Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක චිප් නිෂ්පාදනයේ අධිකාරිය චීනයට හිමිවෙයි ද?

20 වන සියවසේ අගභාගය වනවිට බොරතෙල් නිධිවල හිමිකාරිත්වය යම් රටක් ලෝක බලවතෙක් කරන්නට ප්‍රමාණවත් වුණා. බොරතෙල් වෙළඳපොළ තුළ වැඩි හිමිකාරිත්වයක් තිබූ රටවල් ආර්ථිකය අතින් ශක්තිමත් වූ බව සත්‍යයක්. නමුත් 21 වන සියවසේදී පරිගණක තාක්ෂණයේ දියුණුව මෙම තත්වය වෙනස් කර තිබෙනවා. ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා නොකරන මිනිසකු අද වන විට සොයාගැනීමත් අපහසුයි.

මුලුතැන්ගෙයි උපකරණ, විනෝදාස්වාදය හෝ සන්නිවේදනය සඳහා භාවිත කරන උපකරණවල සිට අඟහරු ගවේෂණය සඳහා යවන යානා දක්වා වූ සියලු උපාංග බල ගැන්වීම කරන්නේ කුඩා පරිගණක “චිප්” වලින්. ඉලෙක්ට්‍රොනික උපාංගවල මොළය වශයෙන් ක්‍රියාකරන්නේ මෙම පරිගණක චිප් හෙවත් සංයුක්ත පරිපථ යි. චිප් සඳහා ඇති විශාල ඉල්ලුම නිසා ඒවා නිෂ්පාදනය කරන සමාගම් සහ රටවල් තමයි මේ සියවසේ දී ලෝක බලවතුන් බවට පත්වන්නේ.

semiconductor consumption
විවිධ ක්ෂේත්‍ර සඳහා පරිගණක චිප් භාවිතාකෙරෙන ආකාරය – wsts.org

සංයුක්ත පරිපථ නිර්මාණයේ අසීරුකම

නූතන ඉලෙක්ට්‍රොනික් විද්‍යාවේ තැනුම් ඒකකය වන්නේ ට්‍රාන්සිස්ටරය බව බොහෝ දෙනෙක් දන්නවා. 1947 දී මුල්වරට ට්‍රාන්සිස්ටරයක් නිපදවීමේ සිට මේ දක්වා එය ඉතා විශාල ලෙස වැඩි දියුණු වෙමින් පැමිණ තිබෙනවා. ට්‍රාන්සිස්ටරයක ප්‍රධාන කාර්යය වන්නේ සංඥා වර්ධනය කිරීම සහ ස්විචයක් ලෙස ක්‍රියා කිරීම යි. මෙම හැකියාවන් ද්විත්වය විවිධ ලෙස යොදාගැනෙන ට්‍රාන්සිස්ටර කීපයකින් සමන්විත තනි ඇසුරුමක් සංයුක්ත පරිපථ ලෙස හඳුන්වනවා. ට්‍රාන්සිස්ටර කීපයක් යොදාගැනීමෙන් බලාපොරොත්තු වන්නේ තත්පරයට සිදුකරන ගණනය කිරීම් හෙවත් කාර්යයන් ප්‍රමාණය වැඩි කරගැනීම යි. එනම් සරල ව එම පරිපථය යොදා ගන්නා ඉලෙක්ට්‍රොනික උපාංගය මගින් සිදුකෙරෙන කාර්යය වේගවත් කර ගැනීම මෙහිදී සිදුවෙනවා.

සංයුක්ත පරිපථයක් තුළට ඇතුළත් කළ හැකි ට්‍රාන්සිස්ටර ගණන නව සොයා ගැනීම් සමඟ වැඩිවනවා. ඒ ට්‍රාන්සිස්ටරයේ ප්‍රමාණය කුඩා කිරීමට සිදු කරන පර්යේෂණ සාර්ථක වීම නිස යි. අද වන විට එකිනෙකට නැනෝමීටර 5ක පරතරයකින් පිහිටන සේ ට්‍රාන්සිස්ටර විශාල ප්‍රමාණයක් සංයුක්ත පරිපථයක් තුළ ඇතුළත් කළ හැකි යි. ඇසට නොපෙනෙන වෛරසයක විශාලත්වය නැනෝමීටර 20ක් පමණ වන බවත් මෙහිදී සඳහන් කළ යුතු යි. මේ ආකාරයට ට්‍රාන්සිස්ටර ට්‍රිලියන ගණනක් එක් චිපයක් තුළ අන්තර්ගත කළ හැකි නිසා ඉලෙක්ට්‍රොනික උපාංගවල ක්‍රියාකාරී වේගය ඉතා ඉහළ අගයකට ගෙන ඒමට හැකි වී තිබෙනවා.

microchip zoomed
සංයුක්ත පරිපථයක් ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයකින් විශාලනය කළ විට – extremetech.com

 

ඇසට නොපෙනෙන තරම් කුඩා ට්‍රාන්සිස්ටර සහිත චිප් නිෂ්පාදනය කෙතරම් සංකීර්ණද යන්න වටහා ගැනීමට ඒ පිළිබඳව දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. 2000 වසරේදී ලෝකයේ වේගවත් ම තර්කන චිප් (Logic Chip) නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් 25ක් සිටි අතර වර්තමානය වන විට ඉන් ඉතිරිව ඇත්තේ තිදෙනෙක් පමණ යි. ඒවා වන්නේ TSMC, Samsung සහ Intel යන සමාගම්ය . Apple M1, Exynos 2100 සහ Qualcomm 888 යන නවතම  චිප් පිළිවෙළින් ඉහත සමාගම් ත්‍රිත්වය නිෂ්පාදනය කරනවා. මේවායේ ඇති ට්‍රාන්සිස්ටර අතර දුර වන්නේ නැනෝමීටර 5ක් වැනිඉතා අඩු අගයක්. 2000 වසර වන විට නැනෝමීටර 180 ප්‍රමාණයේ තිබූ නිෂ්පාදනය අද වන විට නැනෝමීටර 5 දක්වා පැමිණ තිබීම නිසා බොහෝ නිෂ්පාදකයන් තරගයෙන් ඉවත් කළා. ඒ ඒවා නිර්මාණය සඳහා වූ තාක්ෂණය ඔවුන් සතුව නොතිබීම නිස යි.

නූතන පරිගණක චිපයක් ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයක් මගින් විශාලනය කිරීමක් මෙම වීඩියෝවෙන් නරඹන්න 

චිප් හෙවත් අර්ධ සන්නායක නිෂ්පාදන කර්මාන්තශාලා ඉතා ඉහළ තාක්ෂණයෙන් යුක්ත විය යුතු යි. ක්ෂුද්‍ර අංශු කිසිවක් නොමැති අති පිරිසුදු පරිසර තත්වයක් (Clean room environment) මෙම කර්මාන්තශාලාවල පවත්වා ගත යුතු අතර ඒවායේ සේවය කරන පිරිස් පවා විශේෂ ඇඳුම්වලින් සැරසී දැඩි පුර්වාරක්ෂක විධි විධානවලට යටත් ව කටයුතු කළ යුතු යි. වර්තමානයේ දී මෙවැනි චිප් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 10-15 ක් පමණ වැයවන බවයි සඳහන් වන්නේ.

ඉන්පසුවත් ඒවා නියමිත තත්වයෙන් පවත්වා ගැනීමට විශාල මුදලක් වැය කළ යුතු වනවා. එතරම් මුදලක් වැය කර තැනු කර්මාන්තශාලාවක් වුවත් තාක්ෂණයේ දිනෙන් දින ඇති වන දියුණුව නිසා වසර 5 කදී යල් පැන ගිය තත්ත්වයට පත්වනවා. ඒ නිසා වැය වූ මුදල ආයෝජනයක් වීමට නම් කර්මාන්තශාලාව පැය 24 බැගින් දින 7 ම නොනවත්වා ක්‍රියා කළ යුතු යි. වසරකට මිලියන 100කවත් චිප් නිෂ්පාදනයක් පවත්වාගත හැකිවන්නේ එවිට යි. මෙම අභියෝගය ජයගැනීමට හැකිව ඇත්තේ පෙර සඳහන් කළ සමාගම් ත්‍රිත්වයට පමණක් වනවා.

tsmc factory
TSMC කර්මාන්තශාලාවක් ඇතුළත – wikichip.org

 

අර්ධ සන්නායක කර්මාන්තයේ චීනයේ ස්ථානගත වීම

පසුගිය දශක දෙකක කාලය තුළ අර්ධ සන්නායක කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණීමට චීනය සමත් වුණා. නමුත් අදටත් ඔවුන් වඩාත් ඉදිරියෙන් සිටින්නේ ඉලෙක්ට්‍රොනික උපාංග එකලස් කිරීම සහ අත්හදා බැලීමේ අංශවලින් පමණ යි. චිප් පරිපථ සැලසුම් කිරීම සහ නිෂ්පාදනය අතින් ඔවුන් තවමත් පසුපසිනුයි සිටින්නේ. උදාහරණයක් ලෙස අප කවුරුත් දන්නා අයිෆෝන් සඳහා වන ප්‍රොසෙසරය සැලසුම් කිරීම ඇපල් සමාගමේ මුලස්ථානයේ පර්යේෂණ කණ්ඩායම් සිදු කරනවා. එය නිපදවීම සිදුකෙරෙන්නේ තායිවනයේදී යි. පිලිපීනයේ දී එම පරිපථ ඇසුරුම් කෙරෙන අතර චීනයේ දී ඒවා අයිෆෝන්වලට එක් කරනවා.

1999 වසරේදී ලෝක අර්ධ සන්නායක කර්මාන්තයේ සිදු වී ඇති මුළු විකුණුම් වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 149ක්. 2018 වසර සඳහා එම අගය ඩොලර් බිලියන 460ද ඉක්මවනවා. වාර්ෂික වර්ධන වේගය 5.2% වන මෙම කර්මාන්තයේ 47% ක වෙළඳපොළක් හිමිකරගෙන ඇත්තේ අමෙරිකාව යි. Intel, Nvidia, AMD සහ Texas Instruments යන සමාගම් මෙහි ඉදිරියෙන් ම පසුවෙනවා. නමුත් මේවා අතරින් 7nm වැනි අතිශය සංකීර්ණ චිප් පරිපථ නිෂ්පාදනය කිරීම අතින් ඉදිරියට පැමිණ ඇත්තේ Intel සමාගම පමණ යි. දැවැන්ත සමාගමක් වන Intel පවා දැන් දැන් තම 5nm නිෂ්පාදන TSMC සමාගම හරහා කරගනු ලබනවා.

global revenue market share leading edge
නැනෝමීටර අගයන් සමඟ තර්කන චිප් සඳහා වෙළඳපොළ පංගුව අද වන විට වෙනස් වී ඇති ආකාරය – economist.com

එම වෙළඳපොලේ දෙවන සහ තුන්වන ස්ථාන හිමි වන්නේ දකුණු කොරියාවට සහ ජපානයටයි. ඔවුන්ගේ වෙළඳපොළ ප්‍රතිශත පිළිවෙළින් 19%ක් සහ 10% ක් වනවා. චීනයට අර්ධ සන්නායක කර්මාන්තයේ හිමි ව ඇත්තේ 5%ක වෙළඳපොළක් පමණයි. TSMC සමාගම පිහිටා ඇති තායිවානය පවා සිටින්නේ චීනයට ඉදිරියෙන් වීම ඔවුන් මෙම වෙළඳපොළ තුළ ප්‍රමුඛයා වීමට නිතැතින්ම පොලඹවනවා.

වසරකට චීනය ඩොලර් බිලියන 300ක වටිනාකමකින් යුත් අර්ධ සන්නායක මිලදී ගැනීම සිදු කරන අතර එයිනුත් බොහොමයක් අමෙරිකාවෙන් මිලදී ගැනීමට සිදුවීම බරපතල තත්වයක් ලෙසයි එරට රජය හඳුනා ගෙන ඇත්තේ. මෑතක දී අමෙරිකානු සමාගම් බොහොමයක් තම අර්ධ සන්නායක නිෂ්පාදන 25% ක් වත් චීනයෙන් ඉවත් කරගෙන තිබීම එම තත්වය තවත් උග්‍ර කර තිබෙනවා. වාර්ෂිකව පැවැත්වෙන චීනයේ ජාතික මහජන සම්මේලනයේ (NPC) 2021 සැසිවාරයේදී චීන තාක්ෂණ කර්මාන්තය විදෙස් රටවලින් මුළුමනින් ම ස්වාධීන කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක ආයෝජනයක් සිදු කරන බවට චීන ජනාධිපති ෂී ජින්පින්ග් ප්‍රතිඥා දුන්නා.

smic
චීනයේ SMIC කම්හල – cnn.com

 

චීනයේ අර්ධ සන්නායක නිෂ්පාදනයේ ප්‍රමුඛ ම සමාගම වන්නේ SMIC (Semiconductor Manufacturing International Corporation) සමාගම යි. ඔවුන් චීන රජය හා එකාබද්ධ ව ඉදිරියේ දී ඩොලර් බිලියන 9ක නව චිප් නිෂ්පාදන කර්මාන්තශාලාවක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා. මීට පෙරාතු ව බොහොමයක් චීන අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම් කිහිපයක් ම ලාභ උපයා ඇති නමුත් ඔවුන් සියල්ලම පාහේ අද වන විට බංකොලොත් තත්වයට පත්ව තිබෙනවා. SMIC සමාගම පමණයි දියුණුවට පත්ව ඇති සමාගමක් වන්නේ. එනම් චීනය සතුව ඇති මහා ශ්‍රමය සහ තාක්ෂණය පමණක් අර්ධ සන්නායක වෙළඳපොළ දිග්විජය කිරීමට ප්‍රමාණවත් වන්නේ නැහැ.

තායිවානය සහ චීනය අතර ඝට්ටනය

තායිවානය සහ චීනය අතර දේශපාලනික විරසකභාවය වසර ගණනක ඉතිහාසයකට දිව යන්නක්. 2016 වසරේ සිට චීනය සහ තායිවානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපැවැත්වෙන අතර 2019 සිට තායිවානය වෙත තනි පුද්ගලසංචාර තහනම් කෙරුණා. චීනය තායිවානය ස්වාධීන රටක් ලෙස නොපිළිගන්නා අතර 2016 දී තායිවානය ස්වාධීන රටක් ලෙස පිළිගත්තේ රටවල් 23ක් පමණ යි. චීන බලපෑම නිසා අද වන විට එය රටවල් 15ක් දක්වා අඩු වී තිබෙනවා.

එවැනි පීඩනයක් එල්ල වුවත් අර්ධ සන්නායක නිෂ්පාදනයෙන් තායිවානය ලබා ඇති දියුණුව අති මහත්. 1990 ගණන්වලදී එම කර්මාන්තයට යොමුවුණු තායිවානය අද වන විට ආසියාවේ හොඳ ම ආර්ථිකය හිමි රටවල් අතර පළමු ස්ථාන 10 අතර සිටින රාජ්‍යයක් වනවා. TSMC (Taiwan Semiconductor Company) සමාගම තායිවානයේ කුඩා නගරයක් වන ෂින්චු (Hsinchu) හි පිහිටා තිබෙනවා. තායිවානයේ ඉහළ ම ගෙවීම් සිදුකරන කර්මාන්තය වන මෙය වෙත රටේ සිටින ඉහළ ම දක්ෂයන් යොමු වීම සාමාන්‍ය තත්ත්වයක්. තායිවානයේ ඉගෙනුම ලබන දරුවන් කුඩා කාලයේ සිට ම අපේක්ෂා කරන්නේ අර්ධ සන්නායක කර්මාන්තයට යොමුවීම යි. මේ නිසා බොහෝ සිසුන් තම උසස් අධ්‍යාපනයේ දී ඉලෙක්ට්‍රොනික සහ විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රවලට යොමු වනවා.

leading edge revenue vs others
Intel, Samsung සහ TSMC පමණක් 2020දී ලද ආදායම සෙසු සියලු නිෂ්පාදකයන් හා සැසඳීමක් – bloomberg.com

 

අමෙරිකාව වැනි රටවල බොහෝදෙනා මෘදුකාංග ඉංජිනේරු විෂය ධාරා තෝරා ගන්නේ ගූගල් සහ ඇමසන් වැනි ලොව ප්‍රකට මෘදුකාංග සංවර්ධනය කිරීමේ සමාගම්වලට එක්වීම අරමුණු කරගෙන යි. චීනයේ ද අර්ධ සන්නායක කර්මාන්තය එරට ප්‍රධාන කර්මාන්තය නොවීම නිසා දක්ෂ තරුණයන් එයට යොමු වීම තායිවානයේ තරම් දක්නට ලැබෙන්නේ නැහැ. මෙම බුද්ධිමය ශ්‍රමයේ අඩුපාඩුව ලොව ප්‍රමුඛම අර්ධ සන්නායක නිෂ්පාදකයා වීමේ චීනයේ අරමුණ යම් තරමකට අඩාල කරන බව පැවසිය හැකි යි.

මෙය මඟහරවා ගැනීම සඳහා චීනයේ වැඩපිළිවෙළ වන්නේ විදෙස් රටවලින් දක්ෂ තරුණයන් තම රටට ගෙන්වා ගැනීම යි. 2019 දී පළවූ වාර්තාවකට අනුව තායිවානයෙන් අර්ධ සන්නායක පිළිබඳ දැනුමැති ඉංජිනේරුවන් 3000ක් පමණ චීනය වෙත සංක්‍රමණය වී ඇති බව පෙන්වා දෙනවා. මෙය සිදු ව ඇත්තේ චීනයේ තාක්ෂණ සංවර්ධන උපායමාර්ගික වැඩසටහන වන “Made in China 2025” වැඩසටහනට සමගාමී ව යි. තායිවානය අර්ධ සන්නායක අතින් ප්‍රමුඛ නිෂ්පාදනයක් අත් කරගෙන සිටියත් එරට තරුණ තරුණියන් වඩා පුළුල් ආර්ථිකයක් හිමි චීනය වෙත සංක්‍රමණය වීම පැහැදිලි කරුණක් වනවා.

gov involvement by country
2019දී අර්ධ සන්නායක කර්මාන්තයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් එක් එක් රාජ්‍ය සිදු කර ඇති වියදම් නිල් පැහැයෙන්ද ඒ සඳහා රජයන් සිදු කළ ආයෝජන රතු පැහැයෙන්ද දැක්වේ – semiwiki.com

චිප් නිෂ්පාදනයේ අධිකාරිය ලබාගැනීමට නම්

තාක්ෂණයේ හිමිකාරිත්වය සඳහා එක්සත් ජනපදය සහ චීනය අතර විශාල තරගයක් පවතින බවත් අර්ධ සන්නායක කර්මාන්තය මෙම තරගයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවත් දැන් අප දන්නවා. තාක්ෂණයේ හිමිකාරිත්වය මිලිටරි ශක්තිය සඳහාත් තීරණාත්මක සාධකයක් වීම නිසා මෙය ලෝක බලවතා වීම සඳහා වූ මාවත බව චීන සහ එක්සත් ජනපද නායකයන් අවබෝධ කරගෙන තිබෙනවා. චීනය යම් මොහොතක තායිවානය වෙත තම බලය යොදවා අත්පත් කරගනිතැයි සිතීමට හැකියාවක් නැහැ. මක් නිසාද අමෙරිකානු හිතවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින තායිවානය වෙනුවෙන් ජපානය, දකුණු කොරියාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් පවා හමුදාමය මැදිහත් වීමක් සිදු කිරීමට ඉඩ තිබෙන බැවින්.

යම් හෙයකින් තායිවානය චීනයට නතු වුවත් ලොව ප්‍රධාන පෙළේ තර්කන චිප් නිර්මාණය අවශ්‍ය වන TSMC හි ප්‍රමුඛ පාරිභෝගික සමාගම් (Apple, Nvidia, AMD) කිසිවක් චීනය සමඟ වහා ම ගනුදෙනුවලට එළඹෙන්නේ නැහැ. එසේම චීනය තුළත් චිප් පරිපථවල විශාල හිඟයක් එයින් ඇතිවනු නොඅනුමාන  යි. තර්කන චිප් නිෂ්පාදනයේ කුඩා හෝ හිඟයක් ඇතිවුවහොත් සමස්ත ලෝකයම නතර වන තරමේ වෙළඳපොළ හිමිකාරිත්වයක් තමන් සතු කරගැනීමට TSMC සමත් වී තිබෙනවා. මෙය චීනයට මෙන්ම බටහිර රටවලටත් විශාල හිසරදයක්. Laptop සහ Desktop පරිගණක චිප් නිර්මාණයේ 80%ක වෙළඳපොළක් හිමිවන්නේ Intel සමාගමට යි. එසේම මතක චිප් (Memory chip) වෙළඳපොළ බහුතරය දකුණු කොරියානු සමාගමක් වන Samsung සතු වනවා. මේ සියල්ල අභිබවා පෙරට ඒමට චීනය ඉදිරියේ ඇති අභියෝගය සුළුපටු නැහැ.

xi jing ping visiting semiconductor facility
චීන ජනාධිපති ෂී ජින්පින් වුහාන්හි නව අර්ධ සන්නායක කම්හලක නිරීක්ෂණයේ යෙදුණු අවස්ථාවක් – scmp.com

මින් ඉදිරියට චීන හා ගෝලීය අර්ධ සන්නායක කර්මාන්තය පරිණාමය වන ආකාරය බොහෝ දුරට රඳා පවතින්නේ චීන රජය ගන්නා උපායමාර්ගික පියවර සහ චීන සමාගම්වල ඉංජිනේරු ක්‍රියාත්මක කිරීම් මත යි. එසේම ඒවා ජෝ බයිඩන් පරිපාලනයේ ප්‍රතිපත්ති මතත් රඳා පවතිනවා. අමෙරිකාව නම්; ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීම සඳහා තම මූලාශ්‍ර සහ තාක්‍ෂණය චීනය භාවිත කිරීමේ අවදානමට එරෙහිව එක්සත් ජනපදයේ අර්ධ සන්නායක සමාගම්වලින් ලැබෙන ප්‍රතිලාභ ප්‍රවේශමෙන් කිරා මැන බැලිය යුතු යි. චීනය නම්; “රජය විසින් මෙහෙයවනු ලබන” සහ “වෙළඳපොලෙන් මෙහෙයවනු ලබන” යන දෙපාර්ශවය අතර අපැහැදිලි රේඛාව පැහැදිලි කළ යුතු යි. එසේම ඔත්තු බැලීමේ හා බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ උත්සාහයන් වෙනුවට අර්ධ සන්නායක නිෂ්පාදනය සඳහා වූ කාර්මික ප්‍රතිපත්තියක් සැකසිය යුතු යි. එවිට ජයග්‍රාහකයන් සහ පරාජිතයන් වෙළඳපොළ මගින් තීරණය කෙරෙනු ඇති.

කවරයේ පින්තුරය - gvn360.com 

මූලාශ්‍ර:

computerworld.com

bloomberg.com

thediplomat.com

brookings.edu

technode.com

ispionline.it 

semiconductors.org  

Related Articles