරක්ෂාවක් මුර පදයකිනුත් ලැබෙනවා. නමුත් PIN එකක් හෝ මුරපදයක් නිතර ම යෙදීම අතිශයින්ම අපහසු වැඩක්. ඇත්තට ම මෙය පහසුවෙන් කිරීමේ අවශ්‍යතාව තමයි අනෙක් ක්‍රම ගොඩනංවන්න ප්‍රධානතම හේතුව වුණෙත්.
ඒ අනුව අද වන විට වඩාත් ම පහසු, ඉක්මන්ම, සහ ආරක්ෂිතම ක්‍රමය බවට පත් වී තිබෙන්නේ ඇඟිලි සලකුණ යොදා ගැනීම යි. තත්පරයෙන් දශම ගණනක දී ඇඟිලි සලකුණ හඳුනාගෙන අගුල අරින නිසා දුරකථනය අතට ගන්නා විට ම සිදුවන තරම් ඉතාම සරල දෙයක්. කොහොම නමුත් අපහසුවෙන් හෝ ඇඟිලි සලකුණු වංචනික ව සකස් කරන්න පුළුවන් නිසා මෙය ආරක්ෂාවෙන් ඉතා ම ඉහළයි කියන්න බැහැ.
Bluetooth, WiFi, NFC, ඩේටා සම්බන්ධතාව ඇතුළු ක්‍රමවලින් විධාන ලබාදීම මගිනුත් අගුළු හරින්න අවස්ථාව ලබාදුන්නත් එය ප්‍රධාන ක්‍රමයට අතිරේක ක්‍රමයක් ලෙස යි යොදා ගැනෙන්නේ.
අඩුවෙන් යොදා ගැනෙන ක්‍රම
තරමක් පහසුවෙන් අඩු, ඒ වගේ ම භාවිතයේ දී අනෙක් අයට විකාරයක් සේ පෙනිය හැකි, නමුත් අතිශයින් ම සාර්ථක ක්‍රමයක් තමයි ඇසේ තාරා මණ්ඩලය යොදා ගැනීම (Iris unlock). අපේ ඇසේ තාරා මණ්ඩලය ව්‍යාජ ව සකස් කරන්න නම් විශාල උත්සාහයක් ගන්න අවශ්‍යයි. දැනට තිබෙන වඩාත් ම ආරක්ෂිත ක්‍රමය ලෙස මෙය අවිවාදයෙන් සලකන්න පුළුවන්.
ත්‍රිමාණ ව දකින්න නිවැරදි සංවේදක පවතිනවා නම් සහ නිසි ආකාරයේ සැකසුම් හැකියාවක් තිබෙනවා නම් මුහුණේ හැඩය යොදා ගැනීමත් ඉතා සාර්ථක යි වගේ ම ආරක්ෂිත යි. කොහොම නමුත් හුදෙක් කැමරාවෙන් ද්වීමාන රූපයක් ඇසුරෙන් මෙය සිදුකිරීම නම් ආරක්ෂාවෙන් ඉතා ම අවම යි. කටහඬ යොදාගැනීමත් ඒ වගේ. විවිධ ආයතන මෙය ප්‍රගුණ කර ඇති බව පැවසුවත්, ඒවායින් රිංගා යාම ඉතා පහසු බව Pixel 3 දුරකථනවල පවතින ගැටලුවෙන් හොඳින් ම පෙනී යනවා.
මඟහැරුණු ගැටලුව – කැමැත්ත / අකමැත්ත
ඇඟිලි සලකුණ, තාරා මණ්ඩලය, මුහුණේ හැඩය ඇතුළු විවිධ දේවල් යොදාගැනීමේ දී ඒවායේ ආරක්ෂිත බව මිනුම් කරන ආකාරයේ ගැටලුවක් ඇති බව පැහැදිලි ව පෙන්වන සිදුවීම් ගණනාවක් තිබෙනවා. අතිශයින් ම පහසු, අතිශයින් ම ආරක්ෂිත ක්‍රමයක් ගොඩනංවන්න උත්සාහ ගැනීමේ දී කෙනෙකු නොමැති විට උපාංගයක් අගුළු හැරීමට කිසිසේත් නොහැකි කිරීම තමයි බොහෝ ආයතන ප්‍රධාන කොට සැලකුවේ. පුද්ගලයා සිටින විට අකමැත්තෙන් සිටින අවස්ථා ඔවුන් සැලකිල්ලට ගෙන නැහැ.
ඔබේ ෆෝන් එකට මුරපදයක් යොදා තිබෙනවා නම් එය ඔබ රහසේ තබාගෙන ඉන්න තාක් කල් වෙනත් කිසිවෙකුට ඔබේ කැමැත්ත නැති ව ලබාගන්න හැකියාව ඉතා ම සීමිත යි. නමුත් අලුත්, පහසු ක්‍රම ඔබ නැති අවස්ථාවක මොන තරම් සාර්ථක වුණත් ඔබ සිටින අවස්ථාවක අතිශයින් ම අසාර්ථක යි!
මේ බව තහවුරු කරන සරලතම උදාහරණය ගමු. ඔබ නින්දේ සිටින විට හෝ සිහිසුන් ව සිටින විට ඔබේ අනුදැනුමක් නොමැති ව ඕනෑම කෙනෙකුට ඔබේ ඇඟිල්ල ගෙන සංවේදකයට තැබීමෙන්, ඇස් පියන් හැර සංවේදකයට ඇල්ලීමෙන් හෝ මුහුණට සංවේදකය ඇල්ලීමෙන් ඉතාම පහසුවෙන් ෆෝන් එක අගුළු අරින්න හැකියි නේද? ඒ අතින් මේ අගුළු සියල්ල ම හුදෙක් swipe කිරීමක් තරමට ම අනාරක්ෂිත වී තිබෙන බව බොහෝ විශේෂඥයන්ගේ අදහස යි.
ගැටලු ඇති වූ අවස්ථා
මෑතකාලීන ව මේ තත්ත්වයේ බරපතලකම ගැන සාක්ෂ්‍ය බොහොමයක් පවතිනවා. විවිධ ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් ඇඟිලි හෝ ඇසේ තාරා මණ්ඩල භාවිතයෙන් සැකකරුවන්ගේ දුරකථනවල අගුළු හැර ගත් අවස්ථා ඉන් ප්‍රධාන යි. ඒ වගේ ම පැහැර ගැනීමකට ලක් වූ අවස්ථාවල, මියගිය අවස්ථාවල වංචනික ව මේ ක්‍රමයෙන් දුරකථනයක් අගුල් හැර ගත් අවස්ථා ගණනාවක් ගැන වාර්තා තිබෙනවා.
හුදෙක් දුරකථනයේ අඩංගු දේවල් පමණක් නෙවෙයි, අද වන විට දුරකථනයෙන් ම සිදුකරන මුදල් ගෙවීම්, බැංකු කටයුතු ආදියත් සුලබ නිසා මුදල් සොරකම් කරන්න, ගෙවීම් සිදු කරන්න, අදාළ දුරකථනය භාවිතයෙන් තම අනන්‍යතාව සඟවාගෙන වංචා සිදුකරන්න, ඇතැම් විට අදාළ පුද්ගලයාගේ වාහන, නිවෙස් ආදියේ පවා අගුළු හරින්න ඉඩකඩ තිබෙන නිසා පුළුල් පරාසයක ගැටලු ඇති වීමේ අවදානමක් පවතිනවා.
ලබාදිය හැකි විසඳුම්?
ඉතින් මෙයට පිළියම කුමක්ද? දැනට පවතින විසඳුම් සියල්ල ම පාහේ මේ ක්‍රමවල තිබෙන පහසුව අවම කරන ක්‍රම ලෙස යි සැලකෙන්නේ. සාමාන්‍යයෙන් තබන දබර ඇඟිල්ල හෝ මහපට ඇඟිල්ල වෙනුවට වෙනත් ඇඟිල්ලක් යොදාගැනීම ඉන් ප්‍රධාන යි. එක් ඇඟිල්ලක් තැබූ පමණින් අගුළු නොහැරී දෑතේ වෙනස් ඇඟිලි දෙකක් හෝ කිහිපයක් යම් අනුපිළිවෙලකට තැබූ විට පමණක් අගුළු හැරෙන විසඳුමක් ලබාදීමත් සාර්ථක වේවි. මෙය PIN එකක සහ ඇඟිලි සලකුණේ සංකලනයක් ලෙස යි සැලළකෙන්නේ. මේ අවස්ථාවන් දෙකේ දී ම අපේ කැමැත්තක් නැති ව තව කෙනෙකුට යොදාගන්න ඇති හැකියාව අවම වෙනවා.
ඇඟිලි 10ක් ඇති නිසා මෙය සාර්ථක වුවත් කණගාටුවකට මෙන් ඇස් දෙකක් පමණක් ඇති නිසා තාරා මණ්ඩලයත්, එක් මුහුණක් පමණක් ඇති නිසා මුහුණ යොදාගෙනත් මෙවැන්නක් කළ හැකි සාර්ථක විසඳුමක් නැහැ. මුහුණෙන් යම් ඉරියව් කිහිපයක් අනුපිළිවෙළින් පෙන්වීම තරමක් හොඳ යෝජනාවක් වුවත්, එය ප්‍රායෝගික ව යොදාගන්න කැමති අය සීමිත නිසා සාර්ථකත්වය ගැන ගැටලුවක් තිබෙනවා.
සමහර විට ඔබට මෙයට හොඳ වඩා යෝජනාවක් තිබෙන්න පුළුවන්. ආරක්ෂාවෙන් ඉහළ, තමන්ගේ අකමැත්තෙන් ලබාගත නොහැකි, සහ භාවිතය පහසු අගුළු ක්‍රමයක් ගැන ඔබට සිතන්න හැකි නම් එය කමෙන්ට් එකකින් අපට දන්වන්න.