රටක අනාගතය රඳා පවතින්නේ දරු පරපුර මත බැවින්, නැණබල සහිත දරු පරපුරක් බිහි කිරීමට කටයුතු කරන බව වර්තමාන ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් වේ. සැබැවින් ම රටක තිරසාර පැවැත්ම, මතු අනාගතය සහ අභිමානය රඳා පවතින්නේ දරු පරපුර මත යි. එබැවින් අන් කවරකටත් වඩා දරු පරපුරේ මතු දියුණුව උදෙසා මග සකස් කිරීම රජයේ මෙන් ම පුරවැසියන් වන අපගේ ද වගකීම යි.
වටිනාකම මෙතෙකැයි කියා නිම කළ නොහැකි දරු පරපුර, නිසි පෝෂණයක් නොලැබීම නිසා මන්ද පෝෂණයෙන් පෙළෙන්නට මඟ සැලසෙන්නේ නම් එය කොතරම් අවාසනාවන්ත තත්ත්වයක් ද? එවැනි අවාසනාවන්ත පුවතක් පසුගියදා අපට අසන්නට ලැබිණි. ඉන් කියවුනේ මෙරට ප්‍රධානත ම ළමා රෝහල වන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගෙන් 20%ක් පමණ මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව යි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ට ලබා දෙන ආහාර වේල ද නියමිත ප්‍රමිතීන්ට අනුකුල වන තත්ත්වයකින් ලබා දීමේ අපහසුතාවක් උදා වී ඇති බව ද පසුගියදා දැනගන්නට ලැබිණි.
මේ ලිපියෙන් ඒ ගැටලු පිළිබඳ ව සොයා බලමු.
රිජ්වේ ආර්යා ළමා රෝහල
මෙරට ප්‍රධානත ම ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහල, වරක් දකුණු ආසියාවේ විශාලත ම ළමා රෝහල ලෙස වාර්තා අතරට එක් විය. වයස අවුරුදු 14ට අඩු ළමයින් සඳහා නේවාසික සහ බාහිර ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් ද මෙම රෝහලේ තිබේ.
රෝගී විශේෂතා 25කට වැඩි ප්‍රමාණයකට සහ ඒකක 40කට වැඩි ප්‍රමාණයකට නිවහනක් වන මෙම රෝහල ඇඳන් 1016කින්ට සමන්විත ය. ගුණාත්මක රෝගී සත්කාර සැපයීම සඳහා අවශ්‍ය සියලු ම උපකාරක සේවාවන් එහි ඇත. ඇතුළත් කිරීම් 84299ක් සමඟින්, සම්පූර්ණ බාහිර රෝගී අංශයට 647138 පිරිසක් වාර්ෂික ව පැමිණ ඇති රිජ්වේ ආර්යා ළමා රෝහල රටට අසමසම සේවාවක් සිදු කරයි. මේ සියලුම ප්‍රතිකාර සේවා ගාස්තු අයකිරීමකින් තොරව සිදු වේ.
ළමයින්ට ලබා දෙන ආහාර
රිජ්වේ ආර්යා ළමා රෝහල, එහි ප්‍රතිකාර ලබන දරුවන්ට පෝෂ්‍යදායි ආහාරවේලක් ලබා දීම ප්‍රථම කාර්යයක් කොට සලකයි. නේවාසික ප්‍රතිකාර ලබන දහසකට ආසන්න ළමයින් පිරිසකට උදෑසන, දිවා සහ රාත්‍රී යන ආහාරවේල් තුන දෛනික ව ලබාදීම එතරම් පහසු කටයුත්තක් නොවේ. කොතෙකුත් දුෂ්කරතා මධ්‍යයේ වුව ද, ළමයින් සඳහා රසයෙන් මෙන්ම පෝෂණ ගුණයෙන් ද ඉහළ ආහාර වේලක් ලබාදීමට රෝහල හැකි සෑම ප්රයත්නයක් ම දරයි. ටෙන්ඩර් පටිපාටිය අනුව යමින් රෝහලට අවශ්‍ය ආහාර සැපයීම සඳහා සැපයුම්කරුවන් බඳවා ගනී. ඔවුන් රෝහලේ අවශ්‍යතාවන්ට අනුව ආහාර සැපයීමට වසරක කාලයක් බැඳී සිටී.
ආහාර සැපයීමේ ක්‍රියාවලියට බාධා
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ළමයින්ට ආහාර ලබා දීම සඳහා එක් වේලකට සහල් කිලෝග්‍රෑම් 20ක්, කුකුළු මස් හෝ මාළු කිලෝග්‍රෑම් 15ක්, කරවල කිලෝග්‍රෑම් 10ක්, බිත්තර 350ක් 400ක් අතර ප්‍රමාණයක්, එළවළු කිලෝග්‍රෑම් 15ක සහ පරිප්පු කිලෝග්‍රෑම් 10ක් පමණ අවශ්‍ය වේ.
රිජ්වේ ආර්යා ළමා රෝහලට යම් පරිත්‍යාගයක් කරන්නේ නම් සෑම විට ම රෝහල දැනුම්වත් කර ආහාර ද්‍රව්‍ය රැගෙන එන ලෙස රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය. සන්තුශිත සේනාපති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එසේ රෝහල දැනුම්වත් නොකර ආහාර ද්‍රව්‍ය රැගෙන ඒම නිසා ඒවා අපතේ යාමට ඇති ඉඩකඩ වැඩි බව ද ඔහු සඳහන් කරයි.
ළමයින්ට ලබා දෙන ආහාරවල අන්තර්ගතය
රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ භාණ්ඩ මිල ගණන් ඉතා විශාල අගයන්ගෙන් ඉහළ ගොස් ඇති බව සහ සමහර භාණ්ඩ මිල දී ගැනීමට නොමැති තරම් හිඟයක් නිර්මාණය වී ඇති බව අපි දනිමු. මේ තත්ත්වය තුළ ඇතැම් සැපයුම්කරුවන්, රිජ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය ආකාරයෙන් ආහාර සැපයීමට අපොහොසත් ව ඇති බව පසුගියදා අනාවරණය විය.
ළමයින්ට ලබා දෙන ආහාර වේලක මස්, මාළු සහ බිත්තර වැනි පෝෂ්‍ය ගුණයෙන් ඉහළ යමක් අන්තර්ගත විය යුතු වුවත් මිල ගණන් ඉහළ යාම නිසා සැපයුම්කරුවන්ට ඒවා මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. ඊට අමතර ව සමහර ආහාර ද්‍රව්‍ය, විශේෂයෙන් වෙනත් රටවලින් ආනයනය කරන දෑ, මේ වන විට වෙළෙඳපොළේ හිඟ වීම ද ළමා රෝහලට අවශ්‍ය ආකාරයෙන් ආහාර සැපයීමට බලපා ඇති බරපතල ගැටලුවකි. මෙම තත්ත්වය දිනෙන් දින උග්‍ර අතට හැරෙන බැවින් සමහර දිනවල ළමයින්ට ලබා දෙන ආහාරවල අන්තර්ගත වන්නේ එකිනෙකට නොගැළපෙන, ගුණාත්මක බැවින් අඩු දෑ බව ජනමාධ්‍යවල පසුගියදා වාර්තා විය.
නිවෙස්වලින් ආහාර රැගෙන ඒම අඩු වීම
ඕනෑම රෝහලක ප්‍රතිකාර ලබන රෝගියකුගේ සුවදුක් බැලීමට පැමිණෙන පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් රෝගියාට අවශ්‍ය ආහාරපාන රැගෙන ඒම සිරිතකි. කෙසේ වෙතත් මේ වන විට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන ළමයින්ගේ මව්පියෝ සිය දරුවන්ට රෝහලෙන් ලබා දෙන ආහාර ලබා දීමට වැඩි නැඹුරුවක් දක්වති.
රටේ ප්‍රධානත ම ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහලට රටේ සියලු ප්‍රදේශවලින් ළමයින් පැමිණෙති. එසේ දුර බැහැර ප්‍රදේශවලින් පැමිණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ළමයින්ගේ මව්පියන් සිය දරුවාගේ සුවදුක් විමසීම සඳහා පැමිණීමට නිවසින් පිටත් වන්නේ අලුයම් කාලයේ බැවින් ඔවුන්ට ආහාරපාන රැගෙන ඒමට හැකියාවක් නැත. මේ තත්ත්වය හමුවේ රෝහලේ ප්‍රතිකාර ලබන ළමයින්ගෙන් බහුතරයක් යැපෙන්නේ රෝහලෙන් ලබා දෙන ආහාරපාන මත ය.
ආහාර සැපයුම්කරුවන්ගේ ප්‍රතිචාරය
රෝහලට ආහාර සපයන පාර්ශවය පෙන්වා දෙන්නේ ළමයින්ට ගුණාත්මක බවින් යුතු ආහාර ලබාදීමට ඔවුන් හැකි තරම් උත්සහ කරන බව යි. කෙසේ වෙතත් සමහර භාණ්ඩ මිල දී ගැනීම සඳහා පැය ගණනාවක් තිස්සේ දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම සහ මස්, මාළු සහ බිත්තර වැනි ද්‍රව්‍යවල මිල විශාල වශයෙන් ඉහළ යාම වැනි හේතු නිසා ආහාර සැපයීමේ ක්‍රියාවලියට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බව ඔවුහු සඳහන් කරති. ආහාර සැපයීම වෙනුවෙන් රෝහල වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන පවතින තත්ත්වය තුළ සිදු වන හදිසි මිල ඉහළ යාම් හමුවේ ප්‍රමාණවත් නොවන බව ද ඔවුන් පෙන්වා දී තිබේ.
ළමයින්ගෙන් 20%කට මන්දපෝෂණය
රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් වන ළමයින්ගෙන් 20%ක් පමණ මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව පසුගිය දා සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී තිබිණි. පසුගිය මැයි මාසයේ අවසන් සතිය තුළ රෝහලේ අංක 2 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි ළමයින් 53ක් පරික්ෂා කිරීමේ දී ඔවුන්ගෙන් 20%ක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව හෙළි වී තිබේ.
ඒ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ එම ළමයින් අතරින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව යි. මෙය ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයක් බව ද වෛද්‍යවරු පෙන්වා දුන්හ. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ විටමින් වැනි පෝෂණ සංඝටක අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් නොලැබීම මෙම තත්ත්වයට හේතුව බැවින් දරුවන්ට පෝෂ්‍යදායි ආහාරවේලක් ලබාදීම ඉතා වැදගත් බව ද වෛද්‍යවරු අවධාරණය කරති.
මන්දපෝෂණය සහ සමාජ ආර්ථික පසුබිම
ළමා මන්දපෝෂණය පිළිබඳ ව මෑතක දී සිදු කළ පර්යේෂණයක දී හෙළි වී ඇත්තේ සමාජ සහ ආර්ථික වශයෙන් දිළිඳු පවුල්වල දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීමේ අවදානම ඉහළ අගයක් ගන්නා බව යි. කෙසේ වෙතත් මූල්‍යමය වශයෙන් ශක්තිමත් පවුල්වල දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීම සැලකිය යුතු ලෙස පහළ අගයක් ගන්නා බව ද එහි දී හෙළි වී ඇත. මේ සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයක දී අනාවරණය වූයේ දිළිඳු පවුල්වල වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 27%ක් වැනි ප්‍රමාණයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව යි. කෙසේ වෙතත් පොහොසත් පවුල්වල වයස අවුරුදු 5ට අඩු දරුවන් අතරින් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ 12.5%ක් පමණි.
හේතුව ආර්ථික අර්බුදය පමණ ද?
මේ ආකාරයෙන් දරුවන් අතර මන්දපෝෂණය ඉහළ යාමට වර්තමාන ආර්ථික අර්බුදය සැලකිය යුතු දායකත්වයක් දක්වා ඇති බව අපි දනිමු. විශේෂයෙන්ම මේ දිනවල පවතින කිරිපිටි හිඟය වැනි කරුණු ද මේ සඳහා අතිරේක ව බලපා ඇතැයි සිතිය හැක.
ඊට අමතරව වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ හිතාමතා ම පෝෂණයෙන් අඩු ආහාර පරිභෝජනය සහ ආහාරවේල් මඟහැරීම වැනි කරුණු ද මන්දපෝෂණය ඇති වීමට හේතු වී තිබේ. එබැවින් වර්තමාන තත්ත්වය තුළ ආර්ථික අස්ථාවර බව නිසා ඉහළ යන මන්දපෝෂණය සහ සාමාන්‍ය හේතු නිසා ඇති වන මන්දපෝෂණය යන අභියෝග ද්විත්වය ම ජය ගැනීම සඳහා අවශ්‍ය කෙටිකාලින සහ දිගුකාලින විසඳුම් හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ වගකීම වේ.