රටරටවල ආහාර එක්ක බැඳුනු සමාජ චාරිත්‍ර

ශ්‍රී ලංකාව කියන්නේ පොහොසත් ආහාර සංස්කෘතියකට​ උරුමකම් කියන රටක්. අපේ රට කුඩා වුණත්, ප්‍රදේශයෙන් ප්‍රදේශයට විශේෂ වුණ ආහාර වර්ග රාශියක් අපට හිමි වෙලා තිබෙනවා. ඒ බොහෝමයක් ආහාර යම් පරිශ්‍රමයක් දරලා සකසන ආහාර නිසා තරගකාරී ලෝකයක ඉන්න අපේ මිනිස්සු දැන් දැන් ක්ෂණික ආහාර හෝ පහසුවෙන් තනාගත හැකි ආහාර වැඩියෙන් ගන්න පුරුදු වෙලා. බෝ නොවන රෝග සීඝ්‍රයෙන් ශ්‍රී ලංකාව තුළ පැතිර යාමටත් මේ අවිධිමත් ආහාර රටාව හේතු වෙලා තිබෙනවා. මේ හේතුවෙන් අපේ සාම්ප්‍රදායික ආහාර බොහෝමයක් දැන් දැන් අපෙන් ඈත් වෙමින් පවතිනවා.

රටක​ ආහාර සංස්කෘතියත් සමග බැඳුණු තවත් අංගයක් තමයි ආහාර ගැනීමේ දී අපි අනුගමනය කරන පුරුදු, නැත්නම් ආහාර හා බැඳුණු සමාජ චාරිත්‍ර කියන්නේ. අපේ සාම්ප්‍රදායික ආහාර රටාවෙන් අපි ඈත්වෙමින් සිටියත්, ආහාර එක්ක බැඳුණු ඇතැම් සමාජ චාරිත්‍ර අපි තවමත් ඉහළින්ම පිළිපදිනවා. ආහාර ගැනීමට කලින් අත් සේදීම, දෙවැනි ඇඟිලි පුරුකෙන් ඉහළට ඉඳුල් නොගෑවෙන සේ ආහාර ගැනීමට වගබලා ගැනීම, ආහාර ගන්නා අතරතුර කතාබහ නොකිරීම වගේ පුරුදු අපි අතර ප්‍රමුඛවම පවත්නා සමාජ චාරිත්‍ර යි.

රටින් රට යන කොට අපට හමුවන ආහාර හා බැඳුණු සමාජ චාරිත්‍රත් ඔවුන්ගේ ආහාර සංස්කෘතියට සමගාමීව වෙනස් වෙනවා. මේ ඇතැම් ආහාර පුරුදු සමහර විට අපිට ටිකක් අමුතු වෙන්නත් පුළුවන්. නමුත් සංචාරයෙකු විදිහට හෝ පදිංචිකරුවෙකු ලෙස කවදාහරි මේ රටවල් අතරින් එකකට ඔබ යාමට බලාපොරොත්තු වෙනවා නම්, මේ ලිපියෙන් කියැවෙන කරුණු ඔබට වැදගත් වෙන්න පුළුවන්. 

ජපානය

ජපානයේ ආහාර සංස්කෘතිය වෙනමම කතා කළ යුතු මාතෘකාවක් තරමටම විචිත්‍ර වූ සහ පුළුල් වූවක්. ජපන් ජාතිකයන් ආහාර ගන්නේ චොප්ස්ටික් ලෙස හඳුන්වන ලී කූරුවලින් බව ඔබත් දැනුවත් ඇති. මේ චොප්ස්ටික්වලින් ආහාර ගැනීමේ දී පිළිපැදිය යුතු කාරණා රාශියක් තිබෙනවා. චොප්ස්ටික් එකකින් තවත් චොප්ස්ටික් එකකට කෑම මාරුකර ගැනීම නරක​ පුරුද්දක් ලෙස ජපන් ජාතිකයන් සලකනවා. ඒ වගේම කෑල්ලෙන් කෑල්ල කඩා ගන්නවාට වඩා වරකට චොප්ස්ටික් එකට අසුවන ආහාර සියල්ලම එකවර මුව තුළට ඇතුළු කර ගැනීම සුදුසු බව ඔවුන් සලකනවා. චොප්ස්ටික්ස් දෙකක් එකට ඇතිල්ලීම ද නුසුදුසු ක්‍රියාවක් බව ඔවුන් සිතනවා.

තවත් විශේෂිතම කාරණාවක් තමයි ආහාර ගැනීමේ දී අපි ඉතා නරක පුරුද්දක් ලෙස සලකන දෙයක් මොවුන් ඉතා හොඳ පුරුද්දක් ලෙස සැළකීම. ආහාර ගැනීමේ දී, විශේෂයෙන්ම සුප්, නූඩ්ල්ස් වැනි ආහාර ගැනීමේ දී තලු ගසමින් එම ආහාරය බුක්ති විඳීම ඉතා යහපත් ක්‍රියාවක් ලෙස ඔවුන් සලකනවා.

ජපානය සහ චීනයේ ආහාර ගැනීමට භාවිතා කරන චොප්ස්ටික් හා බැඳුණු සිරිත් රාශියක් තිබෙනවා/youcojapan.com/

 

කොරියාව

කොරියාවේ දී සමූහයක් සමග ආහාර ගැනීමේ දී, විශේෂයෙන්ම පවුලේ සංග්‍රහයකට සහභාගී වෙනකොට තමයි මේ ආහාර පුරුද්ද ඔබ අනුගමනය කළ යුතු වන්නේ. එහිදී කෑම ගැනීමට එක් වන පිරිස අතර සිටින වැඩිමහළු තැනැත්තාගේ ආහාර වේගය ඔබ අනුගමනය කළ යුතු වෙනවා. ස්වභාවයෙන්ම ඉක්මණින් ආහාර ගන්නා පුද්ගලයෙකුට නම් මෙම කාර්යය මඳක් අපහසු වුණත්, කොරියාවේ දී මෙම ආහාර පුරුද්ද අනුගමනය කිරීම, ඔබ පිළිබඳව යහපත් ආකල්පයක් කොරියානුවන් තුළ ඇති කිරීමට ඉවහල් වෙන්න පුළුවන්. 

තායිලන්තය

තායි ජාතිකයන් සමග ආහාර ගැනීමේ දී ගෑරුප්පුවක් භාවිතා කිරීම ගැටළුවක් නොවුණත්, ගෑරුප්පුවක් මාර්ගයෙන් ආහාර මුව තුළට ඇතුළුකර ගැනීම නරක ක්‍රියාවක් ලෙස ඔවුන් සලකනවා. තායි ජාතිකයන් ගෑරුප්පු භාවිතා කරන්නේ ආහාර කැබලි හැන්ද මතට තල්ලුකර ගැනීමට පමණ යි.

චීනය

චීනය කියන්නෙත් ජපානය වගේ චොප්ස්ටික් භාවිතයෙන් ආහාර ගන්නා මිනිසුන් සිටින රටක්. ඔවුන් අතරත් චොප්ස්ටික් සම්බධයෙන් විවිධ පුරුදු රාශියක් තිබෙනවා. ඒ අතර කෙනෙකු අත රැඳි චොප්ස්ටික්, තවත් කෙනෙකු සමග හුවමාරු කර ගැනීමෙන් වැළකී සිටීම ආහාර එක්ක බැඳුණ වැදගත් සමාජ චාරිත්‍රයක් ලෙස ඔවුන් සලකනවා. ඒ වගේම නූඩ්ල්ස් ආහාරයට එක්කර ගැනීමේ දී එම නූඩ්ල්ස්, කැබලිවලට නොකඩා බඳුනේ පිළිගන්වා ඇති අයුරින්ම ආහාරයට ගැනීම වැදගත් බව ඔවුන් සලකනවා. දිගින් වැඩි නූඩ්ල්ස් දීර්ඝායුෂ ලැබීමේ සංකේතයක් ලෙස ඔවුන් සලකන අතර නූඩ්ල්ස් කැබලිවලට කැඩීමෙන් එය ආහාරයට ගන්නා පුද්ගලයාගේ ආයුෂ කෙටි වන බවට විශ්වාසයක් ඔවුන් අතර පවතිනවා. 

මීට අමතරව ආහාර බඳුනේ පිසූ මාළුවෙකු සිටී නම් එය අනෙක් පස පෙරළීමත් අසුභ ක්‍රියාවක් ලෙස චීන ජාතිකයින් සලකනවා. ආහාර ගැනීමේ දී පිඟාන මත ඇති ආහාර සියල්ල ආහාරයට ගැනීමත් චීන ජාතිකයන් අනුමත කරන්නේ නැහැ. ඒ වෙනුවට ආහාර ස්වල්පයක් පිඟාන මත ඉතුරු කිරීම ශිෂ්ට පුරුද්දක් ලෙස ඔවුන් දකිනවා. 

තායි ජාතිකයන් ආහාර මුව තුළට ඇතුල් කිරීමට ගෑරුප්පුව භාවිත කරන්නේ නැහැ/aswetravel.com/

බ්‍රසීලය

කිසිම අයුරකින් ආහාර අතින් නොඇල්ලීමට ප්‍රවේශම් වන ජාතියක් ලෙස බ්‍රසීල ජාතිකයන් හඳුන්වන්න පුළුවන්. හැඳි ගෑරුප්පු භාවිතා කරමින් ගන්නා ආහාර මෙන්ම පීසා, බර්ගර්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වැනි සාමාන්‍යයෙන් අතින් ගන්නා ආහාර වුණත්, ගෑරුප්පුවක් හෝ හැන්දක් භාවිතයෙන් කෑමට ගන්න තමයි බ්‍රසීල ජාතිකයන් පුරුදු වෙලා තියෙන්නේ. ඒ වගේම බ්‍රසීලයේ දී, යමෙකු පිළිගැන්වූ ආහාර ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ට කරන අවමානයක් ලෙස බ්‍රසීල ජාතිකයන් සලකනවා. ඒ නිසා ඔබට කෑමට අවශ්‍ය නොමැති අවස්ථාවක බ්‍රසීල ජාතිකයෙක් සංග්‍රහයකට ආරාධනා කළහොත්, ප්‍රතික්ෂේප කරනවා වෙනුවට අසාත්මිකතාවයක් හෝ වෙනත් පිළිගත හැකි  නිදහසට කාරණාවක් ඉදිරිපත් කිරීම වැදගත්. 

බ්‍රසීල ජාතිකයන් සමග සංග්‍රහයකට සහභාගී වන අතරතුරේ දී වුවත්, කෑම මේසයේ දී පිළිපැදිය යුතු වැදගත් කාරණාවක් තිබෙනවා. තම අත් දෙකම අනෙක් අයට පෙනෙන අයුරින් කෑම මේසය මත තබාගෙන සිටීම බ්‍රසීලයේ දී ඉතා වැදගත් වූ ආහාර හා සම්බන්ධ සිරිතක්. නමුත් වැලමිට මේසය මත තැබීම ද ඔවුන් අනුමත නොකරන බව කියැවෙනවා.

බොලීවියාව

කෑම මේසයේ දී එදිනෙදා වැඩ කටයුතු ගැන කතාකිරීම තහනම් ක්‍රියාවක් ලෙස බොලිවියා වැසියන් සලකනවා. රාත්‍රී භෝජන සංග්‍රහයක් හෝ විවාහ මංගල්‍යයක් වැනි සමාජීය එකතුවක දී වුවත් මේ තහනම ඔවුන් අනුගමනය කරනවා. ව්‍යාපාර කටයුතු හා සමගාමීව පවත්වන භෝජන සංග්‍රහයක දී වුවත්, භෝජන සංග්‍රහයට ආරාධනා කළ තැනැත්තා ව්‍යාපාර කටයුතු පිළිබඳව මුලින්ම සාකච්ඡා කිරීමට පටන්ගන්නා තෙක් අනෙක් පිරිස නිහඬව සිටීමට පුරුදු වී තිබෙනවා. 

බ්‍රසීල ජාතිකයන් ආහාර අතින් ඇල්ලීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ/familysearch.org/

ඊජිප්තුව

ඊජිප්තුවේ දී ආහාර පිළිගැන්වීමෙන් පසු, තමන් එයට නැවත වතාවක් ලුණු එකතු කිරීම කිසිසේත්ම නොකළ යුතු ක්‍රියාවක්. එය කෑම පිළියෙල කළ පුද්ගලයාට කරන විශාල අපහාසයක් ලෙස තමයි ඊජිප්තු වැසියන් සලකන්නේ.

ප්‍රංශය

ආහාර විවිධත්වය සහ ආහාර පුරුදු අතිනුත් ඉතා සංකීර්ණ රටක් තමයි ප්‍රංශය කියන්නේ. ප්‍රංශ ජනතාව අතර පාන්වලට ඉහළ මට්ටමේ පිළිගැනීමක් තිබෙනවා. එනිසා මුළු ආහාර වේල පුරාම පාන් කෑමේ නැඹුරුවක් ප්‍රංශ ජාතිකයින් තුළ තිබෙනවා. අනෙක් සියළු ආහාර තම පිඟාන මතට බෙදා ගන්න ඔබට අවසර තිබුණත්, ප්‍රංශ භෝජන සංග්‍රහයක දී පාන් තබන්නේ මේසය මතම යි. කාටත් පොදු වන සේ තබා ඇති පාන් ගෙඩියෙන් ඔබට කුඩා කැබලි කඩාගැනීමට සිදු වෙනවා. වෙනත් කෑම සමග මුහු කරගෙන මෙම පාන් අනුභව කරන්නත් ඔවුන් කැමැත්තක් දක්වනවා. ඒ අනුව බලනකොට අපි පාන් කන්න පුරුදුවෙලා තියෙන විදිය යි, ප්‍රංශ විදිය යි ටිකක් විතර සමාන යි. ලොකුම වෙනස වන්නේ අපි ඔවුන් මෙන් පාන් ගෙඩිය කාටත් බෙදාගත හැකි වන සේ මේසය මත නොතබා, අවශ්‍ය ප්‍රමාණවලට කපා එකිනෙකාට බෙදාදීම යි. 

තනිව ආහාර ගැනීම ප්‍රංශ ජාතිකයන්ට ඉතා ආගන්තුක ක්‍රියාවක්. ඒ වෙනුවට අවමය එක් පුද්ගලයෙකු සමග හෝ තම කෑම මේසය බෙදා ගැනීමට තමයි ඔවුන් වඩාත් කැමති වන්නේ. එකම පාන් ගෙඩිය බෙදාහදා ගැනීම මඟින් කෑම මේසයේ සිටින පුද්ගලයන් සමග බොහොම හොඳ සංවාදයක් ගොඩනඟාගැනීමට පහසු බව ප්‍රංශ වැසියන් විශ්වාස කරනවා.

ප්‍රංශ ජාතිකයන් අතර පාන්වලට තිබෙන ස්ථානය සුවිශේෂ යි/familysearch.org/

ඉන්දියාව 

ඉන්දියාවත් අපි වගේම අතින් ආහාර අනුභව කිරීමට පුරුදුව සිටින මිනිසුන් ඉන්න රටක් බව අපි දන්නවා. ඔවුන් අපි මෙන් ඇඟිලි තුඩුවලින් මෙපිටට ආහාර තැවරීම එතරම් අශෝභන දෙයක් ලෙස සලකන්නේ නැහැ. නමුත් ආහාර ගැනීමේ දී වම් අත භාවිතා කිරීම අශෝභන ක්‍රියාවක් ලෙස ඉන්දියානුවන් සලකනවා.

ඒ වගේම, අපි කෑමෙන් පසු ඇඟිලි ලෙවකෑම හොඳ සිරිතක් නොවන බව සැලකුවත්, ඇතැම් ඉන්දියානු ප්‍රාන්තවල දී, කෑමෙන් පසුව ඇඟිලි ලෙවකෑම අශිෂ්ට ක්‍රියාවක් ලෙස සලකන්නේ නැහැ. 

ඉතාලිය

ඉතාලියේ දී චීස් සම්බන්ධයෙන් බොහොම වැදගත් සමාජ චාරිත්‍රයක් කෑම මේසයේ දී අනුගමනය කෙරෙනවා. ඉතාලි කෑම විවිධාකාර වූ චීස් වර්ගවලින් රස ගන්වා ඇති නිසා කෑම මේසයේ දී අමතර චීස් ඉල්ලීම ඉතාලි ජාතිකයන් අනුමත කරන්නේ නැහැ. එය ඔවුන්ට කරන අවමානයක් ලෙස සලකන්න ඔවුන් පුරුදු වෙලා තිබෙනවා. ඒ වගේම කෑම කන අතරතුර පානයක් ලෙස වතුර හෝ වයින් හැර වෙන කිසිම බීමක් භාවිතා කිරීම ඔවුන් අනුමත කරන්නේ නැහැ.

ඉතාලියේ කෑම මේසයකට ඉඳගෙන වැඩිපුර චීස් ඉල්ලීම නුවණට හුරු දෙයක් නෙවෙයි/juliasalbum.com/

ආහාර සමග බැදුණ සමාජ චාරිත්‍ර, සිරිත් විරිත්, විශ්වාසයන් බොහොම ස්වල්පයක් තමයි මෙම ලිපියෙන් ඔබ හමුවට ගෙන එන්නේ. විශේෂයෙන්ම ජපානය, ඉතාලිය, ප්‍රංශය, ඉන්දියාව වගේ රටවල්වල මේ වගේ ආහාර එක්ක බැඳුණ සිරිත් විරිත් තව බොහෝමයක් තිබෙනවා. රටක ආහාර සංස්කෘතිය විශාල වෙන තරමට මේ ආහාර එක්ක බැඳුණ සමාජ චාරිත්‍ර හා සිරිත් විරිත් තව තවත් පුළුල්ව පැතිරී යනවා. ඇතැම් විට එකම රටක ප්‍රාදේශීය වශයෙනුත් මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔබත් ලංකාවෙන් බැහැරව ජීවත් වෙන හෝ ‍රට රටවල්වල සංචාරය කොට අත්දැකීම් ලබා ඇති කෙනෙකු නම්, ඔබේ අත්දැකීම් ද පහතින් කමෙන්ටුවක් ලෙස සටහන් කරන්න.

Cover photo: beat.com.au

මූලාශ්‍රයයන්: trvlmrk.com/

spoonuniversity.com/

thrillist.com/

spoonuniversity.com/

Related Articles

Exit mobile version