Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අටසිය වසක් මුළුල්ලේ ජීවය රැඳි කාන්තාර බලකො‍ටුව

ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තයේ හුදෙකලා බටහිර කොනට වන්නට තාර් කාන්තාරයෙන් වටව, රන් පැහැයෙන් බැබළෙන මහා බලකො‍ටුවක් ත්‍රිකූඨ කඳු ගැටය මත තට්‍ටු 20ක් තරම් උසට නැගී සිටිනවා. වර්ෂ 1156 ආරම්භයේ රාජ්පුත් රජ රාඕ ජායිසල් විසින් තැනුණු මේ මධ්‍යකාලීන බලකො‍ටුව, අද ලෝ පතලව ඇත්තේ ‘ජායිසල්මේර් බලකො‍ටුව’ යන නමින්. 

ජායිසල්මේර් බලකො‍ටුව වටබැමි 3කින් ද, මහා ද්වාරයන් 4කින් ද, මුර අට්ටාලයන් 99කින් ද සමන්විත මහා නිර්මාණයක්. රන් පැහැ වැලිගලින් බඳවා ඇති එකම රාජස්ථානි බලකො‍ටුව මෙය නිසා අදටත් එය “රන් බලකො‍ටුව” යන නාමයෙන් හැඳින්වෙනවා. 

කොටුව ඇතුළත විථියක් (outlookindia.com)

ජායිසල්මේර් විශේෂිත වන්නේ ඇයි? අදටත් මිනිසුන් ජීවත්ව සිටින එකම ඉපැරණි ඉන්දියානු බලකො‍ටුව මෙය යි! 

ගොඩනැගීමෙන් වසර 800කටත් පසු

බලකො‍ටුව තැනූ රජුන්, එය පාලනය කළ සමයේ රජුට උපදේශකකම් කළ ගුරුන්, පුරෝහිතයින් ආදී දෙනාට බලකො‍ටුව තුළ නිවෙස් සහ බිම්කොටස් ප්‍රදානය කෙරී තිබුණා. බලකො‍ටුව තනා වසර 800කට වඩා කලක් ගතවීමෙන් පසුවත්, එදා රජුන්ට සේවය කළ ඒ පුරෝහිතයින් සහ ගුරුන්ගෙන් පැවැත එන්නන් 2000 – 4000 අතර ප්‍රමාණයක් අදටත් කො‍ටු බැම්මෙන් ඇතුළත ජීවත් වන්නේ කිසිදු බිම් කුලියක් නොගෙවා යි. ඔවුන් වසන ඉඩම් එකල ඔවුන්ගේ මුතුන්මිත්තන්ට ඔවුන්ගේ සේවයට ගෙවීම් වශයෙන් නීත්‍යානුකූලව පවරා දුන් ඒවා වීම නිසා යි ඒ. 

රජුන්ට සේවය කළවුන්ගෙන් පැවැත එන්නන් අදටත් බලකොටුව තුළ වෙසෙනවා. (Ursula’s Weekly Wanders)

එකම පවුල්

බලකො‍ටුව තුළ වසන්නන්ගෙන් එකම පෙළපත් නාමය ඇත්තන් බොහෝ විට එකම නාමය ඇති වෙනස් පවුල් නොව එකම මුතුන්මිත්තන්ගෙන් පැවතෙන්නන් බවට සැලකෙනවා. කො‍ටුව තුළ වසන්නන් වැඩිදෙනා බ්‍රාහ්මීන් (එනම් දරන පූජකයින්ගේ කුලය) හෝ රාජ්පුත්වරුන් (පැරණි ඉන්දීය හින්දු රණශූරයින්ගේ කුලය). බ්‍රාහ්මණ වංශිකයින් ව්‍යාස් හෝ පුරෝහිත් වැනි පෙළපත් නාමයන් දරන අතර බහුතර රාජ්පුත්වරුන්ට ඇත්තේ භට්ටි, ර‍තෝර්, හෝ චෞහාන් වැනි නාමයන්. ඔවුන් සිය පෙළපත් නාමයන් අදටත් භාවිතා කළත්, සිය මුතුන්මිත්තන් යෙදුණු ‍රැකියාවන්හි යෙදෙන්නේ නැහැ. 

මෙහිම ඉපදුණු බොහෝ දෙනා තවමත් මෙහිම වෙසෙන අතර, දශක කීපයක් තිස්සේම සිය නිවෙස්වල කොටස් වෙළඳසැල්, කැෆේ ආකාරයේ තේපැන්සල්, හෝ තානායම් බවට හරවාගෙන මෙහි පැමිණෙන සංචාරකයින්ගේ වියදම සිය ජීවිකාව කොටගෙන සිටිනවා. 

වෙළඳසැල් (eleday.in)

එකිනෙකා හා බැඳුණු සමාජයක් 

ජායිසල්මේර් බලකො‍ටුවාසීන් සිය සමාජය දකින්නේ එකම පවුලක් ලෙසින්. ඔවුන්ට අනුව නම් ඔවුන්ගේ මේ පවුලේ මායිම ඇ‍ඳෙන්නේ බලකො‍ටුවේ ගේට්‍ටුවෙන් ඔවුනුත් නගරයත් වෙන් කෙරෙනා ස්ථානයේ දී යි. මඟුලක් වුවත් මරණයක් වුවත්, කිසිවෙකුටත් විශේෂයෙන් ආරාධනා පත්‍රයන් යැවීමේ සිරිතක් මෙහි නැහැ. බලකො‍ටුව තුළ කාගේ කුමන උත්සවයට වුව ද ඔවුන් සහභාගී වන්නේ, සහාය දක්වන්නේ එකා මෙන්. 

සේද මාවතේ රාජ්පුත් බලකො‍ටුව 

දොළොස්වැනි සියවසේ තැනුණු ජායිසල්මේර් රාජධානිය 16 – 18 සියවස් අතර සිය ස්වර්ණමය යුගයට එළැඹුණේ ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, තුර්කිය, සහ ඊජිප්තුව හරහා චීනය යුරෝපයට සම්බන්ධ කළ සේද මාවතේ වැදගත් මධ්‍යස්ථානයක් බවට පෙ‍රැළීම සමග යි. සේද, වටිනා මැණික්, කුළුබඩු, සහ තේ පුරවාගත් ගැල්, රාත්‍රිය එළඹෙද්දී ජායිසල්මේර්හි නවාතැන් ගැනීම එකල සාමාන්‍ය සිරිතක් වුණා. වෙළඳුන්ගේ අවශ්‍යතාවන් සපිරීමට කුඩා නවාතැන්පොළවල සිට විශාල මන්දිර (හවේලි) ද, හින්දු පන්සල් ද බලකො‍ටුවෙන් පිටතත්, ඇතුළතත් තැනුණා. 

කොටු ද්වාරය අසල අබරණ විකුණන කාන්තාවක් (Vivid Photography)

එයින් වසර සිය ගණනකට පසු වර්තමානයේ ඉතිරිව ඇත්තේ ඉපැරණි සේද මාර්ගය දෙපස පිහිටි ගරාවැ‍ටුණු ගම්මානත්, විශේෂ නැවතුම් සලකුණු කළ ගල්කණුත්, කාන්තාරය පුරා විසිරි බලකො‍ටුත් පමණ යි. නමුත් අදටත් පෞරාණික ජායිසල්මේර් බලකො‍ටුව කරා විනෝදයත්, විඩා නිවීමත් පතා ඇදෙන සංචාරකයින්ගේ නිමක් නැහැ. 

කොටුව තුළ වෙළඳසැල්. ඉතාලි ආපනශාලවකට මඟ පෙන්වන දැන්වීමක් පින්තුරයේ ඉහළ වමේ දැකගන්නට පුළුවන්. (American India Foundation)

2013 වර්ෂයේ දී ජායිසල්මේර් ද ඇතුළු කඳුකර රාජස්ථානි බලකොටු 6ක් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කෙරුණා. සෑම වසරකම පාහේ රාජස්ථානයට සිසිරය එළඹෙන නොවැම්බර්- පෙබරවාරි අතර සමයේ සංචාරකයින් ලක්ෂ 6ක් පමණ මෙම බලකොටුවත්, ඒ අවට ඉතිරිව ඇති නටබුනුත් නරඹන්නට පැමිණෙනවා. ඔවුන් පිළිගන්නට ජායිසල්මේර් බලකොටුවාසීන් සැදී පැහැදී සිටින්නේ රජස්ථානයට ආවේණික වූ ආහාර, සම නිෂ්පාදන, ලාභ අබරණ, සහ හස්ථ කර්මාන්ත නිපැයුම් ද සමගින්. එදා තිබූ ශ්‍රී විභූතිය අද එහි නැතත්, ජායිසල්මේර් බලකො‍ටුවේ සංචාරයේ යෙදෙන්නේ නම්, සේද හා මැණික් කෙසේ වෙතත් ඔ‍ටු සමින් තැනූ ඉස්තරම් අත්බෑගයන්ගේ සිට වර්ණවත් තලප්පා, ගෙත්තම් කළ තිර, සහ දරුඵල ඇති කරවන බව කියන ‘මැජික් වියාග්‍රා ඇඳරෙදි’ පවා ඔබට මිළට ගත හැකියි.

ජායිසල්මේර් (On the Go Tours)

ජායිසල්මේර් තැනූ රජුන් අද එහි නැතත්, වරක් දියුණුවේ ඉහළම හිණිපෙත්තට පිවිස වරක් විනාශයෙන් පහතම අගාධයට ඇද වැටුණත්, මේ බලකොටුව අදටත් ජීවයෙන් සහ ජීවිතයෙන් පිරි ස්මාරකයක්.

මූලාශ්‍රයයන්:

BBC වෙබ් අඩවියේ පළවූ ‘A UNESCO castle where families live rent-free’ ලිපිය සහ ලෝක ස්මාරක අරමුදලේ මෙම මාතෘකාව යටතේ පළවූ ලිපිය අලළා ලියැවිණි. 

කවරය: yatra.com

Related Articles