Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අභ්‍යාවකාශයේ විශාලතම පෘථිවි නිවහන – ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

නූතන ලෝකයේ සංකීර්ණතම සහ මිල අධිකම ඉංජිනේරුමය කාර්යය ලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සැලකිය හැකි ය. එය මිනිසා විසින් පෘථිවියෙන් පිටත දී ස්ථාපනය කරන ලද යෝධ නිමැවුමකි. මෙය අහසට යැවීමේ මූලික කාර්යය ලෙස ශුන්‍ය ගුරුත්ව පෘථිවියෙන් පිටත වූ පර්යේෂණාගාර පහසුකම දැක්විය හැකිය. ශුන්‍ය ගුරුත්වය යටතේ සිදු කරනු ලබන ජෛව විද්‍යාත්මක භෞතික විද්‍යාත්මක පර්යේෂණ කාර්යයෝ මෙන්ම පෘථිවිය මත සියල්ලට ම ඉහළින් සිට කරනු ලබන පෘථිවි නිරීක්ෂණ කාර්යයෝ ද ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් සිදු කරනු ලැබේ. අනාගතයේ මිනිසා ග්‍රහලෝක තරණය පිණිස සූදානම් වීමේ දී අවශ්‍ය කරන තාක්ෂණය අත්හදා බැලීමේ සජීවි අවස්ථාවක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය.

අප පෘථිවි ගෝලයේ සිට නිරීක්ෂණය කරන විට අහස පැහැදිලි කාලවල දී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසට ද දැකිය හැකිය. පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝ මීටර 400ක පමණ දුර කක්ෂයක සැරිසරන මධ්‍යස්ථානය මිනිත්තු අනූවක දී පෘථිවිය වටා රවුමක් ගමන් කරන්නේ ය. එනම් පෘථිවිය දිනක් වටේ යන විට එය පෘථිවිය වටේ 16 වතාවක් ගමන් කරන්නී ය. අධික වේගයෙන් ගමන් යන මේ උඩුගුවන් නැවතුම පෘථිවියේ සිට සඳට ඇති කිලෝ මීටර 384,400 ක තරම් දුරක් දිනක දී ගෙවා යයි.

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ශ්‍රී ලංකාව පෙනුන අවස්ථාවක් http://www.spacesciencefacts.com/2016/10/picture-of-sri-lanka-from-space-iss.html

ලෝකෙම දායකත්වයෙන් උඩ යැවුනු මනාලිය

සීතල යුද්ධ කාලයේ දී මුලින්ම රුසියාවෙන් අභ්‍යාවකාශයට යූරි ගගාරින් යැවූ විට ඇමරිකාව ඔන්න එහෙනම් අපි හදටත් යවනෝ යැයි කියාපාන්නට තරඟයට මෙන් අභ්‍යාවකාශ ව්‍යාපෘති වල නිරත වූහ. එම තරඟය එම කාලයේ අභ්‍යාවකාශ තාක්ෂණය දියුණු කරන්නට හේතු විය. එනමුත් මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට චීනය,රුසියාව, ඇමරිකාව, ජපානය, ද කොරියාව සහ යුරෝපයේ ප්‍රබල රටවල් ඇතුලු රටවල් 15ක් සිය දායකත්වය දක්වා තිබේ. මෙය රටවල් රැසක දායකත්වයෙන් නිම වූවක් වන අතර ප්‍රබල රටවල් සිය දේශපාලනික විරසකයන් පසෙක ලා මෙම කාර්යය පිණිස කැපවීමෙන් පෙල ගැසුණ  හ. විටෙක ඇමරිකානු රොකට්ටුවක නැගී යන්නේ රුසියානු බඩු ය. තවත් විටෙක ඇමරිකානු බඩු බාහිර ආදිය මධ්‍යස්ථානයට යන්නේ රුසියානු ශටල ආධාරයෙ නි.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පිළිබඳ දත්ත සටහන් පහත දැක්වේ.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තතු විත්ති මෙන්න මෙහෙමයි
පෘථිවියේ සිට ආසන්න වශයෙන් කිලෝමිටර 408 දුරින් පිහිටා ඇත
පෘථිවිය වටා ගමන මිනිත්තු 90කින් සම්පූර්ණ කරයි
මධ්‍යස්ථානය දිනකදී ඉර උදාවල් සහ බැසයෑම් 16 ක් සම්පූර්ණ කරගනී
බර කිලෝග්‍රෑම් 419.725
සම්පිණ්ඩනය කළ දිග මීටර 73
සමස්ථ දිග අඩි 357
භාවිතා කල වයර් වල දිග කිලෝමීටර 18
මේ දක්වා මධ්‍යස්ථානයට ගිය ගමන් වාර 115
මධ්‍යස්ථානය සදහා ලියූ මෘදුකාංග කේත ලයින් මිලියන 3.3
භූගත පද්ධතිවල මෘදුකාංග කේත ලයින් මිලියන 1.8
මධ්‍යස්ථානයේ තත්ව මැන බැලීමට සෙන්සර 350,000කට වඩා කාර්යයේ නිරත වේ
සූර්ය පැනල වල වපසරිය අක්කර 1යි
විදුලිබල ධාරිතාවය කිලෝවොට් 75-90
අජටාකාශගාමින් 6 දෙනෙකුට පහසුකම් ඇත
2000 සිට 2015 දක්වා ආහාර වේල් 26,500ක් අජටාකාශගාමීන් ගෙන ඇත.
වියදම ඇමරිකානු ඩොලර් බිලියන 150

https://img.over-blog-kiwi.com/0/95/84/63/20170222/ob_345207_1.jpg

ඇරඹුම සහ කාර්යමණ්ඩල

1998 දී ප්‍රථම පියවර ලෙස සර්යා මොඩියුලය රුසියාව විසින් ගුවන් ගත කිරීමෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය භෞතිකව ඉදි කිරීම ඇරඹුනි. 2000 වර්ශයේ සිට කාර්යයන් හි නිරත වුවත්  එහි පර්යේෂණාගාර සම්පූර්ණයෙන්ම නිම වන්නේ 2011 දී ය. 6 දෙනෙකුට පමණ පර්යේෂණ කාර්යයන්හි නිරත වීමේ පහසුව ඇති මධ්‍යස්ථානයේ ඇතැම් විටෙක 13 දෙනකු සිටි අවස්තාද වාර්ථා වේ. ඒ, පිරිස හුවමාරු වන අවස්ථාවකි.

කාර්යමණ්ඩලය සදහා ඔක්සිජන් ලබාගන්නේ ජලය විද්‍යුත් විච්ඡේදනය කිරිමෙනි. එම කාර්යයට අවශ්‍ය විද්‍යුතය සූර්ය පැනල භාවිතයෙන් ලබා ගනී. ආහාර ගබඩා කර තැබීමට ශීතාගාර භාවිතා නොකරන අතර සකස් කළ ආහාර අභ්‍යාවකාශගාමීන් විසින් බුදිනු ලබති. ඒවා ද පෘථිවියේ දී ආහාර ගනු ලබන ආකාරයට පුටුවක මේසයක වාඩි වී ආහාර ගත නොහැකි අතර ගුරුත්වය අඩු වටපිටාවක ආහාර සකස් කරගැනීම ද අභියෝගයකි.

මීයකු සහිත පර්යේෂණ කුටියක් නිරික්ෂණය කරන අභ්‍යාවකාශ ගාමිිනියක් https://www.nasa.gov/mission_pages/station/research/experiments/665.html

කාර්යමණ්ඩලයේ අභියෝග

මුල්කාලයේ දී මධ්‍යස්ථානයට අවශ්‍ය ජලය බාහිරින් ගිය ශටල යානා මගින් සැපයෙන්නට විය. එහෙත් පසුව වැඩිදියුණු කළ පෙරන තාක්ෂණයක් හඳුන්වා දුන් අතර ඒ හරහා අභ්‍යාවකාශගාමීන්ගේ මුත්‍රා පවා පෙරා නැවත භාවිතයට ගැනීමට හැකි විය. කුඩා කළ  අලංකාර අභ්‍යාවකාශ ඇඳුමට වශී වී අභ්‍යාවකාශගාමියෙකු වීමට දරුවන් සිහින මැව්ව ද එය ඉතා වෙහෙසකර ක්‍රියාදාමයකි. මුල්කාලයේ දී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විසූ අයගේ දේහයේ අස්ථිවල බර සහ ඝනත්වය සෑහෙන දුරකට අඩුවීමේ දුබලතාවයක් විය.

පසුව නිසි පරිදි ව්‍යායාම සහ ආහාර හඳුන්වා දීමෙන් එම ශුන්‍ය ගුරුත්වය යටතේ සිරුර රැක ගැනීමට උපකාරී වන වැඩපිළිවෙලක් සකස් කරන ලදී. තවත් වරෙක අභ්‍යාවකාශගාමියෙකුගේ ඇඳුමේ මුහුණු වැස්ම තුළ වතුර පිරීමේ දොසක් ද වාර්ථා වූ අතර එය ද ඉන් මතුවට නොවන පරිදි ඇදුම වැඩිදියුණු කරනු ලැබී ය.

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට දත්මදින අවස්ථාවක් (  වීඩියොවකි ) https://youtu.be/TU9kffoAQ8U

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ අනාගතය

රුසියානු සහ ඇමරිකානු අභ්‍යාවකාශ වැඩපිළිවෙල වල ඔවුනොවුනගේ තමුන්ගේම අභ්‍යාවකාශ වැඩපිළිවෙල ගැන වූ බලාපොරොත්තු වඩාත් ඉදිරියට ඒම හේතු කොටගෙන මුල දී බලාපොරොත්තු වූ පරිදි අභ්‍යාවකාශ මධ්‍යස්ථානය 2028 දක්වා පවත්වාගෙන යන්නට නොහැකි වනු ඇත. එහෙත් අවම වශයෙන් 2024 දක්වා වත් පෘථීවි වාසීන්ගේ අභ්‍යාවකාශගත විශාලතම  නිමැවුම සක්‍රීයව භාවිතා කිරීමට දායක රටවල් ප්‍රතිඥා දී තිබේ. මුළු මහත් පෘථිවියේ වසන මිනිසුන් බිලියන 7.6 ම නියෝජනය කරමින් පෘථිවියෙන් එපිට පිහිට වූ සංකීර්ණතම විශාලතම සහ වටිනා සැකිල්ල වන්නේ මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයයි. මෙහි වියදම සමස්ථ පෘථිවි වාසින්ගෙන් ම බෙදා බැලුවත් එක් පුද්ගලයෙකු ඇමරිකානු ඩොලර් 20 ( රු 3,000) කට ආසන්න මුදලක් මේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙනුවෙන් වියදම් කොට තිබේ.

මීට වසර 2000කට පෙර සේද මාවත ඔස්සේ දුෂ්කර කාන්තාර හිම කඳු මතින් ගමන් කරමින් චීනය අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, අප්‍රිකාව, යුරෝපය  සහ අරාබිය සම්බන්ධ කරගනිමින් මිනිසුන් තමුන්ගේම  අනෙකා සොයා නික්මුණේ ය. අද වන විට මිනිසා අභ්‍යාවකාශයේ නැවතුම් පොළක් තනාගෙන එහි පර්යේෂණ කරමින් මිනිසාට ඉදිරි අනාගතයේ අභ්‍යාවකාශ ගමන් පිණිස වැදගත් වූ කාර්යභාරයක් ඉටු කරමින් පවතී. එය සෑම විටම සෑම පියවරකින්ම ලාභ ලැබෙන අවස්ථාවක් නොවිය හැකි මුත් අනාගතයේ විවිධාකාර ප්‍රයෝජන රැසකට මෙම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පර්යේෂණ වැදගත් වනු ඇත.

කවර – https://www.popmech.ru/technologies/news-370492-nasa-vozvrashchaetsya-k-idee-fon-brauna-o-kosmicheskih-stanciyah/

Related Articles