වෛරසයක් කියලා කියන්නේ පරිගණකයකට ඇතුළුවී සාහසික අයුරින් එහි ක්‍රියාකාරීත්වයට බාධා කිරීම සහ උපාංගයේ දත්ත සොරාගැනීම සඳහා වෛරස නිශ්පාදකයාට අවස්ථාව සලසා දෙන ක්‍රමලේඛයක්. අපි මේ වෛරස් කියන වචනයට වැඩිපුර පුරුදු වෙලා හිටියත් නානාප්‍රකාර හැඩතලවලින් එන මේ ආකාරයේ සාහසික ක්‍රමලේඛවලට පොදු නමක් ලෙස දුෂ්ටාංග (malware) කියලා කියන්න පුළුවන්.
එවිට ඊට තමාවම ක්ලෝනීකරණය කරගනිමින් පැතිරෙන ඒවා, දත්ත සොරාගන්න ඒවා, අපේ කටයුතුවලට බාධා කරන ඒවා ආදීවූ විශාල පරාසයක හානිදායී ක්‍රමලේඛ රැසක් ආවරණය කරන්න පුළුවන්. මුලදී මේවා වෙන වෙනම පැමිණි නිසා වෛරස, ට්‍රෝජන් හෝස්, වර්ම්ස් ආදී වශයෙන් වර්ගීකරණය කෙරුණත් මේ වනවිට ඒවායේ එකතු වශයෙන් සැහැසි ක්‍රමලේඛ නිපැයෙන නිසා අපි මේ වචනයට හුරුවීම අත්‍යාවශ්‍යයි. ඒත් ජම්මෙට වඩා පුරුද්ද ලොකු නිසා ඒ වචනයම කියමු. ඉතින් භාෂාව මොකක් වුණත් දැන් අපි මේ ලැහැස්ති වෙන්නේ මේ ආකාරයේ ඒවායෙන් අපේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගවලට බාසාව දාන උන්දැලාව මට්ටු කරන හැටි ඉගෙන ගන්නයි.
ඇන්ඩ්‍රොයිඩ්වලට වෛරස පැතිරෙන්නේ කොහොමද?
පරිගණකයකට වුණත් වෛරස තනිව ඇවිත් ස්ථාපනය වෙන්නේ නැහැ. මේ සියළු දේට වගකියන්න ඕනෑ එය භාවිතා කරන අපියි. හිතුමතේ විවිධ දේ බාගත කරගෙන ස්ථාපනය කරන නිසාත් මෘදුකාංග මිළදී නොගෙන හොර කොපි භාවිතා කරන්නට පුරුදුව සිටීම නිසාත් ඒවායේ තිබෙන ක්‍රැක්, පැච් ආදී දේ හරහා දුෂ්ටාංග අපේ උපාංගවල පැළපදියම් වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් වැනි දුරකථන මෙහෙයුම් පද්ධති ගැන කථා කරද්දී, ඒවා පැමිණිය හැකි ප්‍රධානම ආකාරය වන්නේ අපි හිතුමතේ ස්ථාපනය කරන යෙදුම් හෙවත් ඇප්ස් හරහාම පමණයි. ඒ නිසා අත්හදා බලන්නට හෝ යෙදුමක් ස්ථාපනය කරන්නට කලින් එය අත්‍යාවශ්‍යමද යන්න පිළිබඳව සැලකිල්ලක් දැක්වීමත්, ප්ලේ ස්ටෝර් (Play Store) වැනි යෙදුම් ගබඩාවකින් ම පමණක් යෙදුම් බාගත කරගෙන ස්ථාපනය කරගැනීමට පුරුදු වීමත් වැදගත්.
බොහෝ පරිගණක ක්‍රීඩා සමඟ දිස්වන වෙළඳ දැන්වීම් මෙලෙස ඔවුන්ට අවශ්‍ය යෙදුම් අපිට බලෙන් ස්ථාපනය කරවන්නට නිතරම කරදර කරනවා. හැබැයි ඉතින් නෝනාගෙන් බේරෙන්න එයා කියන කියන ඒවා කළාට මේවා කරන්නට ගියොත් නම් අපි අමාරුවෙ වැටෙනවා සිකුරුයි. මෙවැනි අනවශ්‍ය යෙදුම් නිසා ඔබේ පෞද්ගලික දත්ත තෙවන පාර්ශවයක් අතට පත්වීමත්, පෙර තරම් වේගයෙන් දුරකථනය භාවිතා කිරීමට නොහැකි වීමත් සිදුවෙන්න පුළුවන්.
සමහරවිට එය වෛරසයක් නොවෙන්න පුළුවන්
බොහෝ දෙනෙක් මගෙන් අහලා තිබෙනවා ඔවුන්ගේ දුරකථනයේ ඊට වෛරසයක් පැමිණ ඇතිබව කියන පණිවිඩයක් නිතර දිස්වන බවත් ඊට කුමක් කළ යුතුද කියා. ඒකට කෙළින් උත්තරයක් දෙනවා වෙනුවට මෙහෙම හිතන්න, ඔබේ නිවසට හොරෙක් එනවා. ඇවිත් හොරාම කෑ ගහනවා මෙන්න හොරෙක් ඇවිත් කියලා. කොච්චර හිත හොඳ ඩයල් එකක්ද නේ? ඒත් ඉතින් කවදාවත් ඒක වෙන දෙයක් නම් නෙවෙයි.
මේ දිනවල බහුලව පැතිරෙන මේ වෙළඳ දැන්වීම් වර්ගය වෙබ් අඩවිවලට පිවිසුනු වහා ඒ හරහා විවෘතවී දුරකථනයද වයිබ්‍රේට් කරවමින් වයිරසයක් පැමිණ ඇති බවත් එය වහා ඉවත් කිරීම සඳහා එයම ලබාදෙන යෙදුමක් ස්ථාපනය කරගත යුතු බවත් කියනවා. මේ කැරට් අලය කෑවොත් නම් කාපු අපිට හාවෙක් කියලා කියන්න නම් අමාරුයි. ඉතින් හැමවිට ම මේ ආකාරයේ වෙළඳ දැන්වීම් මග හරින්නට උත්සාහ කරන්න. ඔබ කිසිවක් සොයන්නට නම් අන්තර්ජාලයට පිවිසුනේ, ඒ බව හොඳින් සිහි තබාගෙන ඒ දේ අවසන් කරගෙන නැවත හැරෙනවා මිසක් මේ වගේ බාධක දැක නැවතුණොත් ගලන්න තිබුණු ගඟ, දිය කඩිත්තක් වෙලා සියල්ලම අවසන් වෙනවා.
ඒ වගේ ම දුරකථනයේ වේගය පෙරට වඩා අඩුවීමත් අනවශ්‍ය ලෙසින් ස්ථාපනය කරන ලද විශාල ප්‍රමාණයේ ඇප්ස් හෝ දුරකථනය පරණ නමුත් නූතන ඇප්ස්වල ප්‍රමාණය, හැකියාවන් සුවිසල් නිසා එය දරාගැනීමට දුරකථනයට ඇති නොහැකියාව බලපාන්නට පුළුවන්. එනිසා වෛරසයක් පැමිණි බවට නිගමනය කිරීමට පෙර අනවශ්‍ය දේවල් අස්ථාපනය කර දමා උත්සාහ කර බැලීම හොඳයි.
නිල නොවන මුලාශ්‍ර වලින් යෙදුම් ස්ථාපනය කරන්න එපා
ඇන්ඩ්‍රොයිඩ් ආදී දුරකථන මෙහෙයුම් පද්ධති වලට වෛරස පැමිණීම වළක්වා ගැනීමේ ස්වර්ණමය නීතිය ලෙස මේ පිටින් යෙදුම් ස්ථාපනය කරගැනීමෙන් වැළකීම දක්වන්න පුළුවන්. හැමවිටම යෙදුම් ගබඩාව හරහා ම ස්ථාපනය කරගැනීමෙන් නොදන්නා මූලාශ්‍ර හරහා දුෂ්ටාංග අපේ දුරකථනයට ඇතුළු වීම වළකිනවා. ඔබ දන්නා යෙදුමක් වුවත් බ්‍රවුසරය හරහා ගූගල් කර ලබාගත්තත් ඒවා වෙනස්කර ඔබ දන්නා නමින් බාහිරට පෙනී සිටින දුෂ්ටාංගයක් වීමේ හැකියාව තිබිය හැකියි. ඒ නිසා හැමවිටම යෙදුමක් අවශ්‍ය වී සෙවීමක් කරනවා නම් යෙදුම් ගබඩාව (ඇන්ඩ්‍රොයිඩ් සඳහා Play Store, ඇපල් සඳහා App Store) හරහා ම එය සිදුකර අවශ්‍ය යෙදුම තෝරාගත හැකියි.
එතකොට යෙදුමක් ස්ථාපනයට පෙර පරීක්‍ෂා කළයුතු දේ?
ඇපල් සමාගම ඔවුන්ගේ යෙදුම් ගබඩාවට එක් කරන සියළුම යෙදුම් සහ යාවත්කාලීන ඉතා හොඳින් පරීක්‍ෂාකර බලා ප්‍රසිද්ධ කරන නමුත් ගූගල් සමාගම විසින් ගිය වසරේ ගූගල් I/O සමුළුවේදී එතැන් පටන් ගූගල් ප්ලේ ස්ටෝර් වෙත එක් කරන සියළු යෙදුම් පරීක්‍ෂා කරන බවට පොරොන්දු වනතුරුම ගූගල් යෙදුම් ගබඩාවේ ද ට්‍රෝජන් හෝස් ආකාරයේ පිටතට හොඳින් පෙනෙනමුත් ඇතුලත සාහසික කේත සහිත යෙදුම් බොහොමයක් තිබුණා.
ඒ කොහොම නමුත් මේ ආයතනයන් විසින් ඔවුන්ගේ පරීක්‍ෂාවන් සිදු කළත් ඔවුන්ට සියල්ලම පවරා අත්බැඳ ඉන්නට අපිට බැහැ. අපිටත් කළ යුතු කාර්යභාර්යයක් තිබෙනවා. ඒ වෙන කවුරුවත් වෙනුවෙන් නෙවෙයි, නිතර දෙවේල් භාවිතා කරන අපේම උපාංගය වෙනුවෙනුයි.
ඔබ නව යෙදුමක් ස්ථාපනය කරගන්නට හෝ යාවත්කාලීන කරන්නට උත්සාහ කරද්දී ප්ලේ ස්ටෝර් එකෙන් ඔබට ඒ යෙදුම විසින් විමසන අවසරයන් (permissions) ලැයිස්තුවක් පෙන්වනවා. අන්න ඒ ගැන හොඳ අවධානයකින් නිරීක්‍ෂණය කරන්න. ඔබට අවශ්‍ය වන්නේ ටෝච් එක ලෙසින් ෆ්ලෑෂ් ලයිට් එක භාවිතා කිරීමට අවස්ථාව සලසන යෙදුමක් නම් ඊට කුමටද ඔබේ කැමරාව භාවිතා කිරීමට, ඔබේ දුරකථනයේ ඇති අංක (contacts) බැලීමට සහ පණිවිඩ යැවීමට අවශ්‍ය වන්නේ? මෙන්න මේ දේ නොසලකා හැර ඒවාට අවසර ලබාදීමෙන් ඔබමයි හොරාව ගෙට දාගන්නේ.
වෛරස් ආරක්‍ෂකයක් ස්ථාපනය කරගන්න
ඉහත සියළුම දේවල් අනුගමනය කිරීමෙන් ඔබට දුරකථනයට දුෂ්ටාංග පැමිණීම වළක්වා ගන්නට පුළුවන් නමුත් මේ වන විටත් යමක් ඔබේ දුරකථනයට පැමිණ ඇතැයි ඔබේ සිතට සැකයක් දැනෙනවා නම් වෛරස ආරක්‍ෂණ යෙදුමක් ස්ථාපනය කරගන්න. 360 Mobile Security, Avast හෝ Lookout වැනි යමක් ඒ සඳහා සුදුසුයි. සැම්සුන්ග් දුරකථනවල නම් Smart Manager නමින් යෙදුමක් පැමිණෙන නිසා තවත් යෙදුමක් ස්ථාපනය කළ යුතු නැහැ. මේවා හරහා ඔබේ උපාංගය පරීක්‍ෂා කරවා ගත හැකි අතර එය ද ඔබට නොසෑහෙනවා නම් හෝ තවදුරටත් අනාරක්‍ෂිත බවක් හැඟෙනවා නම් දුරකථනයේ සැකසුම් වලින් Factory Reset කරගත හැකියි. එවිට දුරකථනයේ සියළුම දත්ත මැකී ගොස් අළුතෙන් ගත්තාක් මෙන් සිදුවන අතර එය කිරීමෙන් ඔබේ සියළු දත්ත නැතිවී යන බව ද සිහිතබා ගත යුතුයි.
ගෙදරට හොරු පනින්න වළක්වා ගන්න චීන මහා ප්‍රාකාරයක් බඳින්න ගියාම ඊට මුදල්, කාලය මෙන්ම ඉඩකඩත් බොහොම වැයවෙනවා. හැබැයි ඔබ වටපිටාවේ අය හොඳින් තියාගෙන සුහදව හිටියොත් ඒ අය නිතරම සෙවිල්ලෙන් ඉන්න නිසා සමහරවිට තාප්පයක් අවශ්‍ය වෙන එකකුත් නැහැ. ඉතින් මේ වෛරස මෘදුකාංග ස්ථාපනය කරගැනීමත් එහෙමයි.
ඔබ කරන දේ ඔබ හොඳින් දන්නවා නම් මෙවැන්නක් නැතිව වුණත් ඔබේ උපාංග සියල්ලක් ම කිසිම කරදරයක් නැතිව භාවිතා කරන්න පුළුවන්.
වෛරස සමඟ ඔබේ අත්දැකීම් මොනවාද? අපි කැමතියි ඒවා දැනගන්න.
මූලාශ්‍ර: pcadvisor.co.uk, Wikipedia
කවරයේ පින්තූරය: the4cast.com