දින 100කට අධික කාලයක් පැවති ගාලු මුවදොර අරගලය ජාත්‍යන්තර ව පවා ප්‍රකට වුණේ ආදරයේ අරගලය ලෙස යි. ඉතාමත් සාමකාමී ව හමුදා නිලධාරින්ට පවා ඇතැම් උපකාර කරමින් තමයි එය පැවැත්වුණේ.
නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිව්රුම් දී පැය 24ක් යාමටත් මත්තෙන් කිසිදු හේතුවකින් තොරව අලුයම් කාලයේ හමුදා යොදවා එයට කළ ප්‍රහාරයට ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකය පුරා විරෝධය එල්ල වුණා. මේ, එම අරගලයට එල්ල කළ ප්‍රහාරය ගැන ජාත්‍යන්තර ජනමාධ්‍ය හා සංවිධාන මෙන් ම තානාපති අංශ දැක් වූ අදහස් ගැන සොයා බැලීමක්.
ශ්‍රී ලංකාවේත් බොහෝ දෙනා අරගලය කෙරෙහි දැක්වූ ළැදියාව හෙළිවූයේ පොදුජන පෙරමුණු ආධාරකරුවන් මැයි 9 දා ඔවුන්ට ම්ලේච්ඡ ප්‍රහාරය සිදු කළ දිනයේ යි. ඉන් රට ම ඇවිස්සුණු අතර පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු රාශියකගේ නිවෙස් පවා ගිනිබත් වුණා. එවක අගමැතිවරයාට ඉල්ලා අස්වී සැඟවී සිටීමටත් සිදුවුණා. ඉනික්බිති ද අරගලය තවත් ශක්තිමත් ව ඉදිරියට ඇදී ගියා.
ජුලි 9 වැනි දා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිකම දමා පලා යාමෙන් පසුව නව ජනාධිපතිවරයෙක් පැමිණීයා. ඉන් අනතුරුව අරගලකරුවන් අත්පත් කර ගත් ගොඩනැගිලි ඔවුන් ආපසු බාරදුන්නා. අරලියගහ මන්දිරය අසල පැවති නෝඩීල්ගමත් අරගලකරුවන් ඉවත් කර ගත්තා. ජනාධිපති ලේකම් කාර්යාලය ඔවුන් බාරදීමට තීරණය කර තිබුණේ ජුලි 22 වැනි දා යි. ඔවුන් 21 වැනි දා දිනයේ එම ගොඩනැඟිල්ලේ සවිකර තිබූ බැනර්, නාමපුවරු ආදිය ද ඉවත් කර තිබුණා.
හේතුවක් නැතිව හමුදා ප්‍රහාරයක්
ජුලි 21 වැනි දා මැදියම් රැය ගෙවී යාමෙන් පසුව 22 වැනි දා අලුයම එකට පමණ සිය ගණනක සන්නද්ධ හමුදා සේනාංක ගෝටාගෝගම සහ ජනාධිපති ලේකම් කාර්යාලය වට කළා. නිරායුද අරගලකරුවන්ට, මාධ්‍යවේදීන්ට, සාමකාමී සිවිල් පුරවැසියන්ට එම පිරිස් එළව එළවා පොලු මුගුරුවලින් පහර දුන් බවයා වාර්තා වූයේ. යුද හමුදාව ප්රමුඛ ආරක්ෂක අංශ එල්ල කළ එම ප්‍රහාරය ලොව පුරා මාධ්‍යවලින් මෙන් ම සමාජ මාධ්‍ය හරහා ද ප්‍රචාරය වුණා.
ජාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඒ ගැන ලොකු උනන්දුවක් දැක්වූවා. විදෙස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ජනමාධ්‍ය සංවිධාන හා විපක්ෂ දේශපාලනඥයන් ද එය හෙළා දකිමින් නව පාලනයට දොස් නඟමින් මාධ්‍ය නිවේදන නිකුත් කළා.
නව අගමැතිවරයා පුමුඛ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සුදානම් ව තිබු පසුබිමකයි ආරක්ෂක අංශ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට මෙම පහරදීම සිදු කළේ. මාධ්‍යවේදීන්ට පහරදුන් බව තමන් නොදන්නා අතර ඒ ගැන සොයා බලන්නම් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බිබීසී පුවත් සේවයට පසුව පවසා තිබුණා.
ජාත්‍යන්තර අවධානය
ගාලු මුවදොර අරගල භුමියේ ක්‍රියාකාරීන් සහ සාමාන්‍ය සිවිල් වැසියන් බොහෝ දෙනකුට හමුදා සෙබළුන් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කරන දර්ශන සහිත වීඩියෝ රාශියක් සමාජ මාධ්‍යවල සහ අන්තර්ජාලයේ බහුලය සංසරණය වුණා. මෙම සිදුවීම නිසා ජාත්‍යන්තර අවධානය විශාල වශයෙන් ශ්‍රී ලංකාව දෙසට එල්ල වී තිබෙනවා. සිද්ධියෙන් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයෝ පිරිසක් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයෝ පිරිසක් ඒ ප්‍රදේශයට පැමිණ එම භූමියේ සියලු තොරතුරු සටහන් කර ගත් බවත් වාර්තා වුණා.
බීබීසී පුවත් සේවය
ලෝකයේ ප්‍රකට ම පුවත් ආයතනයක් වන බීබීසීහි වීඩියෝ මාධ්‍යවේදියකුට හමුදාව එහිදී පහර දී තිබෙනවා. එක් සොල්දාදුවෙක් ඔහුගේ දුරකථනය උදුරා ගෙන මාධ්‍යවේදියා වීඩියෝ ගත කළ දර්ශන මකා දමා ඇත්තේ මාධ්‍ය ආචාර ධර්ම පවා කෙලෙසමින්. එම අවස්ථාවේ සජීව දර්ශන ලබා දෙමින් සිටි බීබීසී දෙමළ සේවයේ ජෙරින් සැමුවෙල්ටත් හමුදාව පහරදී තිබෙනවා. බීබීසී මාධ්‍යවේදීන් බව නැවත නැවත කියමින් සිටිය ද ඔවුන්ට පහරදෙන ආකාරය සජීව වීඩියෝ දර්ශනවල සටහන්වී තිබෙනවා.
තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනකු ම හමුදා පහරදීම්වලට ලක්ව ඇති බවට මාධ්‍ය ආයතන පවසා සිටියා.
මේ ගැන බීබීසී වෙබ් පිටුවේ ඔවුන් පුවත් කිහිපයක් ම පළ කළේ වීඩියෝ දර්ශනත් සමඟ යි.
‘‘ගාලු මුවදොර අරගලකරුවන්ට හමුදාවෙන් අමානුෂික ප්‍රහාර;සජීව විකාශය අතරතුර බීබීසී මාධ්‍යවේදීන්ටත් පහර දෙයි‘‘
එක් පුවතක ශීර්ෂ පාඨය වුණා.
‘අද අලුයම් කාලයේ දී ඉතා විශාල වශයෙන් ආරක්ෂක අංශ නිලධාරින් ගාලු මුවදොර දෙසට පැමිණෙන බවට මීට පෙර වාර්තා විය.
විරෝධතාකරුවන් ජනපති කාර්යාලයෙන් පිටවීමට පැය කිහිපයකට පෙර සිය ගනණක් වූ යුද හා ගුවන් හමුදා සහ පොලිස් කමාන්ඩෝ භටයින් ජනාධිපති කාර්යාලය අවට පිහිටුවා තිබූ විරෝධතා කඳවුර වටලා කූඩාරම් ඇද දැමීමට පටන් ගෙන තිබේ.‘‘
පහර කෑමට ලක්වූ බීබීසී ලෝක සේවයේ අන්බරසන් එතිරාජන් කොළඹ සිට මෙසේ වාර්තා කර තිබුණා:
‘‘අපි එම ප්‍රදේශයෙන් ආපසු එමින් සිටිය දී, සිවිල් ඇඳුමින් සැරසී සිටි හමුදා භට පිරිසක් වටකරගත් පුද්ගලයෙක්, මගේ සගයාට කෑ ගසමින්, ඔහුගේ දුරකථනයෙන් වීඩියෝගත කළ දර්ශන මකා දැමීමට අවශ්‍ය බව කීවේය. තත්පර කිහිපයකින් ඔහු මගේ සගයාට පහර දී ඔහුගේ දුරකථනය උදුරා ගත්තේය.
අපි මාධ්‍යවේදීන් බවත් අපි අපේ රාජකාරිය කරන බවත් මම ඔවුන්ට පැහැදිලි කළත් ඔවුන් සවන් දුන්නේ නැත.
ඔවුන් මගේ සගයාට තව දුරටත් පහර දුන් අතර ඒ පිළිබඳ අපි දැඩි විරෝධතාව පළ කළෙමු. තවත් බීබීසී සගයකුගේ මයික්‍රොපෝනය උදුරාගෙන එය ද ඔවුන් විසි කොට දැමු අතර, දුරකථනයෙන් වීඩියෝ දර්ශන මකා දැමීමෙන් පසු දුරකථනය ඔහු නැවත ලබා දුන්නේය.‘‘
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මතය
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ පුවත් වෙබ් පිටුවේ මේ ප්‍රහාරය ගැන පුවත පළ කර තිබුණේ
‘‘ලජ්ජයි ශ්‍රී ලංකා: සාමකාමී අරගලකරුවන්ට එල්ල කරන තිරිසන් ප්‍රහාර වගාම නැවැත්විය යුතුයි‘‘ යන ශීර්ෂ පාඨයෙන්.
ක්ෂමා සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් කිල් වර්ඩ් සඳහන් කර සිටින්නේ බලයට පැමිණ පැය කිහිපයක් යාමට මත්තෙන් නව රජය බලය පවත්වා ගැනීමට නිරායුධ සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය දැඩි ව හෙළා දකින බවයි. එය නව ආණ්ඩුවේ ලජ්ජා නැති වැඩක් බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා කියාසිටියේ ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කර හමුදාව සහ පොලීසිය විරෝධතාකරුවන් අතරට පැමිණ විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහරදීම සහ මාර්ග අවහිර කිරීම සහ වෙනත් පුද්ගලයින් එම ප්‍රදේශයට පිවිසීම වැලැක්වීම සිදුකර ඇති බව යි.
නීතිඥවරුන් ද ඇතුළු විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම භාෂණයේ නිදහස, විරෝධතා දැක්වීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස උල්ලංඝණය කිරීමක් බවත් ඇය සඳහන් කරනවා.
ජාත්‍යන්තර ජන මාධ්‍ය
සීඑන්එන් පුවත් සේවය මෙම සිදුවීම වාර්තා කළේ ‘ශ්‍රී ලංකා හමුදා ජනාධිපති කාර්යාලයෙන් පිටත විරෝධතා කඳවුර හකුලා දමයි’ යනුවෙනුයි.
ඉන්දියාවේ එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කළේ ‘ආරක්ෂක සෙබළුන් සහ පොලිසිය, නිරායුද විරෝධතාකරුවන්ගේ කූඩාරම් බිඳ දැමූ’ බවයි.
‘ශ්‍රී ලංකා හමුදාව, විරෝධතා කඳවුරු ආක්‍රමණය කරමින් ඔවුන්ට පහර දුන් බව’ ස්කයි නිවුස් වාර්තා කර තිබුණා.
ප්‍රංශ පුවත් සේවය සඳහන් කර තිබුණේ, ‘ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දීමත් සමඟ විරෝධතාකරුවන් මර්දනය කළ’ බව යි.
‘ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සිකුරාදා අලුයම කොළඹ ප්‍රධාන නගරයේ රජයේ භූමිය අල්ලා ගෙන සිටි විරෝධතා කඳවුරක් වටලා එයින් කොටසක් ඉවත් කළ බව’ රොයිටර් වාර්තා කර තිබුණා.
අල්ජසීරා පුවත් සේවය
පසුගිය ජන අරගලයේ දී අල්ජසීරා පුවත් සේවයත් සජීවී විකාශන පවත්වමින් විශාල මාධ්‍ය වගකීමක් ඉටුකළා. ජුනි 9 වැනි දා ඔවුන් විකාශය කළ සජීව තොරතුරු ලෝකයේ විශාල පිරිසක් නරඹා තිබෙනවා. ඔවුන් ගාලුමුවදොර සිදුකළ ප්‍රහාරය වාර්තා කර ඇතතේ ‘‘ශ්‍රී ලංකාවේ විරෝධතා කඳවුරුවලට හමුදා වැටලීම්, නායකයන් අත්අඩංගුවට‘‘ යනුවෙන්.
ආරක්ෂක හමුදා, විරෝධතාකරුවන්ට ම්ලේච්ඡ ලෙස පහර දුන් බවත් ඔවුන් තම වාර්තාවේ සඳහන් කරනවා.
එක්සත් ජාතින්ගේ සංවිධානය
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් හැම්ඩි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ගාලු මුවදොර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව යි.
මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙනී සිටින්නන් හට විරෝධතා සහ එහි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට හැකියාව තිබෙන බවත් එයට බාධා එල්ල නොකළ යුතු බවත් ඇය සඳහන් කර සිටිනවා.
මෙවැනි සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය යටපත් කිරීමට උත්සහ කිරීමෙන් රටේ දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය තවත් නරක අතට හැරිය හැකි බවටත් හැනා සින්ගර් හැම්ඩි අනතුරු අඟවා තිබෙනවා. ඇය පවසන්නේ ජනතාවගේ උපදෙස් ලබා ගනිමින් සාමකාමී විසඳුමකට යාම ඉදිරියට යා හැකි එක ම මාර්ගය බව යි.
කොළඹ අමෙරිකානු තානාපති
ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහි ව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලෙන් පසුවන බව කොළඹ අමෙරිකානු තානාපති ජූලි චන්ග් අවධාරණය කළා. බලධාරීන් සංයමයෙන් කටයුතු කළ යුතු බවත්, තුවාල ලැබූවන්ට වහා ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් කොළඹ අමෙරිකානු තානාපතිවරිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.