කොළඹ – නුවර පාරේ නිට්‌ටඹුව මංසන්ධියෙන් දකුණට හැරී කිලෝමීටර් පහක් පමණ ගමන් කළ විට අත්තනගල්ල රජමහා විහාරය හමුවෙනවා. විහාරයට නුදුරින් වමට හැරී පස්‌යාල පාරේ මඳ දුරක් ගිය විට නැවත දකුණු පසට විහිදුණු අතුරු පාරක් හමුවෙනවා. එය ඇතාඋඩකන්ද, දුනුමාල, ගලපිටමඩ දක්‌වා දිවෙන මාර්ගය යි. මේ පාරේ කිලෝමීටර් හයහමාරක් පමණ ගමන් කළ විට අලවල ගම්මානය හමුවෙනවා. මෙහි සිට අතුරු පාරක පියමං කළ විට පොත්ගුල් ලෙන රජමහා විහාරයට ළඟාවිය හැකියි. ගම්පහ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ, අලවල උතුර ග්‍රාමසේවා වසමේ අත්තනගලු ඔය ඉහළ නිම්නයේ අතු ගංගාවලින් පෝෂණය ලබන ප්‍රදේශයක තමයි අලවල ලෙන පිහිටා තිබෙන්නේ. පැරණි බෙදීම් අනුව සියනෑ කෝරළේ උඩගහපත්තුවට අයත්වෙනවා. ප්‍රාග් ඓතිහාසික සාධක හමුවීමත් සමග මේ ලෙන සංචාරක ආකර්ශනයක් ලෙස ද නමක් දිනා තිබෙනවා.
ලෙන් විහාරය
ලෙන් විහාරය කුඩා කඳුගැට පිරිවරාගෙන දැකගත හැකියි. දාගැබ, ලෙන් විහාරය සහ සංඝාවාසයක් ද මෙහි පිහිටා තිබෙනවා. කටාරම් කෙටූ ලෙන පිහිටා ඇත්තේ සංඝාවාසයෙන් තරමක් දුරින්. ලෙන තුළ ඇති පිළිමගෙයි මෑත අතීතයේ දී කළ ප්‍රතිසංස්කරණ නිසා පැරණි ප්‍රතිමා සහ සිතුවම් නම් දැකගැනීමට නැහැ. සැතපෙන බුදු පිළිමයක් එහි දැකගත හැකියි. ලෙන පිටුපස සිට රජයේ රක්ෂිත වනයක් පැතිර යනවා. එහි ගල් පර්වතයක කෙටූ පැරණි පියගැටපෙළක් ද දැකගත හැකියි. තපෝ ලෙන නම් ලෙනක් ද මේ අසල පිහිටා තිබෙනවා. ලෙන අසලින් වනයේ සිට ගලාඑන දොළ පාරක් ද ගමන් කරනවා. ඒ අසල කුඹුරු යායක් ද දැකගත හැකියි.
අලවල පොත්ගුල් ලෙන
විහාරයට නුදුරින් අඩිපාරක් දිගේ කි. මී. තුන්කාලක් පමණ ගමන් කළ විට “පොත්ගුල් කන්ද” ලෙස හඳුන්වන කඳුගැටය හමුවෙනවා. එය තරණය කළ විට කඳුබෑවුමේ කටාරම් කෙටූ දිගැති ලෙනක් පිහිටා තිබෙනවා. ලෙන අවට පැතිර තිබෙන්නේ ද්වීතියික වනාන්තරයක්. එය මුලින්ම පොත්ගුල් ලෙන ලෙස හඳුන්වා ඇත්තේ පොත්ගුලක් හෙවත් පුස්තකාලයක් පැවතියේය යන විශ්වාසය නිසා යි. ඓතිහාසික යුගයේ භික්ෂු වාසයට නතුව පැවති මේ ලෙන ප්‍රාග් ඓතිහාසික මානවයන් වාසය කළ වාසස්ථානයක් බව මෑතක දී හෙළි වුණා.
පොත්ගුල් ලෙන අවට පිහිටි ප්‍රදේශය අඩි 800ත් 1,300ත් අතර උසකින් යුක්‌ත යි. අවට අඩි 1,286ක උසකින් ඇතාබැඳි ලෙනත්, අඩි 984ක් උස අලවල මහ කන්දත්, අඩි 842ක් උස කහගල කන්දත්, පිහිටා තිබෙනවා. පොත්ගුල් ලෙන පිහිටා ඇත්තේ අඩි 1,029ක් තරම් උස් කඳු ගැටයක යි. මෙය අත්තනගලු ඔයේ අතු ගංගාවලින් පෝෂණය ලබන ප්‍රදේශයක පිහිටා තිබෙනවා. වන ලැහැබ මැදින් ඇති කුඩා මාර්ගය එළිපෙහෙළි කර මනාව සකසා ඇත්තේ මෑතක දී යි. ඉහළ ලෙන දක්වා ගමන්කිරීමට බැඳුණු ගල් පඩිපෙළත් මෑතක දී ඉදිවූවක්.
මෙහි පිහිටීම භූ විද්‍යාත්මක සාධක අනුව විමසා බලන විට ප්‍රාග්කේම්බීය යුගයට අයත් විජයානු ශේ්‍රණියේ පාෂාණවලින් නිර්මාණය වී තිබෙනවා. ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2500ත් 3000ත් අතර වෙනවා. දැනට තිබෙන පරිසර සාධකවලට අනුව අලවල ගුහාව අවට, අතීතයේ දී වැසිවනාන්තර ආවරණයක් පැවතුණ බව පෙනී යනවා.
සෙල්ලිපිය
පොත්ගුල් ලෙනෙහි කොටා ඇති සෙල්ලිපියක් ද මෑත ගවේශනවලින් හමුවුණා. එයට අනුව මෙයට නුදුරින් පිහිටි වාරණ, පිළිකුත්තුව, ලෙනගල, සල්ගල වැනි ක්‍රි. පූ. යුගයේ සෙල්ලිපි හමුවන ස්ථාන සමග මේ ස්ථානය ද පුරාණ භික්ෂූන් බවුන්වැඩූ තැනක් ලෙස පැවත තිබෙනවා.
ක්‍රි. පූ. 1 වැනි සියවසේ බ්‍රාහ්මී අක්‍ෂරවලින් ලියවුණු සෙල්ලිපියේ “ගමික තිස ලෙන” ලෙස සඳහන් වෙනවා. ගම් ප්‍රධානී තිස්සගේ ලෙන යන්න එහි අරුත යි.
කැණීම්
වර්ෂ 2008-2009 වර්ෂවල පුරාවිද්‍යා ප්‍රශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණි අධිකාරි ප්‍රමුඛ පර්යේෂකයන් විසින් කරන ලද කැණීම්වලින් මෙම ලෙන ඉතා වැදගත් ප්‍රාග් ඵෙතිහාසික ස්‌ථානයක් බවට නිශ්චිතව හඳුනා ගැනීමට හැකි වුණා. එය බලංගොඩ මානවයා හෙවත් මධ්‍ය ශිලා යුගයේ ජිවත් වූ නූතන මානවයා අලවලට පැමිණි අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. කැණීම්වල දී ලැබුණු පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව මේ ගල්ගුහාවේ අදින් වසර 30000කට පමණ පෙර මිනිසුන් වාසය කළ බවට කරුණු හෙළි වී තිබෙනවා. කැණිම්වලින් හමු වූ සත්ත්ව විශේෂ පිළිබඳව කළ වර්ගීකරණයේ දී මකුළු විශේෂ 3ක්, කුඹල් විශේෂ 2ක්, ගෝනුසු විශේෂ 1ක් සහ සලබ විශේෂ 2ක් හඳුනා ගන්නට ලැබුණා.
අලවල මානව කෑම වේල
මානවයන් මිරිදිය මත්ස්‍ය විශේෂ කීපයක් ආහාරයට ගෙන තිබෙන බව උන්ගේ කටු ලෙන තුළින් හමුවීමෙන් පැහැදිලි වෙනවා. ඒ ලෙහෙල්ලා, මස්‌පෙතියා, අංකුට්‌ටා, මගුරා, හුංගා යන මත්ස්‍යයන්ගේ. අවට දොළ පාරවල්වල අදත් ජීවත්වන ආඳා, පෙතියා, දණ්‌ඩියා, වලපොත්තා, කොරළියා, කාවයියා, කනයා, ගංතෙලියා, වැලිගොව්වා යන මත්ස්‍ය විශේෂත් ඔවුන් ආහාරයට ගෙන තිබෙන බව පේනවා.
ගුහා පරිසරයෙන් හමුවන උරග අවශේෂ අතර පිඹුරන්ගේ ඇටකටු, තලගොයන්ගේ හා කබරගොයන්ගේ කශේරුකා දැක්විය හැකියි. මේවායින් බොහොමයක් පුළුස්‌සා ඇති අතර කැපුම් හා තැලුම් ලකුණු ද දක්‌නට පුළුවන්. ගල් ඉබ්බාගේ සහ කිරි ඉබ්බාගේ පිටකටුත් හමුවී තිබෙනවා. ඉබිමස් කන්නත් අලවල මානවයා කැමැත්තක් දක්වා තිබෙන බව එයින් පේනවා. පිළිස්සූ ගැටහොඹු කටුස්‌සාගේ ඇටකටු පැහැදිලි කරන්නේ කටුසු මසුත් ආහාරයට ගෙන ඇති බව යි. දියබරියන්ගේ සහ ගැරඬින්ගේයැ යි සිතිය හැකි අස්ථි කොටස් ද ලෙනෙන් හමුව තිබෙනවා. එදා ගැරඩිත් ඔවුන්ගේ බොජුන් වේලට එක්කර ගන්නට ඇති.
වඳවී ගිය ව්‍යාඝ්‍රයා
ගුහාවෙන් පක්ෂි විශේෂ කිහිපයක අවශේෂ හමුවී තිබෙනවා. අපට ආවේණික පක්ෂි විශේෂ දෙකක් වන ශ්‍රී ලංකා හබන් කුකුළා සහ ශ්‍රී ලංකා වලි කුකුළාට අයත් අස්ථි ශේෂ ලැබී තිබෙනවා. අදත් ඇතැමුන් ආහාරයට ගන්නා මේ පක්‍ෂි විශේෂ දෙකම අලවල මානවයා විසින් ද පුළුස්සා කා තිබෙනවා. අද නම් මේ පක්ෂින් අවට දැකගැනීම අසීරු යි.
ඒ කාලේ කුඩා සතුන් දඩයම් කරගැනීම පහසු වුවත් විශාල ක්ෂීරපායී සතුන් මරා ගැනීම දුෂ්කර වී තිබෙනවා. නමුත් කළු වඳුරන් සහ රිලවුන් ද, වැලිමුවා, මීමින්නා, සහ වල් ඌරා ද ඔවුන් දඩයම් කර තිබෙනවා.
අලවල ලෙනින් හමු වූ විශාලතම ක්‍ෂීරපායි සත්ත්ව අවශේෂ අතර ව්‍යාඝ්‍රයාට අයත් අවසන් ඇඟිලි පුරුක් කොටස විශේෂත්වයක් ගන්නවා. කුරුවිට බටදොඹ ලෙනෙහි වසර 1982 දී කළ කැණීම්වලින් අදින් වසර 17000කට අයත් ව්‍යාඝ්‍ර අවශේෂ 4ක් හමු වුණා. 2009 මුල්භාගයේ දී පාහින්ගල කළ කැණීමක දී අදින් වසර 20000කට අයත් ව්‍යාඝ්‍ර අස්ථි ශේෂ දෙකක් හමු වුණා. ප්ලයිස්‌ටෝසීන අවදියේ සබරගමුව අවට ජීවත් වූ බවට සාධක සහිත වඳ වී ගිය ව්‍යාඝ්‍ර අස්‌ථි ශේෂයක් පළමු වරට ගම්පහ කලාපයෙන් හමුවීමෙන් පෙනෙන්නේ ව්‍යාඝ්‍රයා බස්නාහිර ප්‍රදේශයේත් ව්‍යාප්තව සිටි බව යි.
මානව ඇටකටු
අලවල ලෙනින් සොයාගත් මානව අස්‌ථි කුඩා කැබැලි වශයෙන් තමයි හමුවී තිබෙන්නේ. ඒවාත් ඉක්‌මනින් කැඩී යන ස්‌වරූපයක් දකින්න ලැබුණා. හිස්‌කබල් කොටස් 29ක්, යටි හනු 2ක්, කෘන්තක දත් 6ක්, රදනක දත් 2ක්, චාර්වක දත් 14ක්, දිගු අස්‌ථි කැබැලි 7ක්, දණිස්‌කටු ආදී වශයෙන් අස්ථි ශේෂ ලැබී තිබුණා. හිස්‌කබල් කොටස් 7ක පමණ ගුරු ගල් ආලේප කර තිබුණා. ගුරුගල් ආලේප කළ හිස්‌කබල් පාහියන්ගල බටදොඹ ලෙන සහ රාවණාඇල්ල ලෙන්වලින් ද හමුවී තිබෙනවා.
ගල් ආයුධ
පාහියංලෙන සහ කරුවිට බටදොඹ ආදී ලෙන්වල කැණීම්වලින් ලැබුණු ක්ෂුද්‍ර ශිලා මෙවලම්වල ඉතිහාසය වසර 40000ක් තරම් ඈතකට ඇදී යනවා. අලවල ලෙනෙන් හමු වූ ශිලා මෙවලම් ද මෙවන් කාල වකවානුවකට අයත්යැ යි සැලකිය හැකියි. මෙම ගල් මෙවලම් ෂඩාශ්‍රාකාර, වක්‍ර ආකාර, කුඤ්ඤාකාර යන වර්ගවලට අයත් වෙනවා. එදා දඩයම් කරගත් සතුන් හමගසා ගැනීමට, මස් කපා ගැනීමට මේ ආයුධ භාවිත කර තිබෙනවා.
ශරීර අලංකරණ ක්‍රම
බලංගොඩ මානවයන්ගේ ලෙන්වලින් ඔවුන් එකල පැළඳි ආභරණ ගැන සාධක ලැබෙන්නේ ඉතා අඩුවෙන්. අලවල ලෙන මානවයා ශරීර අලංකරණය කෙරෙහි උනන්දුවක් දැක්වූ බවට සාක්ෂි හමුව තිබෙනවා. මුහුදු බෙලිකටු, කවඩි, කුඩා මුහුදු බෙල්ලන් සිදුරු කර එකට අමුණා හෝ වෙන් වෙන්ව ආභරණයක් ලෙසට හෝ භාවිතයට ගන්නට ඇති බව පෙනෙනවා. කැණීම්වලින් හමු වූ මැද සිදුරක් විදින ලද මෝර දත ආභරණයක් ලෙස භාවිත කරන ලද්දක් බව පුරාවිද්‍යා නිගමනය යි. රට තුළ සිට මුහුදට ඔවුන් ගමන කළ බවටත් එය සාධක සපයනවා.
මළවුන් ඇදහිලි
මියයන අයගේ සිරුරු මුලින්ම ගුහාවෙන් එපිට තැන්පත් කර, සිරුරු දියවගිය පසු නැවත එම හිස් කබල්, අස්‌ථි කොටස් ඒකරාශී කරමින් ලෙනට රැගෙන ආ බව සැලකෙනවා. ඒවායේ ගුරුගල්, මිනිරන් තැවරීමෙන් සිදුකළේ කිනම් අභිචාරයක් ද යන්න තවමත් හෙළිව නැහැ.