යුක්‍රේනය සහ රුසියාව අතර පවත්නා යුදමය වාතාවරණය තවදුරටත් බැරෑරුම් කරමින් පසුගිය සතියේ සුවිශේෂී සිදුවීමක් සිදු වුණා. රුසියානු හමුදාව ආක්‍රමණය කොට තිබූ යුක්‍රේනයේ ප්‍රදේශ හතරක් විධිමත් ලෙස රුසියාවට ඈදා ගත්තායැ යි පුටින් පාලනය ප්‍රකාශ කිරීම ඊට හේතුව යි. මෙම ප්‍රදේශ හතර ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කෙර්සන් හි වැඩි කොටසක් සහ සැපොරීෂියා වන අතර, රුසියාවේ ක්‍රියා කලාපය නිසා වර්ග සැතපුම් දහස් ගණනක ප්‍රදේශයක් යුක්‍රේනයට නොනිල වශයෙන් අහිමි වුණා.
උක්ත ප්‍රදේශ සතර එකට ගත්විට යුක්‍රේන ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයූ කලාපයක් ලෙස හැඳින්විය හැකි යි. බැර කර්මාන්ත, සාරවත් ගොවිබිම් සහ දැනටමත් රුසියානු පාලනයේ පවතින ක්‍රිමියාව දෙසට ගලා යන මිරිදිය මාර්ගයක් මෙම කලාපය සතු වෙනවා. රුසියාවේ ආන්දෝලනාත්මක ක්‍රියාවත් සමඟ මෙම භූමියේ සියලු වාසි අත් වන්නේ රුසියාවට යි.
සදහට ම අපේ පුරවැසියෝ!
පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ක්‍රෙම්ලිනයේ සංවිධානය කළ උත්සවයකට සහභාගී වූ ව්ලැදිමීර් පුටීන්, යුක්‍රේනයට අයත් වර්ග සැතපුම් දහස් ගණනක ප්‍රදේශයක් රුසියාවට අයත් බව නිල වශයෙන් පිළි ගත්තා. එය ගිවිසුමකට අත්සන් කිරීමෙන් ප්‍රකාශයට පත් කළ බව යි ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ.
“කියෙව් හි බලධාරීන් සහ බටහිර සිටින ඔවුන් ගේ සැබෑ ස්වාමිවරුන් මට ඇහුම්කන් දෙන්න ඕනෑ. එවිට මේ දේවල් ඔවුන් ගේ මතකයේ තිබේවි. ලුහාන්ස්ක්, ඩොනෙට්ස්ක්, සැපොරීෂියා සහ කෙර්සන්වල සිටින මිනිසුන් සදහට ම අපේ පුරවැසියන් බවට පත් වෙමින් සිටිනවා. අපි කියෙව් හි පාලන තන්ත්‍රයට කියන්නේ වහාම සතුරුකම් අවසන් කරන්න කියලා යි. ඔවුන් 2014 දී ඇරඹූ යුද්ධය අවසන් කර නැවත සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.”
උත්සවය අතරතුර දේශනයක් පවත්වමින් පුටීන් සිය අදහස් දක්වා තිබුණා.
සාධාරණීකරණය කළ නොහැකි හේතුවක් මත සිදු කළ ආක්‍රමණයකින් පසු ස්වෛරී රාජ්‍යයක කොටසක් (යුක්‍රේනය) බලහත්කාරයෙන් පැහැර ගෙන එය රුසියාවේ කොටසක්යැ යි ප්‍රකාශ කිරීම බරපතල ගැටලුවක් වන අතර, ජාත්‍යන්තර නීති පැහැදිලිව ම උල්ලංඝණය කිරීමක් ද එමඟින් සිදු වෙනවා. මේ හේතුව නිසා ලෝකයේ බහුතරයක් ලුහාන්ස්ක්, ඩොනෙට්ස්ක්, සැපොරීෂියා සහ කෙර්සන් යන ප්‍රදේශ රුසියාවට අයත් භූමි ලෙස නිල වශයෙන් පිළි ගන්නේ නැහැ. යුක්‍රේනයෙන් කොටසක් රුසියාවට ඈදා ගැනීමේ ක්‍රියාවලියත් සමඟ යුක්‍රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි, රුසියාව සමඟ කිසිදු සාකච්ඡාවකට එක් නොවීමේ අවදානමක් ද මතු වී තිබෙනවා.
භූ දේශපාලනික මංකොල්ලයක්..?
විලැදිමීර් පුටීන් පමණක් නොව රුසියාවේ අනෙකුත් ප්‍රබල චරිත කිහිපයක් ද යුක්‍රේන භූමි අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. උදාහරණයක් ලෙස රුසියාවේ හිටපු ජනපති දිමිත්‍රි මෙද්වෙදෙව්, අත්පත් කර ගත් යුක්‍රේන භූමිය රුසියාවට ඈඳා ගත් පසු එම තීරණය රුසියාවේ අනාගත නායකයකුට හෝ නිලධාරියකුට ආපසු හැරවිය නොහැකි බව ප්‍රකාශ කළ අතර, රුසියානු ධජය අදාළ යුක්‍රේන භූමි ඔස්සේ පියාසර කළ පසු රුසියානු සමූහාණ්ඩුවේ ඕනෑම ප්‍රදේශයකට ලැබෙන ආරක්ෂාව එම ප්‍රදේශවලටත් ලැබෙන බව රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා තිබුණා. මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ රටක ස්වෛරීභාවය සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර නීති සහ ආචාර ධර්ම රුසියානු පරිපාලනය කිසිසේත් මායිම් නොකරන බව යි.
මෙම අත්පත් කර ගැනීම යුක්‍රේන පාර්ශවය දකින්නේ ප්‍රකෝපකාරී ක්‍රියාවක් ලෙසට යි. අනෙක් අතට බටහිර බලවතුන් ගේ උපාය මාර්ගික ක්‍රියාවලියටත් එමඟින් නව අවදානමක් එකතු වෙනවා. ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කෙර්සොන් හි වැඩි කොටසක් සහ සැපොරීෂියා යන ප්‍රදේශ රුසියාවේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කිරීම එක්තරා අන්දමකින් භූ දේශපාලනික මංකොල්ලයක් වීම ඊට හේතුව යි. ඒ සමඟ ම එක්සත් ජනපදය ඇතුළු බටහිර කඳවුරේ අනාගත ගෝලීය බලයටත් බලපෑම් එල්ල වෙනවා. එවිට මේ කඳවුරු දෙක අතර පවත්නා බල අරගලය කරුණු තුනකින් තවදුරටත් දරුණු විය හැකි යි.
පළමු වැන්න
යුක්‍රේන භූමින් ඈදා ගැනීම හරහා පුටීන් එක්තරා අන්දමක දේශපාලනික මනඃකල්පිත ලෝකයක් ගොඩනඟා ගැනීමට උත්සහ කරන අතර, මේ සියලු ඈදා ගැනීම් හරහා සිය ආක්‍රමණශීලි යුද මෙහෙයුම ආත්මාරක්ෂාව තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියක් දක්වා පරිවර්තනය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ලිපියේ ඉහත සඳහන් කළ යුක්‍රේන කලාප සතර දැන් රුසියාවට අයත් බව පුටීන් ප්‍රකාශ කරන බැවින්, රුසියාවේ පවත්වා ගෙන යන සියලු ආරක්ෂණ විධි විධාන එම කලාප තුළත් පිහිටුවනු ඇති. එමඟින් දශක ගණනාවක් මුළුල්ලේ බලවත් කඳවුරු දෙකක දේශපාලනයට මැදි ව සිටින නැගෙනහිර යුරෝපා කලාපයට නව මුහුණවරකින් අත පෙවීමේ හැකියාව රුසියාවට ලැබෙනවා. ඇතැම් විට න්‍යෂ්ඨික යුද බලය පවා මෙම කලාප සතරේ පිහිටුවීමට ඔවුන් කටයුතු කරනු ඇති.
දෙවැන්න
යුක්‍රේන භූමියෙන් කොටසක් රුසියාව අත්පත් කර ගැනීමත් සමඟ යුක්‍රේනයට බටහිරින් ලැබෙන යුද ආධාර සහ අනෙකුත් උපකාර විශාල පරතරයකින් ඉහළ යා හැකි යි. කියෙව් පාලනය කේන්ද්‍ර කරගත් හමුදා භටයන් සටන නවතා දැමීමේ කිසිදු සලකුණක් නොපෙන්වන බැවින්, මහා පරිමාණයේ ප්‍රතිප්‍රහාර රැසකට මුහුණ දීමේ අවදානම රුසියානු හමුදාව ඉදිරියේ දිග හැරෙනවා. රුසියාව අත්පත් කර ගත් කලාප සතර තුළ යුක්‍රේන පාලනය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා යුක්‍රේන හමුදාව සියලු ශක්තිය යොදවනු ඇති. එම ශක්තියෙන් වැඩි කොටසක් පැමිණෙන්නේ බටහිරින් පැමිණෙන ඩොලර් බිලියන ගණනක ආධාර හරහා යි.
තෙවැන්න
යුක්‍රේන භූමියෙන් කොටසක් රුසියාවට අයත්යැ යි ප්‍රකාශ කිරීමත් සමඟ එක්සත් ජනපදය ඇතුළු බටහිර කඳවුරට යුක්‍රේනයේ යුද ප්‍රයත්නයට සහාය ලබා දීම සම්බන්ධයෙන් නව හේතුවක් නිර්මාණය කර ගැනීමේ හැකියාව උදා වෙනවා. විශාල, බලසම්පන්න ජාතියක්, සාපේක්ෂ ව කුඩා ස්වෛරී ජාතියක් වෙත ගමන් කොට ඔවුන් ගේ භූමිය අත්පත් කර ගැනීමෙන් දිගු කාලීන සහ අයහපත් පූර්වාදර්ශයක් ලෝකයට ලැබෙන බව ඔවුන්ට හුවා දැක්විය හැකි යි. එය ලොව පුරා පැන නැඟිය හැකි හෝ අනෙකුත් රාජ්‍යයන් ද අනුකරණය කළ හැකි ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීමේ හැකියාවක් පවතින අතර, එවැනි පසුබිමක් ලෝකයේ කොතැනක හෝ පැන නැඟුණහොත්, එක්සත් ජනපදය ඇතුළු බටහිර පාර්ශවය ඊට අත පෙවීමේ හැකියාවක් තිබෙනවා.
මීට කදිම උදාහරණයක් වන්නේ තායිවානය යි. දශක කිහිපයක පටන් ඔවුන් ගේ ස්වෛරීත්වයට චීනයෙන් බාධා එල්ල වන අතර, මෑතක සිට එම බලපෑම් උත්සන්න වී තිබෙනවා. දශක හතක් මුළුල්ලේ අඩු වැඩි වශයෙන් ඉස්මතු වූ චීන-තායිවාන විරසකය දැන් තිබෙන්නේ උච්චත ම ස්ථානයක යි. නැන්සි පෙලෝසි ගේ තායිවාන සංචාරයත් ඊට බලපෑවා. එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරිය තායිවානයට පසුගිය අගෝස්තු 2 වැනිදා ගොඩබැස්සේ චීන ජනාධිපති ෂී ජින්පින් ගේ අනතුරු හැඟවීම් පවා නොසලකා හරිමින්. අනාගතයේ දවසක යුක්‍රේනයටත් තායිවානයට මෙන් අඳුරු කාලපරිච්ඡේදයකට ඇතුළු වීමට සිදු වුවහොත්, ස්වෛරීත්වය රැකදීමේ නාමයෙන් ඔවුන්ට යුද ආධාර පමණක් ලැබෙනු ඇති.
ඉක්මන් ප්‍රතික්‍රියා
දෙපාර්ශවය අතර පවතින යුදමය වාතාවරණයේ වර්තමාන තත්ත්වය සැලකූ විට රුසියාව ඉදිරි පියවරක් තබා ඇතැයි පෙනුණ ද යුක්‍රේනය එයට ඉක්මන් ප්‍රතික්‍රියා දක්වමින් සිටිනවා. පුටීන් පරිපාලනය පසුගිය සැප්තැම්බර් 30 වැනිදා, යුක්‍රේනයේ කලාප හතරක් සිය රාජ්‍යයට ඈදා ගත්තායැ යි පැවසුවත්, කිසිදු කලාපයක පූර්ණ පාලනයක් ස්ථාපිත කිරීමට ඔවුන්ට හැකි වී නැහැ. ඔක්තෝබර් තුන් වැනිදායින් ආරම්භ වූ සතියේ දී යුක්‍රේන භූමිය තුළ යම් පෙරළියක් සිදු වෙමින් තිබෙනවා. උදාහරණයක් ලෙස යුක්‍රේන හමුදා දැනටමත් කෙර්සන් ප්‍රදේශයේ අභ්‍යන්තරය තුළට පැමිණෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
යුක්‍රේන හමුදාව කෙර්සන් පළාතට පසුගිය සඳුදා කඩා වැදුණු බව රුසියානු හමුදාව පිළිගත් අතර, යුක්‍රේන යුද ටැංකි ඒකක රුසියානු හමුදාවේ ආරක්ෂක සීමා විනිවිද යෑමට සමත් වූ බවත් ඉන් කියවුණා. යුක්‍රේන හමුදාවේ දක්ෂිණ බළ ඇණිය ප්‍රකාශ කරන පරිදි යුක්‍රේන හමුදාව රුසියානු හමුදාවට අයත් යුද ටැංකි 31 ක් සහ රොකට් විදිනයක් විනාශ කර තිබෙනවා. ගම්මාන කිහිපයක් රුසියානු ග්‍රහණයෙන් නැවත මුදා ගෙන ද තිබෙනවා. කෙර්සන් පළාතේ බලය තහවුරු කර ගැනීමේ අරගලයක නිරත වන රුසියානු හමුදාවේ සැපයුම් මාර්ගවලට පවා ඔවුන් බලපෑම් එල්ල කර ඇති බව යි පැවසෙන්නේ.
නොනවතින සටන
යුක්‍රේන හමුදාවේ ප්‍රතිචාරය කෙර්සන් ප්‍රදේශයට පමණක් සීමා වී නැහැ. යුක්‍රේන පාලනයෙන් සෑහෙන දුරකට ගිලිහුණු ඩොනෙට්ස්ක් ප්‍රදේශයට ඇතුළු වීමටත් යුක්‍රේන හමුදා සමත් වී තිබෙනවා. ඒ ලයිමන් නගරය අත්පත් කර ගැනීම හරහා යි. නැඟෙනහිර යුක්‍රේනයේ මූලෝපායික වැදගත්කමක් දක්වන ලයිමන් නගරය, ප්‍රධාන සැපයුම් සහ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙසත් ක්‍රියා කරනවා. දරුණු සටන්වලින් පසු ලයිමන් නගර වැසියන් සිය ආරක්ෂිත බිම් මහල් තුළින් පොළව මතුපිටට පැමිණි අතර, ආහාර පිස ගැනීම සඳහා ගිනි මැල ගැසීමටත් උත්සුක වුණා. ලයිමන් නගරයට පසුගිය මැයි මාසයේ පටන් නළ ජලය, විදුලිය සහ ගෑස් සැපයුම් ලැබී නැහැ.
ඩොනෙට්ස්ක් කලාපයට අයත් ලයිමන් හි පාලනය යළි සියතට ගත් පසු යුක්‍රේන හමුදා තවදුරටත් නැඟෙනහිර දෙසට ගමන් කරමින් අසල්වැසි ලුහාන්ස්ක් කලාපයේ මායිමට ළඟා වෙමින් සිටින බව එක්සත් ජනපදය පදනම් කර ගත් යුද අධ්‍යයන ආයතනයක් සඳහන් කර සිටිනවා. ඒ අනුව යුක්‍රේනයේ ප්‍රදේශ හතරක් නිල වශයෙන් ඈදා ගත්තායැ යි ව්ලැදිමීර් පුටීන් පවසා සිටිය ද සැලකිය යුතු යුද ජයග්‍රහණ කිහිපයක් ලබා ගැනීමට යුක්‍රේන හමුදා සමත් ව සිටිනවා.