වර්තමානය වන විට ශ්‍රී ලංකාව පුරා කිරිපිටි පිළිබඳව කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. ආරක්ෂාව හා පෝෂණය වැනි අංශ සලකා බලන කලිහි නැවුම් එළකිරි ලබාගැනීම වඩා උචිත බැව් අවිවාදිත මුත් ශ්‍රී ලංකාව වැනි මධ්‍යම පාන්තිකයින් බහුල රටවල එවැන්නකට සම්පූර්ණයෙන් අනුගත වීමේ ගැටළු තිබෙනවා. ඇත්තෙන්ම කිරිපිටි කරළියට පැමිණ ඇත්තේ වඩා පහසුවෙන් පරිහරණය කිරීම හා සාපේක්ෂව ලාභදායී නිසා යි. මේ තත්ත්වය නිසා සමහරු ‘දේශීය කිරිපිටි පමණක්’ හොඳ බව ද පවසනවා. මේ පිළිබඳ නිෂ්චිත නිගමනයකට පැමිණෙන්නට නම් සෑම අතකින්ම මේ ගැටළුව පිළිබඳව විශ්ලේෂණය කළ යුතු වෙනවා. මේ පිළිබඳ ඇත්ත නැත්ත කුමක් ද කියා විමසා බලන්නට අප තීරණය කළේ ඒ නිසා යි.
මොනවද මේ පිටිකළ කිරි?
පිටිකළ කිරි නිපදවෙන්නේ ස්වභාවික ක්ෂීරය පිටි බවට පත් කිරීමෙනුයි. මේ සඳහා යොදාගැනෙන ක්‍රමවේදය ‘විසිර වියලනය’ ලෙස හැඳින්වෙනවා. මෙහිදී කිරි කුඩා බිඳිති ලෙස කුටීරයකට විසිරුවා හැරෙන අතර එහි පවතින ඉහළ උෂ්ණත්වය හා අඩු සාපේක්ෂ ආර්ද්‍රතාව හේතුවෙන් එම බිඳිතිවල ජලය වාෂ්ප වී යනවා. සාමාන්‍ය එළගව ක්ෂීරයෙහි 87%-88%ක් පමණ වූ ජලය එනයින් ඉවත් වන අතර එහි ඝණ කොටස පිටි ලෙස ප්‍රතිඵල වෙනවා. බොහෝ විට මේ ක්‍රියාවලිය සිදුවන කුටීරයෙහි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 175ක් තරම් වන අතර තත්පර 20කින් පමණ මෙම ක්‍රියාවලිය සිදුවනවා.
පිටිකිරිවල වාසි
දෙවන ලෝකයේ හා තෙවන ලෝකයේ රටවල දියර කිරි පරයා කිරිපිටි ජනප්‍රිය වෙන්නට හේතු කිහිපයක් බලපා තිබෙනවා. ලිපියේ කලින් සඳහන් කළ පරිදි පහසුවෙන් පිළියෙල කරගැනීමට හැකි වීම හා පහසු මිලට මිල දී ගත හැකිවීම ඉන් ප්‍රධානතම හේතු දෙකක් වෙනවා.
ක්ෂීරය ඉතාමත් නරක්වෙන සුළු යි. එයට හේතු වන්නේ අධික තෙතමනය හා පෝෂකවලින් බහුල වීම යි. පැස්චරීකරණය කර හෝ ජීවානුහරනය කර යම්තාක් දුරකට කල්තබාගත හැකි වුව ද ප්‍රායෝගිකව භාවිත කිරීමේ දී ඒවා නැවත බැක්ටීරියාවලින් ආසාදනය වීමේ, හා ඒ හේතුවෙන් නරක් වීමේ ඉතා වැඩි ඉඩකඩක් පවතිනවා. මේ හේතුවෙන් පිටිකළ කිරි ඉතා පහසුවෙන් ගබඩා කරගත හැකියි, එමෙන්ම බර අනුව සලකන විට ආසන්න වශයෙන් දියර කිරි ලීටරයක් පිටි කිරීමේ දී ප්‍රතිඵල වන කිරි පිටි උක්ත දියර කිරිවල බර මෙන් අටෙන් පංගුවක් පමණ වෙනවා. පරිමාණය සැලකීමේ දී එය අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණයත් ඉතාමත් අවම වෙනවා. මේ නිසා ප්‍රවාහන වියදම් පවා අවම වෙනවා. ප්‍රතිඵලය වන්නේ ඉතා අඩු පිරිවැයකින් වැඩි කිරි ප්‍රමාණයක් විකිණීමට හැකි වීම යි.
පිටිකිරිවල අවාසි
දියර කිරි පිටි බවට පත් කිරීමේ දී වාසි මෙන්ම අවාසි ද රාශියක් සිදුවෙනවා. ඉන් ප්‍රධානතම කාරණාව වන්නේ විසිර වියලන ක්‍රමවේදයේ දී කිරිවල අඩංගු මේද අම්ලවල ගුණ හානි වීමේ හැකියාව යි. ගව ක්ෂීරයෙහි ආසන්න වශයෙන් 3%ක පමණ මේද ප්‍රතිශතයක් ඇති අතර, අධික උෂ්ණත්වය හමුවේ මේවා දුස්සභාවීකරණයට ලක් වීම හෝ ඔක්සිකරණයට ලක්වීම විය හැකියි. තවමත් නිසි ලෙස පර්යේෂණ පවත්වා තහවුරු කර නැතත්, සෛද්ධාන්තිකව එවැන්නක් වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මෙලෙස ඔක්සිකරණයට ලක්වූ මේද අම්ලවලින් පිළිකා ඇතුළු තවත් සෞඛ්‍යමය ගැටළු රාශියක් උද්ගත වීමේ හැකියාවක් පවතිනවා.
මේද අම්ලවලට අමතරව දියර කිරි පිටි බවට පත් කිරීමේදී අනෙකුත් පෝෂකවල ද සුළු වශයෙන් ගුණ හානි වුවත් ඒවා සැළකිය යුතු මට්ටම්වලින් හානි වන බව තවමත් නිසියාකාර අධ්‍යයනයකින් සොයාගෙන නැහැ. මෙලෙස හානිවන පෝෂක අතර විටමින වැනි දේ තිබෙනවා. කෙසේ නමුත් පිටිකළ කිරිවල රසය නම් දියර කිරිවලට සාපේක්ෂව පවතින්නේ පහළ මට්ටමක යි.
දේශීය කිරිපිටි හා විදේශීය කිරිපිටි
ශ්‍රී ලංකාවේ වර්තමානයේ නිතරම පැවසෙන තවත් කාරණාවක් වන්නේ ගැටළුව පවතින්නේ විදේශීය කිරිපිටිවල පමණක් බව යි. විශේෂයෙන් ඩී.සී.ඩී අන්තර්ගත වීම හා නොවීම මේ සාකච්ඡාවන්ගේ මූලික වස්තු බීජය කරගෙන ඇති නමුත් ගැටළු සහිත තැන වන්නේ අනෙකක්. ඇත්තෙන්ම විශාල ප්‍රමාණවලින් ශරීරගත නොවුවහොත් ඩී.සී.ඩී බොහෝ දෙනා සිතන තරම් සෞඛ්‍ය ගැටළු ඇති කරවන්නේ නැති බව ඇතැම් පර්යේෂණයන් මඟින් පෙන්වා දෙනවා. කිරිපිටි භාවිතයේ ‘ආරක්ෂාකාරීභාවය’ මැනීමේ දී එම කාරණාව බැහැර කළ යුතු වන්නේ, ඩී.සී.ඩී ඇතත්, නැතත්, පෝෂණය අතින් දේශීය හා විදේශීය කිරිපිටි යන දෙවර්ගයම එකම කුලකයෙහි ලා සැලකිය යුතු නිසාවෙන්.
දේශීය හෝ විදේශීය වේවා පිටි කළ කිරිවල මේ ලිපියෙහි ඉහත සඳහන් කළ අවාසි සියල්ලම අන්තර්ගත වෙනවා. මේ නිසා හැකිතාක් කුමන හෝ වර්ගවල කිරිපිටිවලින් වැලකී දියර කිරි පානයට හුරුවීම සෞඛ්‍ය අතින් වඩාත් වාසිදායක වෙනවා.
ඇත්තෙන්ම ගව ක්ෂීරය අත්‍යවශ්‍ය ද?
සමාජයේ පවතින තවත් දුර්මතයක් වන්නේ නිසි පෝෂණයක් ලබාගැනීමට නම් ගව කිරි පානය අත්‍යවශ්‍ය බව යි. ඇත්තෙම එය සත්‍යයෙන් තොර දෙයක්. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා උදෑසන අවදි වී ‘කිරි කෝප්පයක්’ බොන්නට ඇබ්බැහි වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ විශාල සීනි ප්‍රමාණයක් ශරීරගත වීම මෙන්ම උදෑසන ආහාරය ද නිසියාකාරව ලබාගත නොහැකි වීම යි. මෙය දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටළු රැසකට මගපාදනවා. කිරි වීදුරුවකින් ලබන පෝෂණයට වඩා පෝෂණයක් ලබාගත හැකි ආහාර වර්ග ලොව කොතෙකුත් තිබෙනවා.
කුඩා දරුවන් විෂයෙහි ගව කිරි ලබාදීම ඉතා නුසුදුසු වෙනවා. විශේෂයෙන් මාස 6ට අඩු දරුවන්ට ගව කිරි ලබාදීම ඔවුන්ගේ ඉදිරි ජීවිතයටම බලපෑම් එල්ල කළ හැකියි. මානව ක්ෂීරය නිපදවෙන්නේ මානව දරුවෙකුගේ වර්ධනයට සරිලන පෝෂක අන්තර්ගතව වන අතර ගව ක්ෂීරය නිපදවෙන්නේ ගව පැටවෙකුගේ උන්නතිය හා වර්ධනය උදෙසා යි. ඒ ඒ ක්ෂීරයෙහි සංයුතිය සලකා බැලීමේ දී ද ගව ක්ෂීරය පැටවෙකුගේ මාංශපේෂී වර්ධනය වීම සඳහා වැඩි නැඹුරුවකින් යුක්තවත්, මානව ක්ෂීරය මොළය ඇතුළු සනායු පද්ධතියේ විකසනයට වැඩිමනක් උරදීම සඳහාත් නිර්මිත වන බැව් හඳුනාගත හැකියි.
කරුණු කාරණා සලඛා බැලීමේ දී පෙනී යන්නේ දේශීය හෝ විදේශීය වේවා ඕනෑම පිටි කළ ගව කිරි වර්ගවලින් වැළකීම නුවණට හුරු බව යි. ඊට අමතරව කුඩා දරුවන්ට මොනයම් ආකාරයකින් ගවකිරි ලබාදීමෙන් වැළකීම ද සුදුසු වෙනවා. මාස 6ක් යනතුරු මවුකිරි පමණක් ලබාදීමත් ඉන් පසු වසර 2-3ක් ගතවන තුරු දරුවාට මව්කිරිත් සමග වෙනත් ආහාර ලබාදීමත් වෛද්‍යවරු නිර්දේශ කරන ක්‍රමවේදය වෙනවා.