ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ විශේෂ පාර්ලිමේන්තු ප්‍රකාශය, ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරය දක්වා කල් ගිය 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහි ව සම්මත වූ යෝජනාව, අධි ආරක්‍ෂිත කලාප පිළිබඳ ගැසට් නිවේදනය අවලංගු කිරීම සහ කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් පත් කිරීම වැනි පසුගිය සතියේ කතාබහට ලක් වූ සිදුවීම් පිළිබඳව මෙම ලිපියෙන් විමසා බලමු.
ජනපතිගේ විශේෂ ප්‍රකාශය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 06 වැනි දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. මේ වනවිට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ පළමු පියවර සාර්ථක වී ඇති අතර, දෙවන අදියර පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.
ජපානයේ සහ පිලිපීනයේ පසුගිය දා සිදු කළ විදේශ සංචාර අතරතුර එරට රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කළ කරුණු පිළිබඳ ව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවල වර්තමාන තත්ත්වය පිළිබඳව ද ඔහු පාර්ලිමේන්තුව දැනුම්වත් කළේ ය.
කල් ගිය විවාදය
ඔක්තෝබර් 06 සහ 07 යන දිනවල පැවැත්වීමට නියමිත ව තිබූ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී විවාදයට ගැනීමට තීරණය වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ව ඔක්තෝබර් 06 දින පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එදින විවාදයක් පැවැත්වීම ඊට හේතුව යි.
කෙසේ වෙතත්, ස්වාධින පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් ඇතුළු පාර්ශව කිහිපයක් චෝදනා කළේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම ප්‍රමාද කරවීමට හෝ වැලැක්වීමට ආණ්ඩු පක්ෂය සිදු කළ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස අදාළ විවාදය කල් ගිය බව යි. ජනාධිපතිවරයා ද සිය ප්‍රකාශය සිදු කිරීමට එදිනම තෝරා ගැනීම හරහා එම කුමණ්ත්‍රණයට සහය දැක්වූවාදැයි සැකයක් මතු වන බව ඔවුහු සඳහන් කළහ.
මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය හමුවට ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත විය. එම යෝජනාවට පක්ෂ ව ඡන්ද 20ක් ද ඊට විපක්ෂ ව ඡන්ද 07ක් ද ලැබී තිබිණි. ඊට අමතර ව තවත් රටවල් 20ක් එම යෝජනාවට පක්ෂව හෝ විරුද්ධ ව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලැකී සිටියහ.
චීනය සහ පාකිස්තානය මානව හිමිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකාවට සහාය දක්වමින් අදහස් පළ කළ අතර, ජපානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලැකී සිටියේ ය. එම සැසිවාරයට සහභාගී වන විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කළේ මෙම යෝජනාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව යි.
හකුළා ගත් අධි ආරක්‍ෂිත කලාප
කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් – පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය,පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදීය ගුවන් හමුදා මූලස්ථානය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස සහ ඉහත ස්ථානවලට ආසන්න ප්‍රදේශ – අධි ආරක්‍ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය බල රහිත කර තිබේ.
ඒ පිළිබඳව වන ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 01 දින නිකුත් කළේ ය.
කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් පත් කෙරේ
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා සාමාජිකයන් පත්කර තිබේ. මෙම කමිටු දෙක සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 27 දෙනා බැගින් නම් කර තිබෙන අතර, කතානායක මහින්ද යාපා අබේවර්ධන එම නම් පාර්ලිමේන්තුවට පසුගිය දා දැනුම් දුන්නේ ය.
කෝප් කමිටු නව සමාජිකයින් වන්නේ: ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ඩී. වී. චානක, ශාන්ත බණ්ඩාර, අනුර දිසානායක, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, එස්.එම්.එම් මුෂාරෆ්, නලීන් බණ්ඩාර ජයමහ, එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, රෝහිණී කුමාරි විජේරත්න කවිරත්න, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාරච්චි, ප්‍රේම්නාත් සී. දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන අය යි.
කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මෙවර ඊට පත් කර නොතිබීම පිළිබඳ ව පාර්ශව කිහිපයකින් විවේචන එල්ල විය. එවැනි පසුබිමක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එම කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් ව ඔහුගෙන් පුරප්පාඩු වූ සාමාජිකත්වයට චරිත හේරත් නම් කර තිබිණි. කෝප් කමිටුවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාරට හිමි විය.
කෝපා කමිටුව සඳහා නම් කළ සාමාජිකයන් වන්නේ: මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ලසන්ත අලගියවන්න, කාදර් මස්තාන්, සුරේන් රාඝවන්, ඩයනා ගමගේ, එස්.බී දිසානායක, තිස්ස අත්තනායක, කබීර් හෂීම්, සරත් වීරසේකර, විමලවීර දිසානායක, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජේ. සී. අලවතුවල, අශෝක අබේසිංහ, බුද්ධික පතිරණ, ජයන්ත සමරවීර, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, මේජර් ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ, වසන්ත යාපා බණ්ඩාර, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, සහන් ප්‍රදීප් විතාන, ඩී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, මහාචාර්ය චරිත හේරත්, සහ ආචාර්ය හරිනි අමරසූරිය යන අය යි.
කෝපා කමිටුවේ සභාපති ධුරය නිතරගයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ට හිමි විය.
වෙද-හෙද නොසැලකිල්ල ගැන ලැබුණු තීන්දුව
2012 වසරේ දී ගම්පහ දිස්ත්‍රික් රෝහලේ දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වූ මවක් ආබාධිත දරුවකු බිහි කිරීම එම රෝහලේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මත සිදුවී ඇති බැවින් එම දැරියට රුපියල් මිලියන 30ක වන්දි මුදලක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණ විනිසුරු කල්හාරි ලියනගේ අදාළ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයට පසුගියදා නියෝග කළා ය.
දැරියගේ මව අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ දරා ගත නොහැකි වේදනාවක් ඇති වූ බව දැනුම් දුන් නමුත් වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මණ්ඩලය නිසි ප්‍රතිකාරයක් ලබා නොදුන් බව යි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ උද්ධමනය පසුගිය අගෝස්තු මාසයට සාපේක්ෂ ව සැප්තැම්බර් මාසය වන විට 5.5%කින් ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. එම දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුව අගෝස්තු මාසය වන විට 64.3%ක් වූ එම උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය වන විට 69.8%ක් දක්වා ඉහළ ගොස් ඇත.
අගෝස්තු මාසයේ 93.7ක් වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ආහාර උද්ධමනය සැප්තැම්බර් මාසය වන විට 94.9%ක් දක්වා ඉහළ ගොස් ඇත. අගෝස්තු මාසයේ 50%ක් වූ ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය වන විට 57.6%ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ බද්ද
ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය දා ඉදිරිපත් කළ 2022 වසර සඳහා වන අතුරු අයවැය යෝජනාවේ සඳහන් සමාජ ආරක්ෂණ බද්ද ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක වේ. වාර්ෂික ව රුපියල් මිලියන 120කට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් මෙම බද්ද අයකරගන්නා අතර, ඒ හේතුවෙන් දුරකථන ගාස්තු සහ ආහාර සහ අනිකුත් ද්‍රව්‍යවල මිල, ඇතුළු බොහෝ භාණ්ඩවල මිල ගණන් සහ සේවා සඳහා අයකරන ගාස්තු ඉහළ ගොස් ඇත. රජය නිවේදනය කළේ රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රැකවරණය සැපයිය යුතු කණ්ඩායම්වලට සහන සැලසීමට අවශ්‍ය අරමුදල් සැපයීම මෙම බද්ද පැනවීම මඟින් අපේක්ෂා කරන අරමුණ බව යි.
චීන පොහොර නැව පිළිබඳ නවත ම අනාවරණය
පසුගිය වසරේ මෙරට මුහුදු තීරයට පැමිණ නැවත පිටත් ව ගිය, චීනයේ නිෂ්පාදිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000ක් රැගත් නෞකාවට අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ වර්තාවක සඳහන් වේ. එම වාර්තාවේ සඳහන් වන්නේ අදාළ ගනුදෙනුව හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව යි.
අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන අදාළ පාර්ශවයන්ගෙන් එම මුදල අයකරගන්නා ලෙස විගණ කාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවලට නිර්දේශ කර තිබේ.
පහළ ගිය ගෑස් සහ ඉන්ධන මිල
ඔක්තෝබර් 01 දින මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දැමීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දීය තෙල් සමාගම (IOC) පියවර ගෙන තිබිණි. එම සංශෝධනයෙන් පසු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 410ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 510ක් වේ. කෙසේ වෙතත් ඩීසල් ඇතුළු අනිකුත් ඉන්ධන මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවී ය.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් පහළ යාම සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 05 මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් මිල පහත දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කළේ ය. කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක රුපියල් 271කින්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 107කින්, සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 47කින් පහළ දමා තිබේ. එම ගෑස් සිලින්ඩරවල වර්තමාන මිල ගණන් පිළිවෙළින් රුපියල් 4,280ක්, රුපියල් 1,720ක්, සහ රුපියල් 800ක් වේ.
මත්වතුරටත් QR කේතයක්
වෙළෙඳපොළේ ඇති නීතිවිරෝධි මත්පැන් බෝතල් ක්ෂණික ව හඳුනා ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව පරිගණක යෙදවුමක් හඳුන්වා දී තිබේ. එම යෙදවුම හරහා, ස්මාර්ට් ජංගම දුරකථනයකින් මත්පැන් බෝතලයේ ඇති ආරක්ෂක ස්ටිකරයේ QR කේතය ස්කෑන් කළ හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ ය. එම ක්‍රියාවලිය හරහා අවශ්‍ය තොරතුරු ලබාගත නොහැකි වුවහොත් ඒ මොහොතේ ම සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ. “EXCISE TAX STAMP VALIDATOR” යන නමින් මෙම යෙදවුම සියලු ම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන හා ඇපල් දුරකථන හරහා භාගත කරගත හැක.
අභාවප්‍රාප්ත වූ දර්ශන් ධර්මරාජ්
සම්මානනීය රංගන ශිල්පී දර්ශන ධර්මරාජ් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් පසුගිය ඔක්තෝබර් 02 දින අභාවප්‍රාප්ත විය. රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ප්‍රදේශයේ උපත ලබා, පසුකාලීන ව අභියෝග රැසක් මධ්‍යයේ රංගන ක්ෂේත්‍රයට පිවිසි ඔහු මිය යන විට 41 හැවිරිදි වියේ පසු විය.
ඔහුගේ දේහය කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ අතර ඊට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දේශපාලනඥයන් සහ කලා ශිල්පීහු ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ. පසු ව ඔහුගේ දේහය රක්වානේ පිහිටි නිවෙසට රැගෙන ගිය අතර රක්වාන ප්‍රදේශයේ දී දේහය පිළිබඳ අවසන් කටයුතු ඔක්තෝබර් 05 දින සිදු කෙරිණි.
සනීපාරක්ෂක තුවා අමුද්‍රව්‍ය මත පැනවූ බදු ඉවතට
දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය පහක් මත පනවා තිබූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. ඊට අමතර ව ආනයනය කරන නිමි සනීපාරක්ෂක තුව මත පනවා ඇති බදු ලිහිල් කිරීමට ද රජය පියවර ගෙන ඇත. මෙම බදු සහනය සමඟ දේශීය ව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50-60 ක මිලකින් අඩුවීමට නියමිත අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් – රුපියල් 270ක් වනු ඇත. ආනයනික නිමි නිෂ්පාදනවල සිල්ලර මිල 18%කින් හෝ 19%කින් අඩුවීමට නියමිත ය.
දිනෙන් දින ඉහළ යන පියයුරු පිළිකා රෝගීහු
සෑම දිනක ම පියයුරු පිළිකා රෝගීන් 12 දෙනකු මෙරටින් වාර්තා වන බව පසුගිය දා වාර්තා විය. ජාතික පිළිකා මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය, හසරැලි ප්‍රනාන්දු මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට පියයුරු පිළිකා රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව යි.
පියයුරු පිළිකා පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු අදාළ ආයතන ආරම්භ කර ඇත. එම වැඩසටහන යටතේ ප්‍රාදේශීය මට්ටමින් පියයුරු පිළිකා පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමටත්, හඳුනා ගන්නා රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් පියවර ගැනෙනු ඇත.
අත්‍යවශ්‍ය සේවා
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය මඟින් විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත. මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් මීට පෙර අවස්ථා ගණනාවක දී ගැසට් නිවේදන නිකුත් කර තිබීම සුවිශේෂී කරුණකි.