ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ සන්නිවේදන තාක්ෂණය අතින් ඉදිරියෙන්ම ඉන්නා බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය වගේ ප්‍රමාණයෙන් වගේම ජනගහනය අතිනුත් අපට වඩා ගොඩාක් විශාල රටවල් ගණනාවක් දකුණු ආසියාවේ පැවතුණත් සන්නිවේදන තාක්ෂණය අතින් අපි ඉන්නේ ඒ හැමෝටම ඉදිරියෙන්. ඒ බව තවත් සනිටුහන් කරමින් පසුගියදා Dialog ආයතනය දකුණු ආසියාවේ මුල්ම වරට 5G තාක්ෂණය පවා මෙරටදී අත්හදා බලන්න සමත් වුණා.
ඉතින් මොකක්ද මේ 5G තාක්ෂණය කියන දේ ගැන වගේම එයින් අපට ලැබෙන්න තියෙන ප්රතිලාභ මොනවාද කියන එක ගැනත් ඔබව දැනුවත් කරන්න අපි හිතුවා.
5G ඇත්තටම අපිට අවශ්‍යද?
සන්නිවේදනයේ දියුණුවත් එක්ක ඇති වන අලුත් සන්නිවේදන තාක්ෂණයන් හඳුන්වන්න අලුත් පරම්පරාවක් (Generation) කියන වචනය හඳුන්වා දුන්නේ කලින් තියෙන තාක්ෂණයට වඩා පරම්පරාවක්ම ඉදිරියෙන් ඉන්නවා කියන දේ හඟවන්නයි. මීට අවුරුදු කිහිපයකට කලින් 4G ලංකාවට ආපු දවස්වල බොහෝ දෙනාගේ අදහසක් තිබුණා ඒ හොඳටම ඇති කියලා. 4G එන්න කලින් බොහෝ සන්නිවේදන ආයතන 3.5G, 3.75G කියා හඳුන්වමින් විවිධ හඳුන්වා දීම් කළත් ඉන්ටර්නෙට් වේගයේ සැළකිය යුතු වර්ධනයක් දකින්න ලැබුණේ නැහැ. හැබැයි 4G පැමිණීමත් එක්ක මේ තර්කය වෙනස් වෙලා තියෙනවා. දැන් 4G පාවිච්චි කරන කෙනෙක් තමන්ට වේගය මදියි කියලා කියන්නේ සෑහෙන කලාතුරකින්.
කොහොම නමුත් 3G වලට සිදු වුණු දේ 4G වලටත් වෙනවා කියන එක තර්කයක් නෙවෙයි. මේකට හේතුව අපේ අවශ්‍යතා සංකීර්ණ වෙන එකයි. ඉස්සර 3G ආපු දවස්වල තිබුණු ලොකුම දේ වුණේ ෆෝන් එකෙන්ම කෙනෙක්ගේ මූණ බලාගෙන වීඩියෝ චැට් කරන්න පුළුවන් වුණු එකයි. පස්සේ පස්සේ ෆෝන්වලින් ඉන්ටර්නෙට් යාම වැඩි වීමත් එක්ක උසස් තත්වයේ වීඩියෝ ස්ට්‍රීම් කරන්න අවශ්‍ය වුණා. දැන් බොහෝ ෆෝන්වල පවා 4K වීඩියෝස් බලන්න, 4K රෙසලූෂන් එකෙන් වීඩියෝ කරන්න හැකියාව තියෙනවා.
ඉස්සර අපිට බ්ලූටූත්වල වේගය ෆයිල් බෙදා හදා ගන්න ප්‍රමාණවත් වුණත් අද තිබෙන තත්වය අනුව ඒක කොහොමටවත් ප්‍රමාණවත් නෑ. මොකද විනාඩියක වීඩියෝ ක්ලිප් එකක් වුණත් මෙගා බයිට් 100කට ආසන්නයි. 4K ෆිල්ම් එකක් ස්ට්‍රීම් කරන්නත් ඉතාම ඉහළ ඉන්ටර්නෙට් වේගයක් අවශ්‍යයි. දැනට තියෙන මේ අවශ්‍යතා ප්‍රමාණය සපුරා ගන්න 4G ප්‍රමාණවත් වුණත් ඉතාම ඉක්මණින් ඒකත් මදි වෙන බව නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්. අතීතය දිහා බැලුවාම මේක ඉතාම පැහැදිලියි.
මීට අමතරව දැන් දැන් අලුතෙන් එන තවත් දේවල් නිසා 5G තාක්ෂණයේ අවශ්‍යතාව තවත් වැදගත් වෙන්න පටන් අරන්.
මොනවද 5G තාක්ෂණයේ අලුත් ප්රතිලාභ?
වේගයේ වැඩි වීමක් තියෙනවා කියන එක නම් අහන්නත් දෙයක් නෙවෙයිනේ නේද? කොහොම වුණත් මේක එසේ මෙසේ වැඩි වීමක් නෙවෙයි. Dialog ආයතනය Ericsson හා Huawei එක්ක එකතු වෙලා පසුගියදා සිදු කරපු අත්හදා බැලීමේදී 35Gbps වේගයක් ලබාගෙන තියෙනවා. මේක පාරිභෝගිකයන් වෙත එනකොටත් සාමාන්‍ය වේගය 10 Gbps මට්ටමේ තියේවි කියලා විශ්වාස කෙරෙනවා. සාමාන්‍යයෙන් තේරෙන විදිහට කිව්වොත් මේක තත්පරයකට ගිගා බයිට් 1කටත් වඩා වැඩියි.
මේ වගේ වේගයක් ලබා ගන්න පුළුවන් කම තියෙන්නේ 5G තාක්ෂණයේදී ඉහළම සංඛ්‍යාත පරාස පාවිච්චි වෙන නිසයි. මේ පරාසය හඳුන්වන්නේ මිලිමීටර් පරාසය කියලයි. (තරංග ආයාමයේ දිග මත) දැනට නම් මේ වගේ වේගයක් කිසිසේත් අවශ්‍ය නැහැ තමයි, හැබැයි අනාගතයේ ඇති වෙන ඕනෑම අවශ්‍යතාවකට මුහුණ දෙන්න තමන්ට හැකියාවක් ඇති බව දැනටමත් ඔප්පු වෙලා තියෙනවා.
අද කාලෙට වැදගත් අනිත් දේ තමයි Latency එක එහෙමත් නැතිනම් සන්නිවේදන පමාව කියන එක. බොහොම සරලව පැහැදිලි කළොත් මෙය ප්‍රතික්‍රියා වේගය වගේ දෙයක්. අපි අන්තර්ජාලය හරහා යම් දෙයක් කරද්දී ඒකට ප්‍රතිචාර දක්වන්න යන කාලය කියලා මේක කාටත් තේරෙන විදිහට කියන්න පුළුවන්. 5G තාක්ෂණයේදී Latency එක ඉතාම අඩු නිසා ප්‍රායෝගිකව ගත්තාම Latency එකක් ඇත්තෙම නෑ කියලත් හිතන්න පුළුවන්.
Latency එකක් නැති වුණාම ලැබෙන ප්‍රයෝජන.
මේ කාලයේ අත්හදා බැලෙන තාක්ෂණයන් අතරින් Latency එකක් නැති වීම ඉතාම වැදගත් වෙන තාක්ෂණයන් කිහිපයක්ම තියෙනවා.
Smart Parking ගැන ගත්තොත් එහිදී සිදු වෙන්නේ වාහනයක් පාක් කිරීම විවිධ තැන්වල තියෙන සවේදක සහිත ස්මාට් උපාංග ගණනාවකට භාර දෙන එකයි. ඉතා වාහනය විවධ බාධක තුලින් හසුරුවලා, ඉඩ ඇති තැනක නතර කරන්න නම් Latency එකක් නැති වීම ඉතා වැදගත්. වාහනය ගමන් කරන අතරතුරම සියලු කාරණා සලකා බලලා ඉක්මන් තීරණ ගන්න ස්මාට් උපාංගවලට පුළුවන් වෙන්න නම් ඒවා අතර සන්නිවේදනය කිසිම පමාවක් නැතිව සිදු වෙන්න අවශ්‍යයි.
Robotic Surgery, එහෙමත් නැතිනම් ඈතක සිට රොබෝලා ඇසුරින් ශල්‍යකර්ම කිරීමත් මේ වගේම කාරණාවක්. සිදු වෙන දේවල් දැකීම සහ විධාන ක්‍රියාත්මක කිරීම ඒ මොහොතේම සිදු වීම අත්‍යාවශ්‍යයි. සුළු කාලයක් හරි වෙනස් වෙන එකෙන් රෝගියාගේ වැරදි කැපුමක් සිදු වෙලා ජීවිත හානියක් පවා සිදු වෙන්න පුළුවන්. මීට අමතරව ඈතක සිට වෙනත් යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවද්දී වුණත් Latency එකක් නැති එකේ ප්‍රයෝජනය දැන් ඔබට වැටහෙනවා ඇති. දැනට අවශ්‍ය වේගයෙන් මෙය කරන්න නම් Optical fiber සම්බන්ධතාවක් තිබීම අත්‍යාවශ්‍යයි.
ඒ තරම් බරපතල දෙයක් නොවුණත් Realtime Streaming කියන්නෙත් අපිට ලොකු පහසුවක් සලසන දෙයක්. දැන් පවතින 4G තාක්ෂණය 4K වීඩියෝ ස්ට්‍රීම් කරන්න ප්‍රමාණවත් වුණත් එය සිදු වන්නේ ඒ මොහොතේ නෙවෙයි, වෙනත් විදිහකින් කිව්වොත් Realtime නෙවෙයි. ඒ නිසා තමයි අපි වීඩියෝ එකක් පටන් ගනිද්දී සහ එහි ඉදිරි වෙනත් ෆ්‍රේම් එකකට යන්න උත්සාහ කරනකොට ඒකට මොහොතක හරි පමාවක් වෙන්නේ. දැන් පවතින ස්ට්රීමින්වලදී වෙන්නේ වීඩියෝ එකේ යම් කොටසක් ඩවුන්ලෝඩ් වෙලා ඒ කොටස ප්ලේ වෙන එකයි. නමුත් Latency එකක් නැති නම් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අපි Time Bar එකේ වෙනත් තැනක් ක්ලික් කරපු සැණින් ඒ වීඩියෝ ෆ්‍රේම් එකට ගිහින් එතන ඉඳලා ප්ලේ වෙන්න ගන්නවා. එතකොට සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරලා බලන ෆිල්ම් එක්කයි, ස්ට්‍රීම් කරන ෆිල්ම් එකකයි කිසිම වෙනසක් නැහැ.
මීට අමතරව Industry Automation හෙවත් කර්මාන්තශාලා සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය තත්වයට පත් කිරීම සහ Augmented Reality (වර්ධිත තත්යතාව) ඇතුළු බොහෝ දේට Latency එකක් නොතිබීම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. සමහර විට අපි දැනට හිතපුවත් නැති තාක්ෂණයන් පවා අනාගතයේදී බිහි වෙන්න මේ තත්වය උපකාර වේවි.
වර්තමාන තත්වය.
ලෝකයේ 5G තාක්ෂණය දැනට පවතින්නේ නම් අත්හදා බැලීම් මට්ටමේ විතරයි. ඇපල් සමාගම පසුගිය ජූනි මාසයේදී ඔවුන්ගේ මූලස්ථානය අසල මෙය අත්හදා බැලීම ආරම්භ කළා. ප්‍රධාන වශයෙන්ම 4G තාක්ෂණයට වඩා 5G තාක්ෂණයේදී පාවිච්චි වෙන වැඩි සංඛ්‍යාතයෙන් යුත් තරංග යැවිය හැකි උපරිම දුර තරමක් අඩුයි. ඒ වගේම බාධක විශාල ප්‍රමාණයක් තියෙනකොට ඒවායෙන් මේ අධි සංඛ්‍යාත තරංග පරාවර්තනය වීමේ ගැටළුවකුත් තිබෙනවා. ඒත් මේ ගැටළු ඉතා ඉක්මණින් විසඳාගෙන අවුරුද්දක් වගේ යන්නත් කලින් පාරිභෝගිකයන්ට මේ තාක්ෂණය ඇති විඳින්න පුළුවන් වෙන බව තමයි විශේෂඥයන් බොහෝ දෙනෙක්ගේ අදහස.
ඉතින් 5G තාක්ෂණය ලෝකයට එද්දී දකුණු ආසියාවේ ඒවා මුලින්ම අත්විඳින්න ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බව නම් සැකයක් නැහැ. සමහර විට රටෙන් වැඩි ප්‍රමාණයකට 5G හිමි වන මුල්ම රටක් බවටත් ශ්‍රී ලංකාවට පත් වෙන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව කුඩා රටක් නිසා ඇන්ටෙනා කුළුණු ඉතා අඩු ප්‍රමාණයකින් රටේ වැඩි කොටසක් ආවරණය කරන්නත් හැකියාව තියෙනවා. මේ නිසාම ඉතාම කෙටි කාලයකින් 5G තාක්ෂණයත් අද අපි 4G පාවිච්චි කරනවා වගේ ඉතා සුලභව දකින්න ලැබෙන තත්ත්වයක් ඇති වේවි.
කවරයේ රූපය : (Nazly Ahmed)