Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබට ටැබ් එකක් මිලදී ගැනීමට අවශ්‍ය ද?

තොරතුරු තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවත් එක්කම විවිධාකාර උපාංග මිනිස් ජීවිතයෙන් බොහෝ ඉඩකඩක් වෙන්කරගැනීම පසුගිය දශකයක පමණ කාලයේදී අපි ඉතා විශාල වශයෙන් අත්වින්දා. සාමාන්‍ය පරිගණක, ලැප්ටොප් පරිගණක සහ Smart ජංගම දුරකථනවලින් තම අවශ්‍යතා ඉටුකරගන්න මනුෂ්‍යයාට ටැබ් එකක් තවදුරටත් අවශ්‍ය වෙන්නේ ඇයි? සමහර විට ඔබටත් එහෙම හිතෙන්න ඇති. නමුත් ඔබගේ එදිනෙදා තොරතුරු තාක්ෂණික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගැනිම සඳහා ටැබ් එකට විශාල දෙයක් කරන්න පුළුවනි. මේ නිසා වර්තමානයේදී ටැබ්වලට ඉතා විශාල ඉල්ලුමක් වෙළඳපොළේ පවතිනවා. Tablet Computer එහෙමත් නැත්නම් ටැබ් එකක් මිලදී ගැනීමට පෙර කල්පනා කළයුතු ප්‍රධානම කරුණු 5ක් පිළිබඳවයි මේ ලිපිය.

  1. ඔබට ටැබ් එකක් අවශ්‍ය ඇයි?

කරන්න යන වැඩේ තමයි වැදගත් (speeli.com)

ඔබේ අවශ්‍යතාවය කුමන ආකාරද? අන්න ඒ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස ටැබ් එක තෝරාගැනීම ඉතා වැදගත්. ඔබේ අවශ්‍යතාවය කාර්යාලයේ ලිපිලේඛන කටයුතු පහසුකරගැනීම පිණිස ටැබ් එකක් මිලදී ගැනීමට ද? එහෙමත් නැතිනම් පරිගණක ක්‍රීඩාවන්හි නියැලෙන්න අවශ්‍ය ටැබ් එකක්ද? එහෙමත් නැතිනම් ඔබේ අවශ්‍යතාවය PDF ආකාරයට පොත් කියවීම ද? ඔබ ටැබ් එක ලබා දීමට බලාපොරොත්තු වෙන්නේ ඔබේ කුඩා දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද? ටැබ් එකක් මිලදී ගැනීමට පෙර මේ ආකාරයට ඔබගේ අවශ්‍යතාවය පැහැදිලිව හඳුනාගැනීම ඉතාම වැදගත්. විවිධ මාදිලිවල විවිධ විශේෂාංග සහ තාක්ෂණික හැකියාවන්ගෙන් සන්නද්ධ විවිධ මිලගණන් යටතේ ටැබ් විශාල ප්‍රමාණයක් වෙළඳපොළේ දක්නට තිබෙනවා. උදාහරණයක් දැක්වූවෝතින්, ඔබේ මූලිකම අවශ්‍යතාවය වන්නේ අන්තර්ජාලය පරිහරණය කිරීම, වීඩියෝ නැරඹීම සහ ගීත ඇසීම වගේ දේවල් නම් ඔබ වඩාත් විශාල මුදලක් වියදම් කරමින් Hardware Specification වැඩි ටැබ් එකක් මිලදී ගතයුතු නැහැ කියන එකයි අපේ නිර්දේශය. ඒ වෙනුවට ඔබට සාමාන්‍ය ධාරිතාවයකින් යුත් අඩු මිල ටැබ් එකක් මිලදී ගැනීමට පුළුවනි. ඒ වගේම ඔබ නිතරම ගමනේ යෙදෙන කෙනෙක්නම්, තිරය එතරම් විශාල නොවන ටැබ් එකක් මිලදී ගැනීම වැදගත්.

ඒ වගේම තමන් මිලදී ගන්න ටැබ් එක සාමාන්‍ය Standalone ටැබ් එකක්ද එහෙමත් නැතිනම් Convertible ටැබ් එකක්ද කියන එකත් තීරණය කරන එක වැදගත්. සාමාන්‍ය ටැබ් එකකට වඩා Convertible එහෙමත් නැතිනම් 2 in One ටැබ් එකක තියෙන විශේෂත්වය තමයි ලැප්ටොප් පරිගණකයක හා සමානව මේ ටැබ් එකට keyboard එකකුත් අන්තර්ගතව තිබීම. නමුත් ඒ keyboard එක ඉතා පහසුවෙන් ඉවත් කර සාමාන්‍ය ටැබ් එකක් ලෙසටත් ඔබට එය භාවිතා කරන්න පුළුවනි. මේ නිසා ටැබ් එකක් මිලදී ගැනීමට පෙර තමන්ගේ අවශ්‍යතාවය නිවැරදිවම හඳුනාගැනීම ඉතාම වැදගත් බව සඳහන් කරන්නටම අවශ්‍යයි.

  1. ටැබ්වලට හොඳම OS එක මොකක්ද?

iOS, Android, Windows වලින් මොකක්ද හොඳම (techradar.com)

ටැබ් එකක් මිලදී ගැනීමට ගියාම බොහෝ දෙනෙක්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ටැබ් එකේ OS එක මොකක්ද කියන එක. ඇපල් සමාගමේ iOS එකෙන් සමන්විත iPad , Google සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් OS එකක් තියෙන ටැබ්, වින්ඩෝස් OS එක තියෙන ටැබ් සහ Amazon Fire OS එක තියෙන Amazon Fire ටැබ් විදියට විවිධාකාර ටැබ් වෙළඳපොළේ අනන්තවත් තිබෙනවා. ඒ වගේම තමන්ට භාවිතා කිරීමට අවශ්‍ය App ගැන සහ ඒ App සඳහා OS එකෙන් දක්වන සහයෝගය ගැනත් සැළකිළිමත් වීම වැදගත්. ටැබ් එකකට හොඳම OS එක මෙන්න මේකයි කියලා වර්ග කරලා පෙන්වන්න හැකියාවක් නැහැ. නමුත් මෙහිදී ඔබ සැළකිළිමත් විය යුතු කරුණු කීපයක්ම තිබෙනවා. පළවෙනිම දේ තමයි ඉදිරි කාලයේදී පැමිණෙන OS updates ඔබේ ටැබ් එකට අන්තර්ගත කරගන්න හැකියාව තිබෙයිද කියන දේ ගැන හොඳ වැටහීමකින් යුක්ත වීම. iOS, Android වගේ OS සෑම වසරකදීම තමන්ගේ අළුත්ම version එක එළිදැක්වීම සිදුකරනවා. මේ ආකාරයට එළිදක්වන නව OS version කීයක් සඳහා ටැබ් එක සහය දක්වනවද කියන කරුණ ගැන සැළකිලිමත්වීම වැදගත්.

  1. ටැබ්වලට හොඳ බ්‍රෑන්ඩ් මොනවද?

ජනප්‍රිය බ්‍රෑන්ඩ් බොහෝ ප්‍රමාණයක් වෙළඳපොළේ තියෙනවා (thedoctor.com)

ලෝකයේ ප්‍රසිද්ධම සහ ජනප්‍රියම ජංගම දුරකථන වෙළඳ සන්නාම කීපයක්ම මේ වෙද්දි ප්‍රමුඛපෙළේ ටැබ් නිෂ්පාදකයන්. Google, Samsung, Apple, HP, LG, Lenovo, Sony, Toshiba, Xiaomi, Huawei මේ සඳහා උදාහරණ විදියට දක්වන්න පුළුවනි. මීට අමතරව තවත් විවිධ ආයතන ටැබ් නිෂ්පාදනය කිරීම සිදුකරනවා. ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන වගේම ටැබ් මිලදීගැනීමේදීත් සන්නාමය ගැන යම් තරමකට කල්පනාකාරීවීම වැදගත් බවයි අපේ අදහස. ඒ වගේම ඔබ ටැබ් එක මිලදී ගැනීමේදී වගකීම් සහතිකයක් ලබා ගැනීමටත් අමතක කරන්න එපා.

  1. Hardware Spec එක කොහොම වෙන්න ඕනෙද?

androidauthority.com

ටැබ් එකක Hardware ගැන කතාකරද්දි, ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳවම අවධානය යොමුකරන්න සිදුවෙනවා.

තිරය

ටැබ් එකේ ප්‍රමාණය තීරණය වන්නේ තිරයේ ප්‍රමාණයෙන්. තිරයේ විශාලත්වය එහි විකර්ණයේ දිග අනුව තීරණය වෙනවා. සාමාන්‍යයෙන් අඟල් 7ක පමණ ප්‍රමාණයේ සිට අඟල් 12 පමණ ප්‍රමාණය දක්වා විවිධ ප්‍රමාණයේ තිර සහිත ටැබ් වෙළඳපොළේ දකින්නට පුළුවනි. ඔබගේ අවශ්‍යතාවය අන්තර්ජාලයේ සැරිසැරීම සහ PDF ආකාරයට පොත් කියවීම නම්, අඟල් 7 ප්‍රමාණයේ තිරයකින් යුත් ටැබ් එකක් ඔබට සුදුසුයි කියලයි අපිට හිතෙන්නේ. ඒ වගේම වීඩියෝ නැරඹීම සහ පරිගණක ක්‍රීඩා සඳහා අඟල් 9 සිට 11 අතර ප්‍රමාණයේ තිරයකින් යුත් ටැබ් එකක් වඩාත් සුදුසු වෙනවා. ඊටත් වඩා දිගින් වැඩි ටැබ් කාර්යාලීය ලිපි ලේඛන වැඩකටයුතු, චිත්‍ර ඇඳීම, ග්‍රැෆික් නිර්මාණ කටයුතු වැනි කාර්යයන් සඳහා සුදුසුයි කියලයි අපේ අදහස. ඒ වගේම screen resolution එක පිළිබඳවත් සැළකිළිමත්වීම වැදගත්. Screen resolution එක තීරණය කරන්නේ වර්ග අඟලක ඇති පික්සෙල් (Pixels Per Inch) ප්‍රමාණය මතයි. PPI එක වැඩිවෙන තරමට ඔබගේ ටැබ් එකෙන් දර්ශනය වෙන දේවල්වල සුපැහැදිලිභාවය ද වැඩි වෙනවා.

ප්‍රොසෙසරය සහ රැම් එක

විවිධාකාර ධාරිතාවයන්ගෙන් යුත් ප්‍රොසෙසර් වලින් අද ටැබ් සන්නද්ධ වෙලා තියෙනවා. ඉහළ මාදිලියේ ටැබ් Quad-Core Processor එකකින් සමන්විත වෙද්දි සාමාන්‍ය මාදිලියේ ටැබ් ඊට වඩා කාර්යක්ෂමතාවයෙන් අඩු Processorවලින් සමන්විත වෙනවා. ටැබ් එකේ වේගය සහ කාර්යක්ෂමතාවයත් තීරණය වෙන්නේ Processor එක අනුවයි. ඉතාම සරල ලෙස දැක්වූවොතින්, Processor එකේ ඇති Core සංඛ්‍යාව සහ Clock Speed එක වැඩිවෙන තරමට එහි කාර්යක්ෂමතාවය වැඩිවෙනවා විදියට දක්වන්න පුළුවනි.

ඒ වගේම ටැබ් එකේ වේගය රඳාපවතින තවත් එක වැදගත් සාධකයක් විදියට RAM එක දක්වන්න පුළුවනි. වර්තමානයේ වෙළඳපොළේ තියෙන බොහෝ ටැබ්වල RAM එක 2GB – 4GB අතර දක්වා වෙනස් වෙනවා. ටැබ් එකේ උදව්වෙන් ඔබ විසින් සිදුකරන්න බලාපොරොත්තුවන කාර්යයන් පිළිබඳව සළකා බලලා කොපමණ ධාරිතාවයකින් යුත් RAM එකක් අඩංගු ටැබ් එකක් මිලදී ගන්නවාද යන්න ගැන තීරණය කිරීම තමයි වඩාත්ම සුදුසු. උදාහරණයක් විදියට ඔබ ටැබ් එකෙන් කරන්නේ අන්තර්ජාලයේ සැරිසැරීම සහ වීඩියෝ බැලීම පමණයි නම් ඔබට 2GB RAM එකක් සහිත ටැබ් එකක් හොඳටම ඇති නමුත් ඔබ ග්‍රැෆික් නිර්මාණය, වීඩියෝ ක්‍රීඩා වගේ දේවල දැඩිව නිරතවෙනවානම් ඊට වඩා වැඩි RAM ධාරිතාවයක් සහිත ටැබ් එකක් මිලදී ගැනීම සුදුසුයි.

අභ්‍යන්තර ධාරිතාව

ටැබ් එකේ අන්තර්ගත Memory chip එකේ එහෙමත් නැතිනම් Internal Storage එකේ ධාරිතාවය පිළිබඳවත් කල්පනාකාරීවීම වැදගත්. ඔබ විසින් ටැබ් එක ආධාරයෙන් ලබාගන්නා ඡායාරූප, වීඩියෝ වගේම අන්තර්ජාලයේ සැරිසැරීමේදී බාගත කරගන්නා දේවල්ද අවසානයේ තැන්පත්වන්නේ මේ memory chip එක තුළයි. ඒ වගේම ඔබේ OS එකේ system files සියල්ලත් තැන්පත් වෙන්නේ memory chip එක තුළ නිසා එහි ඔබට භාවිතා කළහැකි ධාරිතාවය ගැනත් සැළකිළිමත්වීම අතිශයින්ම වැදගත්. උදාහරණයක් විදියට Windows 8 OS එක, iOS හෝ Android OS වලට වඩා විශාල ඉඩක් ලබාගන්න්නවා. ඒ වගේම ඔබ මිලදී ගන්නා ටැබ් එකේ අතිරේක Memory Card Slot එකක් තිබීම වැදගත්. මේ හරහා ඔබට අතිරේකව ඔබගේ දත්ත තැන්පත්කරගැනීමට ඉඩක් ලබාගන්න පුළුවනි.

බැටරි ආයුකාලය

ටැබ් එකේ battery එක කොපමණ කාලයක් පවතිනවාද කියන කරුණත් අතිශය වැදගත්. ඔබ නිතර ගමනේ යෙදෙන කෙනෙකුනම් වැඩි battery කාලයක් ඇති ටැබ් එකක් තමයි ඔබට සුදුසුම. සාමාන්‍යයෙන් ඕනෑම ටැබ් එකක battery එක පැය 7කට වඩා වැඩි කාලයක් තමන්ගේ සේවය ලබාදෙනවා. ඔබ HD වීඩියෝ නරඹනවානම්, screen එකේ Brightness වැඩිනම්, ටැබ් එකේ ශබ්දය උපරිම කර ගීත අසනවානම්, නිතරම මොබයිල් ඩේටා හරහා අන්තර්ජාලයට සම්බන්ධ වී සිටිනවානම් ඔබගේ ටැබ් එකේ battery කාලය අඩුවීමට ඒවා හේතු වෙන්න පුළුවනි. ඒ වගේම ටැබ් එක භාවිතා නොකරන අවස්ථාවලදී sleep mode එකේ තබද්දී එහි battery කාලය වැඩි බව ඔබට දැකගන්නට පුළුවන් වේවි.

සබඳතාවය

සෑම ටැබ් එකක්ම Wi-Fi සම්බන්ධතාවය සහිතවමයි නිශ්පාදනය වෙන්නේ. ඊට අමතරව 3G, 4G හෝ LTE ආකාරයේ සේවාවන් ලබාගැනීමටනම් ඔබේ ටැබ් එකට SIM පතක් අන්තර්ගත කරගන්නට සිදුවෙනවා. ටැබ් එක මිලදී ගැනීමේදී Cellular Connectivity තිබෙනවාද යන කරුණ පිළිබඳවත් සැළකිලිමත් වීම වැදගත්.

ඒ වගේම සෑම ටැබ් එකකම Bluetooth අන්තර්ගතයි. මේ නිසා ඔබට ටැබ් එකේ ඇති වීඩියෝ, ගීත යනාදිය Bluetooth හරහා ඔබගේ වාහනයේ ඇති player එකෙන් වාදනය කරන්න හැකියාව තියෙනවා.

ටැබ් බොහෝ විට පරිඝණක හෝ වෙනත් උපාංගවලට සම්බන්ධ කරන්නේ USB කේබල් එකක් හරහායි. ඒ වගේම ටැබ්වල සාමාන්‍ය 3.5mm headset connector එකකුත් අන්තර්ගතයි. ඊට අමතරව HDMI port එකක් පවා අන්තර්ගතව තිබෙන නවතම ටැබ් වෙළඳපොළේ මිලදී ගන්නට තියෙනවා. ඒ හරහා වඩාත් පහසුවෙන් ටැබ් එක SMART TV එකකට හෝ Projector එකකට සම්බන්ධ කරගන්න පුළුවනි.

ටැබ් එකක් මිලදී ගැනීමට පෙර විශේෂයෙන්ම Hardware Specification ගැනත් සැලකිළිමත් වෙන්න කියන එකයි අපේ නිර්දේශය.

  1. ටැබ් එකේ මිල

තමන්ට වඩාත්ම ගැලපෙන ටැබ් එක තෝරගන්න එකත් කලාවක් (engadget.com)

ශ්‍රී ලංකාව තුළදී ඔබට රුපියල් 7,000ක් පමණ වනවිට කුඩා දරුවන් සඳහා සුදුසු කුඩා ප්‍රමාණයේ ටැබ් එකක් මිලදී ගන්නට පුළුවනි. ඔබගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය මධ්‍යම ප්‍රමාණයේ ගුණාංගයන්ගෙන් යුත් ටැබ් එකක් රුපියල් 15,000 සිට 35,000 අතර මුදලකට මිලදී ගන්නත් හැකියාව තිබෙනවා. ඔබගේ අවශ්‍යතාවය High end ටැබ් එකක් නම්, රුපියල් 60,000/= සිට ඉහළට ඒ ආකාරයේ ටැබ් වෙළඳපොළේ තිබෙනවා. ඔබගේ අවශ්‍යතාවය පිළිබඳව හොඳින් සිතා බලා ඒ අනුව ටැබ් එකක් මිලදී ගැනීම තමයි වඩාත්ම ප්‍රඥාගෝචර කියන එකයි අපේ අදහස.

ටැබ් එකක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් අන්තර්ජාලයට හෝ මහමගට පිවිසෙද්දි මේ ලිපියේ අඩංගු කරුණු පිළිබඳවත් සිහිතබා ගැනීමෙන් සහ ප්‍රායෝගිකව අත්හදා බැලීමෙන් තමන්ට ගැලපෙනම ටැබ් එක තෝරාගැනීමට ඔබට හැකියාව ලැබේවි. ටැබ් එකක් මිලදී ගැනීමේදී වැදගත්වෙන තවත් කරුණු තියෙනවනම්, ඔබට පුළුවනි අපිවත් ඒ ගැන දැනුවත් කරන්න. පහළ කමෙන්ට් තීරුව තිබෙන්නේ ඔබ වෙනුවෙන්.

කවරයේ ඡායාරූපය: digitaltrends.com Cover.jpeg

ආශ්‍රිත වෙබ් අඩවි

  1. www.consumerreports.org
  2. laptopmag.com
  3. www.cnet.com
  4. www.johnlewis.com

Related Articles