නිතර වනය විනාශ කරන්නන්ගෙන් අතවර සිදුවන ජෛව විවිධත්වයෙන් ඉහළ ඉතා සුන්දර මහ වනයක් වන නිල්ගල පුරාණයේ වැදි ජනතාවගේ නිජබිමක් වුණා. අදත් නිල්ගල, රතුගල පළාත්වල වැදි ජනතාව වාසය කරනවා. බිබිල නගරයේ සිට අම්පාර පාරේ පිටකුඹුර හරහා ගොස් බුලුපිටිය පසු කළ විට මහා මාර්ගය ඇදී යන්නේ නිල්ගල වනාන්තරය මැදින්. අඩවි වන කාර්යාලය පිහිටා ඇත්තේ බුලුපිටිය සිට කිලෝ මීටර් 10ක් දුරින් පිහිටි ලෝග්ගල්වල යි.
නිල්ගල වනාන්තරයේ ප්‍රධානත ම වන සංරක්‌ෂණ කොටස බිබිල අඩවිය යි. මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල වශයෙන් වන සංරක්ෂණ බීට්‌ටු හතරක් මෙම වනයට අයත් වෙනවා. නිල්ගල මිනිසා සහ ජෙව ගෝල රක්ෂිතයක් ලෙස නම් කර තිබෙනවා. මෙම වනයේ කොටසක් ගල්ඔය ජාතික උද්‍යානයටත් අයත් වෙනවා. එම කොටස පාලනය වන්නේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතේ. එහි පාලනය අම්පාර සහකාර වනජීවී අධ්‍යක්‍ෂවරයාට අයත්. මඩුල්ල, මැදගම, බිබිල, ඉඟිනියාගල, අම්පාර යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස යටතට මේ වනාන්තරය අයත් වෙනවා.
වනයේ විශාලත්වය
නිල්ගල නැඟෙනහිර කොටස වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වන අතර එම භූමි ප්‍රමාණය හෙක්ටයාර 9000ක් පමණ වෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ හෙක්ටයාර 13000ක් පමණ පාලනය වෙනවා. නිල්ගල වන භූමිය නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයෙත්, ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයෙත් පැතිර තිබෙනවා.
නිල්ගල වනය දැක බලා ගැනීමට අවශ්‍ය සොබා රසිකයන්ට ප්‍රධාන මාර්ගවලින් නිල්ගලට පැමිණ එතැන් සිට මකරේ දක්වා ජීප් රථවලින් ගමන් ගමන් කළ හැකි යි. මුල්ලේගම තඹරේණුව හරහා කැබැල්ල බොක්ක ඔස්සේ පොතුලියද්දෙන් ද වනයට ඇතුළුවීමේ මඟක් පවතිනවා.
තැන තැන විහිදී පවතින පර්වත සහිත කඳු ගැට, ජලය පිරි පොකුණු, ඔය පාරවල් ආදියෙන් සමන්විත නිල්ගල වනාන්තරය, සවානා වර්ගයට අයත් වනාන්තරයක්. ඌව සානුවට උතුරින් සහ නැගෙනහිරින් මුහුදු මට්ටමේ සිට මීටර 100-800 දක්වා උස් පරාසයක වනපෙත පැතිර තිබෙනවා.
මෙය වියළි සහ තෙත් කලාපය අතර පිහිටි අන්තර් කලාපයට අයත්. වර්ෂාව ලැබෙන්නේ ඊසානදිග මෝසම් සුළඟින්. මෙම සවානා තලාවේ හරිත පැහැය ජුනි – අගෝස්තු වන විට වියළී යයි. ගිනි තැබීම් නිසා තැනින් තැන පිළිස්සී යයි. තණ බිමේ තැනින් තැන මීටර 12-15 දකවා උසට වැඩෙන ගස්වැල් වන උයනක පෙනුම ගෙන දෙයි.
බුද්ධදාස රජුගේ ඔසු උයන
අධික ව පැතිර තිබෙන ඖෂධීය ශාක නිසා මෙය අනුරාධපුර යුගයේ රජ කළ බුද්ධදාස රජුට අයත් ඔසු උයනක් ලෙස ජනප්‍රවාද පවසනවා. අරළු, බුළු, නෙල්ලි, ගම්මාලු යන ඔසු ශාක මෙහි ඉතා සුලබ යි. හීන් පැඟිරි. ඇත්තුත්තිරි, ගිනිතණ, පැගිරිමානා වැනි තෘණ වර්ග සවානා බිම්වල පැතිර තිබෙනවා. බිංකොහොඹ, බිංතල, විෂ්ණුක්‍රාන්ති, අග්නිජාලය, විෂහරණ, හීන්දද, තිත්තවැල් ආදී කුඩා බෙහෙත් පැළෑටි ද වනයේ යටි රෝපණයේ පැතිර තිබෙනවා.
කහට, සියඹලා, කුඹුක්, කළුවර, බුරුත, හල්මිල්ල වැනි ශාක ද මෙහි දැකගත හැකි යි. බීඩි එතීමට ගන්නා කුඩුම්බේරිය ශාකත් මෙහි බහුල යි. ඒවායේ පත්‍ර එකතු කර වියළා අලෙවි කිරීම අවට ගැමියන්ගේ සිරිතක්. වනයෙන් මීපැණි එකතු කිරීමත් ගැමි කර්මාන්තයක් ලෙස කෙරෙනවා. අරළු, බුළු, නෙල්ලි එකතු කොට අලෙවි කිරීමත් වනබද ගැමියන්ගේ ප්‍රධාන ජිවනෝපායක් වී තිබෙනවා.
ආවේණික සත්තු
නිල්ගලට ම සුවිශේෂ වූ අලංකාර සමනලයකු පසුගිය කාලයේ හඳුනා ගැනීමට ලැබුණා. වනයේ වැවෙන කුඩුම්බේරිය ශාකය මත මේ සමනලයා යැපෙන බව හඳුනා ගෙන තිබෙනවා. Baronnet Symphaedra nais යන සත්ව විද්‍යාත්මක නම ඌට ලබා දී තිබෙනවා.
මේ සමනලයා මුළු ලෝකයෙන් ද දක්නට ඇත්තේ නිල්ගල ප්‍රදේශයේ පමණ යි. ටික කලකට පෙර අප රටේ භාවිත වූ රුපියල් විස්සේ මුදල් නෝට්ටුවට ද මේ සමනලයා ඇතුළත් කර තිබුණා.
මේ වන කලාපයට පමණක් ආවේණික Lacertidae කුලයට අයත් පඳුරු කටුස්‌සන් විශේෂ දෙකක් ද සවානා තෘණ භූමිවලින් හඳුනා ගෙන තිබෙනවා. උන් සත්ව විද්‍යාත්මක ව හඳුන්වන්නේ Ophisops leschenaultii lankae හා Ophisops minor minor නමින්. ප්‍රකට උරග හා උභයජීව විද්‍යාඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ, නිල්ගලට පමණක් ආවේණික Nannophrys naeyakei නම් ගල්පර මැඬි විශේෂයක් ද 2007 වසරේ දී සොයා ගත්තා.
IUCN රතු දත්ත වාර්තාවට අනුව දැඩි ලෙස වඳ වී යැමේ තර්ජනයට පාත්‍ර වූ පඳුරු වටුවා (Perdicula asiatica ceylonensis), පතන් කුකුළා (Francolinus pictus watsoni) හා කහ පාද බටගොයා (Treron phoenicopterus phillipsi) ගේ එක ම වාසභූමිය වන්නේද මේ වනාන්තරය යි. මීට අමතර ව අප රටේ දුලබ පක්ෂියකු ලෙස සැලකෙන ළා කොළ කෑරලා ද (Picus xanthopygaeus) නිල්ගල ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. වත රතු මල් කොහා, අලුගිරවා, හිස දුඹුරු දෙමලිච්චා, වළි කුකුලා, හබන් කුකුළා, අළු කෑඳැත්තා වැනි ආවේණික පක්ෂින් ද නිල්ගලින් වාර්තා වී තිබෙනවා.
ඉතා දුර්ලභ නේවාසික පක්ෂින් ලෙස සැලකෙන පතන් කුකුළාගේ සහ පදුරු වටුවාගේ එකම වාසභූමිය වන්නේ ද නිල්ගල පමණ යි.
වන සීපාවෝ
මේ වනාන්තරයේ අලිඇතුන් විශාල වශයෙන් ජීවත් වෙනවා.. ගල්ඔය ජාතික වන උද්‍යානයේ අලි ගමන් කරන ප්‍රධාන අලිමංකඩ වැටී ඇත්තේ නිල්ගල වනාන්තරය හරහ යි. තෘණ වර්ග බහුල වීම අලිඇතුන් බහුල වීමට හේතුවක්. වලහා, කුළුහරකා, ගෝනා, වල්ඌරා, තිත්මුවා, කබල්ලෑවා, හඳුන් දිවියා, කොටියා, ඉත්තෑවා, දඬු ලේනා ද මේ වනයේ දිවිගෙවනවා.
නිල්ගල හරහා ගලා යන ඇළ, දොළ වනයට අපූරු සුන්දරත්වයක් එක්කිරීමට සමත්. ගල්ඔය, දහමල් ඔය, තම්මැඩිල්ල ඔය, දික්ඔය, බඹර කඳුර මේ අතර ප්‍රධාන වෙනවා. නිල්ගල, බුළුපිටිය හෙල, උලලේන හෙල හෙවත් ගුරුහෙල, දානිගල, යකුන්නා හෙළ, කහට අතු හෙළ, මාකඩකන්ද කඳුගැට මෙහි පැතිර තිබෙනවා.
අලංකාර උඩවැඩියා විශේෂයක් වූ ළා දම් පාටැති ගුරුළුරාජ මල් නිල්ගල වනයට ආඩම්බරයක්. ගුරුළුරාජ මෙම උඩවැඩියාව නිල්ගල අවට බිබිල කලාපයට විශේෂ වන අතර මෙය වනසත්ව සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ සංරක්ෂිත ශාකයක්. ඌව පළාත් නිල පුෂ්පය ලෙස ද ගුරුළු රාජ මල නම් කර තිබෙනවා. මෙම ශාකය ඉංග්‍රිසියෙන් foxtail orchid යන නමින් හදුන්වනු ලබනවා.
සැම වසරක ම ජනවාරි සිට අප්‍රේල් මාසවලදී නිල්ගල වනයේ ගස් අතුවල එල්ලී තිබෙන මෙම පුෂ්පය ඉතා සුන්දර දසුනක් මවා පානවා. ආදිවාසීන් මෙන්ම දේශීය වෛද්‍යවරුන් ගුරුළුරාජ මල සර්ප විෂ, ඔළුවේ අමාරුව, බඩේ රුදාව, සෙම, ඇදුම, වැනි රෝග සඳහා අතීතයේ සිට ගන්නා ඖෂධයක් සේ සැලකෙනවා.
පුරාවිද්‍යාත්මක අගය
මෙහි ඇති පුරාවිද්‍යා නටබුන් තවමත් නිසි ලෙස ගවේෂණයට යොමු වී නැහැ. දුටුගැමුණු රජතුමා එළාරට එරෙහි සටනේ දී මාගම සිට විජිතපුරට යන යුද ගමන් මාර්ගය වැටි තිබුණේ නිල්ගල හරහා බවට ජනප්‍රවාදයක් පවතිනවා. මෙහි කඳුවල තිබෙන කටාරම් කෙටූ ලෙන්වල අතීතයේ භික්ෂුන් වහන්සේ බවුන් වඩා තිබෙනවා.
මෙහි ගංගොඩදෙණිය නම් ගල්ලෙන තුළ 1908 දී ස්විස් ජාතික සැරසින් සහෝදරවරුන් කළ ගවේෂණයකදී ප්‍රාග් ඓතිහාසික මානව සාධක ලැබී තිබෙනවා. මේ වනයේ පිහිටි පුරාවිද්‍යා ස්ථාන 21ක් වසර කිහිපයකට පෙර කළ ගවේෂණයක දී හඳුනා ගත්තා. වනයේ පිහිටි කහට අත්ත ලෙන් විහාරයත් වැදගත් පුරාවිද්‍යා ස්ථානයක්.
පැවිදි කළ ගස්
නිල්ගල වනාන්තරය නීතිවිරෝධී ගස් කැපීමට නිතර ලක්වන වන පියසක්. මෑතකදිත් එහි අනවසරයෙන් සිදු කර ඇති බඩඉරිඟු වගා කිරීමක් ගැන මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. වනාන්තරය තුළ අක්කර ගණනක බැලූ බැලූ අත නීති විරෝධී ලෙස බඩ ඉරිඟු වගා කොට තිබෙන බවයි පැවසෙන්නේ.
ගස් කැපීමත් මේ වනයට අපලයක් වෙලා. මේ නිසා 2014 වර්ෂයේ නිල්ගල වනාන්තරයේ රූස්ස ගස් දැව ජාවාරම්කරුවන්ගෙන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් දැරූ උත්සාහයන් අසාර්ථක වූ පසු ගම්වැසියන් හා පරිසර සංවිධාන එකතු වී ගස් පැවිදි කිරීමක් සිදු කළා.
ගස් දහසක් එසේ පැවිදි කිරීමේ කටයුත්ත සිදු වුණා. ගස්වල සිවුරු පටියක් ඔතා එය පැවිදි කළ බව සටහන් කළා. නිල්ගල වනාන්තරයේ අක්කර අනූව හා දිඹුල්දෙන ගම්මාන ආශ්‍රිත ව පළමු වරට ගස් පැවිදි කිරීමේ විශාල පිංකමක් එසේ සිදු කළ අතර ගම්වැසියන් මූලිකත්වය ගෙන සිදු කළ මෙම කාර්යයට අවට වෙහෙර විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලාගේ පූර්ණ සහායත් ලැබී තිබුණා.