Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නීතියේ රැහැනින් පළා ගිය ෆිල්බිගේ KGB මිතුරෝ

KGBය පිළිබඳ අපගේ ලිපි මාලාවේ දෙවැන්න මඟින් අප සෝවියට් රහස් ඔත්තු සේවය වෙනුවෙන් සේවය කළ කේම්බ්‍රිජ් සරසවියේ ආදි සිසුන් පස් දෙනකුගෙන් සමන්විත වූ “කේම්බ්‍රිජ් පස්දෙනා” පිළිබඳව සඳහන් කළා. ඔවුන් නීතියෙන් පළා ගිය අයුරු මෙම ලිපියෙන් දැක්වෙනවා.

1950 දී කිම් ෆිල්බි වොෂිංටනයේ MI-6 නියෝජිතයා ලෙස මාරු වීමක් ලැබුවා. ඉන් ස්වල්ප කලකට පසු බර්ජස් ද වොෂිංටනයට පත්වීමක් ලැබුවා. බීමත්කම සහ ඒ ඔස්සේ ඇති වූ අයහපත් සෞඛ්‍යය තත්ත්වයන් හේතුවෙන් ඔහු ෆිල්බිගේ නිවසෙහි නවාතැන් ගත්තා.

ෆිල්බි වොෂිංටනයට මාරුවක් ලැබීම ඔහුගේ පැත්තෙන් මෙන්ම KGBය පැත්තෙන් ද වාසියක් වුණා. ඇමරිකානුවන් විසින් වෙනෝනා මෙහෙයුම දියත් කරනු ලැබුණේ මේ කාලයේ වීම එම වාසනාවට හේතු වුණා.

1940 ගණන්වල විවිධ සෝවියට් තානාපති කාර්යයාලයන් වෙතින් යවන ලද රහස්‍ය පණිවිඩවලට ‘සවන් දීම’ ඇමරිකානුවන් විසින් සිදු කෙරුණා. නමුත් රහස්‍ය පණිවිඩ වාර්තා කරගත්ත ද ඒවා කියවීම සිදු වූයේ සෙමින්.

නිරවි යුද්ධය ක්‍රියාත්මකවීමත් සමග මෙම පණිවිඩ කියවීමට වැඩි අවධානයක් දෙනු ලැබුණා. ඒ අනුව පැරණි පණිවිඩ ද විකේතනය කිරීමේ උත්සාහයන් ගනු ලැබුණ අතර ඒ ඔස්සේ හෙළි වූයේ ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යයාලය හරහා සෝවියට් තානාපති කාර්යයාලය වෙත තොරතුරු ලැබී තිබෙන බව යි. මෙම තොරතුරු ඔස්සේ මැක්ලේන් ඊට වගකිවයුතු බව සැක​ කෙරෙන තැනට බ්‍රිතාන්‍යය පැමිණියා.

මේ අවස්ථාවේ ෆිල්බි ඇමරිකාවේ වූ හෙයින් මෙම සියළු තොරතුරු ඔහුට ලැබුණා. ඔහු බර්ජස්ට උපදෙස් දුන්නේ ලන්ඩනය වෙත ගොස් මැක්ලේන්ට අනතුරු අඟවා ඔහුව ආරක්ෂිත ස්ථානයකට පිටත් කරන ලෙස යි. ප්‍රශ්න කිරීමක් සිදු වුවහොත් මැක්ලේන්ගේ මානසික තත්ත්වය හේතුවෙන් ඔහුට​, එයට මුහුණ දීමට නොහැකි වන බව ෆිල්බි දැන සිටියා.

බලාපොරොත්තු නොවූ පළා යාම

බර්ජස් ලන්ඩනයට පිටව ගියා. ඔහු මැක්ලේන් සමග නැව් මඟින් ප්‍රංශයට පැමිණියා. එහි සිට ඔවුන් අතුරුදන් වූ අතර යළි මතු වූයේ මොස්කව් නගරයෙන්. මැක්ලේන්ගේ පළා යාම බටහිර ඔත්තු සේවා පුදුමයට පත් කළා. නමුත් බර්ජස් පළා යාම බටහිර ඔත්තු සේවා පමණක් නොව ෆිල්බිව පවා මවිතයට පත් කළා. බර්ජස් පළා යා යුතු බවක් ෆිල්බි උපදෙස් දී තිබුණේ නැහැ.

බර්ජස් සහ මැක්ලේන් අවශ්‍යව සිටින බවට බර්ලිනයේ මුර අට්ටාලයක වූ දැන්වීමක් (Daily Mail)

බර්ජස් පළා යාමට හේතුව වන්නට ඇත්තේ මැක්ලේන්ගේ අස්ථාවර මානසික තත්ත්වය යි. ඔහු ඉතා ව්‍යාකූල මානසික තත්ත්වයක සිටි හෙයින් බර්ජස්ට වෙනත් විකල්පයක් නොවූ බව සිතිය හැකියි. නමුත් බර්ජස් පළා යාම හේතුවෙන් ඔහුගේ මිතුරන් පිළිබඳව ද සැක මතු වුණා. ඒ අතර ෆිල්බි ද සිටියා.

ෆිල්බි වහා ක්‍රියාත්මක වී රහස්‍ය ලියවිලි ඡායාරූපගත කිරීමට භාවිතා කළ කැමරාවක් ඇතුළු තමන් සතුව තිබුණු සැකයට භාජනය විය හැකි වූ දෑ වොෂිංටන් නගරයෙන් එපිට වනගත පෙදෙසකට විසි කළා.

මේ අතර බ්‍රිතාන්‍ය නිලධාරීන් දෙදෙනකු බර්ජස්ගේ නිවස පිරික්සීම සඳහා එහි ගියේ ඔහුගේ මිතුරා වූ බ්ලන්ට් සමග යි. මෙය ද පුදුමාකාර වාසනාවක් බවට පත් වුණා. නිලධාරීන් නිදන කාමරයේ පෙට්ටගමක වූ ලිපිගොනු පරික්ෂා කරන අතරතුර බ්ලන්ට් බර්ජස්ගේ මේසය පරික්ෂා කර ලියවිලි සමහරක් සඟවා ගත්තා.

නමුත් බ්ලන්ට් අතින් එක් වැදගත් සාක්කියක් අත හැරුණා. එය පැරණි සටහන් පොතක්. එහි වූයේ වෙනත් කිසිවකු විසින් ලියන ලද සටහන් වීම විශේෂයක් වුණා. එහි දැක්වුණේ එක්තරා සිවිල් සේවකයකු හා දිවා ආහාරයේ දී සිදුකළ කතාබහ පිළිබඳ කටු සාටහන් විස්තරයකුයි.

රහස් පරීක්ෂකයන් එම සිවිල් සේවකයා හමුව, එම දිනවල ඔහු දිනපොතක් භාවිතා කළේදැ යි විමසා සිටි අතර එවැන්නක් ඔහු සතුව තිබුණා. මේ අනුව ඔවුන් සමග දිවා ආහාරයට එක් වූයේ කේන්ක්‍රොස් බව හෙළි කරගනු ලැබුණා. පසුව, කලින් වූ අත් අකුරු ද කේන්ක්‍රොස්ගේ බව තහවුරු වුණා.

කේන්ක්‍රොස්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අසීරු වුණේ ඔහුට එරෙහිව වූ සාක්ෂි ප්‍රමාණවත් නොවූ නිසා යි. එකල යමෙකු ඔත්තුකරුවකු ලෙස නඩු විභාගයකට ලක් කර දඬුවම් පැමිණවීම සඳහා ප්‍රබල සාක්ෂි අවශ්‍ය වුණා. මෙසේ නීතිය ක්‍රියාවට නැගීම අසීරු වීම හේතුවෙන් කේන්ක්‍රොස් ගැලවී ගිය නමුත් ඔහු ඔත්තුකරුවකු බව බ්‍රිතාන්‍ය බලධාරීන් වටහා ගත්තා. කෙසේ වෙතත් ඔහු ඔත්තුකරුවකු වූ බව සාමාන්‍ය ජනයා දැනගත්තේ නැහැ.

මේ අනුව 1952 වනවිට කේම්බ්‍රිජ් පස්දෙනාගෙන් තිදෙනකුම ඔත්තුකරුවන් ලෙස හෙළි වී තිබුණා. ෆිල්බි පිළිබඳ ද සැකය ඉතා බරපතල වුණා. ඔහු මේ වෙද්දී ආපසු ලන්ඩනයට පැමිණ තිබුණා. ඔහුගෙන් ප්‍රශ්න කිරීම් කළ ද යමක් සොයා ගැනීමට පරීක්ෂකයන්ට හැකි වූයේ නැහැ. රැකියාවෙන් ඉවත්ව​, බීමත්කමට පත්ව ඔහු කලක් මේ අයුරින් ලන්ඩනයේ ජීවත් වුණා.

ෆිල්බිගේ වාසනාව

මෙම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ෆිල්බිගේ ගැලවුම්කරුවා බවට පත් වුණා. එය සිදු වුණේ තරමක් දිගු ක්‍රියාදාමයක් ඔස්සේ යි.

මැක්ලේන් සහ බර්ජස් පළා යාම පිළිබඳ රජයෙන් විවිධ පාර්ශව කරුණු විමසා සිටියා. නමුත් රජයට ඒ පිළිබඳ දන්නා සියල්ල පැහැදිලි කළ හැකි වූයේ නැහැ. ෆිල්බි ආදීන්ට එරෙහිව අවශ්‍ය තරම් සාධක නොමැතිකමින් ඔවුන්ට එරෙහිව කිසිවක් පැවසීම රජයට අපහසු වුණා. මේ අනුව මැක්ලේන් සහ බර්ජස් පළා යාම පිළිබඳව නිකුත් වූ වාර්තාව ඇල්මැරුණ එකක් බවට පත් වුණා.

ෆිල්බිගේ නම එම වාර්තාවේ සඳහන් නොවීම පිළිබඳ කුපිත වූ MI-5 නිලධාරියකු විපක්ෂ මන්ත්‍රීවරයකු වූ මාර්කස් ලිප්ටන් වෙත පැමිණියා. පාර්ලිමේන්තුවෙන් පිටත දී කිසියම් අයකුට එරෙහිව සාක්කි නොමැතිව අභූත චෝදනා නැගීම අපහාස ගණයට වැටුණ ද පාර්ලිමේන්තුව තුළ දී කෙරෙන ප්‍රකාශ සඳහා එම නීතිය වලංගු වූයේ නැහැ. එය පාර්ලිමේන්තු වරප්‍රසාදයක් වුණා. යම් කිසි මන්ත්‍රීවරයකු එවන් ප්‍රකාශයක් කළහොත් ඊට අනෙකුත් මන්ත්‍රීන් හෝ රජය හෝ පිළිතුරු දිය යුතු වුණා.

මාර්කස් ලිප්ටන් වෙත පැමිණි MI-5 නිලධාරියා ෆිල්බි පිළිබඳ රජයෙන් ප්‍රශ්න කරන ලෙස ඉල්ලා සිටියා. ලිප්ටන් එය සිදු කළා. නමුත් මෙයින් සිදු වූයේ බලාපොරොත්තු වූ දේ නොවෙයි.

ලිප්ටන්ගේ ප්‍රකාශයට විරෝධය පළ කළ ෆිල්බි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූවා. තමන්ට චෝදනා ඇත්නම් නඩු පවරන ලෙසත්, නැත්නම් තමන්ගේ නම නිදොස් කරන ලෙසත් ඔහු රජයට බල කළා.

විදේශ ලේකම් හැරල්ඩ් මැක්මිලන්ට වෙනත් විකල්පයක් වූයේ නැහැ. ෆිල්බි කිසිදු රාජ්‍ය විරෝධී කටයුත්තකට සම්බන්ධ වූ බවක් තහවුරු කළ නොහැකි බව ඔහුට ප්‍රකාශ කිරීමට සිදු වුණා.

බේරූට්

ෆිල්බි නැවත පුවත්පත් වාර්තාකරුවකු ලෙස රැකියාවක් සොයා ගත්තා. මේ අනුව “ද ඉකොනොමිස්ට්” සහ “ද ඔබ්සර්වර්” පුවත්පත් සඳහා බේරූට් නගරයේ වාර්තාකරු ලෙස එම නගරය වෙත ගියා.

නමුත් කලක් යද්දි ඔහු පිළිබඳ තවත් තොරතුරු MI-6 වෙත අනාවරණය වුණා. ඊට හේතු වූයේ සෝවියට් දේශයේ සිට ඇමරිකාවේ CIA ආයතනය වෙත තොරතුරු ලබා දුන් ඇනතෝලි ගොලිත්සින් නම් ඔත්තුකරුවා විසින් සපයන ලද තොරතුරු යි. මැක්ලේන්ට සහ බර්ජස්ට පළා යාම සඳහා අනතුරු අඟවන ලද්දේ ෆිල්බි බව ගොලිත්සින් තහවුරු කළා.

(දකුණු කෙලවර) බේරූට් නගරයට එපිට ස්ථානයක නිවාඩු දිනයක් ගත කරන ෆිල්බි (BBC)

MI-6 ආයතනය විසින් 1963 ජනවාරියේ දී නිකුලස් එලියට් නම් නිලධාරියකු බේරූට් වෙත එව්වේ ෆිල්බිගෙන් ප්‍රශ්න කිරීම සඳහා යි. එමෙන්ම ෆිල්බි සමග එකඟත්වයකට එන ලෙස ද එලියට් වෙත උපදෙස් ලැබී තිබුණා. ඒ අනුව ෆිල්බි සියල්ල හෙළි කරයි නම් ඔහුට සමාව දීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වුණා.

සෝවියට් දේශයට තම ඔත්තුකරුවකු මාර්ගයෙන් එලියට්ගේ පැමිණීම පිළිබඳ දැනගන්නට ලැබුණා. ඒ අනුව ඔවුන් ෆිල්බිට අනතුරු ඇඟෙව්වා. එලියට් පැමිණෙද්දී ෆිල්බි සිදුවන්නේ කුමක්දැ යි දැන සිටියා. මෙම අවස්ථාවේ ෆිල්බි, එලියට් සමග බොහෝ දේ හෙළි කළා.

ඔවුන් දෙදෙනා අතර හමුව සිදු වූයේ සිකුරාදා දිනක​ යි. සෙනසුරාදා ෆිල්බි අතුරුදහන් වුණා.

මැක්ලේන් සහ බර්ජස් මෙන්ම ෆිල්බි ද පළා ගිය මාර්ගය පැහැදිලි නැහැ. ෆිල්බි බේරූට්හි සෝවියට් නෞකාවක නැගී පලා යන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

“KGB කර්නල්” ෆිල්බි

කිම් ෆිල්බි සෝවියට් දේශය පිළිබඳ විශාල බලාපොරොත්තු තබාගෙන සිටියා. ඔහුට වීරයකු සේ පිළිගැනීමක් ලැබේයැ ෆිල්බි අපේක්ෂා කළා. නමුත් ඔහුට ලැබුණේ ඉතා අඩු පිළිගැනීමක්.

ෆිල්බි සිතා සිටියේ තමන් KGB කර්නල්වරයෙකු බව යි. KGBය තමන්ට එහි සාමාජිකත්වය පිරිනමා ඇතැ යි ඔහු විශ්වාස කළා. නමුත් ඔහු එහි ඔත්තුකරුවකු මිස නිලධාරියකු වූයේ නැහැ. මේ බව ඔහු දැනගත්තේ සෝවියට් දේශය වෙත ළඟා වූ පසුව යි.

ෆිල්බි සෝවියට් දේශයේ දී රුෆීනා නම් කාන්තාවක විවාහ කරගත්තා. නමුත් ඔහුගේ ජීවිත කාලය ගෙවුණේ අසතුටින්. ඔහුට රුසියානු භාෂාව පවා හරිහැටි ප්‍රගුණ කරන්නට හැකියාව ලැබුණේ නැහැ.

KGBය ඔහුව සාමාන්‍ය ජනයාගෙන් ඈත් කර තැබුවා. ඔහුට අවශ්‍ය ආහාර සහ මත්පැන් ආදී සියල්ල ලබා දුන්නා. සුවපහසු නිවසක් ද ලබා දුන්නා. නමුත් ෆිල්බි මුදල් පසුපස ගිය අයකු වූයේ නැහැ. ඔහු සෝවියට් දේශය වෙනුවෙන් ඔත්තු බලන්නට පටන් ගත්තේ ද මූල්‍යමය හේතුවකට නොවේ. නමුත් ඔහුගෙන් වැඩක් ගන්නට KGBය සූදානම් වුණේ නැහැ. ඔවුනට ඔහුගෙන් ගතහැකි වැඩක් කල්පනා වූයේ ද නැහැ. සෝවියට් දේශයට පැමිණීමත් සමග ඔහු ප්‍රයෝජනයක් නොමැති අයකු බවට පත් වුණා.

ෆිල්බිගේ සොහොන (BBC)

කිම් ෆිල්බි 1988 දී මිය ගියා. ඔහු වෙනුවෙන් හමුදා ගෞරව සහිත අවමගුල් උත්සවයක් පවත්වනු ලැබුණා. ඒ වනවිට බර්ජස් සහ මැක්ලේන් ද මියගොස් තිබුණා. බර්ජස් බීමත්කමින්මම 1963 දී මිය ගිය​ අතර​ මැක්ලේන් මියගියේ 1983 දී යි.

ඇන්තනි බ්ලන්ට් 1960 ගණන්වල දී MI-5 සමග එකඟතාවක් ඇතිකර ගත්තා. ඒ අනුව ඔහු තමා දන්න තොරතුරු හෙළි කළ අතර ඒ වෙනුවට ඔහුගේ ක්‍රියාකාරකම් හෙළි නොකිරීමට බලධාරීන් පොරොන් දු වුණා. ඔහුට එලිසබත් රැජිණ විසින් නයිට් නාමයක් පවා ප්‍රදානය කළා.

1979 දී නව අග්‍රාමාත්‍ය මාග්‍රට් තැචර් බ්ලන්ට්ගේ කටයුතු පිළිබඳ හෙළි කළා. ඒ සමග ම ඔහුට නයිට් නාමය ද අහිමි කෙරුණා. කෙසේ නමුත් බ්ලන්ට් කිසිදු අවස්ථාවක අධිකරණයක් හමුවේ පැමිණවනු ලැබුණේ නැහැ. බ්ලන්ට් ද 1983 දී මියගියා.

කේම්බ්‍රිජ් පස්දෙනාගෙන් සෝවියට් දේශයේ බිඳ වැටීම දුටුවේ කේන්ක්‍රොස් පමණ යි. ඔහුගේ මරණය සිදු වූයේ 1995 දී යි. ඒ සමගම කේම්බ්‍රිජ් පස්දෙනාගේ ඇතැම් රහස් ද වැළලී යන්නට ඇති. අදටත් කේම්බ්‍රිජ් පස්දෙනා පිළිබඳ හෙළි නොවූ තොරතුරු බොහොමයක් ඇති බව විශ්වාස කෙරෙනවා.

මූලාශ්‍රයයන්​:

Related Articles