පාරකට බැස්සොත් අපි මොන තරම් කාර් දකිනවාද? අපේ එදිනෙදා ජීවිතයේදී කාර් මොන තරම් සුලබ වුණත් කාර් එකක් කියන්නේ ඇත්තටම තාක්ෂණය අතින් බොහොම දියුණු නිර්මාණයක්. පරණම කාර් එකක වුණත් එදිනෙදා නඩත්තු වැඩ ඇරෙන්න ක්‍රියාකාරිත්වයේ ප්‍රශ්නයක් ආවොත් තමන්ටම ඒක නිරාකරණය කරගන්න පුළුවන් පිරිස ඉන්නේ බොහොම සුළු දෙනයි. අලුත් කාර් එකක් ගත්තොත් නම් මෙකනික් වැඩ වලට අමතරව දෝෂ හොයලා දෙන මෘදුකාංග (Diagnostic Software) එක්ක වැඩ කරන්නත් හැකියාව තියෙන්න ඕන. නවීන වාහන වල අලුත්වැඩියා කටයුතු වලට අවශ්‍ය සමහර යන්ත්‍ර තනි පුද්ගලයෙකුට තියා සාමාන්‍ය ගරාජ් එකකටවත් මිලදී ගන්න අපහසුයි.
සාමාන්‍ය භාවිතයට හදන වාහනයක් එහෙම නම් රේසින් කාර් එකක් කොහොම ඇත්ද? ෆෝමියුලා – වන් කියන පදයේ ඉංග්‍රීසි තේරුම අරගෙන බැලුවත් හොඳට වැටහේවි මේක මොන තරම් අමාරු වැඩක්ද කියන එක. සරලව කිව්වොත් මේක “අංක එකේ සංයෝගය” වගේ අර්ථයක් තියෙන වචනයක්. ෆෝමියුලා – වන් කාර් එකක් කියන්නේ ලබා දීලා තියෙන නීති රෙගුලාසි වලට අනුකූලව තාක්ෂණිකව හදන්න පුළුවන් ඉස්තරම්ම වාහනයක්.
මේකට උදාහරණ කිහිපයක් දෙන්නද? අපේ සාමාන්‍ය වාහනයක් ටොන් එක හමාරක් බර වුණත් බොහෝ විට අශ්ව බල 200කවත් එන්ජිමක් තියෙන්නේ ඉතාම කලාතුරකින්. මීටරේ මොනවා තිබුනත් පැයට කිලෝමීටර් 200ට යන්නත් අමාරුයි. හැබැයි ෆෝමියුලා – වන් කාර් එකක් බරෙන් ටොන් බාගයක් විතර වෙද්දී අශ්ව බල 800ක විතර එන්ජිමක් තියෙනවා. වැඩි අමාරුවක් නැතිව පැයට කිලෝමීටර් 340-350ක වේගයක් ගන්න පුළුවන්. ෆෝමියුලා – වන් එන්ජිමක් උනත් නිකන් තියෙද්දී ස්ටාර්ට් කරන්නවත් බැහැ, මුලින් රත් කරපු වතුර යවලා එන්ජින් එක නියමිත උෂ්ණත්වයට අරගෙන තමයි ස්ටාර්ට් කරන්නේ. ඒ තරම් තදට තමයි පිස්ටන් පවතින්නේ. (රත් වෙලා බෝර් එක ප්‍රසාරණය වුණොත් විතරයි පිස්ටන් බුරුල් වෙන්නේ) ගියර් පද්ධතිය, හැඩය, විශේෂ ටයර්, බරෙන් ඉතාම අඩු චැසිය වගේම යොදා ගන්න ඉන්ධන මිශ්‍රණය පවා තාක්ෂණිකව කරන්න පුළුවන් උපරිම කාර්යක්ෂමතා සීමාවේ තියෙන්නේ. ඉතින් නිකන් වාහනයක් හදන්නත් අර තරම් අමාරු නම් මේ වගේ වාහනයක් නිර්මාණය කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම වගේම අවශ්‍ය සම්පත් ප්‍රමාණයත් හිතා ගන්න පුළුවන් නේද?
මේ නිසා තමයි සාමාන්‍යයෙන් මගී කාර් නිෂ්පාදනයේ දශක ගණනාවක් පළපුරුද්ද තියෙන ආයතන හෝ ඒවායේ පළපුරුදු ශ්‍රමිකයන් විශාල මිලක් ගෙවා සේවයට බඳවා ගත්තු ලෝකයේ ධනවත්ම සමාගම් විතරක් ෆෝමියුලා-වන් රේසින් වලට ඉදිරිපත් වෙන්නේ. ෆෙරාරි, මැක්ලාරන්, රෙඩ් බුල් වගේ සමාගම් සතුව මේ වගේ හැම අංශයක් ගැනම ඉහළ දැනුමක් තියෙන විශේෂඥයන් සිය ගණනක් ඉන්නවා. ඊට අමතරව දියුණුම තාක්ෂණික උපාංග, ධාවන පර්යේෂණ පවත්වන්න ඔවුන්ටම වෙන් වූ රේස් ධාවන පථ, සුපිරි රියදුරන්, ඕන තරම් මුදල් සහ තාක්ෂණික රහස් වගේ සම්පත් සේරම ඔවුන් සතුයි. මේ නිසාම ෆෝමියුලා-වන් මෝටර් රථයක් නිර්මාණය කරන්න සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 7ක්, නැතිනම් රුපියල් බිලියනයකටත් (කෝටි 100ක්) වඩා වැඩි මුදලක් වැය වෙනවා. ඉතින් ඒක නිකන් ආසාව තිබුණාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.
ඒ නිසාම තමයි මේ වගේ තාක්ෂණික ක්‍රියා ගැන උනන්දුවක් දක්වන අයට ෆෝමියුලා රථයක් නිර්මාණය කරලා තරඟයකට ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දෙන වැඩසටහනක් එංගලන්තයේ ක්‍රියාත්මක වෙන්නේ. එංගලන්තය කියන්නේ ලෝක ෆෝමියුලා – වන් තරඟ වලින් ඉදිරියෙන්ම ඉන්න රටක් නිසා ඔවුන් තුළ තියෙන උනන්දුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වැඩේ ආරම්භ වුණේ. ෆෝමියුලා ස්ටුඩන්ට් හෙවත් ශිෂ්‍ය ෆෝමියුලා තරඟයක් කියලා හැඳින්වෙන මේකට ලෝකය පුරාම ඉහළ පෙළේ විශ්වවිද්‍යාල වලින් ඉදිරිපත් වෙනවා. ෆෝමියුලා-වන් තරමටම නැති වුණත් මේකට සහභාගී වන විශ්වවිද්‍යාල ලොකු වියදමක් දරලා තමයි තමන්ගේ මෝටර් රථ නිර්මාණය කරන්නේ. මොකද තාක්ෂණික වශයෙන් මේක අති විශාල අභියෝගයක්.
ෆෝමියුලා තරඟ වලට ඉදිරිපත් වෙන්නේ තාක්ෂණික දියුණුවෙන් ඉහළ ඉන්න, කාර් හදන එක සෙල්ලමක් වුණු රටවල්. අපේම රටේ කියලා නිෂ්පාදනය වෙන වාහන කීයෙන් කීයද තියෙන්නේ? තියෙන ඒවත් බොහොමයක් ලංකාවේ එකලස් කෙරෙන පිටරට වල නිර්මාණ. ලංකාවේදී ඩිසයින් කරන වාහන ඇත්තේම නැති තරම්. ඉතින් වාහන කර්මාන්තයේ යෙදිලා පළපුරුද්දක් නැති, පොඩි වාහනයක්වත් හදා ගන්න තරම් තාක්ෂණික දැනුමක් නැති අපි වගේ රටකින් ෆෝමියුලා මට්ටමේ වාහනයක් නිෂ්පාදනය කෙරුණා කිව්වොත් විශ්වාස කරනවාද? හරි හදා ගත්තා කියමුකෝ, ඒක හැම පරීක්ෂණයකින්ම සමත් වෙලා, එංගලන්තේ තියෙන තරඟයකටත් ගිහින් ජයග්‍රහණ තුනකුත් අරන් ආවා කිව්වොත්? කොයි තරම් පුදුම හිතුනත් මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වැඩේ කරන්න සමත් වෙලා තියෙනවා.
මේ තරඟය පහුගිය ජූලි මාසයේදී එංගලන්තයේ සිල්වස්ටන් ධාවන පථයේ පැවැත්වුණා. ලොව පුරා රටවල් ගණනාවක් ඉදිරිපත් වුණත් මෙයින් ජයග්‍රහණ තුනක්ම දිනා ගන්න මොරටුව විශ්වවිද්‍යාලයේ “ටීම් ෂාක්” (Team Shark) කණ්ඩායමට පුළුවන් වුණා. මේවා නිකන් ආවට ගියාට ලැබුණු ජයග්‍රහණ නෙවෙයි. මුළු තරඟාවලියේම දක්ෂතම රියදුරාට හිමි සම්මානයත්, තරඟයට අලුතෙන් ඉදිරිපත් වුණු හොඳම කණ්ඩායම විදිහටත්, ෆෝමියුලා ස්ටුඩන්ට් වෙත දැක්වූ කැපවීම වෙනුවෙන් වන සම්මානයත් ටීම් ෂාක් වෙත හිමි වුණා. කණ්ඩායම් 107ක් අතුරෙන් ඔවුන් 75 වන ස්ථානයට පත් වුණේ එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවිය, ලන්ඩන් විශ්වවිද්‍යාලය (UCL), පන්ජාබ්හි චිට්කාරා සරසවිය, වෝර්සෝ තාක්ෂණික සරසවිය වගේ ප්‍රසිද්ධ සරසවි ගණනාවක් පරදවමින්. ඒ වගේම නිර්මාණකරණය සඳහා වන තරඟයෙන් 36 වන ස්ථානය ලැබුණේත් මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමට. මේ නිසා ඔවුන් නිර්මාණය කරපු මෝටර් රථය තාක්ෂණික ජයග්‍රහණයක් විතරක් නෙවෙයි, පෙනුමෙනුත් බොහෝ අලංකාරයි.
අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ මේ වගේ තරඟාවලියක ජයග්‍රහණ ලබන එක මොන තරම් අපහසුද කියලා. ලෝකය පුරා රටවල් 30කට අයත් විශ්වවිද්‍යාල 130කින් සිසුන් 3000ක් සහ නරඹන්නන් 5000ක් මේ තරඟයට සහභාගී වෙලා හිටියා. තරඟය කාණ්ඩ දෙකකින් පැවැත්වුණේ. Class 2 අංශයේ අයට තිබුණේ ෆෝමියුලා රථ නිර්මාණයක් ඉදිරිපත් කරන්න සහ ඒකෙ වියදම් පැහැදිලි කරන්න විතරයි. නමුත් වඩාත් අපහසු Class 1 අංශයට මේ සේරටම අමතරව ක්‍රියාකාරී රථයක් ඉදි කරන්නත් සිදු වුණා. මොරටුවේ සිසුන් කණ්ඩායම ඉදිරිපත් වුණේ මේ අංශයටයි.
මොවුන් ඉදි කරපු මෝටර් රථයේ වියදම, සැලසුම වගේම චැසියේ තත්වය, ත්වරණය, වංගු වලදී ලිස්සා නොගොස් ධාවන පථයේ රැඳීමට ඇති හැකියාව (මෙය ලිස්සන සුළු skidpan නැමැති විශේෂ පථයකදී සිදු කෙරෙනවා), ධාවන පථයේ වටයක් යාමට ගත වන කාලය (Lap time), අලුත්වැඩියා නොමැතිව ධාවනය විය හැකි කාලය (Endurance), ඉන්ධන කාර්යක්ෂමතාව සහ වෙනත් ධාවන මිනුම් (Dynamic Measurements) යනාදියත් සලකලා තමයි ලකුණු පිරිනැමීම සිදු වෙන්නේ. මේ හැම දෙයකින්ම සමත් වෙන්න පුළුවන් ෆෝමියුලා රථයක් නිර්මාණය කරන එකම ඇත්තටම ඉතා විශාල අභියෝගයක්. මේ රථය ධාවන පථයට ඇතුළු කරන්න පවා බ්රේක් පද්ධතිය (නැවතීමට අවශ්‍ය දුර), උපරිම ශබ්ද ප්‍රමාණය, වාංගු වීම (Tilting) වගේ දේවල් එහෙමත් නියමිත සීමාවක තිබිය යුතුයි. ධාවන පථයෙන් පිටතදී පවා රථය ගැන තාක්ෂණික පැහැදිලි කිරීම්, මාධ්‍ය හමු, වියදම් ගණනය, ව්‍යාපාරික වශයෙන් සාර්ථකත්වය වගේ කාරණා ගැන වැඩසටහන් වලිනුත් ජය ගන්න ටීම් ෂාක් කණ්ඩායමට සිදු වුණා.
සමහර අයට මේ “ටීම් ෂාක්” කියන නම ගැනත් කුතුහලයක් ඇති. ටීම් ෂාක් කියන එකේ සිංහල අර්ථය “මෝර කණ්ඩායම” නැතිනම් “මෝරාගේ කණ්ඩායම” කියන එකයි. මේකට ප්‍රධාන හේතුව මොරටුව විශ්වවිද්‍යාලයට සාමාන්‍ය සරසවි බස්වහරේදී යෙදෙන නම. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට “ජ’පුර”, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට “පේරේ” කියනවා වගේම මොරටුව විශ්වවිද්‍යාලයට යෙදෙන නම තමයි “මෝරා”. රටේ නාමය වගේම විශ්වවිද්‍යාලයේ නමත් ජාත්‍යන්තරයට ගෙන යද්දී ඒ බව සනිටුහන් වෙන්නත් එක්ක තමයි “ටීම් ෂාක්” කියන නම ලැබෙන්නේ. නමුත් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය එතනින් නවතින්නේ නැහැ. (නමක් දාන එක නම් ලොකු දෙයක් නෙවෙයිනේ) හොඳට බැලුවොත් ඔබට පෙනේවි ටීම් ෂාක් මෝටර් රථය මෝරෙක්ගේ හැඩයට ලොකු සමාන කමක් දරන බව. බඳේ හැඩය, ඉදිරිපස පෙනුම, පිටුපස වරල වගේම පැති වරල් හැඩයත් මේ මෝටර් රථය තුලින් ඉතා පැහැදිලිව දකින්න පුළුවන්. අර කලින් කියපු තාක්ෂණික අවශ්‍යතා සේරම පවත්වා ගෙන ඒ වගේ අලංකාරත්වයක් තමන්ගේ නිර්මාණයට ලබා දුන්නු එක ඇත්තටම ඔවුන්ගේ තාක්ෂණික දක්ෂතාවය වගේම කලාත්මක හැකියාවටත් හොඳම උදාහරණයක්.
ෆෝමියුලා – වන් රථයක් තරමටම නැති වුණත් මේ මෝටර් රථය හදන්නත් සැලකිය යුතු මුදලක් ඕන වුණා. මේ කණ්ඩායම තමන්ගේ ව්‍යාපෘතිය පටන් ගත්තේ 2014 අවුරුද්දේ. මුලින්ම මේ වැඩේට අවශ්‍ය මුදල් සොයා ගත්තේ දේශකයන්ට සහ ආදී ශිෂ්‍යයන්ට ටිකට් පත් අලෙවි කරලා. 2008 ආදී ශිෂ්‍ය කණ්ඩායම කරපු මුල්‍ය පරිත්‍යාගයක් නිසා ඔවුන්ට දෙල්කඳ ප්‍රදේශයේ තිබුණු ඉංජිනේරු වැඩපොලකදී මේ රථයේ චැසිය ඉදි කර ගන්න පුළුවන් වුණා. එතෙක් පරිගණක සැලසුම් වලට විතරක් සීමා වෙලා තිබුණු මේ මෝටර් රථය සැබෑවක් වුණේ එදා ඉඳන්. ඊට පස්සේ මේ ව්‍යාපෘතියේ වටිනාකම දැක්ක ඩීමෝ (DIMO) හෙවත් ඩීසල් සහ මෝටර් ඉංජිනේරු සමාගම කණ්ඩායම සඳහා පුර්ණ අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වීමත් එක්ක ටීම් ෂාක් කණ්ඩායමට ඉතා පහසුවෙන් ඉතිරි වැඩකටයුතු ටික කරගෙන යන්න පුළුවන් වුණා. මේ සැරේට විතරක් නෙවෙයි, තවත් අවුරුදු පහක් පුරාවට ටීම් ෂාක් වෙත අනුග්‍රහය දක්වන්නත් ඔවුන් පොරොන්දු වී තිබෙනවා.
ඒ අනුව ටීම් ෂාක් පිරිස 600CC ධාරිතාවයේ CBR මෝටර් බයිසිකලයක එන්ජිමක් සහ ඩිෆරන්ශල් එකක් ආනයනය කරලා මෝටර් රථය ඉදි කරන්න පටන් අරගෙන තියෙනවා. අනෙක් සියලු කොටස් ලංකාවේදීම නිර්මාණය කෙරුණා. පසුව ඒ සියලු කොටස් එකලස් කරලා මෝටර් රථය සම්පූර්ණ කළාට පස්සේ ධාවන පථ වල සිදු කෙරුණු පර්යේෂණ වලිනුත් රථයේ ධාවන යෝග්‍යතාව තහවුරු කර ගත්තා.
ඉදිරිපත් වුණු මුල් වටයෙන්ම අත්දැකීම් සහ සම්පත් බහුල කණ්ඩායම් රාශියක් හමුවේ ටීම් ෂාක් ලබා ගත් ජයග්‍රහණ ඇත්තටම පුදුම සහගතයි. අලුතෙන් ආවා කියලා ඔවුන්ට එංගලන්තයේදී කිසිම විශේෂ සැලකිල්ලක් ලැබුණේ නැහැ, ඔවුන් සතුව තිබුණේ ඩීමෝ මග පෙන්වීම සහ තමන් විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත් ඉංජිනේරු දැනුම විතරයි. ඔවුන් කවුරුත් මීට පෙර සිල්වස්ටන් ධාවන පථය දැකලාවත් තිබුණේ පරිගණක ක්‍රීඩා වලින් විතරයි. ඉතින් එහෙම එකේ කාලයක් තිස්සේ සිල්වස්ටන් පිටියේ පුරුදු පුහුණු වුණු අයව පරදලා හොඳම රියදුරාට හිමි සම්මානය ටීම් ෂාක් වෙත ලැබුණා කියලා හිතන්න පුළුවන්ද? ශ්‍රී ලාංකිකයන් සතු අසහාය හැකියාවට තව මොන කතාද..
ටීම් ෂාක් එකේ අලෙවිකරණ අධ්‍යක්ෂක අමිත් මුදුන්ගමුව මේ අත්දැකීම ගැන Roar අපිට කිව්වේ මෙහෙමයි.
“මේක අපි කාටත් අමතක නොවන අත්දැකීමක්. මෝටර් රථ ඉංජිනේරු විද්‍යාවේ අලුත්ම තාක්ෂණික කටයුතු අපිට දැක ගන්න ඉඩ ලැබුණා. අපිට වඩා අත්දැකීම් බහුල කණ්ඩායම් හමු වෙලා ඔවුන් තමන්ගේ මෝටර් රථ පියවරෙන් පියවර වැඩිදියුණු කරපු විදිහ ගැන වටිනා තොරතුරු ලබා ගත්තා. ෆෝමියුලා – වන් රේසින් තරඟ වලට දායකත්වය දෙන දක්ෂතම ඉංජිනේරුවන් හමු වෙලා ඔවුන් එක්ක සුහදව කතා කරන්න, දැනුම ලබා ගන්න තරම් අපි හරිම වාසනාවන්ත වුණා.”
ටීම් ෂාක් මේ කළේ එක වරකින් අවසන් වෙන වැඩක් නෙවෙයි. පුංචි රටකින් ඇවිත් ලොකු තරඟාවලියකට අලුතෙන්ම සහභාගී වෙලා ලෝකයම පුදුම කරවපු මොරටුව විශ්වවිද්‍යාලය 2016 අවුරුද්දේ එකතු කර ගත්තු හැම අත්දැකීමකින්ම පොහොසත් වෙලා 2017 වසරේ පැවැත්වෙන තරඟයටත් දැන් ඉඳන්ම සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් නිර්මාණය වන දෙවන මෝටර් රථය මෙවරටත් වඩා හැම අතින්ම පිරිපුන් තාක්ෂණික විප්ලවයක්ම වේවි. 2017 සිල්වස්ටන් පිටියේ තවත් හොඳින් තරඟ වදින්නත්, තව තවත් ජයග්‍රහණ ලබන්නත් ඔවුන්ට සුභ පතන්න රටේ කවුරුත් එකතු වේවි කියා අපි විශ්වාස කරනවා.
තවත් දෙයක් කියන්නම ඕන. කැම්පස් ළමයි කරන උද්ඝෝෂණ ගැන මහා ඉහළින් තොරතුරු කියන, අඩු පාඩු අල්ලාගෙන කෑ මොර දෙන ලංකාවේ ජනප්‍රිය මාධ්‍ය කිසිවක් ටීම් ෂාක් කණ්ඩායමේ අතිවිශාල ජයග්‍රහණයට මාධ්‍ය ආවරණයක් දුන්නේ නැහැ. හැම තැනටම කැමරා අරගෙන ගියත් මේ සිසු පිරිස ගුවන් තොටුපළෙන් එද්දී ඒ මාධ්‍ය ආයතන කවුරුත් හිටියේ නැහැ. සමහර විට කවුරු හරි වේදිකාවක නැගලා කෑ ගහන එක තරම් අපේ මාධ්‍ය වලට මේ ළමයි වැදගත් නැතිව ඇති.
ඒ නිසා මේ ගැන හැකිතාක් දෙනා දැනුවත් කරලා ලබන අවුරුද්දේ ටීම් ෂාක් පිරිස අලුත් කාර් එකක් අරන් එංගලන්තයට යද්දීවත් මීට වඩා ඔවුන්ට සහයෝගයක් ලබා දෙන්න, ඔවුන්ව දිරි ගන්වන්න ඔබේ දායකත්වයත් ලබා දෙන්න. තමන් මහන්සි වෙලා, කාලය කැප කරලා කරන දේවල් වලට ලැබෙන අගය කිරීම ඒ ළමයින්ට විශාල පිටිවහලක්. මේ වගේ දක්ෂ සිසුන් පිරිසක් අධෛර්යමත් වුණොත් රටට වෙන පාඩුව කියන්න බැහැ. එහෙම මොට වෙලා ගිය අපේ රටේ දක්ෂයන්ට උදාහරණ ඕන තරම් තියෙනවා. ඒ නිසා දැන්වත් අපේ රටේ සහයෝගය දිය යුත්තාට සහයෝගය දෙන්න කියලා රටේ හැම දෙනාගෙන්ම ඉල්ලා සිටින ගමන් Roar අපිත් ටීම් ෂාක් පිරිසට ඉත සිතින්ම සුභ පතනවා.
පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ