Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තලේබාන් සංවිධානයේ උපත​

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය ලෝකයේ ප්‍රකට සංවිධානයක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔවුන් 1996 සිට 2001 දක්වා කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ විශාල ප්‍රදේශයක් පාලනය කළා. ඒ කාලයේ ඔවුන් ත්‍රස්තවාදයට සහය දෙන බවට චෝදනා එල්ල වුණා වගේම සෞදි ජාතික ඔසාමා බින් ලාඩ්න්ට සිය රටේ රැකවරණය​ සැළැස්වූ බව ප්‍රකට කරුණක්. එමෙන්ම සුප්‍රකට බාමියාන් බුද්ධ ප්‍රතිමා විනාශ කළේද ඔවුන් විසින්.

2001 සැප්තැම්බර් මාසයේ ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව ඇමරිකානුවන් ඇෆ්ගනිස්ථානයට පහර දෙන්නට කටයුතු කළා. ඒ වසර නිම වෙද්දී තලේබාන්වරුන් ප්‍රධාන නගරවලින් පසු බැස ගියා. කෙසේ වෙතත් පසු කාලීනව ඔවුන් යළි නැගී සිටියා. අදටත් එය එරට ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් වනවා.

මෙම ලිපියෙන් අප අදහස් කරන්නේ තලේබාන් සංවිධානයේ ආරම්භය පිළිබඳව විමසා බැලීමටයි.

මුජහිදීන්වරු

1973 ට කලින් ඇෆ්ගනිස්ථානය රාජාණ්ඩුවක් වුන අතර එහි පාලකයා වුණේ මොහොමඩ් සහිර් ෂා. ඒ අවුරුද්දේ මොහොමඩ් සහීර් ෂා රජතුමා හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කළ මොහොමඩ් ඩාවුඩ් ඛාන් එරට බලය අල්ලා ගත්තා. ඩාවුඩ් ඛාන් ද රජ පවුලට නෑකම් කියූ අයෙක්. එහෙත් ඔහු රාජ්‍යත්වයට පත්වනු වෙනුවට ඇෆ්ගනිස්ථානය සමූහාණ්ඩුවක් බවට ප්‍රකාශයට පත් කළා. මේ කාලය තුළ එරට කොමියුනිස්ට් පක්ෂය වූ ඇෆ්ගනිස්ථානයේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බලපෑම ද වර්ධනය වනු දක්නට ලැබුණා. එමෙන්ම සෝවියට් දේශය සමග ද ඇෆ්ගනිස්ථානය සබඳතා වර්ධනය කරගත්තා.

මොහොමඩ් සහිර් ෂා රජු 1963 සැප්තැම්බරයේදී ඇමරිකානු සංචාරයක් අතරතුර ජනාධිපති කෙනඩි සමඟ (Public Domain)

කෙසේ වෙතත් පසු කාලීනව ඩාවුඩ් ඛාන් සෝවියට් දේශය මත රඳා පැවත්ම තරමක් අඩු කිරීමට තීරණය කළා. මේ අවස්ථාවේදී මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඩාවුඩ් අතර ගැටුමක් වර්ධනය වන තත්ත්වයක් ඇති වුණා. මෙහි ප්‍රතිඵලය වුණේ 1978 අප්‍රේල් මාසයේදී ඩාවුඩ් බලයෙන් නෙරපා ඝාතනය කරනු ලැබීමයි.

මෙයින් පසු කොමියුනිස්ට් පාලනයක් ඇෆ්ගනිස්ථානයේ බිහි වුණා. මේ සමඟ සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානයේ සිය බලපෑම පුළුල් කළා. මේ පිළිබඳව එක් අතකින් අසල්වැසි පාකිස්ථානය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයත් එතරම් සතුටු වුණේ නැහැ.

රජය පටන් ගත් ඉඩම් ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඉඩම් හිමියන් රජයට එරෙහි වූ අතර ආගමික නායකයන් සිය බලය සීමා වීම හේතුවෙන් රජයේ පාලනයට එරෙහි වුණා. මේ දෙපිරිස නායකත්වය දුන් රටේ ඇතැම් ප්‍රදේශවල රාජ්‍ය විරෝධී කණ්ඩායම් මතු වෙන්නට පටන් ගත්තා. මුජහිදීන්වරු හෙවත් දෙවියන් වහන්සේගේ සෙබලුන් ලෙස තමුන්ව හඳුන්වාගත් කණ්ඩායම් බිහි වූයේ මේ අය අතරිනුයි.

මේ අතර 1979 දි ජනාධිපති නූර් මුහම්මද් තරාකි ඝාතනය කොට අගමැති හෆිසුල්ලා ආමින් බලය අල්ලාගත්තා. ආමින් සහ සෝවියට් පාලකයන් අතරත් එකල ප්‍රශ්න ඇතිවෙමින් තිබුණා. මේ අතර ආමින් බටහිර දෙසට නැඹුරු වේ යන සැකයක් මතු වීම නිසා සෝවියට් දේශය කළේ සිය හමුදා යවා ආමින් ඝාතනය කර තමන්ට හිතවත් පාලකයකු වූ බබ්රක් කර්මාල් යටතේ නව රජයක් පිහිටුවීමයි, ඒ 1979 දෙසැම්බරයේදී.

සෝවියට් හමුදා කාබුල් නගරයේදී, 1980 ජනවාරි 7 වනදා (Associated Press)

ඒ සමඟම සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයට විශාල වශයෙන් ඇතුලු වුණා. ඊට ප්‍රතික්‍රියාවක් ලෙස ඇමරිකාව සහ පාකිස්ථානය මුජහිදීන් කණ්ඩායම්වලට සහය දක්වන්න පටන් ගත්තා.

මේ අනුව සුන්නි මුස්ලිම් මුජහිදීන් කණ්ඩායම් හතක් ප්‍රධාන වශයෙන් බිහි වුණා. ෂියා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් තිබුණත් ඔවුන් ඇෆ්ගනිස්ථානයේ යුද්ධය කෙරෙහි එල්ල කළේ අඩු බලපෑමක්. ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් ෂියා මුස්ලිම් ප්‍රතිශතය එතරම් විශාල නොවන හෙයින් ෂියා මුජහිදීන් කණ්ඩායම්වල බලපෑම ප්‍රදේශ කිහිපයකට සීමා වුණා.

මුජහිදීන්වරු එකිනෙකා හා ගැටෙති

සෝවියට් දේශයේ හමුදා සහ ඔවුනගෙන් ආධාර ලැබූ ඇෆ්ගන් රජයේ හමුදා එක් පසෙකත්, ඇමරිකාව සහ පකිස්ථානය යන රටවල්වල ආධාර ලද මුජහිදීන්වරුන් අනෙක් පසෙකත් සිටිමින් කරන ලද ඇෆ්ගන් යුද්ධය ඉතා බරපතල එකක් වුණා. මෙහිදී අති විශාල පිරිසක් සරණාගතයන් ලෙස පාකිස්ථානයට පලා ගියා. ඒ අය අතරිනුත් මුජහිදීන්වරුන්ට සෙබලුන් බඳවා ගැණුනා.

සෝවියට් සහ ඇෆ්ගන් හමුදාවට සිය පාලනය යටතේ තබා ගැනීමට හැකි වූයේ ප්‍රධාන නගර සහ මාර්ග පමණයි. අනෙකුත් ප්‍රදේශවල පාලනය තිබුණේ කැරලිකරුවන් අතේ. කඳුකර ප්‍රදේශවල සිට “ගසා දුවන​” ආකාරයේ ගරිල්ලා සටන්වලින් එම කැරලිකරුවන් රජයේ හමුදා සහ සෝවියට් හමුදා හෙම්බත් කිරීමට සමත් වුණා.

1985 දී බලයට පත් නව සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ්ට අවශ්‍ය වුණේ මෙම යුද්ධය අවසන් කිරීමටයි. මේ අනුව 1988 දී සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගැනීම අරඹන්නට ඔහු කටයුතු කළා. මේ අනුව අවසන් සෝවියට් සෙබළාත් 1989 පෙබරවාරි 15 වනදා එරටින් පිටව ගියා.

කෙසේ නමුත් ඇෆ්ගන් රජය තවත් කලක් බලය රැක ගන්නට සමත් වුණා. ඊට එක් හේතුවක් වූයේ මුජහිදීන් කණ්ඩායම් අතර මතභේද වර්ධනය වීමයි. විශේෂයෙන් පාකිස්ථානයේ සහය ලද පශ්තුන් ගෝත්‍රික යුධ නායකයකු වූ ගුල්බුදින් හෙක්මටියාර් සහ තජික් ගෝත්‍රිකයකු වූ අහ්මඩ් ෂා මසූඩ් අතර ඇතිවූ ගැටුම් ප්‍රධාන වුණා. 1992 අප්‍රේල් මාසයේදී ඇෆ්ගන් කොමියුනිස්ට් රජය බිඳ වැටුණු අතර මුජහිදීන් කණ්ඩායම් ඔවුනොවුන් හා කුළල් කා ගැනීම ඇරඹුවා. කාබුල් නගරය අල්ලාගැනීමට ගිය හෙක්මටියාර් මසූඩ් අප්‍රේල් මස අග භාගයේදී එළවා දැමීම මෙහි වැදගත් අවස්ථාවක් වුණා.

මේ අනුව, අවුරුදු ගණනක් තිස්සේ යුද්ධයෙන් පීඩා විඳි ඇෆ්ගන් ජනතාවගේ සාමය පිළිබඳ සිහිනය පුස්සක් බවට පත් වුණා.

තලේබාන් සංවිධානය බිහි වුණේ මේ පසුබිමේයි.

කාබුල් වෙත​

තලේබාන් යන වචනයේ අර්ථය ශිෂ්‍යයා යන්නයි. පාකිස්ථානයට පළා ගිය ඇෆ්ගන් සරණාගතයින් සිටි කඳවුරුවල පිහිටවා තිබූ ආගමික පාසැල්වල සිසුන් අතරින් තලේබාන් සංවිධානයට පිරිස් ශක්තිය ලැබුණා.

මුලින්ම ඇෆ්ගන් තලේබාන් නායක මුල්ලා මොහොමඩ් ඕමාර් සමඟ සිටියේ එතරම් හොඳින් සන්නද්ධ නොවූ කුඩා පිරිසක් පමණයි. එක්තරා ප්‍රසිද්ධ කතා පුවතකට අනුව 1990 දශකයේ මුල් කාලයේ තලේබාන්වරුන් මුලින්ම ජනතාව අතර ප්‍රකට වීමට බලපා ඇත්තේ ප්‍රාදේශීය ආණ්ඩුකාරයකු විසින් පැහැරගත් ගැහැණු ළමුන් දෙදෙනෙකු බේරා ගැනීමයි. පසුව මුල්ලා ඔමාර් වටා පෙර කී ආගමික පාසැල්වල සිසුන් එකතු වී තිබෙනවා. බොහෝ දෙනාගේ පිළිගැනීම අනුව මේ පිරිසට එකල පටන් ම පාකිස්ථාන රහස් ඔත්තු සේවාවල සහය ලැබී තිබෙනවා. ඔවුනට අවශ්‍ය ආයුධ පාකිස්ථානයේ අවි වෙළෙඳපොලවලින් හෝ එරට රහස් ඔත්තු සේවා මගින් හෝ ලැබෙන්නට ඇතැයි සිතිය හැකියි.

මුල්ලා මොහොමඩ් ඔමාර්ගේ බව පැවසෙන වීඩියෝවක අවස්ථාවක් (BBC)

තලේබාන් සංවිධානය සමඟ ප්‍රධාන වශයෙන් ම එකතු වූයේ පශ්තුන් ගෝත්‍රිකයනුයි. 1994 පමණ වනවිට ඔවුන් ඇෆ්ගනිස්ථානයේ එවක පැවති අස්ථාවර තත්ත්වයෙන් එරට ගලවාගත හැකි ආකාරයේ විකල්පයක් ලෙස මතුව එමින් තිබුණා. 1994 දී ඔවුන් දකුණුදිග කන් දහාර් නගරය අල්ලාගත්තා. පශ්තුන් ජනතාව විසූ ප්‍රදේශයේ පිහිටි කන් දහාරය ඔවුනගේ වැදගත් ම පාලන මධ්‍යස්ථානය බවට පත් වුණා.

කෙමෙන් කෙමෙන් ඔවුන් අවට පළාත් ද අල්ලා ගන්නට පටන් ගත්තා. ඒවායේ පැවති අස්ථාවර​, නීතියක් හරි හැටි ක්‍රියාත්මක නොවන තත්ත්වය වෙනස් කරමින් තලේබාන්වරුන් තදබල ලෙස නීති රීති ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තා.

1996 සැප්තැම්බර් 27 වනදා තලේබාන් හමුදා ඇෆ්ගන් අගනුවර වන කාබුල් නගරයට කඩා වැදුණා. ඉන් පසු කාලයේදී තවත් බොහෝ ප්‍රදේශ ඔවුන් අතට පත් වූ අතර අහමඩ් ෂා මසූඩ් ඇතුලු නායකයින් විසින් මෙහෙයවනු ලැබූ පැරණි ආණ්ඩුව රටේ උතුරුදිගට පසු බැස්සා.

මීළඟ වසර පහේදී ඇෆ්ගනිස්ථානයේ වැඩි ප්‍රදේශයක් තිබුණේ තලේබාන් පාලනය යටතේයි. තලේබාන් පාලනය සහ එය බිඳ වැටීම පිළිබඳ අප තවත් ලිපියකින් කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙනවා.

කවරයේ රූපය : අදටත් ක්‍රියාත්මක තලේබාන් සංවිධානයේ සාමාජික පිරිසක් 2016 දී (Associated Press)

මූලාශ්‍ර:​

  1. Peter Tomsen, The Wars of Afghanistan: Messianic Terrorism, Tribal Conflicts, and the Failures of Great Powers
  2. Soviet War in Afghanistan (Documentary), CNN

Related Articles