Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා නිසා වෛද්‍යවරයෙකු ලෙස සේවයට යන අයර්ලන්ත අගමැතිවරයා

නව කොරෝනාවෛරසය මේ වන විට ලෝකයේ රටවල් 190කට වැඩි ප්‍රමාණයකට පැතිර ගොස් අවසන්. මුලින්ම චීනය කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වූ වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට මේ වන විට පත් වී තිබෙන්නේ, ඉතාලිය හා ස්පාඤ්ඤය කේන්ද්‍ර කරගත් යුරෝපය යි. එම රටවල් දෙකෙන් චීනයෙන් වාර්තා වූ මරණ ප්‍රමාණයටත් වඩා වැඩි මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. ඊට අමතරව, අනෙක් සියලුම යුරෝපා රටවල්වලින් ද මෙම වෛරසයේ ආසාදිතයන් වාර්තා වෙනවා.

යුරෝපය හැරුණු කොට ඇමෙරිකාව ද වෛරසයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරනවා. මුළු ලෝකයේ සියලු රටවල් අතරින් මේ වන විට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. ඒ වගේම මේ වන විට එක්දින මරණ වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. ඒ හේතුවෙන් මේ වන විට වෛරස් ව්‍යාප්තියේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය පත් වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. ඇමෙරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය හා චීනය ඇතුළු මේ වන විට මුළු ලෝකයෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් මරණයට පත් වී ඇති ප්‍රමාණය 70,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් මත ලෝකයේ සියලු රටවල් පාහේ තම දේශසීමා වසා දැමීමටත්, ගුවන් ගමන් හා නාවික ගමන් සම්පූර්ණයෙන් නවත්වා දැමීමට හෝ සීමා කිරීමටත්, මුළු රටම හෝ වසංගතය ව්‍යාප්ත වන රටේ කොටස් වසා දැමීමටත් (Lockdown), ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් මෙන්ම හැකි තරම් ජනතා ඒකරාශී වීම් වැළැක්වීමටත් කටයුතු කරමින් සිටිනවා. එලෙස ක්‍රියාමාර්ග නොගත් රටවලට ද මේ වන විට දරුණු අත්දැකීම්වලට මුහුණපෑමට සිදුව තිබෙනවා. ඒ, වෛරසය ප්‍රජාව හරහා පැතිරීමේ හෙවත් වෛරසයේ අධි අවදානම් හා වැඩිම හානියක් ගෙන දෙන උච්ඡතම අවස්ථාවට පැමිණීම එම රටවල දකින්න ලැබෙනවා.

නව කොරෝනා වෛරසය අයර්ලන්තයට බලපා ඇති ආකාරය 

3. 26 වන විට අයර්ලන්තයෙන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය (wikimedia)

මේ අතරවාරයේ නව කොරෝනාවෛරස වසංගතය සඳහා මුහුණ දීමේ අරමුණෙන් අයර්ලන්ත අගමැතිවරයා සිය පැරණි වෘත්තිය සඳහා නැවත පිවිසි ඇති බව වාර්තා වෙනවා. දේශපාලනයට පැමිණීමට ප්‍රථම වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ ඔහු, පසුගිය සතියේ නැවතත් එරට වෛද්‍යවරයෙකු ලෙස එරට ලියාපදිංචි වී තිබෙනවා. රටේ වෛද්‍ය ලේඛනයට තාවකාලිකව නැවතත් ඇතුළත් වී ඇති ඔහු, සතියකට එක් සේවා වැඩ මුරයක් ආරම්භ කිරීමට නියමිත බව එරට සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වන විට අයර්ලන්තයේ අවම වශයෙන් COVID-19 රෝගීන් 4,994ක් වාර්තා වී ඇති බව සඳහන් වෙනවා. ඒ අතරින් අසාදිත පුද්ගලයින් 158ක් මේ වන විට මියගොස් තිබෙනවා. එය බරපතල තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර තිබෙනවා. මාර්තු 28 සිට මුළු රටම වසා දමන ලද අතර, එය අප්‍රේල් 19 දක්වා පවතින බව එරට රජය නිවේදනය කර තිබෙනවා. මේ තත්ත්වය යටතේ අයර්ලන්ත පුරවැසියන්ට නිවසින් පිටවිය හැක්කේ අත්‍යවශ්‍ය වැඩ සඳහා පමණක් වෙනවා. අවශ්‍ය සැපයුම් මිලට ගැනීමට, ව්‍යායාම කිරීමට හෝ අවදානමට ලක් වූවන් රැකබලා ගැනීමට පමණක් ඒ අනුව නිවසින් එළියට ගමන් කළ හැකි යි. මෙම නීති රීති කඩ කරන්නන් හට ඇමෙරිකානු ඩොලර් 2696ක දඩයකට හා මාස හයක සිර දඬුවමකට යටත් වීමට සිදුවෙනවා.

සෞඛ්‍ය සේවා විධායකයේ (Health Service Executive) ඉල්ලීම මත අගමැති ලියෝ වරද්කාර් (Leo Varadkar) සේවයට එක් වීම 

අගමැතිවරයා (thesun)

රට පුරා පැතිරී යන නව කොරෝනාවෛරස මර්දනය සඳහා අයර්ලන්තයේ සෞඛ්‍ය සේවා විධායකය (HSE) විසින් මීට සති දෙකකට ප්‍රථම එරට සේවයෙන් විශ්‍රාම ගත් සෞඛ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, තමන් සේවය කළ පැරණි සෞඛ්‍ය මධ්‍යස්ථානවල හෝ නව සෞඛ්‍ය මධ්‍යස්ථානවල වැඩ භාරගන්නා ලෙස යි. ඊට ප්‍රතිචාරයක් වශයෙන් අගමැතිවරයා ඇතුළු සේවය හැරගොස් සිටි සෞඛ්‍ය වෘත්තිකයන් 50,000ක් දින තුනක් ඇතුළත සේවයට වාර්තා කර ඇති බව සඳහන්. 

වෛද්‍ය ලියෝ වරද්කාර්

කොරෝනා මැඩලීමේ සටනේ (africazilla)

දේශපාලනයට එකතු වීමට පෙර Dublin හි කනිෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස වසර හතක් එක දිගට සේවය කරන ලියෝ වරද්කාර්, අයර්ලන්තයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් වීමට වසරකට පෙර එරට ලියාපදිංචි වෛද්‍ය ලේඛනයෙන් සිය නම  ඉවත් කර ගන්නවා. ඔහු එරට සෞඛ්‍ය ඇමතිවරයා බවට මුල්වරට පත් වන්නේ 2013 වසරේ දී යි. පසුව, 2017 වසරේ දී ඔහු එරට ළාබාලතම අගමැතිවරයා බවට පත් වෙනවා.

අගමැතිවරයාගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් හා පවුලේ හිතවතුන් බොහෝමයක් විවිධ වෘත්තිකයන් ලෙස අයර්ලන්ත සෞඛ්‍ය සේවාවේ සේවය කරනු ලබනවා. ඒ හේතුවෙන් ඔහුට ද රට වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය හරහා යම් සුළු සේවයක් කිරීමට හෝ අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.

දැනට 41 වන වියේ පසුවන අගමැතිවරයා, 2011 වසරේ සිට 2013 දක්වා අයර්ලන්තයේ  ප්‍රවාහන ඇමතිවරයා ලෙස ද, 2013 වසරේ සිට 2016 දක්වා එරට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ද  කටයුතු කර තිබෙනවා. 2016 සිට 2017 වසර දක්වා සෞඛ්‍ය ආරක්ෂණ ඇමතිවරයා ලෙස සේවය කරන ඔහු, 2017 වසරේ සිට අයර්ලන්ත අගමැතිවරයා ලෙස සේවය කරනවා.

කවරයේ පින්තූරය- politico

මූලාශ්‍රයයන්:

Npr.org

Time.com

Abcnews

Related Articles