Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලිස් ට්‍රස්: අර්බුදකාරී එක්සත් රාජධානිය භාරගත් නව අගමැතිනිය

එක්සත් රාජධානි‍යේ අගමැති තනතුර දැරූ විවාදාත්මක ම චරිතයක් ලෙස බෝරිස් ජොන්සන් හැඳින්විය හැකි යි. නිමක් නැති අර්බුද සහ අපවාදවලින් බැටකෑ ඔහුට සිය පක්ෂයේ සහයෝගය පවා අවසානයේ දී අහිමි වුණා. ක්‍රිස් පින්චර් සම්බන්ධය, පාර්ටිගේට් සිදුවීම, ඕවන් පැටර්සන් ආන්දෝලනය වැනි උණුසුම් සිදුවීම් හරහා බෝරිස් ගේ ජනප්‍රියත්වය වේගයෙන් පහත වැටුණු අතර, ගෝලීය ආර්ථික අර්බුද හමුවේ එක්සත් රාජධානිය ආරක්ෂා කරගත හැකි ආකාරය ගැනත් ඔහුට හරියාකාර දැක්මක් තිබුණේ නැහැ.

අවසාන ප්‍රතිපලය ලෙස ඔහුට අගමැති ධූරයෙන් ඉවත් වීමට සිදු වූවා. ඉවත් වීමේ තීරණය දැනුම් දීමත් සමඟ එක්සත් රාජධානිය දේශපාලනමය වශයෙන් සංක්‍රාන්ති සමයකට ඇතුළු වූ අතර, ඊළඟ අනුප්‍රාප්තිකයා වෙනුවෙන් නම් දෙකක් යෝජනා වුණා. පාලන බලය හිමි කොන්සර්වේටිව් පක්ෂයේ ම සාමාජිකයන් වූ රිෂී සුනාක් සහ ලිස් ට්‍රස් කරළියට පැමිණියේ ඒ අනුව යි. හිස් වූ අගමැති ධූරය සඳහා ලිස් ට්‍රස් පත්විය හැකි බව මුල සිට ම අනාවැකි පළ වුණා. 

ක්‍රියාකාරී දේශපාලනයට පෙර සුනාක් සහ ට්‍රස් – www.cnbctv18.com 

නව පරිච්ඡේදයක්

ලිස් ට්‍රස්, කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරඟයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු එක්සත් රාජධානියේ නව අගමැතිවරිය වීමට සුදුසුකම් ලැබුවා. දෛවෝපගත සිදුවීමක් මෙන් ඇය අගමැති තනතුරට පත් වී දින කිහිපයක් ඇතුළත දෙවැනි එළිසබෙත් මහ රැජන අභාවප්‍රාප්ත වූ බැවින්, නව අගමැතිවරියක් සහ නව රජතුමකු යටතේ එක්සත් රාජධානිය අලුත් පරිච්ඡේදයක් ඇරඹීමට සූදානමින් සිටිනවා. ඒ නැවුම් පරිච්ඡේදය එතරම් සුන්දර නැහැ. යුක්‍රේන-රුසියානු යුද ගැටුම හේතුවෙන් එක්සත් රාජධානිය යම් බලශක්ති අර්බුදයකට මුහුණ පාමින් සිටින අතර, එළඹෙන ඔක්තෝබරයේ දී බලශක්ති බිල්පත් 80% කින් පමණ ඉහළ යෑමට නියමිත ව තිබුණා. ලිස් ට්‍රස් සැබැවින් ම භාර ගත්තේ ජීවන බරින් මිරිකෙන එක්සත් රාජධානියක්.

 අපි දැන් ඇය ගේ දේශපාලන දිවියේ ගමන් මඟ කෙටියෙන් විමසා බලමු.

 මේරි එළිසබෙත් ට්‍රස් නොහොත් ලිස් ට්‍රස්, 1975 ජූලි මස 26 වැනිදා ඔක්ස්වර්ඩ් හි උපත ලැබූ අතර, ඇය ගේ මව හෙදියක් ලෙස සේවය කළ තැනැත්තියක්. ලිස් ට්‍රස්ගේ පියා ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස රටට සේවය කළා. දේශපාලනයේ නිරත වීම සඳහා ඇය සතු ව ඇති විභවය, කුඩා කාලයේ පටන් ම ලැබුණු බවක් පෙනෙන්නට තිබෙනවා. උදාහරණයක් ලෙස 1980 දී න්‍යෂ්ඨික නිරායුදකරණය වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාරයක් සංවිධානය කළ පා ගමනක් සඳහා ඇය සිය මව සමඟ සහභාගී වී තිබුණා. සමාජ ගැටලු වෙනුවෙන් පෙනී සිටීමේ පෞරුෂය, මෙවැනි කුඩා අත්දැකීම් හරහා ඇය ආරම්භයේ සිට ම ලබා ගන්නට ඇති.

එක්සත් රාජධානියේ හිටපු අගමැතිවරුන් කිහිපයක් හමුවේ ලිස් ට්‍රස් මහත්මිය සංසන්දනය වන ආකාරය – yougov.co.uk 

මතවාදී පරිවර්තනය

උසස් අධ්‍යාපනය සඳහා ට්‍රස් පසුකලෙක ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වන අතර, එහි දී ඇය දර්ශනවාදය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව හැදෑරුවා. වර්තමානයේ දක්ෂිණාංශික දේශපාලන අදහස් දැරුව ද ශිෂ්‍ය දේශපාලනයේ පටන් ම ඇය නියෝජනය කළේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය යි. ට්‍රස් සිය දේශපාලන දිවිය ආරම්භ කළෙත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින්. වරෙක ඇය ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ සමුළුවක දී රාජාණ්ඩු ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවකට පවා සහයෝගය දැක්වූවා.

 කෙසේ නමුත්, 1996 පටන් මතවාදී වෙනසකට බඳුන් වෙමින් ඇය කොන්සර්වේටිව් පක්ෂය හා සම්බන්ධ වුණා. වාම නැඹුරුවක් ඇති ඇය ගේ මාපියන් පවා ඉන් කම්පනයට පත් වූ බව යි පැවසෙන්නේ. එතැන් පටන් අභියෝගාත්මක සහ ජයග්‍රාහී කාල වකවානු මැද දේශපාලනයේ ප්‍රගතිශීලි ගමනක ඇය නිරත වූවා.

ජය පරාජයන් මැද..

ලීස් ට්‍රස් මුහුණ දුන් පළමු දේශපාලන අභියෝගය වන්නේ 2001 මහ මැතිවරණ පරාජය යි. එවර ඇය බටහිර යෝක්ෂයර්වලට අයත් හෙම්ස්වර්ත් හි ටෝරි අපේක්ෂකයා ඉදිරිපත් වෙමින් තරඟ කළා. 2005 දී තවත් මැතිවරණ පරාජයක් ට්‍රස්ගේ දේශපාලන දිවියට එකතු වුණා. එහෙත්, ඇයගේ දේශපාලන අභිලාෂ ඉන් දුර්වල වූයේ නැහැ. 2006 දී ලන්ඩනයේ ග්‍රීන්විච් හි මන්ත්‍රීවරියක් ලෙස තේරී පත් වීමට ඇයට හැකි වුණා. 

ට්‍රස් පවුල න්‍යෂ්ටික නිරායුධකරණයට සහාය දක්වමින් උද්ඝෝෂණය කළ අයුරු – www.bbc.com 

 ලිස් ට්‍රස් මුහුණ දුන් ඊළඟ අභියෝගය එළඹෙන්නේ 2010 වර්ෂයේ දී යි. එකල එක්සත් රාජධානියේ අගමැති ධූරය හෙබ වූ ඩේවිඩ් කැමරන් ඔහුගේ ප්‍රමුඛතා අපේක්ෂකයන් ගේ “A-ලැයිස්තුවට” ට්‍රස් ඇතුළත් කළ අතර, නිරිතදිග නෝ(ර්)ෆොක් හි ආසනය සඳහා ඉදිරිපත් වුණා. කෙසේ නමුත්, ටෝරී මන්ත්‍රීවරයකු වන මාර්ක් ෆීල්ඩ් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බව හෙළි වූ පසු අදාළ මැතිවරණ කොට්ඨාසය සඳහා තෝරා නොගැනීමේ අවදානමකට ඇය මුහුණ දුන්නා. එම උත්සාහය ව්‍යර්ථ කරමින් ආසනය ජයග්‍රහණය කිරීමට ට්‍රස් සමත් වුණා.

2012 දී ඇය අධ්‍යාපන අමාත්‍යවරියක ලෙස කටයුතු ඇරඹූ අතර, 2014 දී පරිසර ලේකම්වරිය ලෙස උසස් වීමක් ලැබුවා. බෝරිස් ජොන්සන් එක්සත් රාජධානියේ අගමැති ධූරයට පත් වීමත් සමඟ ම ලිස් ට්‍රස්ට වඩාත් යහපත් කාලයක් උදා වුණා. ඇය ගේ දේශපාලන ගමන් මඟේ වැදගත් සංධිස්ථාන කෙටි කාල පරතරයක් ඇතුව හමුවීම ඊට හේතුව යි. බොරිස් යටතේ ඇය ප්‍රථම ව ජාත්‍යන්තර වෙළෙඳ ලේකම් ලෙස පත් වූ අතර, 2021 දී විදේශ ලේකම් ලෙස රජයේ වඩා ජ්‍යෙෂ්ඨත ම රැකියාවක් කරා සංක්‍රමණය වුණා. බෝරිස් පාලන සමය තුළ ඇය කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබලයකු ලෙස ඉස්මතු වෙමින් ඊළඟ අගමැතිනිය වීමේ විභවය පවා උපයා ගත්තා.

ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක උන්නතිය වෙනුවෙන් ලිස් ට්‍රස්ගේ පාලනය බලපාන ආකාරය ජනතාව විශ්වාස කරන අයුරු – yougov.co.uk 

විශ්වාසය උපයා ගැනීමේ සටන

 ඕනෑම නව අගමැතිවරයකුගේ උරහිස් මත විශාල වගකීම් සම්භාරයක් ක්ෂණිකව පැටවෙනවා. ලිස් ට්‍රස් ඉදිරියේ ඇති විශාලත ම වගකීම වන්නේ එළඹෙන ඔක්තෝබරයේ සිට 80% කින් ඉහළ යෑමට නියමිත බලශක්ති බිල්පත කළමනාකරණය කිරීම යි. එක්සත් රාජධානියේ මධ්‍යම පාංතික ආදායම සමඟ සැසඳීමේ දී බලශක්ති බිල්පතේ වැඩි වීම දරාගත නොහැකි තරම්. 2019 ට සාපේක්ෂ ව තුන් ගුණයක පමණ පිරිවැයක් සිය බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් වෙන් කිරීමට ඔවුන්ට සිදු වෙනවා. ශීත කාලය එළඹීමට නියමිත ව ඇති බැවින්, මෙම තත්ත්වය තවත් බැරෑරුම් වෙනවා.

ලිස් ට්‍රස් හමුවේ ඇති ඊළඟ අභියෝගය වන්නේ ජනතාව ගේ විශ්වාසය දිනා ගැනීම යි. බෝරිස් ජොන්සන් ගේ ක්‍රියාකලාපය නිසා පසුගිය අවුරුදු දෙක ඇතුළත කොන්සර්වේටිව් පක්ෂයට ඇති ජනප්‍රියත්වය  වේගයෙන් පහළ වැටුණා. එහි වාසිය කම්කරු පක්ෂය දිනා ගනිමින් සිටින මොහොතක කොන්සර්වේටිව් පක්ෂයේ අනාගතය වෙනුවෙන් නැවත විශ්වාසය දිනා ගැනීමේ සටනක ලිස් ට්‍රස් නිරත වෙනවා. බලයට පත් වී සතියක් ඇතුළත බලශක්ති බිල්පතේ අර්බුදය සඳහා හදිසි සැලැස්මක් ඉදිරිපත් කරන බව ඇය පැවසුවේ ඒ නිසා යි. නවත ම මාධ්‍ය වාර්තා අනුව ඇය එම පොරොන්දුව ඉටු කරන බවක් පෙනී යනවා.

ලිස් ට්‍රස් – www.gettyimages.com

 

බිල්පතට සහනයක්

සියලු ගෘහස්ථ ඒකක සඳහා බලශක්ති බිල්පත් ඉහළ යෑම වසර දෙකක් සඳහා සීමා කිරීමේ යෝජනාව ඇය ගෙන ආවේ ඒ අනුව යි. යෝජනාවට අනුව සාමාන්‍ය ගෘහස්‍ථ බලශක්ති බිල්පත 2024 වර්ෂය තෙක් පවුම් 2400 ක් වැනි (ඔක්තෝබර් මාසයේ සිට සාමාන්‍ය නිවසක් සඳහා පවුම් 3,549 දක්වා ඉහළ යාමට නියමිත ව තිබිණි.) වාර්ෂික සාමාන්‍ය අගයකට යටත් කිරීම සිදු කෙරෙනවා. මෙම මිල සීමාව තුළ සිටීම සඳහා රජයට පවුම් බිලියන 150 ක පමණ ආධාර යෝජනා ක්‍රමයක් සැලසුම් කිරීමට සිදු වන අතර, බලශක්ති බිල්පත් වැඩි වීමෙන් අවදානමට පත් වන කුඩා පරිමාණ ව්‍යාපාර සඳහාත් උපකාර ලැබෙනු ඇති. අදාළ ක්‍රියාදාමය ලිස් ට්‍රස් නිර්වචනය කර ඇත්තේ “අසාමාන්‍ය වේලාවක ගන්නා අසාමාන්‍ය පියවරක්” ලෙසට යි.

බෝරිස් ගෙන් හිස් වන අගමැති පුටුව සඳහා තරඟ කළ සුනාක් සහ ට්‍රස් ගේ සැසඳීමක් – www.dailymail.co.uk 

යෝජනාවලිය හරහා එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයේ සියලු උපකාර ලැබෙනු ඇති. කෙසේ නමුත්, අවදානමට ලක් විය හැකි සමාජ ස්ථර පවතින බැවින්, ලිස් ට්‍රස් ගෙන ඇති සහනදායී පියවර ප්‍රමාණවත් නොවන බව යි පැවසෙන්නේ. අඩු ආදායම්ලාභීන්ට අමතර උපකාර ලැබෙන අන්දමේ වැඩ පිළිවෙළක් නොමැති ව බිල්පතේ මිල සීමාව පාලනය කළ පමණින් එම අවදානම් කාණ්ඩ අවදානමෙන් බේරාගත නොහැකි යි. ඒ අනුව මිලියන ගණනක් එළඹෙන ශීත සෘතුවේ දී ඉන්ධන දරිද්‍රතාවයෙන් පෙළෙනු ඇති බව අපේක්ෂා කරනවා. එය ඉතා භයානක තත්ත්වයක්.  

කරුණු කාරණා මෙසේ තිබිය දී ලිස් ට්‍රස් ගැන සැබැවින් ම එක්සත් රාජධානියේ වෙසෙන මිනිසුන් දරන්නේ කෙබඳු අදහසක් ද?

බ්‍රිතාන්‍යයේ අගමැති ලෙස පත් වූ ලිස් ට්‍රස් දෙවන එළිසබෙත් රැජන හමුවෙයි – www.hindustantimes.com 

 

සහන කාලයක් බඳු අවුරුදු දෙක

ඇය ජනතා ඡන්දයෙන් තේරී පත් වූ අගමැතිවරියක් නොවෙයි. මහා මැතිවරණයක අවශ්‍යතාවකින් තොරව ඇය අගමැති ධූරයට පත් වූයේ කොන්සර්වේටිව් පක්ෂයට තවමත් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා යි. කොන්සර්වේටිව් පක්ෂ සාමාජිකයන් ගේ ඡන්දයෙන් ඇය තේරී පත් වුවත්, පක්ෂයේ මුළු සාමාජිකයන් ගණන එක්සත් රාජධානියේ ජනගහණයෙන් නියෝජනය කරන්නේ 1% ත් අඩු ප්‍රමාණයක්. ට්‍රස්ට හදිසි මැතිවරණයක් කැඳවීමට හැකි වුව ද ඇය 2024 තෙක් බලා සිටිනු ඇති. මැතිවරණ දින දර්ශනයට අනුව එක්සත් රාජධානියේ මීළඟ මහ මැතිවරණය 2025 ජනවාරි 24 වැනිදා ට ප්‍රථම ව පැවැත්විය යුතු යි. 

 කොන්සර්වේටිව් පක්ෂයට ජනතා ප්‍රසාදය අහිමි වෙමින් පැවතීම මීට හේතුව ලෙස දැක්විය හැකි යි. ලිස් ට්‍රස් හරහා කොන්සර්වේටිව් පක්ෂයට ජනතා විශ්වාසය දිනා ගැනීමට තවත් අවුරුදු දෙකක් ඒ අනුව හිමි වෙනවා.

බෝරිස් ජොන්සන් පක්ෂය තුළ ඉතිරි කර ගිය ප්‍රතිරූපය දැන් ලිස් ට්‍රස් ගේ ගිණුමට බැර වන බවක් පෙනෙන්න තිබෙනවා – yougov.co.uk

 සමීක්ෂණයකට අනුව එක්සත් රාජධානියේ පුරවැසියන් ගෙන් 52% ක ප්‍රතිශතයක් නව අගමැතිවරිය අසමත් නායිකාවක් වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඇය ගේ පාලනය යහපත් වනු ඇතැයි අපේක්ෂා කරන්නේ 12% වැනි සුළු පිරිසක් පමණ යි.

බෝරිස් ජොන්සන් පක්ෂය තුළ තබා ගිය අපකීර්තිය දැන් ලිස් ට්‍රස් ගේ ගිණුමට බැර වෙන පසුබිමක් තමයි තිබෙන්නේ. බෝරිස් ජොන්සන් සහ ලිස් ට්‍රස් සැසඳීමේ දී 24% ක් ඇය බෝරිස්ට වඩා යහපත් වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ හා සමාන ප්‍රතිශතයක් ඇය බෝරිස් ජොන්සන්ට වඩා අයහපත් වනු ඇති බව ප්‍රකාශ කරනවා. බෝරිස් ජොන්සන් සහ ලිස් ට්‍රස් ගේ පාලන කාලය අතර කිසිදු වෙනසක් අපේක්ෂා නොකරන ප්‍රතිශතය 37% ක්.

චාල්ස් රජු සහ එක්සත් රාජධානියේ අගමැති ලිස් ට්‍රස් – people.com

 මින් පෙනී යන්නේ ලිස් ට්‍රස්ට ඇත්තේ කොන්සර්වේටිව් පක්ෂ සාමාජිකයන් ගේ සහයෝගය පමණක් බව යි. ඉන් බාහිර ලෝකය තුළ ඇයට එතරම් සහයෝගයක් නැහැ. වඩාත් අභියෝගාත්මක එක්සත් රාජධානියක් භාරගත් ඇය, මේ විශ්වාසය කෙසේ උපයා ගනීවි ද?

කවරයේ ඡායාරූපය: එක්සත් රාජධානියේ නව අගමැතිනී ලිස් ට්‍රස්. පසුබිමින් දැක්වෙන්නේ ඇය ගේ රජය තුළ ප්‍රධාන කාර්යභාර ඉටු කරන කණ්ඩායමේ ඉදිරි පෙළ සාමාජිකයින් කිහිප දෙනෙක් - www.thetimes.co.uk

 මූලාශ්‍ර:

www.bbc.com

www.bbc.com/sinhala

www.theguardian.com

Related Articles