මයික්‍රොවේව් උඳුනක ලෝහ තැබුවාම විදුලි පුළිඟු ඇති වන්නේ ඇයි?

උදේට නිදිමතේ ඉතුරුවුණු දෙයක් රත් කරගනිද්දී තිබූ හැන්දක් නිසා නිදිමත කොහෙන් ගියා ද නැති වෙන ශබ්ද සහ දේවතා එළි මයික්‍රොවේව් එකෙන් ඇතිවන අත්දැකීමක් ඔබටත් තිබෙනවා නම් එහි විද්‍යාත්මක පසුබිම ගැන කුතුහලයක් ඇති වූ බව නොඅනුමාන යි. හැඳි, ගෑරුප්පු මෙන්ම ඇලුමිනියම් ෆොයිල් කොළ පවා මයික්‍රොවේව් උඳුනේ දී පුළිඟු ඇති කරමින් ශබ්ද නගන නමුත් එය හැමවිටම සිදුවන්නේත් නැති බවත් ඔබ අත්දැක ඇති.

උල් හැඩැති ලෝහ වර්ගවල (විශේෂයෙන් ගෑරුප්පුවල), ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය නිසා මෙම සංසිද්ධිය සිදු වේ. ලෝහ උපාංග දිලිසෙමින් ආලෝකය පරාවර්තනය කරන්නාක් සේම උඳුනක් වැනි බාහිර විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයන් තුළදීත් ලෝහ හොඳ පරාවර්තකයක් සේ ක්‍රියා කර යි. අපි මේ ගැන දැන් වැඩිදුරට සොයා බලමු.

පුළිඟු වලට හේතුව

මයික්‍රෝවේව් උදුනක විමෝචනය වන විද්‍යුත් චුම්බක තරංගවලට ලෝහවලට විනිවිද යාමට නොහැකි යි. ඒ වෙනුවට එය ලෝහය මතුපිට විද්‍යුත් ධාරා ඇති කර යි. ලෝහයේ නැමුමක් ඇති විට, එහි විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර සංකේන්ද්‍රණය වී ඇති බැවින් තියුණු බව වැඩි වන විට විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර වඩාත් සංක්ෂිප්ත වේ.

ගෑරුප්පුවකින් ඇතිවන පුළිඟු (pinimg.com)

ගෑරුප්පුවක හෝ ඇලුමිනියම් ෆොයිල්වල දාර වැනි ඉතා තියුණු කොන්වලින්, ක්ෂේත්‍ර කෙතරම් සාන්ද්‍රණය වී ඇත් ද යත් ඒවා වාතයේ අණුවලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට තරම් ශක්තිමත් වේ. වාතයේ මෙම අයනීකරණය යනු උඳුන තුළ ඔබ දකින විද්‍යුත් පුළිඟුව යි. මෙම බලපෑම අකුණු සන්නායක නිර්මාණයට දායක වූ ආකාරය ඔබට දැන් සිතාගත හැකි ද?

හැඳි ගෑරුප්පු දැමීම හොඳ අදහසක් නොවෙයි (videoblocks.com)

මයික්‍රෝවේව් උඳුන්වල තීව්‍ර දෝලන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් වෙයි. මෙය උඳුනේ කුහරය තුළ තබා ඇති සෑම දෙයක් තුළ ම විදුලි ධාරාවක් නිර්මාණය කර යි. මෙම විද්‍යුත් ප්‍රතිරෝධය නිසා තබන ලද දෑ උණුසුම් වන්නට පටන් ගනියි. පරිවාරකවල (ප්‍රතිරෝධය ඉහළ දෑ) අඩු ධාරාවක් ඇති කරගන්නා නිසා යි පිසීමට සුදුසු තාප ප්‍රමාණයක් අපට ඒවාට ලබා දිය හැකි වන්නේ. ලෝහ ඉහළ සන්නායක වන බැවින් විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය ඒවා මත ඉතා ඉහළ ධාරාවක් නිර්මාණය කරයි. එනිසා එහි ලෝහ ද්‍රව්‍ය තැබීමේ දී ඒවායේ අගිසි පුපුරා යාම, උඳුනේ පෘෂ්ඨයන්ට හානිවීම, මයික්‍රොප්‍රොසෙසර වෙත බලපෑම් ඇතිවීම ආදිය සිදුවන බැවින් බෙහෙවින් කල්පනාකාරී විය යුතුයි.

මයික්‍රොවේව් උඳුන් සෞඛ්‍යාරක්ෂිත ද?

මයික්‍රෝවේව් යනු කෙටි ශක්ති තරංග විශේෂයකි (starranty.com)

එතරම් බලපෑමක් කළ හැකි තරංගයක් වශයෙන් මේවා අපේ සෞඛ්‍යයට හිතකර ද යන්න නිතැතින් ම පැන නඟින ගැටළුවකි. මයික්‍රෝවේව් උදුන් ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීම මෙම පොදු ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි කිරීමට උපකාරී වේ.

මයික්‍රෝවේව් උදුන් ආහාර පිසින්නේ ගුවන් විදුලි තරංගවලට සමාන නමුත් කෙටි ශක්ති තරංග භාවිතා කරමිනි. මෙම තරංග වරණීයව (තෝරාගත් අණු මත) ක්‍රියාත්මක වන අතර, මූලික වශයෙන් ජලය හා අනෙකුත් විද්‍යුත් වශයෙන් අසමමිතික (එක් කෙළවරක ධන ආරෝපිත සහ අනෙක් පස ඍණ ආරෝපිත) අණුවලට බලපා යි. මයික්‍රෝවේව් හෙවත් ‘ක්ෂුද්‍ර තරංග’ මඟින් මෙම අණු කම්පනය වන අතර කෙටි කාලයක් තුළ තාප ශක්තිය ගොඩනංවයි.

උඳුනේ අභ්‍යන්තරය පිරිසිදුව තබා ගැනීම වැදගත් (parade.com)

අප අවට විද්‍යුත් චුම්බක තරංගවලින් පිරී ගොස් තිබේ. WiFi තරංග, 3G, 4G සහ දැන් 5G තරංග ද අප අවට බහුලව ගැවසෙන අතර අපට පෙනීම දෙන ආලෝක තරංග පවා විද්‍යුත් චුම්බක තරංග බැවින් හැම තරංගයකට ම බිය විය යුතු නොවේ. අයනීකරණ හැකියාව අඩු වන තාක් එම තරංග අප දේහයට හානි සිදු නොකරයි.

වැඩිදුර කියැවීමට: 5G විකිරණ ශරීරයට අහිතකර ද?

මයික්‍රෝවේව් උඳුන වටා ලෝහ ආවරණ ඇති අතර එමඟින් විකිරණ උදුනෙන් පිටවීම වළක්වයි. එසේම, ඔබේ මයික්‍රෝවේව් උඳුන හොඳ තත්ත්වයේ පවතින බවට වග බලා ගන්න. එය පැරණි හෝ දොර නිසි ලෙස වැසිය නොහැකි නම් අලුත්වැඩියා කිරීම හෝ නව එකක් මිල දී ගැනීම ගැන සිතා බැලීම වටී.

ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව සහ පෝෂණය

බැදීමට වඩා මයික්‍රොවේව් කිරීම ආරක්ෂිත යි (womenpla.net)

සෑම ආහාර පිසීමේ ක්‍රමවේදයක් ම ආහාරවල පෝෂණ ගුණය අඩු කරයි. එයට හේතුවන ප්‍රධාන සාධක වන්නේ උෂ්ණත්වය, පිසීමේ කාලය සහ පිසින ක්‍රමය යි. තාපාංකයේ දී ජලයේ ද්‍රාව්‍ය පෝෂ්‍ය පදාර්ථ ආහාරයෙන් කාන්දු වී යා හැක. නමුත් මයික්‍රො‍වේව් උඳුන්වල පිසීමේ වේලාවන් සාමාන්‍යයෙන් කෙටි වන අතර, දිය යුතු උෂ්ණත්වය ද අඩු ය. 

මේ හේතුව නිසා, තෙලෙහි බැදීමට හෝ තැම්බීමට වඩා මයික්‍රෝවේව් උඳුන් වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් රඳවා ගනු ලබන බව පර්යේෂණ පෙන්වා දෙයි. ආහාරවල ප්‍රතිඔක්සිහාරක රැක ගැනීමට ප්‍රෙෂර් කුකර්වලටත් වඩා ඉන් මහඟු පිටිවහලක් ලැබෙන බව තවත් පර්යේෂණයක් පෙන්වා දෙයි. එසේම, මව්කිරි මයික්‍රොවේවි කිරීමෙන් එහි ඇති ප්‍රතිබැක්ටීරියාමය ක්‍රියාකාරීත්වය අඩාල වන බව ද සනාථ වී ඇත.

පිළිතුර, නිසි බඳුනක නිසි පරිදි පිසීම යි

මයික්‍රොවේව් උඳුන් ඇත්තේ ආහාර රත් කිරීම සඳහා පමණක්ම නොවේ (cbsistatic.com)

පෝෂ්‍ය පදාර්ථ වඩාත් හොඳින් රඳවා තබා ගත හැකි ආහාර පිසීමේ ක්‍රමය වන්නේ ඉක්මනින් පිසීම, කෙටි කාලයක් සඳහා ආහාර රත් කිරීම සහ හැකි තරම් දියර භාවිතා කිරීම යි. මයික්‍රෝවේව් උඳුන් එම නිර්ණායක සපුරාලයි. කුඩා ජල ප්‍රමාණයක් සමග මයික්‍රෝවේව් උඳුන භාවිතා කිරීමෙන් ආහාර හුමාලයෙන් තම්බා ගත හැකියි. එය වෙනත් ඕනෑම ආහාර පිසීමේ ක්‍රමයකට වඩා හොඳින් විටමින් හා ඛනිජ ලවණ රැක ගනු ලබන අතර මයික්‍රෝවේව් කළ ආහාර ඇත්තෙන්ම සෞඛ්‍ය සම්පන්න බව පෙනී යයි.

මයික්‍රෝවේව් උඳුන හොඳ ද නරක ද? මයික්‍රෝවේව් යනු ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්යයකි. පෝෂ්‍යදායීව සහ පහසුවෙන් ආහාර සකස් කරගන්නට එය අපට සහාය වෙයි. එහෙයින් උල් සහිත ලෝහ උපකරණ හෝ බඳුන්, බි‍ඳ‍ෙනසුළු දෑ හෝ අහිතකර ප්ලාස්ටික් යොදා නොගෙන ඒ වෙනුවෙන්ම සකසන ලද බඳුන් යොදාගෙන නිසි පිසීමේ ක්‍රම අනුගමනය කිරීමෙන් සුරක්ෂිත සහ පහසුවෙන් සකසාගත් ආහාර වේලකට ඔබටත් හිමිකම් කිව හැකියි.

කවරය: scienceabc.com

මූලාශ්‍ර වෙබ් අඩවි:

  • UCSB Science Line (scienceline.ucsb.edu)
  • අමෙරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය  (ncbi.nlm.nih.gov)
  • හාර්වර්ඩ් වෛද්‍ය විද්‍යාලය (health.harvard.edu)

Related Articles

Exit mobile version