1931 වසරේ සිට අද දක්වා ලාංකීය ජනතාවගේ ඡන්දයෙන් මහජන නියෝජිතයන් රැසක් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා තිබෙනවා. එලෙස පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබාගත් අපේක්ෂකයෙකුට යම් කිසි රජයක් තුළ හිමිවන අවම තනතුර වන්නේ මන්ත්‍රී තනතුර යි. වර්තමානය වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වරප්‍රසාද රැසක් ලැබුණත් ඈත අතීතයේ දී ඔවුන්ට එවැනි ප්රතිලාභ ලැබුණේ නැහැ. නමුත් ක්‍රමයෙන් දේශපාලන පිටිය දූෂිත එකක් වන විට මන්ත්‍රීවරුන්ගේ වැටුප, සහ ඔවුන්ට ලැබෙන වරප්‍රසාද ප්‍රමාණය වැඩි වුණා. එම නිසා මෙම ලිපිය තුළින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ 1931 වසරේ සිට මෙරට මන්ත්‍රීවරුන්ගේ වැටුප සහ අනිකුත් දීමනා ඉහළ ගිය ආකාරය පිළිබඳව යි.
වැටුප් පිළිබඳව මුල්ම යෝජනාව ඩී. බී. ජයතිලකගෙන්
1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී කැළණිය අසුන ජයග්‍රහණය කළේ ඩී. බී. ජයතිලක යි. එවර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උප සභාපති සහ ස්වදේශ කටයුතු ඇමතිවරයා යන තනතුරු හෙබවූ ඩී. බී. ජයතිලක එකල බලවත් පුද්ගලයෙකු බවට පත්ව සිටියා. රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනාවක් ඉදිරිපත් කළ ඔහු, මන්ත්‍රීවරුන්ට රුපියල් 400ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
ඩී. බී. ජයතිලක ඉදිරිපත් කළ යෝජනාවට සොලමන් බණ්ඩාරනායක තදින්ම විරුද්ධ වූ නමුත් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ ඩී. එස්. සේනානායක ඇතුළු බහුතර නියෝජිතයන් පිරිසක් එම යෝජනාවට සහයෝගය පළ කළා. ඒ අනුව යෝජනාවට බහුතර කැමැත්ත ලැබුණු නිසා 1933 වසරේ සිට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි මන්ත්‍රීවරුන්ට රුපියල් 400ක මාසික දීමනාවක් ලබාදුන්නා. එම දීමනාව 1947 වසර දක්වා අඛණ්ඩව ලබාදීමට කටයුතු කළා.
1947 වසරේ සිට මන්ත්‍රීවරුන්ට දීමනා රැසක්
ලංකාවේ පළමු මහා මැතිවරණය 1947 වසරේ දී පැවැත්වුණා. එම මහා මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට පිවිසි මහජන නියෝජිතයන්ට මෙන්ම, පත් කළ මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසි අයට දීමනා රැසක් ලැබුණා. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ දී මන්ත්‍රීවරුන්ට ලැබුණු රුපියල් 400ක වැටුප රුපියල් 600ක් දක්වා එහිදී වැඩි වී තිබුණා.
ඊට අමතරව මන්ත්‍රීවරුන්ට පහත දැක්වෙන දීමනා කිහිපය ද හිමි වුණා.
- රාජකාරී කටයුතු සඳහා ලිපිකරුවෙකු තබාගැනීම වෙනුවෙන් රුපියල් 75ක දීමනාවක්.
- වාහන බලපත්‍රයක්
- පෙට්‍රල් සඳහා මසකට රුපියල් 50ක කූපනයක්
- මන්ත්‍රීවරුන්ට සිය මෝටර් රථය දුම්රියෙන් කොළඹට ගෙන ඒම සහ ආපසු ගෙන යාම සඳහා දීමනාවක්
- මන්ත්‍රීවරයාට පළමු පන්තියේ දුම්රිය ගමන් බලපත්‍රයක් හා සේවකයාට තුන්වන පන්තියේ දුම්රිය ගමන් බලපත්‍රයක්
- මන්ත්‍රීවරයෙකුට සිය මැතිවරණ බල ප්‍රදේශය තුළ දී දුරකථන, තැපැල්, සහ විදුලි පණිවුඩ වැනි සේවා නොමිලේ ලබා දීම
- මන්ත්‍රීවරයෙකුට රුපියල් 2ක් වැනි මුදලකට පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර වේලක් ලබාගැනීමේ අවස්ථාව
වසර 26ක් ඇතුළත දීමනා තවත් ඉහළට
1958 වසර එළඹෙන විට මෙරට ක්‍රියාත්මක වෙමින් තිබුණේ සොලමන් බණ්ඩාරනායකගේ ආණ්ඩුව යි. එම ආණ්ඩුව යටතේ මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප රුපියල් 825ක් දක්වා වැඩිකරනු ලැබුවා. එසේම ලිපිකරුවාට ගෙවූ දීමනාව රුපියල් 100 දක්වා ඉහළ දැමුවා. ඊට අමතරව පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීම සඳහා දිනකට රුපියල් 50ක දීමනාවක් ලබාදුන්නා.
එම වැටුප් වැඩිවීම සිදු වී වසර 15ක් යනතුරු යළි මන්ත්‍රී වැටුප් වැඩිවුණේ නැහැ. නමුත් 1973 වසරේ දී සිරිමා බණ්ඩාරනායක රජය විසින් මන්ත්‍රී වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර, පාර්ලිමේන්තු සභාවාරයකට සහභාගි වීම සඳහා ලබාදුන් දීමනාව රුපියල් 100 දක්වා වැඩිකරනු ලැබුවා.
ජේ. ආර්. ජයවර්ධන රජය යටතේ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද රැසක්
1977 මහා මැතිවරණයෙන් පසුව බලයට පත්වුණු එක්සත් ජාතික පක්ෂ රජයට පාර්ලිමේන්තුව තුළ 5/6ක බලයක් තිබුණා. එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබුණු වරප්‍රසාද ප්‍රමාණය වැඩි වුණා. එහි දී මුලින්ම සිදුවුණේ මන්ත්‍රීවරුන්ට ගෙවූ දීමනා ආදායම් බද්දෙන් නිදහස් කිරීම යි. ඉන් පසුව රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරන සෑම අවස්ථාවක දීම මන්ත්‍රීවරුන්ගේ පඩි වැඩි කිරීමට තීරණය කළා. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම ක්‍රමයක් ආරම්භ කරනු ලැබුවා. එම විශ්‍රාම වැටුප ලබාදීමේ දී අවුරුදු 5ක කාලයක් මන්ත්‍රී තනතුර හෙබවූ කෙනෙකුට මන්ත්‍රී වැටුපෙන් 1/3ක මුදලක් ලබාදෙන විට වසර 15කට වැඩි කාලයක් මන්ත්‍රී තනතුර හෙබවූ කෙනෙකුට මන්ත්‍රී වැටුපෙන් 2/3ක මුදලක් ලබාදුන්නා. ඊට අමතරව එම යුගයේ දී මත්පැන් බලපත්‍ර, දැව ප්‍රවාහන බලපත්‍ර සහ බස් මගී ප්‍රවාහනය සඳහා මාර්ග බලපත්‍ර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හරහා බෙදා දෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණා. එමගින් මන්ත්‍රීවරුන්ට විශාල ආදායමක් ඉපැයීමට හැකි වුණා.
1985 වසරේ දී මන්ත්‍රී වැටුප රුපියල් 7,020 දක්වා වැඩි කරන විට පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීම සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 200ක් දක්වා වැඩි කළා. එසේම මන්ත්‍රීවරුන්ට බදු රහිත වාහන බලපත්‍ර ලබා දුන්නා. ඊට අමතරව රුපියල් 20,000කට අධික මිලකින් යුත් ලෑන්ඩ් රෝවර් හෝ පැජරෝ වර්ගයේ ජීප් රථයක් කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත මිලදී ගැනීමට අවස්ථාව උදා වුණා. තවද එම යුගය වන විට මසකට රුපියල් 1,500ක ඉන්ධන දීමනාවක් ද මන්ත්‍රීවරුන්ට හිමිව තිබුණා.
ප්‍රේමදාස යුගයේ දී මන්ත්‍රී වැටුප් තවත් ඉහළට
1989 වසරේ පෙබරවාරි මස 15 වැනිදා පැවති මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ රණසිංහ ප්‍රේමදාස ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය යි. එම මහ මැතිවරණ ප්‍රතිඵලයට අනුව ඔවුන්ට ආසන 125ක බහුතර බලයක් හිමි වුණා. එලෙස ප්‍රේමදාස රජය බලයට පත්වුණු 1989 වසරේ දී රුපියල් 7,020ක් ලෙස සටහන් වුණු මන්ත්‍රී වැටුප රුපියල් 10,000ක් දක්වා වැඩි වුණා. එසේම ඉන්ධන දීමනාවත් රුපියල් 2,000 දක්වා වැඩි වුණා. ඉන් පසුව 1993 වසරේ දී යළි මන්ත්‍රී වැටුප රුපියල් 13,250 දක්වා ඉහළ ගියා.
2007 වසරේ දී මන්ත්‍රී වැටුප රුපියල් 50,000 ඉක්මවා යයි
1993 වසරේ සිට ක්‍රමයෙන් වැඩිවුණු මන්ත්‍රී වැටුප 2005 වසර වන විට රුපියල් 22,100ක් දක්වා ඉහළ ගොස් තිබුණා. එසේම ඉන්ධන දීමනාව ද එම කාල සමය වන විට රුපියල් 7,500ක් දක්වා ඉහළ නංවා තිබුණා. එලෙස ක්‍රමයෙන් වැඩි වුණු මන්ත්‍රී වැටුප 2006 වසරේ දී රුපියල් 38,192ක් දක්වා වැඩි කරනු ලැබුවා. ඉන් පසුව යළි 2007 වසරේ දී එම වැටුප රුපියල් 54,285 දක්වා ඉහළ ගියා. ඉන් පසුව අද දක්වා යළි වැටුප් වැඩිවීමක් සිදු වී නැහැ.
වර්තමානය වන විට මන්ත්‍රීවරයෙකුට හිමි වරප්‍රසාද
පසුගිය වසර 13ක කාලය තුළ මන්ත්‍රී වැටුප ඉහළ නොගියත් අනිකුත් දීමනා වැඩි වුණා. පහත දක්වා ඇත්තේ වර්තමානය වන විට මන්ත්‍රීවරයෙකුට හිමිව තිබෙන මාසික වැටුප සහ මාසික අනිකුත් දීමනාවන් පිළිබඳව යි.
1) මාසික වැටුප- රුපියල් 54,285ක වැටුපක්
2) රැස්වීම් දීමනාව- පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් දිනකට රුපියල් 2500ක දීමනාවක්
3) කාරක සභා දීමනාව- පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගි වීම වෙනුවෙන් රුපියල් 2,500ක දීමනාවක්
4) කාර්යාල දීමනාව- කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් 100,000ක දීමනාවක්
5) සංග්‍රහ දීමනාව- රුපියල් 1,000ක දීමනාවක්
6) රියදුරු දීමනාව- රුපියල් 3,500ක දීමනාවක් (රජයෙන් වැටුප් ලබන රියදුරෙක් නොමැති නම් පමණක්)
7) ඉන්ධන දීමනාව- එක් එක් මන්ත්‍රීවරයා තේරී පත්වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර අනුව මෙය ගෙවනු ලබයි
8) දුරකථන දීමනාව- ස්ථාවර සහ ජංගම දුරකථන සඳහා මසකට රුපියල් 50,000ක දීමනාවක්
9) පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව- රුපියල් 10,000ක දීමනාවක්
10) නිදහස් තැපැල් පහසුකම්- වාර්ෂිකව රුපියල් 350,000ක් වටිනා මුද්දර