මිනිසා නිපද වූ, මිහිතලයේ අස්සක් මුල්ලක් නෑර විසිරි පැතිරි ඇති, කිසිදා දිරාපත් නොවන යම් ද්‍රව්‍යයක් වේ නම් ඒ ප්ලාස්ටික් ය. පොළව ගැඹුරේ ද, වායුගෝලයේ ද මතුනොව, සයුරේ ගැඹුරු ම ආගාධවල පවා නොනැසී පැවතීමට එය සමත් ය. එහි දිගුකාලීන පැවැත්ම කෙතරම් ස්ථිරසාරද යත්, මිනිසා මේ තාක් නිෂ්පාදනය කළ සමස්ත ප්ලාස්ටික් කන්දරාවෙන් වැඩි ප්‍රතිශතයක් තවමත් නොනැසි ගෝලීය පරිසර පද්ධතිය තුළ පවතියි. ආහාර දාමවලට ද ඇතුළු වී මිනිස් සිරුරු තුළ පවා ප්ලාස්ටික් නොනැසී පවතින්නේ මිනිසා නොයෙකුත් ලෙඩරෝගවලට ද ගොදුරු කරවමිනි.
ප්ලාස්ටික් භාවිතය අතිශයින් ම සුලබ ව තිබෙන්නේත්, සෙසු කෘත්‍රිම ව සංශ්ලේෂිත ද්‍රව්‍යයන්ට වඩා ප්ලාස්ටික් අතිශයින් ම ප්‍රයෝජනවත් වන්නේත් එහි ඇති මෙම නොනැසෙනසුලු, දිගුකාලීන පැවැත්ම නිසාම ය. සයුරුතලය යටින් දිවයන රැහැන්, භූගත ජල නළ, ආහාරවල නැවුම්බ ව සුරකින ඇසුරුම් වැනි දෑ සියල්ල නිෂ්පාදනයට ප්ලාස්ටික් නැතිව ම බැරිව තිබෙන්නේ එහි වන මෙම සුවිශේෂි ගුණංගය නිසාම ය. අවාසනාවකට මෙන් භාවිතයෙන් පසු ඉවත ලන ප්ලාස්ටික් පරිසර පද්ධතිවල පැවැත්ම පවා අවදානමට ලක්කරන ව්‍යසනකාරි පාරිසරික දූෂකයක තත්වයට පත්ව තිබෙන්නේ ද එය පහසුවෙන් දිරාපත් නොවන ද්‍රව්‍යයක් වන බැවිනි.
ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය මඟින් යම්තාක් දුරකට ඒ ගැටලුවට සහනයක් ලැබුණ ද, එය ඉවතලන ප්ලාස්ටික් බැහැරකිරීම සඳහා කිසිසේත් ම කාර්යක්ෂම ක්‍රමවේදයක් නොවන්නේ, ප්‍රතිචක්‍රිකරණයෙන් නිපදවෙන පලය ද ප්ලාස්ටික් ම වන නිසා ය. එලෙස ප්‍රතිචක්‍රීකරණයෙන් නිපදවෙන ප්ලාස්ටික් පෙර මෙන් තත්වයෙන් උසස් වන්නේ ද නැත. මේ දක්වා ලොව නිෂ්පාදිත සමස්ත ප්ලාස්ටික් ප්‍රමාණයෙන් එලෙස ප්‍රතිචක්‍රිකරණයට ලක් ව තිබෙන්නේ 9% ක සුළු ප්‍රතිශතයක් පමණි.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඛනිජ තෙල් බවට
ප්ලාස්ටික් වූකලී ඛනිජ තෙල් පිරිපහදු කිරිමෙන් පසු ඉතිරි වන අවශේෂ වෙතින් නිස්සාරණය කරගන්නා බහුඅවයවක ගොන්නක් අතරින් එකක් පමණි. යම්හෙයකින් ප්ලාස්ටික් නැවත එහි මුල් ස්වභාවයට එනම්, ඒවා නිෂ්පාදනය කෙරෙන බොරතෙල් බවට ම පෙරළිය හැකි නම් ? එය සැබවින් ම විස්මිත නිපැයුම් ගණනාවකට මඟපාදනවාට සැක නැත. කොටින් ම වර්තමානයේ දී බහුඅවයවක රසායන විද්‍යාව හමුවේ ඇති දැවැන්ත ම අභියෝගය බවට පත්ව ඇත්තේ ද එය ය. විවිධ වර්ණවලින් සමන්විත වීම නිසාත්, සංයුක්ත ද්‍රව්‍යයන්ගෙන් නිර්මිත වීම නිසාත්, ආහාර හෝ වෙනත් අපවිත්‍රකාරකයන්ගෙන් දූෂිතවීම නිසාත්, සම්ප්‍රදායික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය මඟින් ප්‍රතිචක්‍රීකරණය කිරිමට නොහැකිව ප්‍රතික්ෂේපවන ඉවතලන ප්ලාස්ටික් පරිසරයට එක්වන්නේ පාරිසරික දූෂකයක් ලෙස ය.
වාර්ෂික ව ලොව පුරා නිෂ්පාදනය වන ටොන් මිලියන තුන්සිය අසූවක් පමණ වන සමස්ත ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් යළි ප්‍රතිචක්‍රීකරණයට ලක්වන්නේ 16% ක් පමණක් වීමෙන් ම පෙනී යන්නේ සම්ප්‍රදායික ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලීන් කෙතරම් අකාර්යක්ෂම ද යන්න ය. නමුත් අපරිමිත ප්‍රතිචක්‍රිකරණයක් ලෙස හැඳින්විය හැකි රසායනික ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලියක් මඟින්, ඉවතලන ඕනෑම ආකාරයක ප්ලාස්ටික් වර්ගයක් නැවත තෙල් බවට පරිවර්තනය කිරිමේ හැකියාව තිබුණ ද මීට එරෙහි ව ඇති ප්‍රධාන ම බාධකය වන්නේ ඒ සඳහා අවශ්‍ය වන අති විශාල බලශක්තිය යි.
වර්තමානයේ දී කාර්මික ක්‍රමවලින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය කිරීමේදි සිදු වන්නේ මුලින් ම ඒවා තෝරා වෙන්කොට, පිරිසුදුකොට, කැබලිකොට, පසු ව දියකොට යළිත් නව ප්ලාස්ටික් භාණ්ඩ නිපදවීම සඳහා අච්චුවලට වත්කිරීමකි. එලෙස ප්ලාස්ටික් ද්‍රාව්‍ය තත්වයට පත්කිරිමේ දි ඒවායේ වන බහුඅවයවක දාම බිඳීමට ලක්වීම නිසා ප්ලාස්ටික් සතු දුස්ස්‍රාවිතාවත්, ආතන්‍ය සවිවරබවත් අඩුවිම නොවැළැක්විය හැකි ය.
මෙය ප්ලාස්ටික්වල ගුණාත්මකභාවය අඩුවිමට හේතු වන්නකි. දිගින් දිගට ම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය කිරීම ද සිදුකළ නොහැකි වන්නේ එලෙස වරින්වර කිහිපවරක් ප්‍රතිචක්‍රිකරණයට ලක්වීමේ දි ප්ලාස්ටික් භාවිතයට නුසුදුසු තත්වයට පත්වීම ද සිදුවන නිසා ය. රසායනික ප්‍රතිචක්‍රිකරණය යනු ප්ලාස්ටික් නැවත එහි රසායනිකමය තැනුම් ඒකකවලට බිඳහෙළන්නක් බැවින්, එබඳු සීමාකිරීම්වලින් තොර ව කාර්යක්ෂම ලෙස ප්ලාස්ටික් නැවත නැවත භාවිතයට ගැනීමට යොදාගත හැකි ක්‍රමවේදයකි.
එවැනි ක්‍රියාවලියකින් බිඳහෙළන ප්ලාස්ටික්, ඉන්ධන ලෙස හෝ නැවත එවැනි ම ගුණාත්මක තත්වයෙන් යුතු ප්ලාස්ටික් නිෂ්පාදනයට හෝ යොදා ගැනිමට කිසිදු බාධාවක් නැත. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා දැනට භාවිත වන රසායනික ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලීන් අතරින් වඩාත් ම සාර්ථක ක්‍රමය ලෙස සැලකෙන්නේ ‘Feedstock recycling’ හෙවත් තාපජ පරිවර්ථනය යි. එහිදි තාපය ආධාරයෙන් බහු අවයවක සරල අණු බවට බිඳහෙළීමක් සිදුවේ. සැකෙවින් ගතහොත් එහි මුල් අදියර කිහිපය සාම්ප්‍රදායික ප්‍රතික්‍රිකරණයකට බෙහෙවින් සමාන වූවකි.
ප්ලැක්ස් හා ටැකොයිල්
ප්ලාස්ටික් තෝරා බේරා, වෙන්කොට පිරිසුදු කිරිමෙන් පසු තාපවිච්ඡේදක මධ්‍යස්ථානයක් තුළ දී ද්‍රව තත්වයට පත්කෙරෙයි. ඉන් අනතුරුව එම ද්‍රවය තාපවිච්ඡේදක ප්‍රතික්‍රියාකාරකයක් තුළ අත්‍යන්ත ඌෂ්ණත්වයකට රත්කොට වායුමය තත්වයට පත්කරයි. එම වායුව තෙල් වැනි ද්‍රවයක් බවට ඝණිභවනය වන්නට සලස්වා අවසන් වශයෙන් විවිධ අරමුණු සඳහා භාවිතයට ගතහැකි කොටස් ලෙස ආස්‍රැත තත්වයට පත් කරයි. එක්සත් රාජධානියේ පිහිටි ‘රිසයික්ලින් ටෙක්නොලොජිස්‘ නමැති ආයතනය මෙම තාපවිච්ඡේදක රසායනික ප්‍රතිචක්‍රිකරණය මගින් ප්ලාස්ටික් සාර්ථක ව ප්‍රතිසැකසීමේ යෙදී සිටින්නකි.
2020 දි ස්කොට්ලන්තයේ පර්ත්හි සිය ප්‍රථම වාණිජ මට්ටමේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණ තාප විච්ඡේද බලාගාරය ඔවුන් ස්ථාපනය කළේ, සාමාන්‍ය ක්‍රමවලින් ප්‍රතිචක්‍රිකරණය කිරීමට ඉතාම දුෂ්කර සේයාපට, බෑග්, හා ලැමිනේට් කිරීම සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය අරමුණු කර ගනිමිනි. මෙහි වන විශේෂිත තාපවිච්ඡේදක යන්ත්‍රය මඟින් එවැනි ප්ලාස්ටික් පරිවර්තනය කරන ‘ප්ලැක්ස්‘ නමැති ද්‍රවමය හයිඩ්‍රොකාබනය, නැවත සුපිරිසුදු තත්වයේ ප්ලාස්ටික් නිපදවීම සඳහා සාර්ථක ව භාවිත කළ හැක.
දැනට ස්පාඤ්ඤයේ ස්ථාපිත තාප විච්ඡේදක බලාගාර ප්‍රංශය, නෙදර්ලන්තය හා එක්සත් රාජධානිය කරා ද නුදුරේදී ම ව්‍යාප්ත කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන ‘ප්ලාස්ටික් එනර්ජි‘ ආයතනය විශේෂයෙන් ප්‍රතිචක්‍රිකරණයට ලක්කරන්නේ රසකැවිලි දැවටුම්, වියළි ආහාර ඇසුරුම් වැනි සම්ප්‍රදායික ක්‍රමවලින් චක්‍රිකරණය කිරීමට අපහසු සුලබ භාවිතයෙන් යුතු ප්ලාස්ටික් වර්ග ය. ‘ටැකොයිල්‘ නමැති ද්‍රව්‍යයකට පරිවර්තනය කිරීමෙන් පසු මෙවැනි ප්ලාස්ටික් යළිත් ආහාර ඇසුරුම් සඳහා යොදා ගැනෙන ප්‍රමිතියෙන් ඉහළ ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනය සඳහා යොමු කෙරෙන්නේ ටැකොයිල් සතු ගුණාත්මකභාවය නිසාම ය.
අමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ‘ඉනියෝස්‘ සමාගම සාමාන්‍ය පොදු පොලිතීන් බෑග් හා ආහාර එතීමට භාවිත කරන පොලිතීන් කඩදාසි (ලන්ච් ෂීට්) නිෂ්පාදනය වැසි අමුද්‍රව්‍ය ලබා ගැනීමට භාවිතාකරන්නේ ‘වී-බහුඅවයවීකරණය‘ නමැති ක්‍රියාවලියකින් ප්‍රතිචක්‍රිකරණය කළ පොලිඑතිලීන් ය. එලෙස වාණිජ මට්ටමින් ප්ලාස්ටික් රසායනික ප්‍රතිචක්‍රිකරණය සිදුකරන නන්විධ සමාගම් අතරින් බ්‍රිතාන්‍යෙය් මියුරා ටෙක්නොලොජි සමාගම සුවිශේෂ වන්නේ කිසිදු වර්ගීකරණයකින් තොරව ඕනෑම ආකාරයක පිරිසුදු හෝ අපිරිසුදු තත්වයේ වන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණයට සමත් ලොව ප්‍රථම වාණිජ මට්ටමේ බලගාරයේ සාඩම්බර හිමිකරුවන් වන්නේ ඔවුන් බැවිනි. ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ ද ඔවුන්ට ම සුවිශේෂි ක්‍රමවේදයක් වීම මෙහි ඇති වැදගත්කම ඉහළ නංවන්නකි.
සුපිරි ජලය නැවත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට ම
මියුරා සමාගමේ ජලතාපජ ක්‍රමය වූකලී ප්‍රතිචක්‍රිරණ ප්‍රතික්‍රියාකාරකය තුළ සෑම ස්ථානයක ම තාපය ඒකාකාර ව පවත්වාගෙන යාම සඳහා වායුවක් ද, ද්‍රවයක් ද, ඝණයක් නොවන ‘සුපිරි‘ තත්වයකට ජලය පත්කොට භාවිතා කිරීමකි. ඒ සඳහා ජලය වාෂ්ප නොවන පරිදි අධිපීඩන තත්ත්ව යටතේ අත්‍යන්ත ඌෂ්ණත්වයකට රත්කිරීමකට ලක්කිරීම සිදුවේ. මෙලෙස සුපිරි තත්වයට පත්කළ ජලය භාවිත කිරීම නිසා ප්‍රතික්‍රියාකාරක කුටි පිටතින් රත්කිරීමේ අකාර්යක්ෂම ක්‍රමවේදය තවදුරටත් අවශ්‍ය වන්නේ නැත. ඉවතලන ප්ලාස්ටික් පිරිසුදුකොට කැබලි කිරීමෙන් අනතුරු ව මෙම සුපිරි ජලය සමඟ මිශ්‍ර කර අධිපීඩන තත්ත්ව යටතේ රත්කෙරෙන්නේ එකි ප්ලාස්ටික්වල අඩංගුවන වීදුරු හා ලෝහ වැනි අකාබනික අපවිත්‍රකාරක ඉවත්කිරීමෙන් අනතුරුව ය.
ක්‍රියාවලිය අවසානයේ දී කුටීරවල පීඩනය ඉවත් කිරිමේ දී ප්‍රතිචක්‍රීකරණයට ලක් කළ ප්ලාස්ටික්වලින් බහුතරයක් පිටවන්නේ වාෂ්පයක් ලෙස වන අතර මෙම වාෂ්පය ආසවන කුලුනු හරහා යැවිමෙන් ඝණීභවනය කොට හයිඩ්‍රොකාබන දියර හා තෙල් වර්ග හතරකට පරිවර්තනය කෙරේ. නැප්තා, ආසවන වායුමය තෙල්, බැර වායුමය තෙල් හා තාර වැනිවූ ඉටි අවශේෂ ලෙස එලෙස ලබාගන්නා හයිඩ්‍රොකාබන, ඛනිජතෙල් පිරිපහදු මධ්‍යස්ථාන කරා පිටත්කර හැරෙන්නේ යළිත් ප්ලාස්ටික් හෝ වෙනත් නිෂ්පාදන සඳහා යොදා ගැනීමට ය.
මෙම ක්‍රමයේ ඇති සුවිශේෂ ම වාසිය වන්නේ ප්ලාස්ටික්වල තත්වයේ බාලවීමකින් තොර ව ඒවා ඒවායේ මුල් තැනුම් ඒකක වන බහුඅවයවක බන්ධන යළි නිර්මාණය කරගැනීමේ හැකියාව සහිත ව ප්‍රතිචක්‍රීකරණය වන බැවින්, එම ප්ලාස්ටික් අපිරිමිත වාර ගණනක් නැවත නැවත ප්‍රතිචක්‍රීකරණය කිරිමට හැකිවීම ය. එලෙස ප්‍රතිචක්‍රීකරණය කෙරෙන ප්ලාස්ටික්වලින් 99% ක් ම යළි ප්‍රයෝජනවත් නිෂ්පාදන සඳහා යොදා ගැනෙන්නේ ඒවායේ ප්‍රමිතියේ කිසිදු බාලවීමකින් තොරව ය.
මියුරා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් මැහොන් පවසන ආකාරයට මෙලෙස ජලතාපජ ක්‍රමයෙන් ප්‍රතිචක්‍රීකරණයට ලක්කොට නිපදවෙන හයිඩ්‍රොකාබන වෙනත් ඕනෑම රසායනිකයක් හෝ ප්ලාස්ටික් වර්ගයක් නිපදවීමට තරම් ස්ථායී තත්වයෙන් යුතු ය. ප්ලාස්ටික් නිෂ්පාදනවල අන්තර්ගතවන හුණු, වර්ණක වැනි පිරවුම් ද්‍රව්‍යද මෙවැනි ප්‍රතිචක්‍රීකරණයකට බාධාවක් නොවේ. මෙම ක්‍රමයේ ඇති තවත් වාසියක් වන්නේ ඉන් අතුරුපලයක් ලෙස නිපදවෙන අතිරේක තාපය ද, සුපිරි ජලය නිර්මාණය කිරිමේ ක්‍රියාවලිය සඳහා කාර්යක්ෂම අයුරින් යොදාගැනීමට ඇති හැකියාව යි.
මෙම ක්‍රියාවලිය පරිසරියට හානිකර නොවන්නේ ඒ සඳහා බල මූලාශ්‍ර ලෙස යොදා ගන්නේ සුනිත්‍ය බලශක්තිය බැවිනි. ප්‍රධානි මැහොන් පවසන්නේ 2022 වන විට මීට පෙර කිසිදා හෝ ප්‍රතිචක්‍රිකරණය කිරීමට හැකිවේ යැයි බලාපොරොත්තු නුවූ ප්ලාස්ටික් ටොන් අසූ දහසක් පමණ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නව බලාගාර කිහිපයක් ම ජර්මනියේ හා අමෙරිකාවේ ද ඉදිකිරිමට නියමිත බව යි. 2025 වන විට ගෝලීය වශයෙන් ප්ලාස්ටික් ටොන් මිලියනයක් ප්‍රතිචක්‍රීකරණය කිරීමය හැකිවනු ඇති බවට හේ බලාපොරොත්තු පළ කරයි.
රසායනික ප්‍රතිචක්‍රීකරණය, ප්ලාස්ටික් දූෂණයට එරෙහි ව කෙතරම් සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්වුව ද, එය වඩාත් පුළුල් ව පැතිරුණු වපසරියක් ඔස්සේ ව්‍යප්ත වීමට එරෙහි ව බාධා ද නැත්තේ නොවේ. ඒ සඳහා දැරිය යුතු අති විශාල පිරිවැය බොහෝ සමාගම් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය වෙත නැඹුරු නොවීමට බලපා ඇති එක් ප්‍රධානත ම හේතුවකි. ප්ලාස්ටික් අලුතින් ම නිපදවනවා වඩා ඉවත ලූ ප්ලාස්ටික්, තෝරා වෙන්කොට, පිරිසුදු කොට, කැබලිකොට ප්‍රතිචක්‍රිකරණය කිරීම අතිශයින් ම වියදම් සහගතවීම, එවැන්නක් සඳහා ආයෝජකයන් ඉදිරිපත්වීම අධෛර්යමත් කරවන ප්‍රධාන ම සාධකයකි.
ප්ලාස්ටික් නිපදවන සමාගම් මෙවැනි පරිසර හිතකාමි ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලි සඳහා නැඹුරුකරවීමට ප්‍රතිපාදන, ශ්‍රම බළකාය හා නිපුණතා වැනි උත්තේජන සැපයීම මෙහිදි යම් ආධාරයක් වනු ඇති බව පෙන්වා දෙන්නේ එලන් මැක්ආතර් පදනමේ නව ප්ලාස්ටික් ආර්ථික ව්‍යාපෘති කළමනාකරු සාරා වින්ග්ස්ට්‍රෑන්ඩ් ය. ප්‍රතිචක්‍රීකරණය සඳහා වැය වන පිරිවැය කළමනාකරණය කරගැනීමේ නව විකල්පයක් හඳුන්වා දීමට මියුරා සමාගම ද සමත් ව සිටියි. ඒ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයෙන් පසු ලැබෙන අතුරුපලයෙන් ආර්ථිකමය වටිනාකමක් සහිත තෙල් වර්ගයක් නිපදවීම ය.
වඩාත්ම වැදගත් වන්නේ කාර්මික ක්‍රමවලින් ප්‍රතිචක්‍රිකරණය කිරීම ආර්ථිකමය වශයෙන් ලාභදායි නොවන ප්ලාස්ටික් වර්ග සඳහා ද යම් වටිනාකමක් ලබා දීමට මියුරා සමාගම සමත්වීම ය.