අප රටේ ජනතාව විනෝදාංශයක් ලෙසින් චිත්‍රපට නැරඹීමට පුරුදු ව සිටිනවා. ඔවුන් සිංහල චිත්‍රපටවලට අමතර ව වැඩිපුර ම නරඹන්නේ ඉංග්‍රීසි, හින්දි සහ දෙමළ චිත්‍රපට යි. ඒ අතුරින් දශක ගණනාවක සිට මෙරට සිනමා රසිකයන් අතර හින්දි චිත්‍රපට ද ජනප්‍රිය වී තිබුණා. එයට ප්‍රධානත ම හේතුව වුණේ මීට දශක 5කට පමණ එහා සිට ජනප්‍රිය හින්දි චිත්‍රපට මෙරට සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කිරීම යි.
70 දශකය තුළ අප රටේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කළ ආරාධනා, ගීත් සහ අභිමාන් යන හින්දි චිත්‍රපට ත්‍රිත්වය වසරකට අධික කාලයක් අඛණ්ඩ ව තිරගත වීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ අතුරින් ගීත් හින්දි චිත්‍රපටය එදා මෙදාතුර අප රටේ සිනමාහලක වැඩි ම කාලයක් ධාවනය වුණු චිත්‍රපටය ලෙසින් තවමත් වාර්තා අතර රැඳී තිබෙනවා. මේ ඔබට කියන්න යන්නේ 70 දශකයේ දී මෙරට සිනමා රසිකයන්ගේ හදවතට සමීප වුණු එම හින්දි චිත්‍රපට ත්‍රිත්වය පිළිබඳව යි.
1) ආරාධනා (තිරගත වුණු වසර- 1969)
1969 සැප්තැම්බර් 27 වැනිදා මුල් ම වරට ඉන්දියාවේ තිරගත වුණු ‘ආරාධනා’ හින්දි චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළේ ශක්ති සමන්ත නම් සිනමා අධ්‍යක්ෂවරයා යි. එම චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ සචින් භෞමික් නම් තිර පිටපත් රචකයා යි. ඔහු එම තිර පිටපත රචනා කිරීම සඳහා පාදක කර ගත්තේ 1946 දී තිරගත වුණු To Each His Own නම් අමෙරිකානු චිත්‍රපටය බවයි පැවසෙන්නේ. රාජේෂ් ඛන්නා, ෂර්මිලා තාගෝර්, ෆරීඩා ජලාල්, සුජිත් කුමාර්, අශෝක් කුමාර්, අභී භට්ටාචාර්ය යන නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම චිත්‍රපටය බටහිර බෙංගාලයේ රමණීය ඩාර්ජිලිං ප්‍රදේශයේ රූපගත කළා.
මෙම චිත්‍රපටයේ කතාවට අනුව ගුවන් නියමුවෙක් වුණු අරුන් වර්මා, ඔහුගේ සහාය ගුවන් නියමුවකු වුණු මදන් සමඟින් විවෘත ජීප් රථයක නැඟී ගමන් කළ අවස්ථාවක වෛද්‍යවරයකුගේ දියණියක් වුණු වන්දනා හඳුනා ගන්නට ලැබුණා. ඉන් පසුව පසුව ඔවුන් දෙදෙනා අතර ඇති වුණු ප්‍රේම සම්බන්ධතාව විවාහයකින් කෙළවර වුණත් එය ගෙවල්වලට දන්වා චාරිත්‍රවලට අනුව සිදු කළ විවාහයක් නොවෙ යි.
එම විවාහයෙන් වැඩි කලක් යන්නට පෙර අරුන් ගුවන් අනතුරකින් මිය ගියා. ඒ වන විට වන්දනා ගැබ් ගෙන සිටියා. වන්දනා සහ අරුන් අතර සිදු වුණු විවාහය නිසි චාරිත්‍ර අනුව සිදු නොවුණු නිසා අරුන්ගේ පවුලේ උදවිය වන්දනා භාර ගැනීම ප්‍රතිකේෂ්ප කළා. එම කාලයේ දී වන්දනාගේ පියා මිය ගිය නිසා ඇය තවත් අසරණ වුණා. ඉන් පසු ව ඇය පිරිමි දරුවකු බිහි කළා. ඔහු සුරාජ් නමින් කම් කළා.
එම පිරිමි දරුවා, දරුවන් නොමැති යුවළකට හදා වඩා ගැනීමට දුන් වන්දනා, පසුව සිය පුතාගේ නැනී ලෙසින් එම නිවසේ ම වාසය කළා. එසේ කාලය ගතවෙද්දී එක්තරා දිනයක සුරාජ් හදාවඩා ගත් පියාගේ මස්සිනා වුණු ශ්‍යාම් එම නිවසට පැමිණියා. ඉන් අනතුරු ව ඔහු වන්දනාට අඩන්තේට්ටම් කිරීමට උත්සාහ කළා.
ඒ වන විට පාසල් යන වයසේ දරුවෙක් වුණු සුරාජ් එම සිදුවීම දැක වහා ම ක්‍රියාත්මක වී ශ්‍යාම්ට පිහියෙන් ඇන මරා දැම්මා. ඒ මොහොතේ නිවසට පොලිසිය පැමිණි පසු වන්දනා සිය පුතා බේරා ගන්නට වරද භාර ගත්තා. බන්ධනාගාරයේ වසර ගණනාවක් ගත කිරීමෙන් පසු ඇය නිදහස ලැබුවා. ඒ වන විට බන්ධනාගාරයේ ජේලර්වරයකු සමඟ මිතුරු ව සිටි වන්දනා නිදහස ලැබීමෙන් පසු ඔහුගේ නිවසට ගියා.
එහි ගිය පසු ජේලර්වරයා සිය දියණිය වුණු රේණුට සිය මිතුරිය වුණු වන්දනා හඳුන්වා දුන්නා. ඒ වන විට රේණු පෙම් සබඳතාවක් පවත්වමින් සිටියේ වන්දනාගේ පුත් සුරාජ් සමඟ යි. එය දැනගත් වන්දනා ඔවුන් දෙපළ මඟ හැරියේ තම අනන්‍යතාව හෙළි වුණොත් පුත්‍රයාට නින්දා විඳීමට සිදුවේවි යන බියෙන්. වන්දනා එසේ සැඟවීමට උත්සාහ කළත් සුරාජ්, වන්දනා දුටු සෑම අවස්ථාවක ම කල්පනා කළේ ඇය මීට පෙර කොහේ හෝ දැක ඇති බව යි. ඒ අයුරින් කාලය ගෙවෙද්දී වන්දනාගේ දිනපොතක් සුරාජ්ට හමු වුණා. එහි තිබුණු පින්තූරයකින් අරුන් සහ වන්දනා සිය මාපියන් බව සුරාජ්ට ඒත්තු ගියා. අවසානයේ සුරාජ් සිය මව වන්දනා බව ප්‍රසිද්ධියේ ම පිළි ගත්තා.
මෙම චිත්‍රපටයේ වන්දනාගේ චරිතය ෂර්මිලා තාගෝර් නිරූපණය කරද්දී, අරුන් වර්මා සහ සුරාජ් යන ද්විත්ව චරිත රාජේෂ් ඛන්නා නිරූපණය කළා. ආරාධනා චිත්‍රපටය වඩාත් ප්‍රසිද්ධියට පත්වීමට එහි අඩංගු වුණු සුන්දර ගීත විශාල බලපෑමක් කළා. සචින් දේව් බර්මාන් සහ ඔහුගේ පුත් රාහුල් දේව් බර්මාන්ගේ සංගීතයෙන් ද, ආනන්ද බක්ෂිගේ ගී පද රචනයෙන් ද නිර්මාණය වුණු මෙම චිත්‍රපටයේ කිෂෝර් කුමාර්, ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ සහ රාහුල් දේව් බර්මාන් යන ගායක ගායිකාවන් ගායනා කළා. ඒ අතුරින් “රූප් තේරා මස්තානා”, “ මේරේ සප්නෝ කි රාණි”, “ගුන් ගුණ රහේ හායි භන්වාරේ” වැනි ගීත ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා. ඉහත සඳහන් කළ “රූප් තේරා මස්තානා” ගීතයේ තිබෙන විශේෂත්වය වන්නේ එය අඛණ්ඩ ව රූගත කළ ( Single Shot එකකින්) මුල් ම හින්දි ගීතය වීම යි.
ආරාධනා චිත්‍රපටයේ තිබුණු සුවිශේෂී බව නිසා ම 1970 දී පැවති 17 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය එය දිනා ගත්තා. ඊට අමතර ව හොඳ ම නිළිය ලෙසින් ෂර්මිලා තාගෝර් සම්මාන ලබද්දී, “රූප් තේරා මස්තානා” ගීතය ගායනා කළ කිෂෝර් කුමාර් හොඳ ම ගායකයාට හිමි සම්මානය දිනා ගත්තා. ඒ අයුරින් ඉන්දියාව තුළ ජනප්‍රිය වුණු ආරාධනා චිත්‍රපටය 1972/73 කාලයේ බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේ වසරකට අධික කාලයක් ප්‍රදර්ශනය කළා. ඊට පෙර බොරැල්ල ලිඩෝ සිනමා ශාලාවේ ද මෙම චිත්‍රපටය මාස 3කට අධික කාලයක් ප්‍රදර්ශනය කර තිබුණා. ඊට අමතර ව සෝවියට් රුසියාව තුළ ද මෙම චිත්‍රපටය විශාල ලෙස ජනප්‍රිය වුණා. බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක් වන මෙය එකල ඉන්දියානු රුපියල් මිලියන 178.5ක වාර්තාගත ආදායමක් ලැබූ බව වාර්තාවල දැක්වෙනවා.
2) ගීත් (තිරගත වුණු වසර- 1970)
1970 ජූලි10 වැනිදා තිරගත වුණු ‘ගීත්’ හින්දි චිත්‍රපටයේ තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය රාමනන්ද සාගර් සිදු කළා. රාජේන්ද්‍ර කුමාර්, මාලා සිංහා, සුජිත් කුමාර්, නසීර් හුසේන් යන නළු නිළියන් රංගනයෙන් දායක වුණු මෙම සිනමා නිර්මාණයේ රූගත කිරීම් උතුරු ඉන්දියාවේ සුන්දර ප්‍රදේශවල දී සිදු කර තිබෙනවා. ආදර කතාවක් පදනම් කරගෙන බිහිවුණු නිර්මාණයක් වුණු මෙහි ප්‍රධාන චරිතය වන්නේ කම්ලා නම් තරුණිය යි. දිල්ලියේ වාසය කළ දක්ෂ වේදිකා රංගන ශිල්පිණියක් වුණු කම්ලා කුන්වර් සිංට අයත් ව තිබුණු සමාගමක රැකියාව කළා. කුන්වර් ඇය විවාහ කරගැනීමට කැමැත්තෙන් සිටිය ද ඒ බව පැවසීමට නොහැකි ව ළතවෙමින් සිටියා.
ඒ අතරතුර කම්ලා නිවාඩුවක් ගත කිරීම සඳහා කුල්ලු නම් සුන්දර ගම්මානය වෙත ගියා. එහි දී ඇයට සර්ජු නම් ගොපලු තරුණයා හඳුනා ගන්නට ලැබුණා. ඔහුට හොඳින් ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා. එම අපූරු ගායනාවලට කම්ලා වශී වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් දෙදෙනා අතර ආදර සබඳතාවක් ඇති වුණා. ඉන් පසුව කම්ලා සහ සර්ජු විවාහ වීමට ද තීරණය කළා. ඒ වන විට කම්ලා භාරගත් නාට්‍ය සංදර්ශන කිහිපයක් තිබුණු නිසා ඇය ඒවා අවසන් කිරීමට දිල්ලිය බලා ගියා. එහි ගිය කම්ලා ඇය එම සමාගමෙන් අස් වන බව කුන්වර් සිංට දන්වා සිටියා.
කම්ලා විවාහ වන බව ඇසීමෙන් කම්පාවට පත් වුණු කුන්වර් සිය ආදරය කම්ලා හමුවේ ප්‍රකාශ කළා. එය ඇසූ කම්ලා සිය සමාගමේ ප්‍රධානියා හමුවේ පවසා සිටියේ ඇයට කිසිදු දිනක සර්ජු අමතක කළ නොහැකි බව යි. එතැන් සිට සර්ජුට ඊර්ෂ්‍යා කළ කුන්වර්, කම්ලා-සර්ජු ආදරය බිඳ දැමීමට විවිධ දේ සිදු කළා. කුන්වර්ගේ එම දුෂ්ඨ සැලසුම් නිසා අවස්ථා කිහිපයක දී සර්ජුට සිය ජීවිතය අහිමි වීමට ගියා. අවසානයේ දී එම සියලු සැලසුම් අසාර්ථක වී අවසානයේ කම්ලා සහ සර්ජු එකතු වෙනවා.
ගීත් චිත්‍රපටයේ සර්ජුගේ චරිතය සඳහා රාජේන්ද්‍ර කුමාර් රංගනයෙන් දායක වෙද්දී, කම්ලාගේ චරිතය සඳහා රංගනයෙන් දායක වුණේ මාලා සිංහා නම් රංගන ශිල්පිණිය යි. කල්‍යාණ්ජි ආනන්ද්ජිගේ සංගීතයෙන් ද, ආනන්ද බක්ෂි, ප්‍රේම් ධවාන්, සහ හස්‍රත් ජයපූරි යන ශිල්පීන්ගේ ගී පද රචනයෙන් ද නිර්මාණය වුණු මෙම චිත්‍රපටයේ ගීත මොහොමඩ් රාෆි, ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ, මහේන්ද්‍ර කපූර්, සහ සුමන් කල්‍යාණ්පූර් යන ගායක ගායිකාවන් ගායනා කළා.
එම ගීත අතුරින් මොහොමඩ් රාෆි ගැයූ “මේරේ මිට්වා මේරේ මිට් රී” ගීතය අදටත් රසිකයන් අතර වඩාත් ජනප්‍රිය යි.
මෙම අපූරු සිනමා නිර්මාණය ඉන්දියාව තුළ එතරම් ජනප්‍රිය වුණේ නැහැ. එනිසා 70 දශකයේ මුල් භාගයේ දී මෙම චිත්‍රපටය රුපියල් 40000ක් වැනි මුදලකට මිල දී ගැනීමට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට හැකි වුණා. ඉන් පසුව මෙම චිත්‍රපටය මරදානේ ක්‍රවුන් සිනමා ශාලාවේ අඛණ්ඩව දින 604ක් ප්‍රදර්ශනය කළා. එය ශ්‍රී ලංකාවේ යම් චිත්‍රපටයක් අඛණ්ඩව ප්‍රදර්ශනය කළ වැඩිම දින ගණන යි. එලෙස ගීත් හින්දි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම මඟින් එකල ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට විශාල ආදායමක් ලැබුණා.
3) අභිමාන් (තිරගත වුණු වසර- 1973)
‘අභිමාන්’ හින්දි චිත්‍රපටය 1973 ජූලි 27 වැනිදා තිරගත වුණා. රිෂිකේශ් මුඛර්ජි අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයේ තිර පිටපත රචනා කිරීම සඳහා රාජින්දර් සිං, බිරේෂ් චැටර්ජි, නබෙන්ඳු ගෝෂ්, රිෂිකේෂ් මුඛර්ජි, මොහාන් සිප්පි සහ බිරෙන් ත්‍රිපති යන රචකයන් දායක වුණා. මෙම චිත්‍රපටයේ කතාව පිළිබඳ ව ප්‍රසිද්ධ මත දෙකක් තිබෙනවා.
ඉන් එක් මතයක් වන්නේ ප්‍රසිද්ධ සිතාර් වාදකයෙක් වන රවි ශංකර් සහ ඔහුගේ බිරිය වන අන්නාපූර්ණ දේවිගේ ජීවිත කතාව මෙම චිත්‍රපටයෙන් නිරූපණය වන බව යි. අනිත් මතය වන්නේ ජනප්‍රිය ගායකයෙක් වන කිෂෝර් කුමාර් සහ ඔහුගේ පළමු බිරිය ගුහා ඨාකූර්ගේ ජීවිත කතාව මෙමඟින් නිරූපණය වන බව යි. ‘අභිමාන්’ චිත්‍රපටය සඳහා අමිතාබ් බච්චන්, ජයා බහදූරි, ගෝවර්ධන් අස්රානි, ඩේවිඩ් ඒබ්‍රහම්, බින්දු දේසායි වැනි නළු නිළියන් රංගනයෙන් දායකත්වය ලබා දුන්නා.
මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතයක් වන සුබීර් කුමාර් ප්‍රසිද්ධ ගායකයෙක්. ඔහු විවාහ වීමට අකමැත්තෙන් සිටිය දී සංගීතයට දක්ෂ උමා නම් ගැමි තරුණිය හමු වුණා. ඉන් අනතුරු ව ඔවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ඇති වුණා. එම ආදර සබඳතාව අවසානයේ විවාහයකින් කෙළවර වුණා. විවාහ දිවියට ඇතුළත් වීමෙන් පසුව උමාගේ ගායන හැකියාව වැඩි දියුණු කර ගැනීමට සුබීර්ගේ සහාය ලැබුණා.
එනිසා උමාට දක්ෂ ගායිකාවක් බවට පත්වීමට හැකි වුණා. උමා ගායිකාවක් ලෙස ජනප්‍රිය වෙද්දී, සුබීර්ගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් පහළ ගියා. ඉන් පසුව සුබීර් සිය බිරියට ඊර්ෂ්‍යා කරන්නට පටන් ගත්තා. ටික කාලයක් ගතවෙද්දී ඔවුන් දෙදෙනාගේ විවාහ දිවිය ද දෙදරා ගියා. එම වෙන්වීමෙන් පසුව ඔවුන් දෙදෙනා ඉතාමත් දුක් සහිත ජීවිත ගත කළා. අවසානයේ සංගීතය නිසා ඔවුන් දෙදෙනාට යළි එකතු වීමට හැකි වුණා.
අභිමාන් චිත්‍රපටයේ සුබීර් කුමාර්ගේ චරිතය සඳහා අමිතාබ් බච්චන් රංගනයෙන් දායකත්වය ලබාදෙද්දී ජයා බහදූරි උමාගේ චරිතය නිරූපණය කළා. සචින් දේව් බර්මාන්ගේ සංගීතයෙන් සහ පද රචනයෙන් නිර්මාණය වුණු මෙම චිත්‍රපටයේ ගීත කිෂෝර් කුමාර්, ලතා මංගේෂ්කාර්, මොහොමඩ් රාෆි, අනුරාධ පද්වාල්, මන්හාර් උදාස් යන ගායක ගායිකාවන් ගායනා කළා. එනිසා අභිමාන් චිත්‍රපටයේ ගීත කිහිපයක් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා.
“තේරේ මේරේ මිලන් කි යේ”, “පිය බිනා පිය බිනා”, “නදියා කිනාරේ” එසේ ජනප්‍රිය වුණු ගීත අතුරින් කිහිපයක්. 1974 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී අභිමාන් චිත්‍රපටයට සම්මාන 2ක් හිමි වුණා. එහි දී ජයා බහදූරි හොඳ ම නිළියට හිමි සම්මානය දිනා ගනිද්දී, සචින් දේව් බර්මාන් හොඳ ම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තා.
එලෙස ඉන්දියාවේ සාර්ථක ලෙස තිරගත වුණු අභිමාන් හින්දි චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ද විශාල ලෙස ජනප්‍රිය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1970 දශකයේ මැද භාගයේ දී කොළඹ එම්පයර් සිනමා ශාලාවේ දී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කළා. එම චිත්‍රපටයට අප රටේ ජනතාව දැඩි ලෙස ඇලුම් කළ නිසා එය එම්පයර් සිනමා ශාලාවේ අඛණ්ඩව දින 590ක් තිරගත වුණා.