යතුරු ලියනයේ, පරිගණකයේ ඇති යතුරු පුවරුවේ අකුරු පිහිටන පිළිවෙල ගැන ඔබට කිසිදාක කුතුහලයක් ඇති වෙලා නැද්ද? අකාරාදී පිළිවෙලට මෙම අකුරු පිහිටුවා නැත්තේ ඇයි කියන දේ ගැන දැන ගන්න කැමති නම් මේ ලිපිය වැදගත් වේවි.
මුල්ම යතුරු ලියනය
මුල්ම යතුරු ලියනය වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය හිමි කරගෙන තිබෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික නව නිර්මාණ කරුවකු වූ හෙන්රි මිල් (Henri Mill 1683-1771) විසින්. මේ සම්බන්ධ වැඩි තොරතුරක් සඳහන් නොවුණත් යතුරු ලියනය සම්බන්ධව ඉදිරිපත් වී ඇති මුල්ම අදහස ලෙස සැලකෙන්නේ මෙය යි.
ක්‍රිස්ටෝෆර් ලැතම් ෂොලෝස්
1819 පෙබරවාරි 19 වැනිදා උපන් ක්‍රිස්ටෝපර් 1833දී පාසල් ගමන නිමා කර මුද්‍රණ ශිල්පියෙකු ලෙස රැකියාව ආරම්භ කළා. 1837දී ඔහුගේ වැඩිමල් සොහොයුරන්ගේ පුවත්පත් සමාගමේ සේවයට ගිය ක්‍රිස්ටෝපර් එහි ටික කලක් ආධුනිකයෙකු ලෙස රැකියා පුහුණුව ලබා ගැනීමෙන් අනතුරුව වින්කොන්සින්හි සවුත්පෝට් වෙත ගොස් Southport Telegraph නමින් ඔහුගේම සතිපතා පුවත්පතක් ආරම්භ කළා. ඔහු 1840දී මේරි ජේන් මෙකනි සමඟ විවාහ වී 1857 වර්ෂය තෙක් එම නගරයේ වාසය කළා.
අංකන යන්ත්‍රය යතුරු ලියනයකට
මුද්‍රණාලයේ සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන් 1866දී ක්‍රිස්ටෝපර්ට “අකුරු මුද්‍රණය කළ හැකි යන්ත්‍රයක්” නිර්මාණය කිරීමේ අදහසක් ඇති වී තිබුණා. ඔහු, සැමුවෙල් ඩබ්. සොවුල් සමඟ එක්ව අංකන යන්ත්‍රයක් නිර්මාණය කර වැඩිදියුණු කළ අතර ඒ සඳහා 1866 නොවැම්බර් 3 වනදා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට සමත් වුණා.
ඉන්පසු නීතීඥයකු සහ ආධුනික නිර්මාණකරුවෙකු වූ කාලෝස් ග්ලිඩ්න් විසින් මෙම අංකන යන්ත්‍රය ඉලක්කම් වලට අමතරව වචනද මුද්‍රණය කළ හැකි ලෙස වැඩිදියුණු කළ හැකිදැයි ක්‍රිස්ටෝපර්ගෙන් සහ සැමුවෙල්ගෙන් ඇසුවා. මේ අදහස ඔස්සේ සිතමින් අංකන යන්ත්‍රය අකුරු මුද්‍රණය කළ හැකි යන්ත්‍රයක් දක්වා වැඩිදියුණු කිරීමට ක්‍රිස්ටෝපර්ට හැකියාව ලැබුණා. ඔහු, 1868 ජූනි 23 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ, විස්කොන්සින් හිදී යතුරු ලියනය වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය හිමි කර ගත්තා.
පියානෝවක ආකෘතිය
ආරම්භයේදී පියානෝවක ආකෘතිය ගත් යතුරු පුවරුවේ පේළි දෙකක කළු සහ සුදු පැහැ යතුරු තිබූ අතර මෙහි 0 සහ අංක 1 මුද්‍රණය සඳහා යතුරු තිබුණේ නැහැ. එයට හේතුව වූයේ එම අංක නිරූපණයට O සහ I
අක්ෂර ප්‍රමාණවත් බව ක්‍රිස්ටෝපර් සිතූ නිසයි. පළමු පේළියේ යතුරු ඇත්දළ වලින් නිර්මාණය කර තිබූ අතර දෙවන පෙළෙහි අකුරු කළුවර ලීයෙන් නිර්මාණය කර තිබුණා. යන්ත්‍රයේ ඉතිරි කොටස් සාදා තිබුණේ ලී වලින්. මෙහි අකාරාදී පිළිවෙලට අකුරු සහිත යතුරු 28ක් පැවතුණා.
යන්ත්‍රය සිරවීම
ඔහුගේ පළමු යතුරු ලියන යන්ත්‍රයේ තිබූ ගැටලුව වූයේ යතුරු ලියන්නා වේගයෙන් යතුරු ලියනය කරගෙන යාමේදී යන්ත්‍රය සිර වීමයි. මෙයට හේතුව වූයේ මෙම යතුරු පුවරුවේ අකුරු පිහිටුම අකාරාදී පිළිවෙලට සකසා තිබීමයි. වේගයෙන් යතුරු ලියනය කිරීම නිසා, නිතර නිතර වචන වල එක ළඟ යෙදෙන අකුරු වලට අදාළ යතුරු වල ලෝහ කොටස් පටලැවීම නිසා මෙසේ සිදු වුණා.
ක්‍රිස්ටෝපර් මෙම ගැටලුව ඔහුගේ සගයා වන ජේම්ස් ඩෙන්ස්මෝර් සමඟ අධ්‍යයනය කළ අතර නිරන්තරයෙන්ම භාවිතා වන යතුරු කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා. ඔවුන් නව යතුරු පුවරුවේ හැකි තරම් ඈත ස්ථාන වලට එම යතුරු ස්ථාපනය කරනු ලැබුවා. මේ නිසා ඒවා දරාගෙන සිටින ලෝහ කොටස් එකිනෙක ගැටීම අවම කර ගැනීමට හැකි වුණා.
QWERTY
QWERTY යන නම ඇති වුණේ ක්‍රිස්ටෝපර් නිර්මාණය කළ නව යතුරු පුවරුවේ ඉහළ වම් කෙළවරේ ස්ථානගත කර තිබෙන අකුරු 6 නිසයි. ඉංග්‍රීසි භාෂාවේ සෑම වචනයකටම පාහේ එක් ස්වර අක්ෂරයක්වත් (vowel) යෙදෙනවා. QWERTY යතුරු ලියනයේ “A” අකුර පමණක් දෙවන පෙළෙහි පිහිටුවා ඇති අතර අනෙක් ස්වර අක්ෂර 4ම පිහිටා ඇත්තේ පළමු පේළියේයි. මේ හේතුවෙන් යතුරු ලියනය කරන්නාට බොහෝ වචන වෙනුවෙන් පළමු පෙළෙන් ඇඟිලි ඉවත් කර දෙවන පෙළට ගෙන ඒමට සිදු වෙනවා. යතුරු ලියනය කරන වේගය අඩු කර යතුරු පුවරුව සිරවීම වළක්වා ගත්තේ මේ ආකාරයටයි.
මෙම සොයා ගැනීමෙන් බෙහෙවින් උද්දාමයට පත් ක්‍රිස්ටෝපර් ඔහුගේ “QWERTY” යතුරු ලියනය මිනිස් වර්ගයාගේ වාසනාවට නිර්මාණය වූවක් බව පවසා තිබෙනවා.
නිෂ්පාදන ආරම්භය
1873 වන විට යතුරු ලියනයේ යතුරු 43ක් තිබූ අතර එහි අක්ෂර වලට අදාළ යතුරු පිහිටුවා තිබූ ආකාරය නිසා බලාපොරොත්තු වූ පරිදිම මෙම යන්ත්‍ර නැවත සිරවීම හෝ කැඩීමට ලක් වූයේ නැහැ. කාර්යය සිදු විය යුතු ආකාරය අනුව යන්ත්‍රයේ ආකෘතිය සැකසී තිබූ අතර යතුරු ලියන්නන් එම ආකෘතිය අනුගමනය කරමින් යතුරු ලියනයේ පුහුණුව ලබා ගත්තා. මෙම වසරේදීම ක්‍රිස්ටෝපර් සහ ඔහුගේ සගයන් යතුරු ලියන නිෂ්පාදනය කිරීම සඳහා Remington නිෂ්පාදන ආයතනය සමඟ ගිවිසුමකට එළඹුණා.
ඒ අනුව පළමු යතුරු ලියනය වාණිජ වශයෙන් නිෂ්පාදනය වුණේ 1874දී යි. මෙම මොඩලයේ වැඩි ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමකින් විකුණුනේ නැති අතර 1878දී Remington සමාගමෙන් තවත් යතුරු ලියන මොඩලයක් වෙළඳපොලට හඳුන්වා දුන්නා. නමුත් 1886 වන විටත් එයින් විකිණී තිබුණේ යතුරු ලියන 5000ක් පමණයි.
තම නිර්මාණයේ සාර්ථකත්වය දකින්නට පෙර වසර 9ක් තිස්සේ ක්ෂය රෝගයෙන් මහත් පීඩා විඳ 1890දී ක්‍රිස්ටෝපර් මියගිය අතර මෙම නිර්මාණය අසාර්ථක එකක්ය යන සිතුවිල්ලෙන් යුතු වූ ඔහු විශාදයෙන් පෙළෙමින් සිටියා.
1890 වන විට රට පුරා 100,000කට වැඩි ප්‍රමාණයක යතුරු ලියන භාවිතා වෙමින් තිබුණා. 1893දී යතුරු ලියනයේ ඉරණම තීරණය වුණේ විශාලම යතුරු ලියන නිෂ්පාදකයන් වන Remington, Caligraph, Yost, Densmore සහ Smith-Premier යන සමාගම් එකාබද්ධ වී එක් යතුරු ලියන නිෂ්පාදන සමාගමක් පිහිටුවන්නට තීරණය කිරීමත් සමඟයි.
කවරයේ පින්තූරය – Mac Kozal
මූලාශ්‍ර