රට වට කර සාගරය යි
එහි සම්පත් ආකරය යි
පිටින් මාළු රටට ගේනව ඕයි..!
මේ දීපාල් සිල්වාගේ සුමියුරු ගීයකි. රට වටකර ඇති සාගරයෙන් අපට මසුන් ලබාගැනීම මෙන්ම තවත් ප්‍රයෝජන රාශියක් ගත හැකි ය. එයින් එක් ප්‍රයෝජනයක් ලෙස විදුලිය නිපදවීම දැක්විය හැකි ය. සාගරයේ නැගෙන රළ ආධාරයෙන් විදුලිය නිපදවීම විදුලි බලය සොයාගත් කාලය දක්වාම දිවයන ඉතිහාසයක් ඇති කරුණකි.
සාගර ජලයෙන් විදුලිය නිපදවීමේ වාසි
ගල් අඟුරු හෝ ද්‍රව ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවීමේ දී ඒවාට දිනපතා විශාල පිරිවැයක් දරන්නට සිදු වේ. එසේම ගල් අඟුරු සහ ඉන්ධනවලින් සැලකිය යුතු පරිසර හානියක් ද සිදු වේ. එහෙත් මුහුදු වෙරළේ හැපී බිඳී යන රළ මඟින් විදුලිය නිපදවීමේ දී එවැනි විශාල පරිසර හානියක් සිදු වන්නේ නැත. රැළි මඟින් වැඩකරන බලාගාර වෙරළ මත සවිකිරීමේ දී වෙරළට යම් කිසි හානියක් සිදු වුව ද ඉන්ධන දහනයේ දී මෙන් විශාල අහිතර වායු මුදාහැරීමක් සිදු වන්නේ නැත.
සාගර රළින් විදුලිය නිපදවීමේ සීමාවන්
විදුලිය නිපදවීමේ දී සිදුවන්නේ එක් ශක්ති ප්‍රභවයක් විදුලි ශක්තිය බවට පත් කිරීම යි. ජල විදුලිය ලබාගැනීමේ දී විශාල ජලාශවලට එක්රැස් කරගන්නා ජලය මඟින් පෙති කැරකීමෙන් විදුලිය ලබාගත හැකි ය. එහිදී ජලයේ වේගය සකසා ගත හැකි අතර අවශ්‍ය පරිදි පාලනය කර හැකි ය. ඉන්ධන දහනය කර විදුලිය නිපදවීමේ දී ද ශක්ති ප්රභවය අපට පාලනය කරගත හැකි ය. එහෙත් රළ බලයෙන් විදුලිය නිපදවීමේ දී රළ ගෙඩි පාලනය කරගත නොහැකි ය. පැයක දෙකක ස්වල්ප කාලයේ දී පවා රළේ වේගය උස් පහත් වෙන ආකාරය, දිශාව ආදිය වෙනස් වේ. ඒ අනුව විශාල ශක්තියක් සාගර රැළිවල අඩංගු වුව ද එම ශක්තිය විදුලිය බවට උකහා ගැනීම තරමක සංකීර්ණ ක්‍රියාවලියකි.
සාගර ජලයෙන් විදුලිය නිපදවිය හැකි ආකාර
හුලං පෙති කැරකීමෙන් – රළ ගහන වේගයට කැරකෙන පෙති මඟින් විදුලිය නිපදවා ගත හැකි ය.
උදම් රළ බාවිතයෙන් – චන්ද්‍ර බලපෑම නිසා දිනයේ යම් කාලයක දී සාගර ජලයේ මට්ටම ඉහළ නගී. එලෙස ඉහළ නගින සහ පහළ යන කාලයේ ඇතිවන වෙනස මඟින් විශාල ජල තලාවලට ජලය පුරවාගෙන, ඒ මඟින් විදුලිය නිපදවීම උදම් රළ මඟින් විදුලිය නිශ්පාදනය වේ. මෙගාවොට් 250 බැගින් වූ එවන් බලාගාර දෙකක් ප්‍රංශයේ සහ දකුණු කොරියාවේ ක්‍රියාත්මක වේ.
උස් පහත් වන බත්තල් ආධාරයෙන් – සාගර රළ මඟින් විදිලිය නිපදවීමේ වඩාත් ජනප්‍රියතම ක්‍රමය මෙය වේ. මෙහිදී සාගර ජලය මත පාවෙන විශාල බත්තල්වල උස් පහත් වීම මඟින් ඩයිනමෝ කරකවා විදුලිය නිපදවාගනු ලැබේ.
කොයිල් මාර්ගයෙන් – විශාල තඹ දඟරයක් මැද චුම්බකයක් ඉහළ පහළ යන විට කුඩා විදුලියක් ජනනය වන බව විදයුතයේ මූලික සංකල්පයක් වේ. ඒ අනුව පාවෙන ලෙස සකස් කළ දඟරයක් මඟින්, ජලයේ උස්පහත් වීම් අනුව උස් පාත් වෙන චුම්බයකයක් මඟින් විදුලිය නිපදවීය හැකි ය. එය ද ලොව පුරා රටවල් කිහිපයකම අත්හදා බලා තිබේ.
නියුමැටික් තාක්ෂණයෙන් වායු පීඩනය ආධාරයෙන් – මුහුදු රළ උස් පහත් වනවිට ඒ අනුව උඩ පහළ යන බත්තලකට නියුමැටික් සිලින්ඩර සවිකර තිබේ. ඒවායේ ආධාරයෙන් බයිසිකල් පොම්පයකින් හුලං ගහනවා වැනි ක්‍රමයකට පීඩනයට ලක් වූ වාතය එක්කාසු කරගත හැකි ය. මෙලෙස වාතය එකතු කරගෙන, ඒ පීඩනයට ලක් වූ වාතය ආධාරයෙන් ජෙනරේටර් කරකවා විදුලිය නිපදවා ගත හැකි ය. මෙය රුහුණු විශ්ව විද්‍යාලයීය ඉන්ජිනේරු සිසුන් දෙපලක් විසින් අත්හදා බලා තිබේ.
රුහුණු සිසුන්ගේ විදුලි නිපදවීමේ ක්‍රමය
ඔවුන් බැරලයක් වැනි පාවෙන උපාංගයක් ඉහළ පහළ යන ආකාරය අනුව පීඩනයට ලක් වූ පිස්ටන් හරහා වාතය එකතුකරගෙන තිබේ. මෙහිදී ඇටවුම මුහුදේ ගිල්වා ඇති අතර රැළි ඉහළ පහළ යන විට කුඩා සිලින්ඩරයකට සම්පීඩනයට ලක් වූ වාතය ගබඩා කරගන ඇත. මේ අනුව ඒ රැස්කරගත් සම්පීිඩිත වාතය මඟින් විදුලිය නිපදවාගත හැකි ය.
රුහුණු විශ්ව විද්‍යාලයයේ ඒ එම් සී පී අත්තනායක සහ එච් එස් පී එම් ධර්මප්‍රිය යන සිසුන් දෙදෙනා විසින් මෙම පරීක්ශණය සිදුකර තිබුණි. එහිදී මුහුදු රළ මඟින් විදුලිය ලබාගත හැකි ක්‍රම කිහිපයක්ම ඔවුන් සලකා බලා තිබූ අතර මෙම නියුමැටික් ක්‍රමය වඩාත් සුදුසු බව ඔවුන් ගණනය කිරිම්වලින් තහවුරු කරගෙන තිබුණි. කාලයක් තිස්සේ පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු කර ඔවුන් මෙම සැකැස්මෙන් කොටසක් ගින්තොට මුහුදු තීරයේ දී අත්හදා බලා තිබුණි.
වැඩිදියුණු කිරීම්
මෙම ක්‍රමය පරික්ෂණයක් වශයෙන් සිදුකළ ද වාණිජ්‍යමය අතින් සාර්ථක වන්නට තවත් පරීක්ෂණ සහ අත්හදා බැලීම් රැසක් කළ යුතුව තිබේ. එසේම සාගර ජලයෙන් විදුලිය නිපදවීමේ තවත් අවස්ථා ගණනාවක් ඇති අතර ඒවා ගැන ලොව පුරා පර්යේෂණ ගණනාවක් සිදුකර තිබේ. අප රට ඝර්ම කලාපීය රටකි. අපේ රටේ නැගෙනහිර වෙරළේ ඇතැම් කාලවල මිනිසාටත් වඩා උස රළ ගෙඩි වෙරළේ හැපී බිදී යයි. රටේ සිසුන් මෙන්ම විද්‍යාඥයින්, ව්‍යාපාරිකයින්, විදුලි බලධාරින් එකතු වී පර්යේෂණ කළහොත් අපට කුඩා බලාගාරයක් දෙකක් හෝ මුහුදු ජලයේ බලයෙන් ක්‍රියාත්මක කළ හැකි වනු ඇත.