දින කිහිපයකට හෝ සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ උණ රෝග තත්ත්වයක් වැලඳුනහොත් ඒ හරහා අපේ සාමාන්‍ය දිනචර්යාවට සිදු වන බලපෑම කෙතරම් විශාල ද යන්න විශේෂයෙන් කිව යුතු නොවේ. ඒ නිසා හැකි ඉක්මනින් එය සුව කර ගැනීම සඳහා ඕනෑම කෙනෙක් නොයෙකුත් ප්‍රතිකාර ක්‍රමවලට යොමු වේ.
දින කිහිපයක් පමණක් පවතින රෝගී තත්ත්වයක් නිසා අප එතරම් අපහසුතාවට පත් වන්නේ නම් පුරා වසර 32ක් අසාමාන්‍ය රෝග තත්ත්වයකින් පෙළුණු අයකු කොතරම් අපහසුතාවට පත් වන්නට ඇති ද?
ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩු වීම සහ දැඩි නිදිමතක් ඇති කිරීමට හේතුවන ශිශිරතරණය (hibernation) නම් තත්ත්වය නිසා පුරා වසර 32ක කාලයක් නින්දේ පසු වූ එවැනි කාන්තාවක් පිළිබඳ තොරතුරු ස්වීඩනයෙන් හමු වේ. කැරොලිනා ඔල්සන් නම් ඇය 1876 සිට 1908 දක්වා වූ වසර 32ක කාලය තුළ ඉහත කී තත්ත්වය නිසා නින්දේ පසු වූවා ය. මේ ඇගේ කතාන්දරය යි.
ශිශිරතරණය
ශිශිරතරණය (Hibernation) යනු ශීත කාලයේ දී ශරීරයේ උෂ්ණත්වය පහළ යාම නිසා ඇති වන අවපාත තත්ත්වයකි. බොහෝ විට ශීත දේශගුණයක් සහිත රටවල ජීවත් වන සතුන්ට මෙම රෝග තත්ත්වය වැලඳෙන අතර එවිට ඔවුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පහළ යාම සහ හුස්ම ගැනීමේ වේගය අඩු වීම වැනි ලක්ෂණ ඇති වේ.
ඒ නිසා ශරීරයේ ක්‍රියාකාරීත්වය හීන වේ. ශිෂිරතරණයට ලක් වන මිනිසුන් පිළිබඳ ව නිරන්තරයෙන් අසන්නට නොලැබේ. කෙසේ වෙතත් මිනිසුන්ට ඇති වන කෝමා තත්ත්වය සහ ශිශිරතරණය අතර බොහෝ සමානකම් තිබේ.
කැරොලිනාගේ ළමා විය
ස්වීඩනයේ දී 1861 ඔක්තෝබර් 29 දින උපත ලැබූ කැරොලිනා ඉතා දිළිඳු පවුලක සාමාජිකාවක් වූවා ය. දරුවන් පස් දෙනකුගෙන් යුතු පවුලේ දෙවැනි දරුවා වූ ඇය පවුලේ එකම ගැහැනු දරුවා ද විය. ඇගේ පියා ධීවරයකු වූ අතර මව ගෘහණියක් විය. ඒ නිසා කැරොලිනාට මෙන්ම ඇගේ පවුලේ අයට ජීවත් වන්නට සිදු වූයේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ ය. ඔවුන් කෙතරම් දුෂ්කර ජීවිතයක් ගත කළා ද යත් රෝගී තත්ත්වයක් ඇති වූ විට ප්‍රතිකාර ලබාගැනීමට හෝ වත්කමක් ඔවුන්ට නොවී ය.
හදිසියේ රෝගාතුර වීම
1876 පෙබවාරි 18 දින නිවසෙන් පිටත සිය මිතුරන් පිරිසක් සමඟ ක්‍රීඩා කරමින් සිටි කැරොලිනා බිම ඇද වැටුණු අතර ඒ නිසා ඇගේ හිස මඳක් තුවාල විය. කෙසේ වෙතත් එය ඉතා සුළු තුවාලයක් වූ බැවින් ඇය හෝ ඇගේ මව්පියන් ඒ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කළේ නැත. ඊට දින කිහිපයකට පසු, එනම් 1876 පෙබරවාරි 22 දින ඇය මව්පියන්ට පැවසුවේ තමන්ට දත් කැක්කුමක් සැදී ඇති බව යි. කිසිවකු කළ හූනියමක් නිසා ඇයට දත් කැක්කුම වැලඳී ඇති බව සිතූ කැරොලිනා ගේ මව සහ පියා, ඇඳට ගොස් නිදාගන්නා ලෙස ඇයට අණ කළහ.
නැවත අවදි නොවූ කැරොලිනා
එදින නින්දට වැටුණු ඇය පසුදා උදෑසන අවදි නොවූ බැවින් ඇගේ මව්පියන් අනුමාන කළේ දත් කැක්කුම උත්සන්න වීම නිසා ඇය නිදා සිටින බව ය. කෙසේ නමුත් දහවල් වන තුරු නින්දේ පසු වූ ඇය අවදි කරවීමට මව්පියන් සහ පවුලේ අය දැරූ කිසිදු උත්සහයක් සාර්ථක වූයේ නැත. කැරොලිනා සාමාන්‍ය පරිදි ආශ්වාස ප්‍රශ්වාස කරන බව සැකහැර දැනගත් ඇගේ මව සිය මිතුරකුගෙන් සහ නගරයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් ලබාගත් උපදෙස් අනුව නින්දේ සිටි සිය දියණියට කිරි වීදුරු දෙකක් සහ දිය කළ සීනි පෙව්වා ය.
වෛද්‍ය උපදෙස් ලබා ගැනීම
දින දෙකකට ආසන්න කාලයක් ගත වුවත් අවදි නොවූ බැවින් කැරොලිනා වෛද්‍යවරයකු වෙත රැගෙන යන ලෙස නගරයේ පවුල් සෞඛ්‍ය සේවිකාව ඇගේ මව්පියන්ට උපදෙස් දුන්නා ය. කෙසේ නමුත් ඔවුන් සතු ව වෛද්‍යවරයකුට ගෙවීමට තරම් මුදලක් නොතිබුණි. අවසානයේ අසල්වැසියන් කිහිප දෙනෙක් එකතු වී වෛද්‍යවරයකු කැඳවාගෙන ආ අතර ඔහු නිගමනය කළේ කැරොලිනා කෝමා තත්ත්වයකින් පෙළෙන බව යි. එම වෛද්‍යවරයා වසරක කාලයක් තිස්සේ පැමිණ ඇගේ තත්ත්වය පිළිබඳ සොයා බැලූ නමුත් ඇය අවදි වන බවක් පෙනෙන්නට නොතිබිණි.
වෙනත් වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වීම
කැරොලිනාට ප්‍රතිකාර කළ පළමු වෛද්‍යවරයා ඇගේ රෝග තත්ත්වය සුව කිරීම සඳහා උපකාර කළ හැකි අයකු වේ නම් ඉදිරිපත් වන ලෙස ඉල්ලා සුප්‍රසිද්ධ ස්කැන්ඩිනේවියානු වෛද්‍ය සඟරාවකට ලිපියක් ලීවේ ය. එම ලිපිය කියැවූ වෛද්‍යවරුන් ගණනාවක් ඇයට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වූ අතර ඇගේ හිසකෙස් සහ නියපොතු වර්ධනය වීම නැවතී ඇති බව ඔවුහු නිරීක්ෂණය කළ හ. කැරොලිනාගේ මව්පියන් සඳහන් කළේ ඇය සමහර අවස්ථාවල එක්වර ම අවදි වී යම් යම් දේ මුමුණන බව යි.
‘හිස්ටීරියා’ නම් තත්ත්වය බවට මතයක්
කැරොලිනාට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වූ වෛද්‍යවරයකු වූ ජොහාන් එමිල් ඇල්ම්බ්ලැඩ්ගේ අදහස වූයේ ඇය කාන්තාවන්ට වැලඳෙන මානසික ආතති තත්ත්වයක් වන හිස්ටීරියාවෙන් පෙලෙන බව යි. කැරොලිනා ප්‍රතිකාර සඳහා 1892 වසරේ ජුලි මස රෝහල් ගත කළ අතර එහිදී ඇයට විදුලිසැර යොදා ගෙන කරන චිකිත්සාවක් ද කර තිබිණි. කෙසේ වෙතත් එම ප්‍රතිකාරයෙන් ද පලක් නොවූ බැවින් 1892 අගෝස්තු 2 දින ඇයට නැවතත් නිවසට යාමට අවස්ථාව ලැබිණි. රෝහල්ගත ව සිටි කාලය තුළ සිදු කළ කිසිදු ප්‍රතිකාරයකින් ඇයගේ නිද්‍රාශීලි තත්ත්වයේ සුළු අඩුවීමක් හෝ සිදු වූයේ නැත. එතැන් පටන් ඇය නිරායාසයෙන් ම අවදි වූ දිනය දක්වා කිසිදු වෛද්‍යවරයෙක් ඇය පරික්ෂා කළේ නැත.
මවගේ අභාවය
කැරොලිනා අවදි වීමට වසර හතරකට පෙර, එනම්, 1904 වසරේ දී ඇගේ මව මිය ගියා ය. එතැන් පටන් ඇයට රැකබලා ගත්තේ සේවිකාවකි. 1907 වසරේ දී ඇගේ සොහොයුරකු මිය ගිය අතර ඒ අවස්ථාවේ කැරොලිනා සිහිනෙන් මෙන් හඬා වැටුණු බව කියැවේ. නිදා සිටි කාලය පුරාවට ම කැරොලිනාට දිනකට කිරි වීදුරු දෙක බැගින් ලබා දුන් අතර ඇය කිසිදු දෙයක් ස්පර්ශ කර නොමැත.
අවදි වීම
වසර 32ක දීර්ඝ නින්දකින් අනතුරු ව කැරොලිනා 1908 අප්‍රේල් 3 දින අවදි වූවා ය. එදින ඇයට කිරි ලබාදීමට කාමරයට ගිය සේවිකාවට දක්නට ලැබුනේ කැරොලිනා හඬමින්, ඇඳෙන් බිමට පනිමින් සහ ආපසු ඇඳට නගිමින් සිටින ආකාරය යි. ඇගේ සොහොයුරන් ඇය අසලට පැමිණියත් ඔවුන් හඳුනා ගැනීමේ හැකියාවක් ඇයට නොතිබිණි. දශක තුනක් තිස්සේ දිනකට කිරි වීදුරු දෙකක් පමණක් ආහාර වශයෙන් ලබාගත් ඇය ඉතා කෙට්ටු වී තිබූ අතර ශරීරය ද බොහෝ සෙයින් දුර්වල විය. අවදි වී දින කිහිපයක් යන තෙක් ඇය ආලෝකයට සංවේදී බවක් පෙන්නුම් කළ අතර කතා කළේ ද නැත.
අවදි වීමෙන් පසු කාලය සහ අභාවය
කෙසේ වෙතත් ඇයට ලිවීමට සහ කියවීමට හැකියාව තිබූ අතර නින්දට වැටීමට පෙර සිදු වූ සහ ඉගෙනගත් දෑ ද මතකයේ තිබිණි. යුරෝපයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ගණනාවක් ඇය සොයා පැමිණීමට පටන් ගත් බැවින් ඇය සිය පවුලේ අය ද සමඟ සැඟ වී සිටියා ය. ඒ වන විට 46 හැවිරිදි වියේ පසු වුවත් ඇගේ පෙනුම වයස අවුරුදු 25ක යුවතියකගේ පෙනුමට සමාන වූ බව කියැවේ. ඉන් පසු වසර 42ක කාලයක් සාමාන්‍ය ජීවිතයක් ගත කළ ඇය මොළයේ ලේ කැටියක් හිර වීමෙන් ඇති වූ ආබාධ තත්ත්වයක් නිසා 1950 අප්‍රේල් 5 දින මිය ගියා ය.