Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව වටා අපූරු මංගල සිරිත් විරිත්

‘මංගල සිරිත් විරිත්’ යැයි කියූ සැණින් අප සැමගේ මනසට නිතැතින් ම නැගෙන්නේ පෝරුවේ චාරිත්‍ර බවට සැකයක් නැහැ. ශ්‍රී ලාංකිකයන්ට පෝරුවේ චාරිත්‍ර ආවේණික වෙනවා සේ ම ලොව රාජ්‍යයන් බහුතරයක් සතු ව ඔවුන්ට ආවේණික මංගල සිරිත් විරිත් පවතිනවා. මෙවැනි සිරිත් විරිත් අතරින් සමහරක් ඒවා විශ්වාස කිරීමට අපහසු තරම් පුදුමාකාර යි. ඒ ලිපිය විවිධ රටවල දී දැක ගැනීමට ලැබෙන එවැනි අපූරු මංගල සිරිත් විරිත් කිහිපයක් ගැන යි.

දැව ඉරීම (ජර්මනිය)

© Southern Bride and Groom

ජර්මානු මංගල උත්සවයක දී දැක ගැනීමට ලැබෙන පැරණි චාරිත්‍රයක් තමයි, මනාල යුවළ එක් ව විශාල දැව කඳක් දෙකට ඉරීම. මේ සඳහා අල්ලු ද්විත්වයක් සහිත ප්‍රමාණයෙන් විශාල කියතක් යොදා ගන්නවා. විශාල දැව කඳ මගින් විවාහ ජීවිතයේ දී මුහුණ දීමට සිදු වන බාධාක නිරූපණය කරන බව යි ජර්මානු වැසියන් විශ්වාස කරන්නේ. මනාල යුවළ එක් ව එම දැව කඳ දෙකට ඉරීම මගින් පෙන්නුම් කරන්නේ ඔවුන් දෙදෙනාට අනාගතයේ දී තනි කණ්ඩායමක් ලෙස එක් ව කටයුතු කිරීමට ඇති හැකියාව සඳහා බාධක මැඩ ගෙන ඉදිරියට යාම යි.

විවාහය සම්පූර්ණ කරන දෙදරුවන් (සුඩානය)

© EOS World

දකුණු සුඩානයේ නයිල් ගංගා නිම්නය ආශ්‍රිත ව වාසය කරන ‘නුවර්’ ගෝත්‍රිකයින්ගේ සාම්ප්‍රදායන්ට අනුව විවාහ වීමට අපේක්ෂා කරන තරුණයෙක් ඒ සඳහා මනාලියගේ පවුල වෙත යම් නිශ්චිත ගවයින් සංඛ්‍යාවක් ලබා දිය යුතු වෙනවා. එසේ ම ‘නුවර්’ ගෝත්‍රිකයින් අතර සිදු වන විවාහයක් සම්පූර්ණ විවාහයක් ලෙස සැලකෙන්නේ එම විවාහයෙන් පසු ව බිරිඳ අඩු ම තරමේ දරුවන් දෙදෙනෙකුට උපත ලබා දීමෙන් අනතුරු ව යි. නොඑසේ නම් එය ස්වාමිපුරුෂයාට දික්කසාදය ඉල්ලා සිටීමට හේතුවක් වෙනවා. තෙවැනි දරුවාගේ උපතින් පසු ව බිරිඳ සැලකෙන්නේ ස්වාමිපුරුෂයාගේ ම පවුලේ සාමාජිකයෙකු ලෙස යි.

සීනුවක් බිඳීම (ග්වාටමාලා)

© 123RF

ග්වාටමාලාවේ සාම්ප්‍රදායන්ට අනුව විවාහ උත්සවයෙන් අනතුරු ව මනමාලයාගේ නිවසේ දී ඥාතීන් සහ හිතවතුන් සඳහා භෝජන සංග්‍රහයක් පැවැත්වෙනවා. අලුත විවාහ පත් වූ යුවළ මනමාලයාගේ නිවස කරා පැමිණීමේ දී මනමාලයාගේ මව විසින් ඔවුන් ව පිළි ගනු ලබනවා. ඒ සහල්, පිටි සහ ධාන්‍ය වර්ග පුරවන ලද සුදු පැහැ සීනුවක් බිඳීම මගින්. එයින් සංකේතවත් කරන්නේ සෞභාග්‍යය සහ සමෘද්ධිමත් බව යි.

මනාලිය ව පැහැර ගැනීම (රොමේනියාව)

© The Durango Herald

රොමේනියාව ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක දී දැක ගත හැකි අපූරු මංගල චාරිත්‍රයක් ලෙස මනාලිය ව පැහැර ගැනීම සඳහන් කළ හැකි යි. ඇය ව පැහැර ගැනීම සිදු කරන්නේ ඇගේ ම පවුලේ සාමාජිකයන්, මිතුරු මිතුරියන් හෝ කුලියට ගන්නා ලද නළු නිළියන් විසින්. මෙහි දී මනාලයා, මුදල්, ආහාර හෝ වෙනත් කප්පමක් ඔවුන්ට ලබා දී මනාලිය ව බේරා ගත යුතු වෙනවා.

වීදුරුව බිඳීම (යුදෙව් සාම්ප්‍රදායක්)

© Pinterest

සාම්ප්‍රදායික යුදෙව් විවාහ උත්සවයක අවසානය සනිටුහන් කරන්නේ වීදුරුවක් බිඳීම මගින්. බොහෝ විට මේ සඳහා ආරාධනා ලබන්නේ මනමාලයා වුව ද මනාල යුවළට ම ආරාධනා ලැබෙන අවස්ථා ද නැතු වා ම නොවෙයි. මෙහි දී ඔවුන් රෙදි මල්ලක් තුළ තැන්පත් කර ඇති වීදුරුවක් කුඩා කැබලිවලට කැඩී යන සේ ඒ මත සිට ගත යුතු වෙනවා. මෙම චාරිත්‍රය මගින් නිරූපණය වන අරුත් කිහිපයක් ම පවතිනවා. ඇතැමුන් විශ්වාස කරන්නේ එය ජෙරුසලම් පල්ලියේ බිඳ වැටීම පෙන්නුම් කරන බව යි. නමුත් සමහර විශ්වාසයන්ට අනුව ඒ මගින් විවාහය යනු දුක-සතුට යන ද්විත්වයේ සම්මිශ්‍රණයක් බව පෙන්වා දෙනවා.

මෙහෙන්දි රටා (ඉන්දියාව)

© Banga Studios

ඉන්දියානු විවාහ මංගල්‍යයන් විචිත්‍රවත් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. මංගල රාත්‍රියට පෙර දින රැයේ මනාලියගේ පවුලේ කාන්තා සාමාජිකයන් එක් ව පවත්වනු ලබන ‘මෙහෙන්දි උළෙල’ විචිත්‍රවත් ඉන්දියානු මංගල උත්සව තවත් වර්ණවත් කරන බව පැවසීම වැරදි නැහැ. මෙහි දී සිදු වන්නේ හෙනා යොදා ගනිමින් මනාලියගේ සහ අනෙක් කතුන්ගේ දෑත් සහ දෙපා අලංකාර රටාවන්ගෙන් සැරසීම යි. බොහෝ විට මේ සඳහා වෘත්තීය මෙහෙන්දි ශිල්පියෙකුගේ සහය ලබා ගන්නවා. මෙම සොඳුරු මෙහෙන්දි රටාවන් සතුට, සුන්දරත්වය සහ ආධ්‍යාත්මික පිබිදීම සංකේතවත් කරන බව යි ඉන්දියානුවන්ගේ විශ්වාසය වන්නේ. වර්තමානයේ දී මෙය ඉන්දියාවේ දී පමණක් නොව දකුණු ආසියානු රටවල් බොහෝමයක දී දැක ගැනීමට හැකි යි.

පාන් සහ ලුණු (රුසියාව)

© Yana Laleva

රුසියානු මංගල උත්සවයක දී මනාල යුවළගේ දෙමව්පියන් විසින් අලුත් යුවළ පිළි ගැනීම සිදු කරන්නේ ඔවුන්ට පාන් සහ ලුණු පිළි ගැන්වීම මගින්. මෙහි දී මනාලයා සහ මනාලිය, පාන් ගෙඩියෙන් කැබැල්ලක් කඩාගෙන එය මතට ලුණු දමා එකිනෙකාට කැවිය යුතු වෙනවා. රුසියානු සාම්ප්‍රදායන්ට අනුව මනමාල යුවළගේ නව නිවසේ ප්‍රධානියා වන්නේ වඩාත් විශාල පාන් කැබැල්ලේ හිමිකරුවා (හෝ හිමිකාරිය) යි. මෙම චාරිත්‍රය මගින් සෞඛ්‍යය, සෞභාග්‍යය සහ දීර්ඝ ආයුෂ නිරූපණය කරනවා. මනාල යුවළ පාන් සහ ලුණු අනුභව කිරීමෙන් පසු ව අමුත්තන්ට ද පාන් පිළිගැන්වීම සිදු වෙනවා.

මනාලියට කෙළ ගැසීම (කෙන්යාව)

© Brookings Institution

කෙන්යාවේ මසායි ගෝත්‍රික සාම්ප්‍රදායන්ට අනුව සාමාන්‍යයෙන් සිදු වන්නේ වයසින් අඩු තරුණියන් ව තරමක් වයස්ගත මනාලයන්ට විවාහ කර දීම යි. මෙහි දී මනාලියගේ පියා ඇය ව මනාලයාට භාර දීමට පෙර ඇගේ කම්මුල සිපගෙන ඇගේ මුහුණට කෙළ ගැසීම සිදු කරනවා. බොහෝ සංස්කෘතීන් හි මුහුණට කෙළ ගැසීම අවමන් සහගත ක්‍රියාවක් වුව ද මසායි ගෝත්‍රිකයින් විශ්වාස කරන්නේ එය වාසනාව සහ ධන සම්පත්තිය රැගෙන එන බව යි.

තෙදිනක නාන කාමර තහනම (බෝනියෝ)

© Murphy N. G.

මැලේසියාව, බෘෘනෙයි සහ ඉන්දුනීසියාව යන රාජ්‍යයන් ත්‍රිත්වයට ම අයත් බෝනියෝ දූපතේ වාසය කරන ටයිඩොන්ග් වැසියන් අතර ප්‍රකට මංගල චාරිත්‍රයක් වන්නේ මංගල උත්සවය අවසන් වී දින තුනක කාලයක් ගත වන තුරු මනාල යුවළට නාන කාමරය භාවිතා කිරීම තහනම් කිරීම යි. සතුටින් පිරුණු විවාහ දිවියක් ගත කිරීම සඳහා මෙම චාරිත්‍රය අනිවාර්යයෙන් ම පිළිපැදිය යුතු වන සලකන ටයිඩොන්ග් වැසියන්, යම් හෙයකින් එය බිඳ දැමීම දික්කසාදය, කාම මිථ්‍යාචාරය හෝ ළදරු මරණ වැනි අවාසනාවන්ත සිදුවීම් ගෙන එන බවට විශ්වාස කරනවා.

කවරයේ පින්තූරය : © Playbuzz

Related Articles