ලෝකය පිළිබඳ ව මිනිසා ගවේෂණය කිරීම ආරම්භ වූයේ මීට වසර දහස් ගණනකට පෙර සිට යි. හිරු පෑයීම, වැසි ඇති වීම, දේදුන්නක් දිස්වීම වැනි විවිධාකාරයේ ස්වභාවික සංසිද්ධීන් එකල ඔවුන් මහත් වූ විස්මයක් ලෙස දුටු අතර, ඒවාට විවිධාකාරයේ අර්ථකථන ලබා දීමටත් ක්‍රියා කළා. පසුකාලීන ව ඔවුන් ඒවා සිදුවන ආකාරය පිළිබඳ ව නිසියාකාරයෙන් තහවුරු කර ගත් පසුව ඒවායේ ‘විස්මයජනක බව’ ලෝ වැසියන් කෙරෙන් පහ ව ගියා.
තාක්ෂණය කෙතරම් දියුණු තත්ත්වයකට පැමිණිය ද, අද වන විටත් ලෝකයේ සියලු දේ මිනිසා ගවේෂණය කර නැහැ. වර්තමානයේත්, සිදුවන්නේ කෙසේදැයි කිසිවකුටත් සිතාගත නොහැකි සංසිද්ධි ලොව සිදුවෙනවා. එවැනි සංසිද්ධි තුනක් පිළිබඳ ව තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.
යමහල් අකුණු
ගිනිකඳු හෙවත් යමහල් විදාරණය දැක ගත හැකි වන්නේ ලොව ඉතා සීමිත පෙදෙස් කිහිපයකදී පමණ යි. එලෙස සීමීත පෙදෙස් කිහිපයක සිදුවන විදාරණවලදී ද, යමහල් අකුණු යන විරළ ස්වභාවික සංසිද්ධිය සිදු වන්නේ එයිනුත් ඉතා අල්ප ප්‍රතිශතයක යි. මෙය අතීතයේ පටන් විද්‍යාඥයන්ගේ හිස් වෙහෙස කළ සංසිද්ධියක් වූ අතර, එයට හේතු සෙවීම ඉතා අපහසු මෙන් ම වෙහෙසකර කටයුත්තක් වී තිබෙනවා. මීට වසර සිය ගණනකට පෙර ජීවත් වූ මිනිසුන් මේ පිළිබඳ ව විවිධ මතවාද පටබැඳ තිබූ අතර, අද වන විටත් ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වෙනවා.
යමහල් විදාරණයක දී විශාල ශක්තියක් නිපදවෙනවා. ඉන් කොටසක් ආලෝකය බවට පරිවර්තනය වන අතර, විදුලි කෙටීමක් ලෙස දිස්වන්නේ එය බව විද්‍යාඥ මතය යි. මෙලෙස විදාරණයක දී නිපදවෙන ශක්තිය, ප්‍රබල සුළි කුණාටුවක දී නිපදවෙන ශක්තියට සමාන බැව් අනුමාන කෙරෙනවා.
යමහල් අකුණු ඇති වන්නේ පොළොවට ඉතා සමීප ව
යමහල් අකුණු ඇති වන්නේ පොළොවට ඉතා සමීප ව යි. එය සමාන්‍ය අකුණු මෙන් ඉහළ සිට පහළට ඇදී යන්නේ නැහැ. එම අකුණු යමහල් විදාරාණයේ දී නිකුත් වන ධූලි වලාව තුළ තැනින් තැනට ගමන් කරමින් පවතිනවා. මෙම සංසිද්ධිය ඇති වන්නේ අතිශය ප්‍රබල යමහල් විදාරණයන්හී දී වන අතර, ඒවා කුමන ආකාරයෙන් ඇති වේ ද, කුමන අවස්ථාවන්හී දී ඇති වේ ද යන්න පිළිබඳ ව විද්‍යාඥයන් විවිධ මත පළ කර තිබුණ ද, අද වන තුරුත් ඒ කිසිවක් නිසියාකාර ව තහවුරු කර ගෙන නැහැ.
නගා ගිනි බෝල
ගිනිකොනදිග ආසියාවේ පිහිටි ගංගාවක් වන මීකොං නදිය සබැඳි ‘නගා ගිනි බෝල’ අදටත් ලෝකයාට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර තිබෙන ස්වභාවික සංසිද්ධියක් වෙනවා. මෙම ගංගාවට ඉහළින් ඇදී යන ආලෝක ගුලි විටින් විට ඒ අවට මිනිසුන්ට දැක ගැනීමට ලැබී ඇති අතර, ඒවා මොනවාදැයි අද වන තුරුත් පවතින්නේ ප්‍රශ්නාර්ථයක්.
දිගැති ගංගාවක් වන මීකොං නදියේ කිලෝමීටර 250 ක පමණ කොටසක් තුළ පමණක් මෙම අද්භූත ගිනි බෝල දිස් වනවා. මේවා වසර පුරා ම දිස් වන අතර, සරත් ඍතුවේ අවසාන කාලයේ උදා වන පුන් පොහෝ දිනවල රාත්‍රියේ වැඩි වශයෙන් දැක ගත හැකි යි. එය එම දිනවල වැඩි වශයෙන් දිස් වන්නේ ඇයි ද යන්නත් තවමත් විසඳී නැති අබිරහසක් වෙනවා.
පැසි පන්දුවක් තරමේ ආලෝක ගුලි
මෙම ගිනි බෝල දිස්වන්නේ මීකොං නදියේ ජලයෙන් මතුවෙන්නක් ලෙස යි. මේවා ගංගාවේ ජල තලයෙන් මීටර 300 ක් පමණ ඉහළට මතු වී එක් වර ම අතුරුදහන් ව යනවා. මේවා බොහෝ විට රතු හෝ තැඹිලි පැහැයෙන් දිළෙනවා.
මෙම ආලෝක ගුලි ප්‍රමාණයෙන් පැසි පන්දුවක් තරම් වෙනවා. සමහර රාත්‍රීන්වල මේවා කිහිපයක් පමණක් දිස්වන අතර, තවත් රාත්‍රියක දී මේවා දහස් ගණනක් දැක ගත හැකි වෙනවා.
මෙම ආලෝක ගුලි පිළිබඳ ව විවිධ විද්වතුන් විවිධ මත දරනවා. සමහරෙක් පවසන්නේ මේවා මීකොං නදිය අසබඩ ඇති වගුරුබිම්වලින් නැඟෙන පොස්ෆින් වායුව නිසා හටගන්නා බව යි. කෙසේ නමුත් එලෙස නිකුත් වන පොස්ෆින් වායුව මෙවැනි සංසිද්ධියක් මැවීම සඳහා සමත් නොවන බැව් තහවුරු වී තිබෙනවා. ඒ එම වායුව මෙවැනි ආලෝකයක් නිකුත් කරමින් දැවී යන්නට තරම් ක්‍රියාකාරී නැති නිසා හා මීටර 300ක් පමණ ඉහළ අහසට දැල්වෙමින් ගමන් කිරීමේ සම්භාවිතාව ශුන්‍ය නිසා යි.
භූ චලන එළි
භූ චලන එළි පිළිබඳ ව වාර්තා පොත්වල සඳහන් වන්නේ වසර සිය ගණනක අතීතයේ සිට යි. මේවා සැබෑවට ම පවතින්නේද යන්න එකල විවාද පැවති අතර, වර්තමානය වන විට නවීන තාක්ෂණයේ අනුසාරයෙන් ඒවා ඡායාරූපගත කරන්නට හැකි වී තිබෙනවා. මේවා ඇතිවන්නේ භූ චලනයක් ඇතිවීමට මොහොතකට පෙර, භූචලනය ඇතිවෙද්දී හෝ, එය ඇති වී මොහොතකට පසුව යි. මේවා සාමාන්‍යයෙන් අවුරෝරාවක් හෙවත් ද්‍රැවාසන්න එළිවල සවෲපයට ආසන්න වශයෙන් සමාන වෙනවා. කෙසේ නමුත් වර්ණ පිළිබඳ කතා කරද්දී මේවා බොහෝ විට දිස් වන්නේ සුදු හෝ නිල් පැහැයෙනු යි.
මෙම එළි භූ චලනයේ අපිකේන්ද්‍රයේ සිට විවිධ දුරවලින් දිස් වී තිබෙනවා. සමහර විටෙක මේවා අපිකේන්ද්‍රය අසලින් ම පැනනඟින අතර තවත් විටෙක ඉන් කිලෝමීටර 400 ක් තරම් දුරකින් ද දිස් වී තිබෙනවා.
මෙම එළි පිළිබඳ ව විද්‍යාඥයන් අතර පවතින්නේ ද යම් නොපැහැදිලිතාවක්. මේවා සහ භූ චලන අතර ඇති සම්බන්ධය පිළිබඳ ව ඔවුන් තවමත් පර්යේෂණ කරන අතර, මේවා දිස් වී ඇත්තේ රිච්ටර් මාපකයේ 5.0 ට වඩා වැඩි භූ චලන ඇති වූ විට පමණක් වීම සුවිශේෂී වෙනවා.
විද්වතුන් අතර මෙම සංසිද්ධිය පිළිබඳ ව ඇති ජනප්‍රියත ම මතයක් වන්නේ සමහර පාෂාණවල සිර වී ඇති, අයනීකෘත ඔක්සිජන් මෙලෙස පරිසරයට පිටවීම නිසා මෙම එළි ඇති වන බව යි. කෙසේ නමුත් එම මතය තවමත් තහවුරු කර ගන්නට ඔවුනට නොහැකි වී ඇත්තේ මෙම සංසිද්ධිය ඉතාමත් විරළ නිසා යි.