Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පීඩනය දරා ගැනීමේ පාඩම කියා දෙන දියමන්ති

කලාතුරකින් හමු වන, ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස බිහි වන, කාබන්වලින් සමන්විත ඛණිජයක් සාමාන්‍ය ව්‍යවහාරයේ දී දියමන්ති ලෙස හැඳින්වෙනවා. දියමන්තියක ඇති සෑම කාබන් පරමාණුවක් ම තවත් කාබන් පරමාණු හතරක් හා සම්බන්ධ වී පවතින අතර ඒවා එකිනෙකට බැඳ තබා ගන්නේ සහසංයුජතා බන්ධන මගින්. සාමාන්‍යයෙන් සහසංයුජතා බන්ධන තරමක් දුර්වල වුණත් කාබන් – කාබන් බන්ධන ඉතාම ශක්තිමත් නිසා මේ සරල, ඒකාකාරී, දැඩි ලෙස බැඳුණු සංයෝගය සැලකෙන්නේ ලෝකයේ ඇති වඩාත්ම කල් පවතින ද්‍රව්‍යයක් ලෙස යි. දියමන්ති අාභරණවලට අමතරව විවිධ කටයුතු රාශියක් සඳහාත් යොදා ගැනෙනවා.

(ritani.com)

දැනට ලෝකයේ හඳුනාගෙන ඇති දැඩි බවෙන් ඉහළ ම ස්ථානයක අැති ස්වභාවික සංඝටකයක් ලෙස සැලකෙන දියමන්ති රසායනික ප්‍රතිරෝධකයක් වන අතර ස්වභාවික ද්‍රව්‍යයන් අතරින් ඉහළ ම තාප සන්නායකතාවක් ද දක්වනවා. දියමන්තිවල පවතින මෙම ගුණාංග නිසා ම අනෙකුත් ද්‍රව්‍ය කැපීමේ මෙවලමක් ලෙස එය යොදා ගැනීමට හැකි යි.

මීට අමතර ව දියමන්ති සතු ව ඉහළ වර්තන, විසරණ හැකියාවන් සහ ඉහළ ප්‍රභාව වැනි ප්‍රකාශ ගතිගුණ (අාලෝකයේ ගමන් මග වෙනස් කිරීමේ හැකියාව) පවතින නිසා ලෝකයේ දැනට පවතින ජනප්‍රිය ම මැණික් විශේෂය බවට පත් වීමේ අවස්ථාව ද දියමන්තිවලට හිමි වී තිබෙනවා.

දියමන්ති නිපදවෙන්නේ කොහොම ද?

ග්‍රාහක ගැටීමකින් නිර්මාණය වූ දියමන්ති ආකරයක් (56thparallel.com)

පොඩි කාලේ ඉඳලා අපි අහලා තිබෙන කතාවක් තමයි දැඩී පීඩනයකට හසු වෙලා කාලයක් තිබෙන අඟුරු කැට දියමන්ති බවට පත් වෙන බව. නමුත් සත්‍ය වශයෙන් ම එසේ නිපදවෙන්නේ සමස්ත දියමන්ති නිෂ්පාදනයෙන් 1% ක් පමණ වන සුළු ප්‍රමාණයක් පමණ යි. අනෙක් 99% නිෂ්පාදනය වන්නේ වෙනත් ක්‍රමවේදයන් ඔස්සේ යි.

පෘථිවි ප්‍රවාරය තුළ දී – මෙහි  දී පෘථිවි ප්‍රවාරය තුළ හට ගන්නා ගිනි කඳු පිපිරීම් මගින් ඇති වන අධික පීඩනය සහ උෂ්ණත්වය හේතුවෙන් දියමන්ති නිපදවීම සිදු වෙනවා.

භූ තැටි ගැටීමෙන් නිර්මිත කලාපවල දී (Subduction Zone) – සාමාන්‍යයෙන් භූ තැටි එකිනෙක ගැටීමේ දී ඇති වන අධික පීඩනය සහ උෂ්ණත්වය හේතුවෙන් භූ තැටියේ කොටස් කැඩී යන්නේ ම දියමන්ති බවට පත්වීමෙන් අනතුරු ව යි.

පෘථිවි තලය මත ඝට්ටනයන් ඇති වීමේ දී – ඈත අතීතයේ පටන් ම පෘථිවි තලය හා විශාල ග්‍රාහකයන් ගැටීමේ දී ඇති වන අධික පීඩනය සහ උෂ්ණත්වය හේතුවෙන් දියමන්ති නිෂ්පාදනය වීම සිදු වූ බවට සාක්ෂි පවතිනවා.

විශ්වයේ දී – ග්‍රහයන් අභ්‍යන්තරයේ ඉතාමත් විශාල ප්‍රමාණවලින් නැනෝ දියමන්ති තැන්පත් වී ඇති බව නාසා විද්‍යාඥයින් මේ වන විට සොයාගෙන තිබෙනවා.

දියමන්ති සහ මැණික් එකිනෙකට වෙනස් ද?

(chinaeholiday.com)

සාමාන්‍යයෙන් මිණි කැටයක් නිෂ්පාදනය වන්නේ මූලද්‍රව්‍ය කිහිපයක් එකට එකතු වීමෙන්. උදාහරණයක් ලෙස ඇලුමිනියම් ඔක්සයිඩ් (Al2O3) ස්ඵටිකරූපී වීමෙන් පද්මරාගයක් නිෂ්පාදනය වෙනවා. ඒ අනුව පද්මරාගයක් තුළ ඇලුමිනියම් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය ද්විත්වයම අඩංගු වෙනවා. යම් හෙයකින් මෙම සංයෝගය රතු පැහැය වෙනුවට වෙනත් පැහැයක් (බොහෝ විට නිල් පැහැය) ගතහොත් එවිට එය ඉන්ද්‍රනීල මාණික්‍යයක් ලෙස සැලකෙනවා.

නමුත් මිණි කැට අතර පවා දියමන්තියකට ඇති විශේෂත්වය වන්නේ එය අනෙක් ඒවා මෙන් මූලද්‍රව්‍ය කිහිපයක සම්මිශ්‍රණයකින් නොව, සම්පූර්ණයෙන් ම කාබන් පරමාණු ස්ඵටිකරූපී වීමෙන් නිෂ්පාදනය වී තිබීම යි.

දියමන්තියක වටිනාකම

(pinterest.com)

දියමන්තියක වටිනාකම නිර්ණය කිරීමේ දී යොදා ගනු ලබන මූලික නිර්ණායකයන් හතරක් පවතින අතර එ් හතරම ඉංග්‍රීසි C අකුරෙන් අැරඹෙන නිසා පොදු ව්‍යවහාරයේ දී The Four “C’s” of Diamond Value යනුවෙන් හඳුන්වනු ලබනවා.

Colour (පැහැය): මැණික් විද්‍යාව පිළිබඳ ඇමෙරිකානු ආයතනය මගින් දියමන්තියක වටිනාකම තීරණය කිරීම සඳහා වර්ණාවලියක් හඳුන්වා දී තිබෙන අතර එය අවර්ණ/පැහැදිලි දියමන්තිවල සිට දුඹුරු පැහැය දක්වා දිව යනවා. එම නිර්ණායකය අනුව වටිනාකමින් ඉහළ අගයක් ගන්නේ අවර්ණ දියමන්ති යි.

Cut (කැපුම): සාමාන්‍යයෙන් දියමන්ති හමු වන විට ඒවාට නිශ්චිත හැඩයක් පවතින්නේ නැහැ. පසු ව ඒවා විවිධ හැඩවලට කපා ඔප දැමීම සිදු වන අතර එය සිදු කර ඇති ආකාරයට සහ ඔප දැමීමෙන් අනතුරු ව දියමන්තියේ ඇති සමමිතික බව මත එහි වටිනාකම තීරණය වෙනවා.

Clarity (පැහැදිලි බව): මිනිස් ඇසට දැකිය නොහැකි වුවත් බොහෝ දියමන්තිවල යම් යම් අඩුපාඩුකම් දක්නට ලැබෙනවා. ඒ හේතුවෙන් විශාලනය කර බැලීමේ දී එසේ අඩුපාඩුකම් තිබීම අවම වන තරමට එම දියමන්තියේ වටිනාකම ඉහළ යනවා.

Carat (ක්‍රාත්): ක්‍රාත් නැතිනම් කැරට් යනුවෙන් හඳුන්වන්නේ දියමන්තියක බර මැනීම සඳහා යොදා ගනු ලබන ඒකකය යි. සාමාන්‍යයෙන් එක් ක්‍රාත් එකක් මිලිග්‍රෑම් 200 ක බරට සමාන වෙනවා. මෙය රත්රන් සඳහා භාවිත කරන කැරට් සංකල්පයට හාත්පසින්ම වෙනස් ක්‍රමයක්.

දියමන්ති ගැන අපූරු කාරණා.

(nicoh.net)

  • ලෝකයේ ඉහළ ම දියමන්ති පාරිභෝජනයක් අැති රට ලෙස සැලකෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. ලෝකයේ සමස්ත දියමන්ති නිෂ්පාදයෙන් 35% ක් පමණ මිල දී ගනු ලබන්නේ ඇමෙරිකානුවන් විසින්.
  • ලෝකයේ මුල් ම වරට වාණිජමය වශයෙන් දියමන්ති අලෙවි කිරීම ආරම්භ කර ඇත්තේ ඉන්දියානු ජාතිකයන් විසින්. ඒ මෙයට අවසර 2,400 කට පමණ පෙර දී යි. 1730 දී පමණ දකුණු ඇමෙරිකාව දියමන්ති අලෙවිය ඇරඹීමට පෙර දියමන්ති වෙළඳපොළේ ඒකාධිකාරය පැවතුණේ ඉන්දියාවට යි.
  • ඛනිජ ද්‍රව්‍යවල දැඩි බව මැනීම සඳහා යොදා ගනු ලබන Mohs මිනුම අනුව ලෝකයේ දැඩි බවෙන් ඉහළ ම ඛණිජ වන්නේ දියමන්ති යි. ඒ අනුව දියමන්තියක් මගින් වෙනත් ඕනෑම ඛණිජයක් කැපීමේ හැකියාව පවතින අතර දියමන්තියක් කැපීම සඳහා තවත් දියමන්තියක් ම අවැසි වෙනවා.
  • සාමාන්‍යයෙන් දියමන්ති අවර්ණ, කහ හෝ දුඹුරු පැහැයන්ගෙන් යුක්ත වුණත් ඉතාමත් කලාතුරකින් රෝස, රතු, දම් සහ නිල් පැහැයන්ගෙන් දියමන්ති හමු වූ අවස්ථා ද පවතිනවා. මෙසේ දියමන්ති විවිධ පැහැයන්ගෙන් යුතු වන්නේ විකිරණවලට නිරාවරණය වීම හේතුවෙන්.

දකුණු අප්‍රිකාවේ Vredefort ආකරය (en.wikipedia.org)

  • ලෝකයේ ඇති විශාලත ම දියමන්ති ආකරය ලෙස සැලකෙන්නේ දකුණු අප්‍රිකාවේ Vredefort ආකරය යි. ග්‍රාහකයක් පෘථිවියේ ගැටීම නිසා වසර මිලියන 2,023 කට පමණ පෙර නිර්මාණය වූ එය කිලෝ මීටර් 300 ක පමණ භූමි ප්‍රමාණයක් පුරාවට විහිදී තිබෙනවා.
  • දැනට ලෝකයේ අලෙවි වී ඇති ඉහළ ම වටිනාකමකින් යුතු දියමන්තිය ලෙස සැලකෙන්නේ “Cullinan Heritage” නම් වූ දියමන්තිය යි. 2010 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 35.5 කට අලෙවි වූ එය ක්‍රාත් 507 ක බරකින් යුක්ත වූ අතර කිසිම අඩුපාඩුවක් නොතිබූ පැහැදිලි දියමන්තියක් බව පැවසෙනවා.

ඔබත් විවිධ දේවල් නිසා පීඩනයකට ලක් වී සිටින කෙනෙක් නම් එ් පීඩනය නිසා විනාශ වෙලා යනවා වෙනුවට පීඩනය හොඳින් දරාගෙන වඩාත් වටිනා පුද්ගලයෙක් වෙන්න බලන්න. විශාල පීඩනයක්, උණුසුමක් දරාගෙන හැදෙන දියමන්තිවලින් අපේ ජීවිතයට ගන්න පුළුවන් හොඳ ම පාඩම එයයි.

කවරයේ පින්තූරය: (backwallpapers.com)

මූලාශ්‍ර:

  1. geology.com
  2. en.wikipedia.org
  3. guildhalldiamondscanada.wordpress.com
  4. patch.com
  5. livescience.com

Related Articles