මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල පැතිරෙන නකල්ස් හෙවත් දුම්බර ලෝක උරුම වනාන්තරය තුළ තැන තැන පිහිටි හුදකලා ගම්මාන ගණනාවක් හමුවෙනවා. මේ වනය විශාලත්වයෙන් හෙක්ටයාර 21000ක්. ලෝකය කෙතරම් නවීකරණය වුවත් මේ ගම්මානවලට තවමත් නාගරික විච්චූරණ සංස්කෘතිය ඇවිත් නැහැ. ඔවුන්ගේ ජීවිතය සරලයි. බොහෝ දුරට ස්වයංපෝෂිතයි. වාහන ගමන් කළ හැකි මහාමාර්ග මෙන්ම විදුලිබලය නැතිවීමත් එයට ප්‍රධාන හේතුවක්. ඔවුන් තමන්ට අවශ්‍ය බඩුභාණ්ඩ ලබාගැනීමට නගරයට යන්නේ බොහෝවිට සතියකට එක්වරයි. ඒත් පයින්. පයින් ගොස් බඩුමලු ද කරේ තබාගෙන එනවා.
නිල සංඛ්‍යා ලේඛණයන්ට අනුව නකල්ස් වනාන්තරය තුළ පවතින ගම්මාන ගණන 86ක්. කුඩාම ගම්මානය ලෙස ප්‍රකට ‘වල්පොලමුල්ල’ ගම ද, ජනප්‍රිය මීමුරේ ගම ද අයත් වන්නේ මේ ගම්මානයන් අතරට යි. නමුත් මීමුරේ ගම නම් දැන් සංචාරක කර්මාන්තය නිසා නවීකරණය වෙලා. ඒවාට අමතරව රණමුරේ, කයිකාවල, ගලමුදුන, උඩගල්දෙබොක්ක, කළුගල, දෙහිගොල්ල, රඹුක්ඔළුව, ඉමාඩුව ආදී හුදකලා මිනිස් වාසයන් ගණනාවක් මෙහි සැඟවී තිබෙනවා. ඒ අතරින් කිහිපයක් ගැන සොයාබලමු.
උඩගලදෙබොක්කට ගිහින් ගලමුදුනට
ගලමුදුනට ගමන් කිරීම නම් ලේසි නැහැ. එය මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අති දුෂ්කර ගම්මානයක්. මේ නිසාවෙන් සංචාරකයන්ගෙන් මේ ගම බේරිලයි තියෙන්නේ. ගලමුදුන තියෙන්නෙ නුවර-මහියංගණ පාරෙ හුන්නස්ගිරිය, උඩුදුම්බර පැත්තට වෙන්නයි. මහියංගනය-හසලක පාරෙන් යන්නත් පුලුවන්. උඩුදුම්බරින් සුළුගුණේට ගිහින් එතනින් උඩගල්දෙබොක්ක කියන කඳුකර ගමට යන්න ඕනෑ. එතන ඉඳනුත් තවත් කිලෝමීටර 3ක් පයින් ගියාම තමයි ගලමුදුන ගම හමුවෙන්නෙ. මේ ගමන අලිඇතුන් ගැවසෙන වනය හරහා ඇළදොළ පසුකරමින් යායුතු වෙනවා. ගමට නුදුරින් යහන්ගල පර්වතය පිහිටා තිබෙනවා.
මේ ගමනේ මුලින්ම හමුවන්නේ උඩගලදෙබොක්ක කියන ගමයි. එහි සිට තවත් කඳු තරණය කිරීමෙන් ගලමුදුන ගමට ළඟාවිය හැකියි. මෙහි ගැමියන් කිතුල් රා නිපදවීම, හකුරු තැනීම, බෝග වගාව, සහ එනසාල් වගාවත් කරනවා.
ගලමුදුන ගම්මානය පෙර දවස උඩරට රාජධානියේ ආරක්ෂක කටයුතු වලට ද ප්‍රයෝජනයට ගත් ඓතිහාසික ගම්මානයක් බව ජනප්‍රවාදයන් පවසනවා. මෙම ගම්මානයට ප්‍රවාහන පහසුකම් කෙසේ වෙතත් හරිහැටි මාර්ග පහසුකමක් වත් නොමැතිවීම නිසා ගම්මුන් දැඩි ලෙස අසීරුතාවයට පත්වෙලා.
ගලමුදුන ගම්වාසීන් තම අවශ්‍යතා සඳහා විල්ගමුව,කොලොන්ගොඩ, හසලක, හඳුන්ගමුව වැනි ආසන්න නගර කරා යායුතු වන්නේ කැලෑව මැදින් අඩි පාරවල් දිගේ පැමිණ, ඉන්පසුව සුළුගුණේ අසලින් ගලා යන හීං ගඟට බැස, ගඟ හරහා පා ගමනින් එගොඩ වීමෙන්. ගඟේ ජලය වැඩි වූ විට ඉන් එගොඩ වීමත් සිහිනයක්. පසුගිය කාලයේ මේ ගඟ හරහා පාලමක් ඉදි කළත් එය ගංවතුරට හසු වී කඩාගෙන ගියා.
කෘෂි බෝගවලින් සරුසාර ගලමුදුන ගමේ ජීවන රටාව ටිකක් දුෂ්කර වුණත් මිනිස්සු නම් ඉන්නෙ සතුටින්. ඒ, කුඹුරු, එළවළු කොරටු වලින් එහෙම හොඳ අදායමක් එන නිසයි. ගංගා, ඇලදොළ වලින් වටවුණු මේ ගම අවට ලෝකයෙන් වෙන් වූ අපූරු කෙම්බිමක් වගේ. කුඹුරු යායට එපිටින් පේන ලකේගල, ඊට පැත්තකින් පේන යහන්ගල වගේම, ඈතින් දිස්වන උහුණුගල, තෙලඹුගල, කුවේණිගල, තුන්හිස්ගල වගේ කඳු ගලමුදුන ගම ලස්සන කරන බව කියන්නත් දෙයක් ද?
උඩගලදෙබොක්ක
ගලමුදුනට පහළින් පිහිටි මේ ගමට ග්‍රාමසේවා වසමක් ද තිබෙනවා. ගමේ පවුල් 40ක් පමණ ඉන්නවා. බඩුවක්මුට්ටුවක් ගන්න නම් කැලෑවේ කන්ද බැහැලා කිලෝමීටර හයහමාරක් පයින් කොළොංගොඩ පොළටම යන්න ඕනෑ. මාස ගාණක් තිස්සේ හදාපු පැණි, හකුරු, බවබෝග එකතු කරගෙන ගැමියන් පොළට යනවා. ගමේ හැමෝම එකතු වෙලා උදේ 6.30ට තමයි පහළට බහින්නේ. ආපිට එනකොට රෑ බෝ වෙනවා. අලින්ට බයේ කවුරුත් තනියම යන්නේ නෑ. ගෙනෙන බඩු මදි වුණොත් දුම්මැස්සේ තියන කුරහන් වලින් තලප හදාගෙන කාලා ජීවත් වෙනවා. ජයට මඟුලක් කෑම මේ අයට නුහුරු යි. බොහෝමයක් මඟුල් කෙරෙන්නේ දීග යන කල වයසට නොවේ. බාලවියේ දී විවාහ වීම මෙහි සුලබ යි. බොහෝ විවාහ සිදුවන්නෙත් ගමේ පවුල් කිහිපය අතර විතරයි. මෙහි ප්‍රාථමික පාසලක් ද පිහිටා තිබෙනවා.
මේ දවස්වල මොරගහකන්ද වනය ජලාශයක් වී ඇති නිසා ලග්ගල පැත්තේ අලි රංචු දවල්ට මේ ගම්මාන කරා පැමිණෙනවා. මේ වගේ කරදර රැසක් සමඟයි මේ ගම්වාසීන් ජීවත් වන්නේ.
එක් මිනිසෙක් සිටින දන්දෙනිකුඹුර
ජීවත්වීමට හැකි කිසිදු පහසුකමක් නොමැති වීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් මේ වන විට හුදකලා ගමක් බවට පත් වෙලා. මීමුරේ, ගලමුදුන, හෙට්ටිපොළ, සුළුගුණේ, ගොඩඋල්පත යන ගම්මාන වලින් වටවී තිබෙන දන්දෙණිකුඹුරයි ඒ. ගමට සුළුගුණේ සිට කඳු හරහා පැය තුනකට ආසන්න කාලයක් පයින් ගමන් කළ යුතු යි.
මීමුරේ ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් අති දුෂ්කර ගමක් වන දන්දෙණිකුඹුර අද වන විට එක් පුද්ගලයෙකු පමණක් ජීවත් වන ගම්මානයක් බවට පත්ව ඇත්තේ ජනතාවට ජීවත්වීමට හැකි ප්‍රමාණවත් පහසුකම් එහි නොමැති වීම නිසායි.
අද මේ ගමේ ජීවත්වන්නේ හීන්බණ්ඩා වෙදමහත්තයා පමණ යි. ඔහුගේ ඥාතින් සිටින්නේ මීමුරේ ගමේ. ඒ වෙත දුර කි. මී. 8ක්.
අදින් වසර පහළොවකට පෙර පවුල් තිහක් පමණ ජීවත් වී ඇති මෙම ගම්මානයේ ජනතාව මෙහි ඇති අති දුෂ්කර බව හේතුවෙන් ක්‍රමයෙන් ගම අතහැර ගොස් වෙනත් ප්‍රදේශයන් වල පදිංචි වෙලා. ප්‍රවාහන ක්‍රමයක් නොමැති වීම ප්‍රධාන ගැටලුවක්.
ලකේගල සහ නාරංගමුව
ලග්ගල-පල්ලේගම සිට මෙම ගම්මාන වෙත ගමන් කළ යුතු යි. මේවා ලග්ගල මැතිවරණ කොට්ටාසයට අයත්. පල්ලේගම සිට නාරංගමුවට කිලෝමීටර 13ක් පමණ දුරයි. බස් රථයකින් වුව ද ළඟා විය හැකි වුණත් මාර්ගය දුෂ්කර යි. ලග්ගල සිට රණමුරේ පසුකරමින් නාරංගමුවට පැමිණිය හැකි යි. රණමුරේ සිට මීමුරේට අඩිපාර වැටී ඇත්තේ සුප්‍රකට ලකේගල කන්ද අසලින්. එම පර්වතය ආසන්නයේ ලකේගල සහ නාරංගමුව ලෙස ග්‍රාම නිලධාරී කොට්‌ඨාසයන් දෙකක් තිබෙනවා. නාරංගමුවේ සිට අඩිපාරක් ඔස්සේ ලකේගල ගමට යා හැකි යි. මේ ගැමියන් හේන් වගාව, කුඹුරු ගොවිතැන මෙන්ම එනසාල් වගාවේත් නියැලෙනවා.
ඇටන්වල
මාතලේ දිස්‌ත්‍රික්‌කයට අයත්, ලග්ගල උඩසියපත්තුවේ පිහිටි ඇටන්වල ගම්මානයට රිවර්ස්ටන්-පිටවල-ඉලුක්කුඹුර හරහා පැමිණිය යුතු යි. ඉලුක්කුඹුරේ සිට රත්නින්ද දක්වා තනි දොරේ ලංගම බස් ඉඳහිට ගමන් කරනවා. මේ පාරේ ලොකු වාහන ගමන් කිරීමට බැහැ. රත්නින්ද සිට තවත් කි. මී. 4ක් පමණ අඩිපාරක් ඔස්සේ ගමන් කළ යුතු වෙනවා. තෙල්ගමු ඔයෙන් එගොඩ වීමෙන් පසු ඇටන්වල ගම හමුවෙනවා. පසුගිය දා සංචාරක පිරිසක හයදෙනෙක් මේ ගම අසලින් තෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් මියගිය සිද්ධිය ඔබට මතක ඇති.
හෙල්මළු කුඹුරු, එළවළු වගාව, කිරිහරක් ඇතිකිරීම, කිතුල් මැදීම ජීවනෝපාය කරගත් මේ ගමට පිටුපසින් මානිගල කන්ද ඇදී යනවා.
මේ ගැමියන් බුලත් කොළ වෙනුවට තලාකොළ හැපීමට පුරුදු වී සිටිනවා. ඔවුන් ගඟේ බණ්ඩාර දෙවියන් අදහනවා. ඉතා සුන්දර ගම්මානයක් වන මෙහි කුඹුරු වැපිරීමේ දී වගේම අස්‌වනු කපා ලබන පළමු අස්‌වනු පුද දෙන්නේ ද ගඟේ බණ්‌ඩාර දෙවියන්ගේ නාමයට යි.
පුංචිම ගම වල්පොලමුල්ල
ඇටන්වල ගම්මානය පසු කරමින් වනය ඔස්සේ දිවෙන අඩිපාර දිගේ කි. මී. 4ක් පමණ කඳු තරණය කිරීමෙන් වල්පොමුල්ල නම් සොඳුරු පාරම්පරික ගම්පියසට ළඟාවිය හැකියි. එය වන මැද කඳු අතර පිහිටි සානුවක නිර්මාණය වූ ගමක්. ආසන්නම වෙළඳසැලට (කුඩා කඩයක්) කි. මී. 8ක් විතර දුරයි.
ලංකාවේ පොඩිම ගම තමයි වල්පොලමුල්ල. එහි අද වන විට ඇත්තේ එක් නිවසක් පමණ යි.
කඳු සහ දියඇලි වටකරගත් ඉතා සුන්දර ප්‍රදේශයක් වුවත් ගමේ දුෂ්කරතාවය නම් ඉහළයි. ගමේ පුංචි කුඹුරු යායකුත් තිබෙනවා. හේන් වගාව වගේම කිතුල් මැදීමත් මෙහි සිදුවුණත් අද ගම පාලුවට ගිහින්. ගම්වැසියන් ගම අතහැර වෙනත් ගම්මානවලට ගිහිල්ලා. එයට ප්‍රධාන හේතුව වනඅලි කරදරය බවයි පැවසෙන්නේ.
ආශ්‍රිත මූලාශ්‍ර:
සුන්දර දුම්බර- කුසුම්සිරි විජයවර්ධන
ජගත් කණහැරආරච්චි ලියූ පුවත්පත් ලිපි
කවරය- ඇටන්වල ගැමියන් තෙලිගමු ඔයෙන් එගොඩවෙමින්